BREAKING NEWS

බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය ලද ‘පරාජයම’ අද යළි මේ රට කැබලි කිරීමේ මෙහෙයුමේ අඩිතාලම බවට පත්කර ගත යුතු නිසයි ශ‍්‍රී ලංකාව ජිනීවාවල මාතෘකාවක් බවට පත්ව ඇත්තේ. – ජානිපෙ නායක, විමල් වීරවංශ

බටහිර පිල්ලි විසින් මෙහෙයැවු බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය ලද ‘පරාජයම’ යළි මේ රට කැබලි කිරීමේ බටහිර මෙහෙයුමේ අඩිතාලම බවට පත්කර ගත යුතු නිසා ශ‍්‍රී ලංකාව අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මාතෘකාවක් බවට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ(27) බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ‍්‍රයේදී ‘සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව’ යන තම දේශනය මාලාවේ පළමුවැන්න පවත්වමින් විමල් වීරවංශ මහතා එසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘එස්.ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ සමරුව ඊයේ පැවැත්වුණා. 1948දී සුද්දා මේ රට දාලා ගියත් 1956ට කලින් මෙහි බොහෝ ක්‍ෂේත‍්‍රවල, ආයතනවල ඔවුන්ගේ බලය ගොනු වෙලා තිබුණා. ඒ කාලය තුළ ඔවුන්ගේ කඳවුරු තිබුණා. කැල්ටෙක්ස් වැනි සමාගම් තමන්ගේ බලය පතුරවමින් සිටියා. ගුවන් විදුලි සංස්ථාවේ ඉංග‍්‍රීසි සේවයේ ඉහළ තනතුරු දැරුවේ ඉංග‍්‍රීසි ජාතිකයන්. 1956 පෙරළිය, ඒ තත්ත්වය වෙනස් කරන්න සමත් වුණා. එතෙක් රාජ්‍යයේ පැවැති දෙමුහුන් ස්වභාවය ඉවත් කිරීමේ ගමන ඇරඹෙන්නේ 1956 පෙරළියත් සමග. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන් සමරන මේ වෙලාවේ ඔහු මුල් වී නැති කරන ලද රාජ්‍යයේ දෙමුහුන් ස්වභාවය, වත්මන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක විසින් යළි අලූත් වටයකින් ඇති කරමින් සිටිනවා.

ඔබත් අපත් අද මෙසේ හමු වන්නේ ඉතාමත් තීරණාත්මක අභියෝගයක් පාමුල තබාගෙනයි. බෙදී වෙන් වී යාමේ ඉම වෙත රැගෙන විත් තිබූ රට, නැවත එක්සේසත් කොට, නැවත පණ දී ඉදිරියට ගෙන යමින් සිටියදී අද එහි ගෙල සිඳ මරා දැමීමේ ඉරණමට ඇදගෙන යමින් සිටිනවා. මෙබඳු මොහොතක අවදි නොවන ජාතියක් නිර්වින්දනය කරන ලද ජාතියක් මිස හෘදසාක්‍ෂියක් සහිත ජාතියක් නොවෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව අනුමත කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාව අද වන ශ‍්‍රී ලංකා රජය ද පිළිගත් යෝජනාවක් බවට පත් වී තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාවෙහි ගැටළු සහගත තැන් පිළිබඳව පෙන්වා දුන් එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතාට, ‘එවැනි විවේචන ඔබ විසින් නොකළ යුතුව තිබුණා’ යැයි පවසමින් මේ ආණ්ඩුවේ බලධාරීන් තරවටු කළ බව අද Sunday Times පුවත්පතෙහි දේශපාලන ලිපියෙහි සඳහන්ව තිබෙනවා. ඒ අනුව ඉතා පැහැදිලියි. මේ ආණ්ඩුවට ඇමෙරිකා එක්සත් ජනපද යෝජනාවෙහි කොතරම් විෂ තිබුණත් ඒවා පෙන්වා දීමේ උවමනාවක් නැති බව.

‘දෙමුහුන් අධිකරණය’

බොහෝ අය අනාවැකි පළ කළා, විශේෂයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප‍්‍රකාශයෙහි පවා සඳහන් වුණා. ඇමෙරිකා එක්සත් ජනපද යෝජනාවෙහි ‘දෙමුහුන් අධිකරණයක්’ යන කරුණ ඇතුළත් නොවන බවට. ඇත්ත මෙම යෝජනාවෙහි ‘දෙමුහුන් අධිකරණය’ කියන වචනය ඇතුළත්ව නැහැ. නමුත් ඇමෙරිකානු – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ යෝජනාව අනුව පිහිටුවනු ලබන අධිකරණය පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල විනිසුරුවරුන්, නීතිඥවරුන් සහ අභිචෝදකයන් යන අයගෙන් සමන්විත ව්‍යුහයක් විය යුතු බව එහි සඳහන් වෙනවා. දැනටමත් මෙම යෝජනාව ශ‍්‍රී ලංකා රජය විසින් පිළිගෙන අවසන් නිසා සැප්තැම්බර් 30 වැනිදා එය සම්මත වීමේදී සුළු වශයෙන් හෝ සංශෝධනය වීමේ ඉඩකඩක් නැහැ. මෙම ක‍්‍රියාවලිය ජාත්‍යන්තර න්‍යාය පත‍්‍රයක් අනුව සිදු වන නිසා, සුදු විනිසුරුවරුන්, පොදු රාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන් හිටියත් නැතත් මෙම අධිකරණය, යටත්විජිත සමයේ මේ රටේ පිහිටුවනු ලද, 1947 සිට ක‍්‍රමයෙන් අභාවයට යවන ලද, 1956දී අවසන් කළ අධිකරණ ව්‍යුහය මත පිහිටුවන්නක් මිස වෙනෙකක් නොවෙයි.

