BREAKING NEWS

භාණ්ඩාගාර බැඳුම්කර මගඩිය පිළිබද සාකච්ඡා කිරීම සඳහා සර්වපාක්‍ෂික නියෝජිත කැඳවීම

අතිගරු ජනාධිපති,
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

ජනාධිපතිතුමනි,

භාණ්ඩාගාර බැඳුම්කර මගඩිය පිළිබද සාකච්ඡා කිරීම සඳහා
සර්වපාක්‍ෂික නියෝජිත කැඳවීම

ඔබතුමා විසින් ජනාධිපති ලේකම්වරයා හරහා ජාතික නිදහස් පෙරමුණ වෙත එවන ලද 2018-01-26 දිනැති ලිපිය හා බැඳේ.

ඕනෑම රටක සෑම ශිෂ්ටසම්පන්න ආණ්ඩුවක් පමණක් නොව දේශපාලන පක්ෂ, සංවිධාන සහ පොදු මහජනයා විසින් ද වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද දූෂණයට, වංචාවට සහ අල්ලසට එරෙහිව කළ හැකි සියලු දේ කළ යුතු ය.

එම පොදු පිළිගැනීම පිළිබඳව ක්‍රිස්තු පූර්ව 4 වැනි ශතවර්ෂයේ දී වානක්‍ය හෙවත් කෞටිල්‍ය පඬිතුමා විසින් ද සඳහන් කරන්නට යෙදිණි. ඒ නිසා ඒ පිළිබඳ අපට විවාදයක් නැත. නමුත් වංචා දූෂණ පිළිබඳව පමණක් කතා කරමින් රට හමුවේ පවතින සෙසු බරපතළ ප්‍රශ්න යටපත් කිරීමට ද ඉඩ දිය යුතු නොවේ.

බැඳුම්කර වංචාව අප රටේ ඉතිහාසයයේ සිදු වූ බරපතළම සහ නිර්ලජ්ජිතම මූල්‍ය මංකොල්ලය බව සියලු රටවැසියන් විසින් දැන් පිළිගෙන හමාර ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට අසුන් ගන්නා විනිසුරුවරුන් දෙදෙනෙකු ගෙන් සමන්විත වූ ජනාධිපති කොමිසම මගින් ඊට අදාළව චූදිතයන් වූ පිරිස් වැරදිකරුවන් බවට සාක්ෂි ඉදිරිපත් කොට ඇත. ඒ පිළිබඳව අපට තවදුරටත් වාද කිරීමට දෙයක් නැත. දැන් අවශ්‍ය වන්නේ චූදිතයන්ට විරුද්ධව වහා නඩු පැවරීම ය. ඒ සඳහා නව නීති රිති අවශ්‍ය නැත. බලධාරීන්ට අවශ්‍ය නම් තිබෙන නීති යටතේ වහා එම ක්‍රියාවලිය ආරම්භ කළ හැකි බව නීති විශාරදයින්ගේ මතය වේ. නමුත් සිදු නොවන්නේ ද එයම ය. එපමණක් නොව ජනාධිපති කොමිසම හමුවේ ඉතා දක්ෂ ලෙස සාක්ෂි මෙහෙය වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නඩු පැවරීමේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමෙන් මහජනයාට ලබා දෙන සංඥාව කුමක් ද?

ඔබතුමා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙන්ම ඔබතුමාලාගේ ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ද බැඳුම්කර නාඩගම රඟපාමින් සමස්ත මැතිවරණ කාලයම ගෙවා දැමීමට සූදානම් වන බව පෙනේ. ඒ තුළ රට බෙදීමේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය, බෙදුම්වාදීන් සතුටු කිරීම සඳහා කරනු ලබන ආරක්ෂක හමුදා දුර්වල සහ දුර්මුඛ කිරීමේ ක්‍රියාවලිය, රාජ්‍ය දේපළ තුට්ටු දෙකට විකුණාගෙන කෑම ආදී සෙසු බරපතළ ජාතික ගැටළු හිතාමතා යටපත් කෙරෙන බවක් දැකිය හැක. පසුගිය වසර 3 තුළ රටේ ආර්ථිකයට සිදු වූ විනාශය තව වසර තිහක් ගත වුව ද නිවැරදි කළ නොහැකි තරම් බරපතළ වේ. උදාහරණයක් ලෙස බැඳුම්කර මගඩියට වගකිව යුතු දෙවන පෙළ නායකත්වයක් පාන්පිටි සහ කිරිපිටි සමාගම්වලට අසීමිත බදු සහන ලබා දීම නිසා වී ගොවිතැනට සහ කිරි ගොවිතැනට සිදු වන දීර්ඝකාලීන අනර්ථය යටපත් වී ඇත.

