BREAKING NEWS

මහින්ද රාජපක්ෂ දේශපාලනිකව පරදවන්න බැහැ කියලා පෙනෙන හින්දා දැන් ඔහුව සතුරු වෙඩි උණ්ඩයකට විවෘත කරවීමට හදනවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනිකව පැරදවීමට නොහැකි බව වටහා ගෙන සිටින වත්මන් පාලකයන් දැන් ඔහු සතුරු වෙඩි උණ්ඩයකට විවෘත කරවීමට සූදානම් වන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

අද (02) සවස බොරැල්ල එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ චෝදනා කළේය.

‘‘ ඊයේ(01) මේ රටේ දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික වටිනාකමකින් යුත් ලක්ෂ සංඛ්‍යාත ජන ගංගාවකින්, අතුරු සිදුරු නැතිව මුළු කිරුළපන ප‍්‍රදේශයම පිරී ඉතිරී ගිය බව කවුරුත් දන්නවා. මීට පෙර සදහන් වුණා වගේ විරුද්ධ පක්ෂයේ මැයි දිනයකට සාමාන්‍යයෙන් ආණ්ඩුවක් කරන්න තිබෙන දහදුරා වැඩ ඔක්කෝම මේ අය කළා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් බිය ගන්වන්න ගීතා කුමාරසිංහ මහත්මියගේ සහ සාලින්ද දිසානායක මහතාගේ ආසන සංවිධායක ධූර පවා ඉවත් කළා. එමගින් අනෙකුත් මන්ත‍්‍රීවරුන්ට අනතුරු ඇගවීමක් කළා ‘ ඔබලාටත් අත්වීමට ඇත්තේ මේ ඉරණමයි ’ කියලා. බිය ගැන්වීම්, තාඩන පීඩන අප‍්‍රමාණයක් සිදු කරද්දී, තමන් සතු මාධ්‍ය භාවිතා කරලා අවලාද නගද්දී, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන් කෙරෙහි වෛරය අවුලුවන්න හදද්දී ඒ සියල්ලට දෙන්න තිබෙන නිසි පිළිතුර ඊයේ(01) කිරුළපන සිට නුගේගොඩ දක්වා මහා ජන ගංගාවෙන් ලැබුණා. ඒ මහා ජන ගංගාවට අපේ ප‍්‍රණාමය පුද කරනවා. පොලීසියේ ඇතමුන් කළ තුට්ටු දෙකේ වැඩ හින්දා ඈත දුර බැහැර ප‍්‍රදේශවල සිට පැමිණි ජනතාවට රැලියේ හඩ ඇහෙන මානයටවත් එන්න බැරිව තිබුණා. ඒ අයට සිදු වූ අසීරුතාව පිළිබදව අපේ කණගාටුව පළකර සිටිනවා.

‘ ගාල්ලේ නටපු ජෝගිය ’