අපි දන්නවා, යටත්විජිත හමුදා ඇතුළේ හිටියා සිංහල මිනිස්සු. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමට සුදු හමුදා නිලධාරීන් සමග ගියේ සිංහල මිනිස්සු. එදා එක්නැලිගොඩ සමග ගිය ස්වදේශික පිරිස රජු අල්ලා ගත් මොහොතේ බිසෝවරුන්ගේ ආභරණ ඔවුනට තුවාල සිදුවන අයුරින් පැහැර ගනු ලැබුවා. ඒ විතරක් නොවෙයි එක්නැලිගොඩ රජුව වැලකින් ගැටගසා සතෙක් වගේ ඇදගෙන යන්න කටයුතු කළා. එතැන සුද්දෝ හිටියේ නැහැ. නමුත් ඒ හමුදාවේ නායකත්වයේ හිටියේ සුද්දෝ. සුදු අධිරාජ්‍යවාදීන් එදා පිහිටුවනු ලැබූ රාජ්‍ය ව්‍යුහයේ ප‍්‍රමුඛස්ථානයේ සිටින අතර, පළාත් පාලනය කරනු ලැබුවේ උඩරට නිලමේවරුන්. ඒ වගේම එදා ඌව-වෙල්ලස්ස අරගලය මර්දනය කරන්න යැවුවේ ඌව දිසාවේවරයා වූ මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන්. ඔහුගේ හමුදාවෙහි සුදු සේනාංකවලට වඩා හිටියේ ස්වදේශික සේනාංක. එහෙම බැලූවොත් යමකුට කියන්න පුළුවන් එදා පැවතියේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පාලනයක් නොවෙයි, ‘දෙමුහුන් පාලනයක්’ කියලා. බි‍්‍රතාන්‍ය පාලන සමයේ පමණක් නොවෙයි, එළාර යුගය දක්වා මේ කතාව කියන්න පුළුවන්. එළාරගේ හමුදාවෙත් ‘අංගම් සටන් කලාව’ පවා හදාරපු ස්වදේශික භට පිරිස් පමණක් නොවෙයි ස්වදේශික සෙනෙවිවරුන් පවා සිටියා. එහෙම බැලූවොත් එළාර යුගයෙත් පැවතියේ ‘දෙමුහුන් පාලනයක්’ කියලා යමකුට තර්ක කරන්න පුළුවන්.

1956න් පසුව මේ මිහිතලය මත ප‍්‍රථම වතාවට ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර අධිරාජ්‍යවාදයේ උවමනාවට අනුව, කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ උවමනාවට අනුව ඔවුන්ගේම අභිමතාර්ථයන් ඉටු කරවා ගැනීමට අධිකරණයක් පිහිටුවීමට සැරසෙනවා, ශ‍්‍රී ලංකාවේ නීත්‍යානුකූල සන්නද්ධ හමුදා ගැන සෙවීමට. මේ වාර්තාවේ බොරුවට කොටි සංවිධානය පිළිබඳව සඳහන් වූවාට ඔවුන් ගැන සෙවිල්ලක් සිදු වන්නේ නැහැ. මෙතැන ප‍්‍රායෝගික දෙපාර්ශ්වයක් නැහැ. සොයන්නේ ශ‍්‍රී ලංකාවේ නිත්‍යනුකූල සන්නද්ධ හමුදා පිළිබඳව විතරයි. තමන්ගේ රටේ පැවැති බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයක් පරාජයට පත් කළාට පස්සේ ඒ රටේ නිත්‍යනුකූල හමුදා පිළිබඳව සෙවීමට විදේශික රටවල විශේෂිත උවමනාවට අනුව විශේෂිත අධිකරණයක් පිහිටුවා ඇත්තේ ලෝකයේ කුමන රටේද? තමන්ගේ හමුදාවට එරෙහිව එහෙම කරපු රටක් මේ පෘථිවි තලය මත තිබෙනවාද?. තමන්ගේ නීත්‍යනුකූල හමුදා නිලධාරීන්ගේ ක‍්‍රියා කලාපයන් පිළිබඳව සෙවීමට පවතින නීතිය යටතේ අධිකරණ ක‍්‍රියාමාර්ග ගත් අවස්ථා ලෝකයේ තිබෙනවා. එදා ඇමෙරිකා එක්සත් ජනපද හමුදා විසින් වියට්නාමය තුළ දැඩි මර්දනයක් දියත් කරන අතර ‘මයිලාවි’ කියන ගම සම්පූර්ණයෙන් විනාශ කරනු ලැබුවා. මීට එරෙහිව දැවැන්ත ජාත්‍යන්තර මතයක් ආවා. ඒ නිසා ඇමෙරිකා එක්සත් ජනපදය ලෝකයට පෙනෙන්න, ඒ රටේ අධිකරණයට, තිබුණු නීති අනුව තමන්ගේ හමුදා ප‍්‍රධානියෙක් කැඳවූවා. නඩුව අහන කාලය තුළ අදාළ අධිකරණය ආසන්නයේ නිවසක ඔහුට පවුලේ සියලූ දෙනා සමග වාසය කිරීමට එදා ඇමෙරිකානු රජය ඉඩකඩ සලසා දුන්නා. ඔහු දඩුවම් වින්දෙත් ඒ නිවසට වෙලා. ලෝකයට පෙනෙන්න ඇමෙරිකාව එදා නඩු ඇහුවා. ඒත් ඒ හමුදා ප‍්‍රධානියාට අගතියක් වීමට කිසිඳු ඉඩක් තැබුවේ නැහැ. අපේ රටෙත් ගෙවී ගිය අවුරුදු 30 තුළ ඇතැම් සිදුවීම් පිළිබඳව පවතින නීතිය අනුව නඩු අහලා දඩුවම් ලබා දුන් අවස්ථාවන් දැක ගත හැකියි. ශ‍්‍රී ලංකා රජය ඇමෙරිකා එක්සත් ජනපද යෝජනාවේ පාර්ශ්වකරුවකු වීම මගින් ලෝකය හමුවේ පිළිගෙන හමාරයි ‘අපේ හමුදාව සමූහ ඝාතන කළා, යුද අපරාධ කළා ඔවුන් ගැන සොයන්න ඕනෙ’ කියලා.