එම ඇමැතිවරයා විසින් කොමිස් ගැසීම සඳහා එම සමාගම්වලට ලබා දෙන සහනාධාරයේ ප්‍රමාණය වසරකට රුපියල් මිලියන 52,000කි. ඊට ලැබෙන කොමිස් මුදල 20%ක් ලෙස ගණන් බැලූව ද එම ප්‍රමාණය රුපියල් මිලියන 10,000කට වැඩි වේ. ඒ අනුව එම වංචාව දෙවැනි වන්නේ මහා බැඳුම්කර වංචාවට පමණි.

මේ මහා පින්තූරය පිළිබඳ ඔබතුමා මුනිවත රකියි. ඊට අමතරව දූෂණ, වංචා මුලිනුපුටා දැමීමේ නාමයෙන් බලයට පත්වූ ඔබතුමා පළමු වටයේ දී බැඳුම්කර වංචාව හෙළිදරව් කරමින් නිකුත් කළ ‘ඩිව් ගුණසේකර වාර්තාව’ යටපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඔබතුමාට එම වගකීමෙන් නිදහස් වීම සඳහා සහ මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා කතා පැවැත්වීමෙන් ඔබ්බට ගොස් වහා ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සිදු වේ. එම දිනයේ දී ඔබතුමාගේ කාරුණික ඉල්ලීම සලකා බැලමට අපි කටයුතු කරන බව ගෞරවයෙන් දන්වා සිටිමු.

මෙයට,
විශ්වාසී,

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2018.01.29

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    විමල් ජනාධිපතිතුමාට යවපු ලියුමටත් ඒකෙ ඉදිරිපත් කරලා තියෙන පැහැදිලි තර්ක වලටත් මම හුඟක් කැමතියි. මේ විදියට හිතන්න පුළුවන් කීයෙන් කී දෙනාද ඒකාබද්ධ විපක්ෂේ ඉන්නේ? හිතුනත් කටක් ඇරලා ප්‍රසිද්ධියේ ඒ ටික කියන්න තරම් කොන්දක් තියෙන්නේ කාටද?

    අනේ වටු කුරුල්ලා, මට ආපහු part එකක් දැම්මද ඔයා? ඒ මොකොටද? අනේ මම ඔයාගෙ පුස් part වලට බය නැහැ. මම ලියන්නේ මට ඕනෙදේ. ඔයා හොටු පොහොට්ටුවේ ප්‍රාණ ඇපකාරයෙක් වුනාට මම නිදහස් මිනිහෙක්. මම කියල තියෙනවනේ විධායක ජනාධිපති ධූරය දුර්වල කරන්න දෙන්නේ නැහැ කියලා. ඒකාබද්ධ විපක්ෂයත් චන්දෙ දීපු 19 ව්‍යවස්ථාව අනුව 2020 වෙනකම් ඔය විදියට තමයි යන්න තියෙන්නේ.