‘ ආණ්ඩුවක් බලයට පත්වෙලා අවුරුද්දක් සහ දින 100ක් පමණක් ගත වෙලා තිබෙන වෙලාවේ ඒ ආණ්ඩුව යන පරගැති ගමනට එරෙහි ජනතාවගේ ප‍්‍රතික‍්‍රියාව මොන තරම් බලවත්ද ? ’ කියලා පෙන්වපු ඒ මහා ජන ගගට නැවත නැවතත් අපේ ගෞරවය හා ප‍්‍රණාමය පුදකර සිටිනවා. තව දෙයක් කියන්න ඕනේ. මේ රැලියේ අතුරු ප‍්‍රතිඵලයක් විදිහට ඇතැම් පිරිස්වලට ලැබුණා, නොමිලේ කතරගම යන්න, කෑම, බීම නවාතැන් පහසුකම් ද සමග. අතටත් යම් මුදලක් ඒ අයට ලැබුණා. ඒ වගේම පොලොන්නරුවේ සිට ගාල්ලට ශීඝ‍්‍රගාමී දුම්රිය ආවා. ඒවායේ ආපු පිරිස්වලට බියර් ලැබුණා, කෑම, බීම, සමග රුපියල් 1000කුත් අතට ලැබුණා. තමන්ගේ අමාත්‍යාංශ යටතේ තිබෙන ආයතනවල සේවකයින් බලහත්කාරයෙන් නිල් කමිස අන්දලා ගාල්ලට ගෙන ඒමට ඇමති කටු සූප්පු කරන පිරිස් කටයුතුකර තිබුණා. ඒ විතරක් නොවෙයි, සිවිල් ආරක්ෂක බලකායේ පිරිස්වලට නිල් කමිස අන්දවලා ගාලු රැගෙන ගියා. ඒ විදිහට ගාලු ගිහින් නටන්න හදපු ජෝගිය, මොනතරම් විහිළුකාර ජෝගියක් කියලා අද කාටත් වැටහෙනවා. වැස්ස නැති වෙලාවේ ‘ වැස්ස – වැස්ස ’ කියපු ජනාධිපතිතුමාට ගාල්ලේදී බොරු වැස්ස වෙනුවට ඇත්ත වැස්සක් බලා ගන්න ලැබුණා.
ඒ වගේම එක්සත් ජාතික පක්ෂය කැම්බල් පිටියට රාජ්‍ය බලය යොදවලා දන්න සෙල්ලම් ඔක්කොම දාලා ගෙනාපු සෙනගට වඩා කිරුළපනට ආපු සෙනග අතිවිශාල ලෙස වැඩියි, කියලා පොලිස් වාර්තාවලත් සදහන්ව තිබෙනවා. කිරුළපනට ජනතාව ආවේ ලංගම බස්වලින් නොමිලේ නොවෙයි. තමන්ගේ අතින් වියදම් කරගෙන, සල්ලි එකතු කරලා පෞද්ගලික බස්රථ අරගෙන. තමන්ගේ පර්මිට් කැන්සල් වෙයි කියලා බිය නොවී කිරුළපනට එන්න ජනතාවට බස්රථ දීපු පෞද්ගලික බස්රථ හිමියන්ටත් අපි මේ අවස්ථාවේ අපේ ප‍්‍රණාමය පුදකර සිටිනවා. මේ සියල්ලෙන් පෙනෙන්නේ, ‘ ආණ්ඩුවට එරෙහි ජනතා ප‍්‍රතිචාරය කොතරම් ප‍්‍රබලද ?’ කියන එකයි. අපි ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කියනවා, ‘ඒකාබද්ධ විපක්ෂයෙන් සහ හිටපු ජනාධිපතිතුමාගෙන් දිගින් දිගටම පලිගන්න හදන්න එපා ! පලිගන්න හදන ප‍්‍රමාණයට වඩා දෙගුණ තෙගුණ ජනතා ප‍්‍රතිචාරයක් ඔබලාගේ පාලනය හමුවට එනවා ’ කියලා.

‘ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ’

බලවත්ම ත‍්‍රස්තවාදී සංවිධානයක් ජරාජයට පත් කළ ජනාධිපතිවරු අතුරින් අද ජීවතුන් අතර සිටින ලෝකයේ එකම හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමායි. ත‍්‍රස්තවාදය පරදවපු ජනාධිපතිවරයකුගේ ආරක්ෂාව, ත‍්‍රස්තවාදීන් හුරතල් කරපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සමග සන්සන්දනය කරන්න බැහැ. ඒක ඕනෑම මෝඩ, තකතීරුවකුට තේරෙන්න ඕනේ. ඔහු මේ රටේ ත‍්‍රස්තවාදය පරාජය කරන්න නායකත්වය දීපු කෙනා, සේනාධිනායකයා. ඔහු අපි සියලු දෙනාගේ ජීවිත ආරක්ෂාව සලසපු නායකයා. මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා ඇමති කාලේ එතුමාටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙඩි නොවදින කාර් එකක් දුන්නා. එදා මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාව මරාගෙන මැරෙන්න හදපු කොටියා කඩා පනින්න සැලසුම් කර තිබුණේ එතැනදී නොවෙයි. ඊට කලින් ඔහු සහාභාගී වූ උත්සවයකදීයි. එම උත්සවයට හිටපු ජනාධිපතිතුමා සහභාගී නොවුණත් තමන්ට හිමි ආරක්ෂාව එම උත්සවයට යොදා තිබුණා. එවැනි දැඩි ආරක්ෂාවක් උත්සව භූමියේ තිබුණු නිසා ඒ කොටි ත‍්‍රස්තවාදියාට තම උත්සාහය අත් හරින්න සිදු වෙනවා. ඒ නිසයි ඔහු වෙනත් ස්ථානයකදී ගොදුරට කඩා පනින්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා තමන්ගේ සහෝදර ඇමතිවරයාට සැලකුවේ එහෙමයි.
ඒ විදිහට තම සහෝදර ඇමතිවරුන්ගේ පමණක් නොවෙයි මුළු රටේම ජීවිතාරක්ෂාව සලසපු නායකයාට ආරක්ෂාව සලසන්න අද නිකම් කොස්තාපල්වරුන් පිරිසක් දීලා හරි යනවාද ? මහින්ද රාජපක්ෂ මැතිතුමා ළග හිටියේ යුද හමුදා කමාන්ඩෝ බලකායේ ප‍්‍රභූ ආරක්ෂාව පිළිබද විශේෂ පුහුණුව ලැබූ නිලධාරීන්. ඔවුන් ඉතාමත් දක්ෂ ලෙස යුද්ධය පැවැති කාලයේ සිට මේ දක්වා එතුමාගේ ජීවිතය ආරක්ෂා කළා. එහෙම ආරක්ෂාව සලසපු, ඒ රාජපකාරිය කරන්න දීර්ඝකාලීන හැකියාවක් තිබෙන ඒ පිරිස අද සිට ඉවත් කරලා.