බටහිර අධිරාජ්‍යවාදීන් සැලසුම් කළ ආකාරයට පත් කළ විපක්‍ෂ නායකවරයා, දෙමළ ජාතික සන්ධානයේ නායක, ආර්. සම්බන්ධන් අද කියනවා, ‘ඇමෙරිකානු යෝජනාව අපි සාදරයෙන් පිළිගන්නවා. මේක අපේ පරිශ‍්‍රමයේ ප‍්‍රතිළුලයක්’ කියලා. කොටි හිතවාදී ඩයස්පෝරාවේ සාමාජිකයන් අද ජිනීවා නගරයට රැස්වෙලා ඔල්වරසන් දෙනවා. යුද්ධයට එරෙහිව එදා ඊනියා සාමවාදී මතවාද පොම්ප කරපු රාජ්‍ය නොවන සංවිධානවල ගැත්තෝ අද රූපවාහිනි නාලිකාවල සංවාද පවත්වමින්, පත්තර පිටු පුරවමින් මේ මහා පාවාදීමට වෙනත් අර්ථකථනයක් දීමට උත්සාහ ගනිමින් සිටිනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම්වරයා කියනවා, ‘ඇමෙරිකානු යෝජනාවේ සැර ටිකක් අඩු වෙලා’ කියලා. මේක හරියට වදකයා රතු වද මල් මාලයක් දමා ගෙන එන කොට, ඔහු එන කාරිය අමතක කරන්න අර මල් මාලය ගැන වාර්ණනා කරනවා, වගේ වැඩක්. මෙවැනි තත්ත්වයක් තිබෙන නිසා අපට සිදු වෙනවා, අපි ඉදිරිපිට තිබෙන අභියෝගය හරි ආකාරයට හඳුනා ගන්න. රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට වස බෝතල් දෙන්න කතා කළ කෙනා දැන් කියනවා ‘ඇමෙරිකාවයි මේ ආණ්ඩුවයි යාළුයි. ඒ නිසා යාළුකමට පරණ ලිපිගොනු දැන් වහලා දාන්න යනවා’ කියලා. මේ විදිහට මේ නග්න පාවාදීම එක් එක් පුද්ගලයන් ලවා වර්ණ ගන්වලා ඊට එරෙහිව සක‍්‍රීය බලවේගයක් විදිහට මහජනතාවට නැගී සිටීම වැළැක්වීමේ මෙහෙයුමක් දැන් ක‍්‍රියාත්මක වෙමින් තිබෙනවා.

‘ජවිපෙ මර්දනයේදී ජිනීවා යෝජනා ආවාද?’

ශ‍්‍රී ලංකා හමුදා යුද්ධයෙන් පැරදිලා, කොටි සංවිධානය දිනුවා නම් ශ‍්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මාතෘකාවක් බවට පත් වෙනවාද? ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කළා. 60,000ක් දරුණු ලෙස මරා දැම්මා. පාරවල්වල, ගංගාවල මළ කඳන් ප‍්‍රදර්ශනය වුණා. ඒත් හ‍්‍රී ලංකාව ජිනීවාවල මාතෘකාවක් වුණේ නැහැ. ‘ඒ පිළිබඳව සෙවිය යුතුයි, විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතුයි’ කියලා යෝජනා ආවේ නැහැ. එදා සමූහ වශයෙන් මිනිස්සු මරපු තැන් තිබුණේ නැද්ද? ඒවා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නොවෙයිද? බටලන්ද වදකාගාරය එහෙම තැනක් නොවෙයිද? එහෙම නම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැන් ශ‍්‍රී ලංකාව ගැන සොයන්න මතක් වෙලා තියෙන්නේ ඇයි? මේ රට බෙදන්න හදන පිරිස්වල එක් උපායමාර්ගයක් මේ රටේ නීත්‍යනුකූල හමුදා විසින් වළක්වනු ලබපු නිසයි. ඊට නායකත්වය දුන්නා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන්, එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ඇතුළු මෙම ඡායාරූපයේ සිටින ආරක්‍ෂක හමුදා ප‍්‍රධානීන් හා ඊට පහළින් සිටින හමුදා ප‍්‍රධානීන් විශාල සංඛ්‍යාවක්. මුළුමහත් ජාතියක අපේක්‍ෂාවන් සඵල කිරීමට එදා මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සමත් වුණා.

එදා කොටි සංවිධානයේ නායකයන් බේරා ගැනීමට බටහිර බලවතුන් කොතරම් වලිකෑවාද? එවකට මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති රොබට් ඕ බිලේක් ඒ සඳහා යෝජනා කීයක් ඉදිරිපත් කළාද? එක්සත් ජනපද නාව්ක හමුදාවේ ‘මැරයින් බලකායේ’ නැවක් ගෙනවිල්ලා ශ‍්‍රී ලංකාව ආසන්න මුහුදු තීරයේ නවත්වා ගෙන සිටියේ නැද්ද? ඒ නැවෙන් කොටි නායකයින්ව රැගෙන යන්න සැලසුමක් තිබුණේ නැද්ද? යුද්ධය තියුණු ලෙස යන අන්තිම දින කිහිපයේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් ලංකාවට එන්න කොපමණ උත්සාහ කළාද? ඔහුගේ සැලසුම තිබුණේ කෙසේ හෝ ගැටුම් තිබුණු ප‍්‍රදේශයට යන්න. මට මතකයි ඇමෙරිකා එක්සත් ජනපදය මැරයින් බලකායේ නැවක් ගෙන ආපු වේලාවේ චීනය පැවසුවා, ‘අපිත් නැවක් ගෙනෙනවා’ කියාල. එහෙම රාජ්‍යතාන්ත‍්‍රික ප‍්‍රශ්නයක් මතු වුණාම තමයි ඇමෙරිකාව තම නැව ඉවත් කරවා ගත්තේ. කොටි නායකයින් ඒ විදිහට බේරාගත්තා නම් යුද්ධයට තිත තබන්න නොහැකි වෙනවා, කොමාවක් තමයි තබන්න වෙන්නේ. ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන් විසින් පිටුපස සිට මෙහෙයවනු ලැබූ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය තමයි අපේ වීරෝදාර ආරක්‍ෂක හමුදා විසින් එදා පරාජය කරනු ලැබුවේ. මේ බටහිර පිල්ලි විසින් මෙහෙයවනු ලැබූ බෙදුම්වාදී ත‍්‍රස්ත කල්ලිය ලැබූ පරාජයම යළි මේ රට කැබලි කිරීමේ ඔවුන්ගේ මෙහෙයුමේ අඩිතාලම බවට පත් කර ගත යුතු නිසයි ශ‍්‍රී ලංකාව අද ජිනීවාවල මාතෘකාවක් බවට පත් වී ඇත්තේ.