    මේ ආණ්ඩුව ගෙදර යවන්න තිබුන ඕනේ හැටියේ ඔයා 2015 පෙබරවාරි 18 කඩොල් ඇතා වගේ පටන් ගත්ත සටන දිගටම කළා නම්. එහෙනම් ආණ්ඩුව ගෙනියන්න බැරුව ප්‍රබල මහජන විරෝධයක් ඇවිල්ල ආණ්ඩුවට compromise කරන්න වෙනවා. එහෙම කරන්න බැරි වුනේ ඔයා කඩොල් ඇතා වෙනුවට වට්ටෙක් වෙන්න ගිය හින්ද. මහින්ද බැසිල්ව දාලා හෙවත් දෙන්නම එකතු වෙලා ඔයාගේ ආණ්ඩු විරෝධී සටන කඩාකප්පල් කළා. ඔයත් හිතුව ඒකාබද්ධ විපක්ෂේ එක්ක එකතු වෙලා වටු කුරුල්ලෙක් වෙලා එකට ඉගිල්ලිලා දැල අයින් කරගෙන යමපාලකයන්ගෙන් රට බේර ගන්නවා කියලා. ඔයාට දන්නේ නැති වුනාට වට්ටෝ, ඔයාට කවදාවත් ඔය දැල එක්ක ඉගිල්ලිලා දැල අයින් කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම් දැල යට ඉන්න සමහර වටු කුරුල්ලෝ වැද්ද එක්ක deal එකක් දාගෙන දැල බිමට තියල කූඥ්ඥ කූඤ්ඤ ගහලා තියෙන නිසා. ඒ හින්ද රට වෙනුවෙන් කරන සටනට වටු කුරුළු කතාව තව දුරටත් ගැලපෙන්නේ නැහැ. ඒකෙන් වුනේ ඔයාගේ ජාතිකත්ව ප්‍රතිපත්ති යට ගිහින් අනිත් වට්ටන්ගේ බලලෝභී ආත්මාර්ථකාමී දේශපාලනය උඩට ආව එක. බලන්න මම ඔයාට කිව්වා අප්‍රේල් මාසේ හිර ගෙදරින් ආවහම, මැයි දිනේ තනි පක්ෂයක් විදියට වෙනම කරන්න කියලා. එහෙම කළා නම්, ඊට පස්සේ ඒකාබද්ධ විපක්ෂේ අනිත් පක්ෂ රනිල්ගේ ව්‍යවස්ථාදායක සභාවේ ඉඳගෙන රනිල්ට සහයෝගය දක්වත්දී, ඔයා තනියම ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව කරපු ප්‍රබල සටනත් එකට එකතු වෙලා මේ චන්දෙදි තුන්වෙනි බලවේගය විදියට තනි පක්ෂයක් විදියට ඉදිරිපත් වෙන්න තිබුන. තනියම ඉල්ලලා තේරෙන සභිකයෝ 100 වටිනවා වට්ටෙක් වෙලා දිනන 500ට වඩා. ඔයාට තේරෙන්නේ නැද්ද ඔයා විතරයි ජාතිකත්ව දේශපාලනය කරන එකම දේශපාලකය. ඔයාට යුතුකමක් නැහැ ඒක යට යන්න ඉඩ දෙන්න. ඔයාගේ කොන්ද කෝ අනේ. ඔයාගේ ගමන නතර කරන්න ඉඩ දෙනවා කියන්නේ රටේ ඉදිරි අනාගතය අඳුරු වෙනවා කියන එක. ඔයත් නැත්නම් කවුද රට වෙනුවෙන් බය නැතුව ඉදිරියට එන්න ඉන්නේ? චන්දෙ පටන් ගන්න කොටම කලින් කරපු සම්මන්ත්‍රණ ඔක්කොම නැවැත්තුව. බලන්න මම ඔයා සම්මන්ත්‍රණ වලට දාපු සමහර නම් වලට අකැමති වුනා තමයි. ඒ වුනාට ඔයා එකෙන් ප්‍රබල මතයක් රටට ඉදිරිපත් කළානෙ. චන්දෙන් පස්සේ ආයෙ ඒ සම්මන්ත්‍රණ පටන් ගන්නවද? Godfather කිව්වද ඒ ගොල්ලන්ට ඒකෙන් පහර වදිනවා කියල? මුරණ්ඩු කෙක්ක මම කියන කිසි දෙයක් අහන්න එපා. Godfather කියන ඒවා විතරයි අහන්නේ. 2020 ඔයා හිතන් ඉන්නේ ඒකාබද්ධ විපක්ෂේ එක්ක චන්දෙ ඉල්ලන්නද? ඉන්නකෝ කරනවා හොඳ වැඩක්, ඔයාට ඒ වෙද්කාවට නගින්න බැරි කරනවා. ඔයාට හොටු පොහොට්ටු වේදිකාව ගැලපෙන්නේ නැහැ. බැසිල් කියන්නේ ජාතිකත්ව දේශපාලකයෙක්ද? ඔයා හදන්න ඕනේ ඔයාගේ ජාතිකත්ව දේශපාලනය වෙනුවෙන් වෙනම වේදිකාවක්. ඔයාට යුතුකමක් නැහැ ඔහොම කරන්න. “පවතින තත්වෙට අනුව වැඩ කරන්න වෙනවද මොකක්ද කියලා” මට තේරෙන්නේ නැති අප්‍රභංශයක් ඔයා කිව්වා. සිංහයා හූනෙක් වුනේ කොහොමද? අනේ මුරණ්ඩු කෙක්ක, ඔයාට තේරෙන්නේ නැත්ද, ඒ තත්වේ පවතින්නේ ඔයා ඔතන ඉන්න හින්දා. ඔතැනින් එලියට එන්න. මිශ්‍ර චන්ද ක්‍රමය ගෙනාවේ ජාතිකත්ව දේශපාලනය කරන සුළු පිරිසත් නැති කරලා දාන්න. ප්‍රධාන පක්ෂ දෙක විතරක් ඒකාධිපති විදියට බලය යුතු විදියට පාවිච්චි කරලා හැමදාම රට පාලනය කරන්න. අද වෙනකොට ලංකා දේශපාලනයේ ඔයා විතරයි ජාතිකත්ව දේශපාලනය කරන්නේ. මිනිස්සු පැත්තෙන් ගත්තොත් අඩු ගානේ මමවත් නැහැ. මම තනිකර ජාතිවාදියෙක්. සම්පන්දන් විග්නේශ්වරන් තරම්ම ජාතිවාදියෙක්. මට එකට අයිතියක් තියෙනවා. මම කතා කරන්නේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් විතරයි. අනික් උන්ගෙන් මට වැඩක් නැහැ. කතා කරන්නේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් වුනාට වැඩ කරන කොට අනිත් අයට අසාධාරනයක් කරන්නේ නැහැ. ඒ වුනාට සිංහල බෞද්ධයන්ට කරන කෙනෙහිලිකම් මට ඉවසන්න බැහැ. ඔයා මේ මිශ්‍ර චන්ද ක්‍රමයට කැමතිද? එහෙනම් කොන්ද පණ තියාගෙන 2020 තනි පක්ෂයක් විදියට චන්දෙට මුහුණ දෙන්න. මටත් ටිකක් කියල දෙන්න කතා කරන හැටි. මට පුළුවන් ඔයාගේ ජාතිකත්ව ගමනට උදව් වෙන විදියට කතා කරන්න. ඒ වුනාට මම මිනිස්සු ගොඩක් ඉන්න තැන් වලට කැමති නැහැ. මට නිකම් හුස්ම ගන්න අමාරුයි වගේ වෙනවා. විමල්, ඇත්තටම ඔයා 2020 තනි පක්ෂයක් විදියට එනවද? මට ඔයා විතරක් වැඩක් නැහැ විමල්, මට ඕනේ ඔයා වගේ ජාතිකත්ව දේශපාලනය කරන තව දස දහස් ගණන් මිනිස්සු.

