BREAKING NEWS

මහින්දගෙන් විමල්ට විශේෂ ස්තූතියක්!

මහින්දගෙන් විමල්ට විශේෂ ස්තූතියක්!

පොහොට්ටුව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් අනතුරුව දේශපාලන භූමිය දිනෙන් දින උණුසුම් වෙද්දී ඒ ජයග්‍රහණයට උරදුන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ පසුගිය අඟහරුවාදා විජේරාම මාවතේ පිහිටි හිටපු ජනපති නිල නිවසේදී රැස්වූහ.

ඉතා තීරණාත්මක තීන්දු රැසක් ගනු ලැබූ එම රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, බැසිල් රාජපක්ෂ, රාජා කොල්ලුරේ, තිස්ස විතාරණ, අසංක නවරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙම පක්ෂ නායක රැස්වීමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා නොවැළැක්විය හැකි හේතුවක් නිසා සහභාගී නොවූ අතර ජාතික සංවිධායක ජයන්ත සමරවිර මහතා සහ දේශපාලන මණ්ඩල සභික උදයශාන්ත ගුණසේකර මහතා ඊට එක්ව සිටියහ.

“ඔබතුමාගේ විශිෂ්ට කැපවීම, නායකත්වය නිසා මෙවැනි ජයග්‍රහණයක් අපට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් ලබා ගන්නට හැකි වුණා. පක්ෂ නායකයෝ සියල්ලෝම මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිවන්ත වෙමින් පැවසූහ.

“ඔබ සියලුදෙනාම මේ කාර්යයේ දී ලබා දුන් සහයෝගය මම ඉතාමත් අගය කොට සලකනවා. අද විමල් මෙතන නැහැ. නමුත් අපි විමල්ට මෙහිදී විශේෂ ස්තූතියක් කරන්න ඕනෙ, රට පුරාම ගිහිල්ලා රැස්වීම් අමතලා අපට නඟන අවලාදවලට පිළිතුරු දීලා මෙවැනි ජයග්‍රහණයක් නිර්මාණය කිරීමට ලබා දුන් සුවිශාල දායකත්වය සම්බන්ධයෙන්” හිටපු ජනාධිපතිවරයා එහිදී පැවසීය.

“ මේ ජාතික ආණ්ඩුව මේ ආකාරයෙන්ම ඉදිරියට යාම අපි වළක්වන්න ඕන.” එහිදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

“ඒ වගේම එජාපය මුල් වී හදන ආණ්ඩුවකට ද අපි විරුද්ධ විය යුතුයි, නේද?” ජයන්ත සමරවීර මහතා ප්‍රශ්න කර සිටියේය.

“මේ ආණ්ඩුව මේ විදිහටම ඉදිරියට යාම වගේම එජාපයේ තනි ආණ්ඩුවක් හැදීමත් රටට හිතකර නැහැ. එහෙම වුණොත් ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒම, එට්කා ගිවිසුම ගැසීම, රටේ සම්පත් විකිණිම, බදුබර පැටවීම ආදී ජනතාවටත් රටටත් හානිකර සියල්ල සිදු කරාවි” මහින්ද රාජපක්‍ෂ මහතා බැසිල් හා ජයන්තගේ අදහස් අනුමත කරමින් පැවසීය.

“පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පවත්වා ජනවරමක් ලබා ගන්නා තෙක් අපි යෝජනා කරමු භාරකාර ආණ්ඩුවක් හදන්න. ඒ හදන භාරකාර ආණ්ඩුවට ඒකාබද්ධ විපක්‍ෂයේ සහයෝගය ලබා දෙමු.” වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

“ඒ යෝජනාව මම ස්ථිර කරනවා. මේ මොහොතේ දී ජනතාව ලබා දුන් ජයග්‍රහණය රැකගෙන ඉදිරියට යන්න නම් එවැනි පියවරක් වඩාත් සුදුසුයි” ඩලස් අලහප්පෙරුම මහතා එහිදී පෙන්වා දුන්නේය.

“ඔව් අපි ඒ පදනමේ සිට ඉදිරි පියවර ගනිමු.” මහින්ද රාජපක්‍ෂ මහතා ඊට අනුකූලතාව දක්වමින් පැවසීය. ඒ මොහොතේදීම මහින්ද රාජපක්‍ෂ මහතාට දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ කම්කරු අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතාගෙනි.

“ජෝන් ඔයගොල්ලෝ ඉස්සර වෙලා ජාතික ආණ්ඩුවෙන් එළියට එන්නකෝ. ඊට පස්සේ අපි කතා කරමු, ‘භාරකාර ආණ්ඩුවේ අගමැති කවුද? කථානායක ධුරයට කවුද සුදුසු?’ යන ඒවා.” මහින්ද රාපක්‍ෂ මහතා ජෝන් සෙනවිරත්න මහතාට එසේ පිළිතුරු දී තිබිණි.

– අ බ ර

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.