මෙම තත්ත්වය වඩා හොඳින් තේරුම් ගැනීමට මම ඔබට ඉදිරිපත් කරන්නම් ජනවාරි 08 වැනිදායින් පස්සේ ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරයාට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා යැවූ ලිපියක්. ඒ ලිපියේ එක තැනක මෙහෙම සඳහන් වෙනවා. ‘අර්බුදයට පත් වූ ප‍්‍රදේශවල සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමේ පියවරක් වශයෙන් උතුරු හා නැග‍ෙනහිර පළාත්වල හමුදා ආණ්ඩුකාරවරුන් ඉවත් කොට ගෞරවනීය සිවිල් නිලධාරී පත් කිරීම, නව රජය බලයට පත් වූ විගස සිදු කරන ලදී. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සනාථ කරමින් මාධ්‍යවේදීන් වෙත පනවා තිබූ සීමා බන්ධන ක්‍ෂණිකව අක‍්‍රීය කරන ලදී. තහනම්කර තිබූ වෙබ් අඩවි නොපමාව සක‍්‍රීය කෙරිණි. (‘ටැමිල් නෙට්’ ද ඇතුළුව) මෙරටට පැමිණීමට අපේක්‍ෂා කරන සියලූම විදේශ මාධ්‍යවේදීන්ට මෙරටට පැමිණ කිසිඳු බියක් සැකක් නොමැතිව සංචාරයකර ප‍්‍රවෘත්ති වාර්තා කිරීමේ නිදහස උදා වී ඇත.(කැලම් මැක්රේ ද ඇතුළු)

රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ආරක්‍ෂක අමාත්‍යාංශ රාමුවෙන් ඉවත් කර ප‍්‍රතිපත්ති සැලසුම් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත් කිරීමෙන් මානව අයිතිවාසිකම් ක‍්‍රියාකාරීන් ඇතුළු මානව හිමිකම් ප‍්‍රජාව සහ සිවිල් සමාජය සමග ක‍්‍රියාකාරීව බැඳීම සනිටුහන් කරමින් රජය විසින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ඇතුළු සිවිල් සමාජ සමග ක‍්‍රියාකාරකම් අරඹා ඇත.’ මේ සියල්ලම දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම්.

ඊළගට කියනවා, ‘පීඩිතයන්ට හා සාක්‍ෂිකරුවන්ට රැකවරණය ලබා දෙන පනත සම්මත කිරීමේ කටයුතු පාර්ලිමේන්තුව විසින් සිදු කරනු ඇත. අධිආරක්‍ෂිත කලාප පිළිබඳව සමාලෝචනයක් සිදු කෙරේ. මෙම ක‍්‍රියාවලිය සිදු වන අතර උතුරු – නැග‍ෙනහිර පළාත්වල සාමාන්‍ය ජනතාවට ලබාදීමට නියමිත ඉඩම් හඳුනා ගෙන ඇත. යුද අපරාධ පිළිබඳ රෝම ආඥා පනතට ශ‍්‍රී ලංකාව අත්සන් තබා නොමැති බැවින් එවන් කරුණු පිළිබඳව සාධාරණත්වය ඉටු කිරීම ජාතික ස්වාධීන අධිකරණ යාන්ත‍්‍රණයක වගකීම වේ.’ කියලා.

‘රයන් ගුඞ්මාන්ගේ ලිපිය’

අපි රෝම ප‍්‍රඥප්තියට අත්සන් තබලා නැති නිසා ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරිපිටට රැගෙන යාමට බැහැ. ඒ නිසා අපි ලංකාවේදී ඒ වැඬේ කරනවා කියලයි ඉහත පවසා ඇත්තේ. මේ සියල්ල කියලා මංගල සමරවීර මහතා ඉල්ලා සිටින්නේ, ‘ශ‍්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයේ 29 වැනි සැසි වාරයට දාන්න එපා. 30 වැනි සැසි වාරයට ඉදිරිපත් කරන්න’ කියලයි. ශ‍්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මාතෘකාවක් වීම සහ මංගල සමරවීර මහතා මානව හිමිකම් කොමසාරිස්වරයාට ලබා දුන් සහතිකය අතර ඇති සම්බන්ධතාවය කුමක්ද? මංගල සමරවීර මහතා නොකියා කියන්නේ කුමක්ද? ‘අපට කාලය දෙන්න. අපි ඔබ කියන සියල්ල ඉටු කිරීමට සූදානම්’ කියලයි. ‘අපට මහ මැතිවරණයක් තිබෙනවා. ඊට කලින් අපි මේ නැටුම නැටුවොත් විවිධ කල්ලි කණ්ඩායම් එකතු වෙලා ලබා ගත් අපේ බලය මහ මැතිවරණයේදී ගිලිහෙන්න පුළුවන්. මහින්ද රාජපක්‍ෂ සතුරා යළි බලයට එන්න පුළුවනි. අතිගරු කුමාරයාණෙනි කරුණාකර අප ගැන සිතා මේ වාර්තාව එළිදැක්වීම කල්දාන්න’ කියලයි මංගල සමරවීර මහතා මෙම ලිපියෙන් මානව හිමිකම් කොමසාරිස්වරයාගෙන් බැගෑපත්ව ඉල්ලා තිබෙන්නේ.

මේ බව තවදුරටත් තහවුරු වෙනවා, 2015-01-19 දින ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ශ‍්‍රී ලංකාව පිළිබඳ පළ වූ පහත ලිපියෙන්. ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින රාජ්‍යතාන්ත‍්‍රික දූත සේවාවල නිතර වන බොහෝ නිලධාරීන් පරිශීලනය කරන පුවත්පත වන්නේ ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතයි. එම පුවත්පතට බොහෝ ලිපි සපයන්නෙත් විශ‍්‍රාම ගිය ඇමෙරිකානු රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරීන් සහ ඔත්තු සේවා නිලධාරීන් විසින් මෙම ලිපිය ලියා ඇත්තේ නිව්යෝක් සරසවියේ දේශපාලන විද්‍යාව සහ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන රයන් ගුඞ්මන් මහතා විසින්.