    ඔන්න බලන්න ඒක කියන කොට මට මතක් වුනා 2016 මාර්තු ඔයා ජන සටන-1 කතාව කරපුවහම මම ලියපු කවිය.

    සත් සමුදුර වුව කලඹන
    සත්කුළු පව් එපිට ඇහෙන
    ඔබෙ රණහඬ හද සනසන
    මුළු රටක්ම අවදි කරන

    බත් මුලකට බෝතලයට
    චන්දෙ දුන්නු මගෙ මේ රට
    වෙනස් කළා ඔබ මැතිඳුනි
    පෙබරවාරි මස දහ අට

    එදා පටන් අද වෙනතුරු
    ජන ගඟ ගලනව නිරතුරු
    වෙනස් වෙන්නෙ නැහැ කිසි දින
    ඔබ ගොඩ නැඟූ මිනිස් පවුරු

    නිද වරමින් වැඩ කෙරුවා
    ඔබ හෙලු දහඩිය දුටුවා
    එදත් කඳුළු ඇස නැඟුණා
    අද මගේ ඇස් තෙමුනා

    ඔබ හිතුවේ ඔබෙ යුතුකම
    රට රැකීම එකම පැතුම
    මට ඕනෑ දහස් ගණන්
    ඔබෙ අඩි පාරේ දැකීම

    යෝධ වීර්යය ලැබෙන්ට
    ඔය දෑතට ඔබේ හිතට
    මගෙ සෙනෙහෙත් සවියක් වී
    ඔබේ ධෛර්යය වැඩෙන්ට

    පාට පක්ෂ භේද නැතුව
    රටකම ආදරෙ ලබනව
    ඔබ ලැබුනේ රටේ පිනට
    දළදා හිමි ඔබ රකිනවා

    “රජ පුටුවේ ගොවි පුතෙක්ලු
    ගොවියා කුඹුරෙන් පාරෙලු
    බදු ගහන්නෙ හිටු කියලලු
    මරුපාලනෙ ඇති වෙලාලු”

    යහපාලනෙ එළවන්නට
    හැමටම ශක්තිය දෙන්නට
    ඔබ මිස අන් කෙනෙක් කොහිද
    විශ්වාසයි ඔබ රටටම

    ඉතිහාසය අළුත් කරමු
    වෙනස් අකුරු වලින් ලියමු
    ගොඩ නංවන අළුත් රටට
    පහනක් වී පාර කියමු

Leave a Reply

*