‘ දේශපානලයේ අවම සදාචාරයවත් රකින්න ’

අපේ මැයි දිනයේ සාර්ථකත්වය දැකලා, වියරු වැටිලා එවැනි තුට්ටු දෙකේ ප‍්‍රතික‍්‍රියාවක් අද සිදුකරලා තිබෙනවා. අපි කියනවා අගමැතිතුමන්ට සහ ජනාධිපතිතුමන්ට ‘ කරුණාකරලා දේශපාලනයේ අවම සදාචාරයවත් රකින්න ’ කියලා. අවම සදාචාරය රකිනවා කියන්නේ කුමක්ද ? තමන්ගේ ප‍්‍රතිවාදියා වුණත් මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිත බේරපු නායකයාට නිසි ගෞරවය ලබාදීම. රනිල් වික‍්‍රමසිංහ යාපනයට ගිහිල්ලා, පොංගල් බත් කන්නේ, ජනාධිපතිවරයා හිටපු ගමන් මාසයකට දෙවතාවක් පමණ මහේෂ්වරන් මැතිනියත් මුණගැහිලා, ගෙයින් ගෙට ගිහිල්ලා දෙමළ ජනතාවගේ දුක සැප බලලා එන්නේ මේ නායකයා යුද්ධය අවසන් කරපු හින්දා.
දැන් මේ ජනාධිපතිතුමා ලොකුවට කියනවා ‘ හමුදා ආරක්ෂාව මටවත් නැහැ. මට තියෙන්නෙත් පොලිස් ආරක්ෂාව, අගමැතිතුමාට තියෙන්නෙත් පොලිස් ආරක්ෂාව’ කියලා. හරි මහත්වරුනි ඔබ දෙපළට පොලිස් ආරක්ෂාව නොවෙයි ග‍්‍රාමාරක්ෂක ආරක්ෂාව හෝ අරගෙන ජීවත් වෙන්න වටපිටාව හැදිලා තියෙන්නේ මේ නායකයා නිසයි. මේ දෙදෙනාට අද කිසිම තර්ජනයක් නැහැ. මේ දෙන්නා ග‍්‍රාමාරක්ෂක ආරක්ෂාව ලබා ගත්තත් අපි පුදුම වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය ඉවර වුණාට පස්සේ දෙමළ ජාතික සන්ධානය සමග දේශපාලන හවුල් හැදුවේ නැහැ. දෙමළ ඩයස්පෝරාව සමග යටිකූට්ටු වැඩ කෙරුවේ නැහැ. ඒ නිසා ඒ දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන්ට මේ නායකයා සමග තිබුණු වෛරය නැති වුණේ නැහැ. අදත් මේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් සෙරෙප්පුවෙන් ගහන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පින්තූරයට. ඒ නිසා ඒ වෛරය තවමත් තිබෙනවා. අද මරාගෙන මැරෙන ඇදුම් කට්ටල රටේ යම් යම් තැන්වලින් හමුවෙනවා. එහෙම තියෙද්දී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හමුදා ආරක්ෂාව ඉවත් කරලා පොලිස් කොස්තාපල්වරුන් පිරිසක් එවනවා.
මහින්ද රාජපක්ෂ මැතිතුමාව දේශපාලනිකව පරද්දන්න බැහැ කියලා පෙනෙන හින්දා දැන් හදන්නේ ඔහුව හතුරු වෙඩි උණ්ඩයකට විවෘත කරවීමටයි. ඒ පාපතර ක‍්‍රියාමාර්ගයයි මේ ගනිමින් සිටින්නේ. කිරුළපන මැයි රැලියේ සාර්ථකත්වය හමුවේ මේ නායකයන් එවැනි තැනකට අද ඇදවැටී තිබෙනවා. ‘ කැතයි, ලැජ්ජයි, නින්දිතයි ’ කියලයි අපට මේ තීරණය ගන්න අය ගැන කියන්න තියෙන්නේ. ‘ අවම සදාචාරයක්වත් තිබෙනවා නම්, දේශපාලන භේදයකින් තොරව මේ රටේ සෑම කෙනෙකුටම ආරක්ෂාව සලසපු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප‍්‍රභූ ආරක්ෂාව සදහා සිටි කමාන්ඩෝ බලකායේ නිලධාරීන් ඉවත් කිරීමේ තීරණය අවලංගු කරන්න. ඔවුන් යළි හිටපු ජනාධිපතිතුමන්ගේ ආරක්ෂාව සදහා ලබා දෙන්න’ කියලා අපි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලනවා. ’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.05.02

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*