‘දෙමළ කැරැල්ල 2009දී පාගාදමා ඉන්පසුව තම සහෝදරයා ආරක්‍ෂක ලේකම්වරයා ලෙස රදවා ගෙන ඒකාධිපතිවාදය කරා ගිය ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඉවත් කර දැමීමට එහි ඡන්දදායකයෝ පියවර ගත්හ. එමගින් ඔවුන් තම රට පමණක් නොව ලෝකයම විමතියට පත් කළහ. මාධ්‍ය නිදහස, විනිශ්චයකරුවන්ගේ නිදහස, ආගමික නිදහස සහ සුළුතර ජනවර්ගවල නිදහස, යළි තහවුරු කිරීමට නව ජනාධිපතිවරයා ප‍්‍රතිඥා දී තිබේ.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්, ජෝන් කෙරී ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්‍ෂකයින් පවසන්නේ මෙය ශ‍්‍රී ලංකාව තුළ නව යුගයක් ආරම්භ කිරීම සඳහා දශකයකට පසුව ලැබුණු වැදගත් අවස්ථාවක් බවය.’ කියමින් ඔහු ලිපිය අරඹා තිබෙනවා.
‘එබැවින් රාජපක්‍ෂ මහතා යළි බලයට පත්වීමේ තර්ජනය අතුගා දැමීම මගින් තම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණය රැුක ගැනීමට තීරණාත්මකව ක‍්‍රියා කිරීම නව රජයේ යහපතට හේතු වේ. ගෝඨාභයගේ සහෝදරයා වන මහින්ද රාජපක්‍ෂ විසින් ප‍්‍රබල විපක්ෂයේ පාලනය සියතට ගැනීමට සමත් වුවහොත් මෙය සිදුවීමේ(ගෝඨාභය නැවත හිස එසවීමේ) නිසැක අවකාශයක් පවතියි.
දැන්ම රාජපක්‍ෂ මහතා කොන් කිරීම වැදගත් වන්නේ එහෙයිනි. යුද අපරාධ විභාග කිරීම සඳහා විදේශීය මැදිහත්වීම නැවැත්වීමේ අටියෙන් අපරාධ පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණයකට තමන් සූදානම් බව නව ජනාධිපති සිරිසේන මහතා පෙන්වා දී තිබේ. යම් යම් යුද අපරාධ සම්බන්ධයෙන් විභාග කිරීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශකයා විසින් පවසා තිබේ. සිවිල් යුද්ධය අවසන් දවසේදී සුදු කොඩි රැගෙන යටත්වීමට ආ කොටි නායකයින් හමුදා සෙබළුන් විසින් මරා දමන ලදැයි චෝදනා එල්ල වන සිදුවීම එබඳු එක් යුද අපරාධයකි. ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශකයාගේ එම ප‍්‍රකාශය අතිශය වැදගත් කමක් සහිත එකකි. මන්දයත් බොහෝ ශ‍්‍රී ලාංකිකයන් දන්නා පරිදි සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද කොංග‍්‍රස් මණ්ඩලයට වාර්තා කළ පරිදි ‘‘උන් ඔක්කොම මරන්න ඕනෑ’’ යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළ බව එවකට සිටි හමුදා ප‍්‍රධානියා විසින් ප‍්‍රකාශ කොට තිබුණි. යුද අපරාධ අධිකරණය හමුවේ සාක්‍ෂි දීමට ද තමා සූදානම් යැයි ඔහු පසුව තවදුරටත් පැවසීය.’ මේ කියන්නේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පිළිබඳවයි.

‘රාජපක්‍ෂ පාලනය අවසන් කිරීමේ මෙහෙයුම’

නැවත ශ‍්‍රී ලංකාව අස්ථාවර කිරීමේ මෙහෙයුමේ පූර්ව කොන්දේසියක් වුණා රාජපක්‍ෂ පාලනය අවසන් කිරීම. මේ බව ශ‍්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ මෙහෙයුමෙහි නිරතව සිටි ඉන්ටර්නැෂනල් ක‍්‍රයිසිස් ගෲප්හි ප‍්‍රධානියා ඇලන් කීනත් ඉතා පැහැදිලිව 2013දී පවසා තිබුණා. ‘රාජපක්‍ෂ පාලනය අවසන් කරන තෙක් ඉවසන්න’ කියලයි ඔහු ඩයස්පෝරාවට පැවසුවේ. ඉන්දීය රෝ ඔත්තු සේවයට උපදෙස් දෙන අශෝක් මේතා මහතා සිය ලිපිවලින් කිහිප වරක් අනාවරණය කොට තිබුණා ‘රාජපක්‍ෂ පාලනය පෙරළීමට සිංගප්පූරුවේදී සහ ලංකාවේදී මා වසර 02ක් තිස්සේ විවිධ පුද්ගලයන් හමුව සාකච්ඡා කළා’ කියලා. ඒ වගේම එරික් සෝල්හයිම්, ජෝන් කෙරී වගේ අයත් කියනවා, ‘මහින්ද රාජපක්‍ෂ පාලනය පෙරලීමේ ගෞරවය අයිති අපටයි’ කියලා. ඉන්දීය ජනරජ දිනයේදී ඉන්දියාවට පැමිණි ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සිය කතාවේදී පැවසුවා ‘මියන්මාරයේ සහ ශ‍්‍රී ලංකාවේ සිදු කරන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී බල පෙරළිවලට සහාය දැක්වීම පිළිබඳව මා ඉන්දියාවට ස්තූතිවන්ත වෙනවා’ කියලා.
මේ අනුව ඉතා පැහැදිලියි, දෙවන දෙමළ ඊළාම් මෙහෙයුම ආරම්භ කිරීමේ පූර්ව කොන්දේසිය ‘මහින්ද රාජපක්‍ෂ පාලනය පලවා හැරීම’ කියලා. නිකම් පලවා හරින්න බැහැ. ජිනීවාවලට සමූහ මිනිස් ඝාතන චෝදනාවක් රැගෙන එන්න ඕනෙ. මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා රැගෙන එන්න ඕනෙ.
දැන් බලන්න, හිටපු අගවිනිසුරුවරිය ඉවත් කළේ ව්‍යවස්ථාවෙහි සඳහන් නිසි ක‍්‍රියාපටිපාටිය අනුගමනය කරලයි. ඒත් එය නීතියේ ආධිපත්‍යයට එල්ල කරන ලද ‘මරු පහරක්’ බවයි අද ජිනීවා යෝජනා ගෙන එන අය පෙන්වා දුන්නේ. ඒත් බලන්න මොහාන් පීරිස් හිටපු අගවිනිසුරුතුමන්ව ඉවත් කළ අන්දම. අගවිනිසුරුවරයකු ඉවත් කිරීමට අදාළව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති එක අකුරක්වත් නොතකා හරිමින් තමයි හිටපු අගවිනිසුරුවරයා කනෙන් අල්ලා එළියට දැම්මේ. එතුමා නැති වේලාවේ පුටුවේ වාඩි වුණා. එවැනි ජවනිකා දකුණු ඉන්දියානු චිත‍්‍රපටවල නම් තිබෙනවා. ඒකට බටහිරින් නිවේදන එනවා, ‘ශ‍්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සුරැකීමට ගත් පියවර අපි බෙහෙවින් පැසසුමට ලක් කරනවා’ කියලා.
රාජපක්‍ෂ පාලනය එලවීම රනිල් වික‍්‍රමසිංහට තනිවම කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒකට රතු අලි පැටියාගේ, හෙළ බොදු අලි පැටවුන්ගේ, සෝභිත හාමුදුරුවන්ගේ, සරත් විජේසූරිය වැනි නානාප‍්‍රකාර විදග්ධයන්ගේ උදව් ඕනෙ වුණා. රාජපක්‍ෂ පාලනය පලවා හැරීම රසවත් දෙයක් බවට පත් කිරීමට මේ අය හොඳ හැටි රස කාරක දැම්මා. අවසානයේදී මේ අය එකතුවෙලා රාජපක්‍ෂ පාලනය පන්නා දැම්මා. දැන් බලන්න පරාජයට පත් වෙලා තියෙන්නේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්, ඒ මතවාදය දරන පිරිස විතරනේ. දැන් අනෙක් අය 08 වැනි පාර්ලිමේන්තුවේ අටවපු ආණ්ඩුවේ ඉන්නවානේ. ජාතික ආණ්ඩුවක් යැයි කියා ගන්නා දෙමුහුන් ආණ්ඩුවක් හදලා අද 2/3කුත් හදාගෙන තිබෙනවානේ. ‘යහපාලනය’ විසින් පරිභවයට ලක් කළ අයත් අද ඇමති මණ්ඩල සමූහ ඡායාරූපයේ ඉන්නවානේ. හොරු ඇල්ලීමේ මහා වීරයා, රන්ජන් රාමනායක සමග මීගමුවේ මන්ත‍්‍රී ලන්සා එකට ඉන්නවානේ. දැන් පැහැදිලිව පෙනෙනවානේ, තමුන් එතනෝල්කාරයෝ, කුඩුකාරයෝ කියපු අය නොවෙයිනේ සැබෑ ප‍්‍රශ්නේ වෙලා තිබුණේ කියලා. ඒවා බොරු ප‍්‍රශ්න විතරයි. එහෙම නම් ජනවාරි 08 වැනිදා ආරම්භ කරන ලද අගෝස්තු 17 වැනිදා තහවුරු කරන ලදැයි කියන ‘දේදුනු විප්ලවයෙන්’ කුමක්ද සිදු කරලා තියෙන්නේ? බටහිරට, ඩයස්පෝරාවට එලවා ගන්න ඕනෙ වුණු රාජපක්‍ෂ බලවත් ජනාධිපතිවරයාගේ ග‍්‍රහණයෙන් රාජ්‍යය නිදහස් කර ගැනීම.

‘මෙලොව නොතේරෙන පඹයෝ’

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය යම් රටකට එරෙහිව යෝජනාවක් සම්මත කළාට ඒ රට බැඳී නැහැ එම යෝජනාව ක‍්‍රියාත්මක කිරීමට. ඕනෙ තරම් යෝජනා තිබෙනවා ඔවුන් සම්මත කළාට අදාළ රටවල් ගණන් නොගෙන සිටින. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට බැහැ රටකට එරෙහිව සම්බාධක පැනවීමට. රනිල් වික‍්‍රමසිංහ මහත්තයාම කියනවානේ ‘අපි රෝම ප‍්‍රඥප්තියට අත්සන් කරලා නැහැ. ඒ නිසා අපිව අන්තර්ජාතික අපරාධ අධිකරණයට රැගෙන යන්න බැහැ’ කියලා. යුද අපරාධ පිළිබඳ ක‍්‍රියාදාමය ලෝකය තුළ ක‍්‍රියාත්මක වෙලා තිබෙනවා ආකාර තුනකට. රෝම ප‍්‍රඥප්තියට අත්සන් කළ රටවල නායකයන්ව, හමුදා නිලධාරීන්ව අන්තර්ජාතික අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කරන්න පුළුවන්. අනෙක් ක‍්‍රමය තමයි එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය විසින් ගනු ලබන තීරණයක් අනුව යම් රටක් යුද අපරාධ අධිකරණයකට ඉදිරිපත් කිරීම. නමුත් එවැනි යෝජනාවක් අප වැනි රටවලට එරෙහිව ආරක්‍ෂක මණ්ඩලයට ආවාම චීනය හා රුසියාව විරුද්ධ විය හැකි නිසා එයත් සාර්ථක වීමට ඇති ඉඩකඩ අඩුයි. තුන්වැනි ක‍්‍රමය තමයි අදාළ රටේ එකගතාව අනුව එවැනි අපරාධ අධිකරණයක් පිහිටුවීම. කාම්බෝජයේ ඒක කළා. නමුත් ඒක කළේ පොල්පොට්ගේ ක‍්‍රියාකාරීත්වය හොයන්න. සියෙරා ලියෝන්වල මේ දෙය කළා. සියෙරා ලියෝන් කියන්නේ, සම්පත් කොල්ල කෑමට භාජනය වූ අසමත් රාජ්‍යයක්. ඒ වගේ දුර්වල රටක කැමැත්තෙන් එවැනි අධිකරණයක් පිහිටුවලා තියෙනවා. ශ‍්‍රී ලංකාව තුළත් අද මේ පණ ගැන්වෙන්නේ මේ තුන්වැනි ක‍්‍රමයයි. එය කළ හැක්කේ අදාළ රටේ එකගතාවයෙන් පමණයි. මේ ආණ්ඩුව අද සිදු කර ඇත්තේ එකගතාව ලබාදීම. ශ‍්‍රී ලංකා රජය එකග නොවන්නේ නම් මානව හිමිකම් කවුන්සිලය කවර යෝජනා සම්මත කළත් එහි නීත්‍යනුකූල හමුදාවන්ට එරෙහිව විශේෂිත අධිකරණයක් පිහිටුවලා නඩු අහන්න බැහැ. අද මේ යෝජනාව එන්නේ එක්සත් ජනපද – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ යෝජනාවක් විදිහටයි. රාජපක්‍ෂ පාලනය තිබුණා නම් තුන්වැනි ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීමට හැකි වන්නේ නැහැ. ඒ නිසා මේ තුන්වැනි ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන්නත් රාජපක්‍ෂ පාලනය එලවලා එලොව, මෙලොව නොතේරෙන පඹයෝ පුටුවල වාඩි කරන්න ඕනෙ වුණා.

ශ‍්‍රී ලංකා සන්නද්ධ හමුදාවලට එල්ල කොට ඇති චෝදනා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවෙන් සහ ඇමෙරිකා එක්සත් ජනපද යෝජනාවෙන් ශ‍්‍රී ලංකා සන්නද්ධ හමුදාවලට ඉදිරිපත් කොට ඇති චෝදනා මොනවාද? නීතිවිරෝධී මිනීමැරුම්, ලිංගික හා ස්ත‍්‍රී පුරුෂභාවය පදනම් කොටගත් ප‍්‍රචණ්ඩත්වය, බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් කරවීම්, වධහිංසා හෝ වෙනත් කුරිරු හා අමානුෂික සැලකීම්, සාමාන්‍ය ජනතාවට සහ පොදු ස්ථානවලට ප‍්‍රහාර එල්ල කිරීම. එය තමයි දරුණුතම චෝදනාව වී ඇත්තේ. මෙතැනදී තමයි, ‘සමූහ මිනිස් ඝාතන සිදු කළා’ කියා තහවුරු කරන්න හදන්නේ. සමූහ මිනිස් ඝාතනය කියන්නේ ලොව සිදු කළ හැකි බරපතළම අපරාධයයි. ඒ අනුව තමයි යුද අපරාධ චෝදනා නැගිය හැක්කේ. යුද්ධය අවසන් දිනවල අපි රූපවාහිනී නාලිකාවලින් දුටුවා, කොටි ත‍්‍රස්තවාදීන් රෝහල් භූමිවල පවා බර ආයුධ ස්ථාගත කර තිබූ ආකාරය, ඔවුන් ආයුධ අත දරා ගෙන සාමාන්‍ය ඇඳුමින් සැරසී සටන් වැදුණු ආකාරය. නමුත් මෙම වාර්තාවේ සඳහන් වන්නේ ශ‍්‍රී ලංකා හමුදාවන් රෝහල්වලට පවා ෂෙල්වෙඩි ප‍්‍රහාර එල්ල කළ බවයි.

ඊළග චෝදනාව තමයි, මානුෂීය ආධාර නැවැත්වීම. මේක සම්පූර්ණයෙන් අසත්‍යයක්. යුද්ධය අවසන් වූ පසු UNDP ශ‍්‍රී ලංකා නියෝජිතයා ප‍්‍රසිද්ධියේ පැවසුවා, ‘ශ‍්‍රී ලංකාව කවර දුෂ්කරතා තිබුණත් මානුෂීය ආධාර සැපයීම නිසි පරිදි සිදු කළා’ කියලා. විවෘත නොවූ කඳවුරුවල අභ්‍යන්තර අවතැන්වූවන් රැදවීම කියන චෝදනාවක් මෙහි සඳහන් වෙනවා. නමුත් අපි පැහැදිලිව දන්නවා, මෙවැනි බිහිසුණු යුද්ධයකින් පසුව ලෝකයේ කවර රටක් වුවත් මෙතරම් ඉක්මනින් අවතැන් වූවන් යළි තම ගම්බිම්වල පදිංචි කළේ නැහැ කියා. අවුරුදු 03-04ක් ගියෙත් ඇයි? බිම් බෝම්බ ඉවත් කිරීමට සිදු වූ නිසා. බිම් බෝම්බ ඉවත් කිරීමට බටහිර රටවලින් උදව් ඉල්ලූවාම ඔවුන් බැහැ කීවා. බිම් බෝම්බ ඉවත් කිරීමේ පුරෝගාමී කටයුත්ත සිදු කළෙත් අපේ ආරක්‍ෂක හමුදා විසින්මයි. බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුත්තට සාපෙක්‍ෂ්ව තමයි ගම්බිම්වල යළි පදිංචි කිරීම සිදු වුණේ. මෙවැනි චෝදනා හිතාමතාම දමන්නේ මානුෂීයවාදී නීති යටතේ ඒවා ඔප්පු වුවහොත් බරපතළ වැරදි බවට පත්වන නිසයි.
ඇමෙරිකාව ගෙන එන ලද ශ‍්‍රී ලංකාව එකග වන ලද යෝජනාව මගිනුත් වෙනත් ආකාරයකට මෙම චෝදනාම ඉදිරිපත් කොට තිබෙනවා. එහෙත් එම යෝජනාව මගින් නිර්දේශ කොට ඇති කරුණු සලකා බැලීමේදී පෙනී යන්නේ එමගින් ඉටු කොට ගන්නට යන්නේ යුද අපරාධ චෝදනා ඔප්පු කර ගැනීම පමණක් නොවන බවයි. මේ නිර්දේශවල තිබෙනවා, ‘13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම’ පිළිබඳවත්, ඒ වගේම මානව හිමිකම් කොමසාරිස්වරයා තම වාර්තාවෙන් කියනවා, ‘ශ‍්‍රී ලංකාවට පළල් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි’ කියලා. මෙතැන දී මේ සුද්දෝ ටික ඔප්පු කළොත් අපේ ආරක්‍ෂක හමුදාවන් දෙමළ ජනතාවට එරෙහිව සමූහ මිනිස් ඝාතනයක් සිදු කොට තිබෙනවා කියා එයම ප‍්‍රමාණවත් ඔවුන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ අනුග‍්‍රහය යටතේ වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීමට. මේ විවෘත කරන්නේ ඒ මහා දොරටුව.

අණ වෙනුවට ‘අං’ දුන්නේ කවුද?

මංගල සමරවීර මහතා පසුගියදා දිවයින පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් මා මෙහිදී උපුටා දක්වන්නට කැමතියි. එහි ශීර්ෂ පාඨය වන්නේ ‘හයිබි‍්‍රඞ් අධිකරණයෙන් සොයන්නේ යුද අපරාධ සිදු කිරීමට අණ දුන් අය පිළිබඳවයි’ යන්නයි. ඒ අනුව මංගල සමරවීර මහතා පිළිගෙන ඉවරයි, ’ශ‍්‍රී ලංකා සන්නද්ධ හමුදා යුද අපරාධ සිදු කළා’ කියලා. දැන් සූදානම් වන්නේ ඊට අණ දුන් පිරිස් සොයන්නයි. ‘අපට සොයන්න වෙන්නේ තුවක්කුව පත්තු කළ හමුදා සෙබළාට වඩා එසේ කිරීමට අණ දුන් ඔහුගේ ප‍්‍රධානියා පිළිබඳවයි’ කියලා එහි සඳහන් වෙනවා. ‘රකින්න පරපුරක් නැති’ මංගල සමරවීර මේ වගේ දේවල් කිසිදු බරපතළක් නොමැතිව කියා ගෙන යනවා.

පිටු 261කින් යුත් මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ 53 වැනි පිටුවේ සහ තවත් පිටු ගණනාවක 53,57,58 සේනාංක, රහස් පොලිසිය, ත‍්‍රස්ත මර්දන ඒකකය, බුද්ධි අංශ නම් කරලා තියෙනවා. සිරිසේන ජනාධිපතිතුමා සහ රනිල් අග‍්‍රාමාත්‍යතුමා කියනවා ‘අපි රණවිරුවන්ගේ නම් වාර්තාවට ඇතුළත් වීම වැළැක්වූවා’ කියලා. සේනාංකවල නම් වාර්තාවේ තිබෙනවා කියන්නේ ඒවායේ ප‍්‍රධානීන් ලෙස කටයුතු කළ අයගේ නම් වාර්තාවේ ඇතුළත්ව තිබෙන බවයි.

ඒ අනුව මේ වාර්තාවේ මේජර් ජනරාල් ජගත් ජයසුරීය, මේජර් ජනරාල් කමල් ගුණරත්න, බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වා, බි‍්‍රගේඩියර් නන්දන උඩවත්ත, මේජර් ජනරාල් ෂවේන්‍ද්‍ර සිල්වා, බි‍්‍රගේඩියර් චාගී ගාල්ලගේ, බි‍්‍රගේඩියර් ප‍්‍රියන්ත නාපාගොඩ, කර්නල් අතුල කොඩිප්පිලි, මේජර් ජනරාල් ජගත් ඩයස්, බි‍්‍රගේඩියර් රෝහණ බණ්ඩාර, බි‍්‍රගේඩියර් සත්‍යපි‍්‍රය ලියනගේ, කර්නල් ජී.වී. රවිප‍්‍රිය යන අයගේ නම් තිබෙනවා. ඒ අනුව වාර්තාවේ නැත්තේ එවකට ත‍්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නම්, සිවිල් ආරක්‍ෂක බලකායේ ප‍්‍රධානියාගේ නම, ආරක්‍ෂක ලේකම් හා සේනාධිනායක යන අයගේ නම් පමණයි. නමුත් ඉහත කී නිලධාරීන් සියලූ දෙනාට අණ දී තියෙන්නේ ත‍්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්‍ෂක ලේකම් හා සේනාධිනායකයා විසිනුයි. යුද හමුදාපතිවරයා යුද්ධය අවසන් දින කිහිපයේ ශ‍්‍රී ලංකාවේ සිටියේ නැහැ. ඒ නිසා ඒ දිනවල යුද හමුදාවට අණ දී තිබෙන්නේ ආරක්‍ෂක ලේකම්වරයායි. ඒ වගේම යුද්ධය අවසන් දින 05 තුළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිටියේත් රටෙන් බැහැරව ජෝර්දානයේ. වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා වූයේ වත්මන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමායි. ඔහුව මේ සුද්දන්ගේ උසාවියට කැඳවූවොත් ඔහු කියාවි ‘මම වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස නමට හිටියා තමයි. ඒත් යුද්ධයට අණ දුන්නේ, ඔක්කොම කළේ ආරක්‍ෂක ලේකම්වරයායි’ කියලා. යුද්ධයක් දිනන්න පුළුන් වන්නේ හරියට අණ දුන්නොත් විතරයි. එදා චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේ දුන්නේ අණ නොවෙයි අං. අද සිදු වන්නේ, විරුවෝ මරුවෝ කරලා මරුවෝ විරුවෝ කරන එකයි. යුද්ධය කරන්න අණ දීපු නායකයන් සිරගෙට දමන අතරේ රට වනසපු කොටි ත‍්‍රස්තවාදීන් එළියට ගන්න ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න මේ අය සූදානම් වෙනවා.

මේ බිම බෙදා වෙන් කිරීමට අවි අතට ගෙන ත‍්‍රස්තවාදී ක‍්‍රියාවල නිරතව සිටියදී අතුරුදහන් වූ ත‍්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමට මේ ආණ්ඩුව අද කැබිනට් පත‍්‍රිකාවක් රැගෙනවිත් තිබෙනවා. ලබන වසර අගවීමට මත්තෙන් උතුරෙන් සියලූ හමුදා කඳවුරු ඉවත් කිරීමට මේ ආණ්ඩුව සූදානම් බව ඇමෙරිකානු යෝජනාවට එකගතාව පළ කිරීමෙන් පෙනී යනවා.

‘අලි මදිවාට හරක්’

‘හනුමන් බි‍්‍රඡ්’ නමින් හඳුන්වන(දකුණු ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට ශ‍්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දක්වා) පාලමක් හදන්න රුපියල් කෝටි 74,000ක් වැය කරන්න ඉන්දියාව සූදානම් වෙනවා. අනෙක් පැත්තෙන් මේ රටේ සේවා ආර්ථිකය ඉන්දියාවට ගිලගැනීමට හැකිවන පරිදි සීපා ගිවිසුම වෙනත් නමකින් රැගෙන එන්න හදනවා. මේ දෙකම ක‍්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව එකගතාවය පළ කොට තිබෙනවා. එහෙම වුණොත් මේ රට ඉන්දියාවේ 26 වැනි ප‍්‍රාන්තය බවට පත් වේවි. මේ මහා පාවාදීමේ මෙහෙයුම අනෙක් පසට හැරවීමේ ජන බලය කුළුගැන්වීමේ වගකීම ඔබ අප සියලූ දෙනා සතුයි.’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015.09.28

1 2 5 6 7 10 16 4

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*