BREAKING NEWS

මහින්ද සමග රට දිනවීමට සන්ධානයෙන් ඉඩ නොදුන්නොත් ඒ වෙනුවෙන් නව ජාතික පෙරමුණක් සූදානම්! – ජානිපෙ නායක විමල් වීරවංශ

දිනාගත් ජයග්‍රහණ අහිමි වන තත්ත්වයකට ජාතිය අද පත්ව ඇති බවත් මේ තත්ත්වයෙන් ජාතිය මුදවාගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් සටන් වැදිය යුතු බවත් එයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ඉඩ නොලැබුණහොත් නව ජාතික පෙරමුණකින් එම සටනට සූදානම් වන ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා රටට හිතැති සියලූ ජන බලවේග වෙතින් ඉල්ලා සිටියි.

විමල් වීරවංශ මහතා මෙම ඉල්ලීම කරනු ලැබුවේ ‘සිදු වුණේ කුමක්ද? සිදු වන්නේ කුමක්ද?’ යන මැයෙන් පසුගියදා බිබිල සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැති සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පවත්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

“මීට අවුරුදු 200කට පෙර අපට  ජාතියක් ලෙස බරපතළ ගැටළුවකට විසඳුම් සොයන්න සිදු වුණා. 1815 මාර්තුවේ උඩරට ගිවිසුම අත්සන් කළාට පසුවයි එහෙම ගැටළුවක් පැන නැගුණේ.  එවැනිම ගැටළුවක් අදත් අප ඉදිරියේ නිර්මාණය වී තිබෙනවා. එදා අවුරුදු 200කට පෙර ජාතිය හමුවේ මතුවුණු අභියෝගය හා සමාන අභියෝගයක් තමයි 2015 ජනවාරි 08 වැනිදායින් පසුව නැවත නිර්මාණය වී තිබෙන්නේ. සෑම ගැටළුවකටම විසඳුම් තිබෙනවා. විසඳුම් නොමැති ගැටළු නිර්මාණය වන්නේ නැහැ, උඩරට ගිවිසුම අත්සන් කළාට පසුවත් නිර්මාණ වුණේ විසඳුම් තිබෙන ගැටළුවක්. එයට දිර්ඝකාලීන, කැපවීම්, පරිත්‍යාග, ඔස්සේ අපි ජාතියක් ලෙස විසඳුම් සොයා ගත්තා. අදත් අපි ඉදිරියේ ඇති ගැටළුවට දුෂ්කර වුවත් විසඳුම් තිබෙනවා.

ඉන්දියාවේ ජනරජ දිනය පැවැත්වුණේ ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පසුවයි. ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබමා. එහිදී ඔහු පැහැදිලිිව සඳහන් කරනවා, ’ ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ ඇති කරන ලද ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයන් වෙනුවෙන් ඉන්දීය ජනරජය දැක් වූ සුවිශේෂ දායකත්වය මම මේ මොහොතේදී ඉතා තදින් අගය කරනවා’ කියලා. ඒ වගේම කොංග්‍රස් මණ්ඩල රැස්වීමකදි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසා තිබෙනවා, ‘ලංකාවේ සිදුවුණු ආණ්ඩු පරිවර්ථනය කළේ අපි. ඒ පිටුපස හිටියේ අපි’ කියලා. ඒ විතරක් නොවෙයි, ඉන්දියාවේ ‘හින්දු පුවත්පතට’ විශේෂ සාකච්ඡාවක් ලබා දෙමින් නෝර්වේ විශේෂ සාම නියෝජිත එරික් සෝල්හයිම් කියනවා. ‘ශ්‍රී ලංකාවේ සිදුවුණු බල පෙරළිය පිටුපස සිටියේ අපි. විවිධ මත දරන පිරිස් එකතුවෙලා සාමකාමීව, පාලකයකු නෙරපා හරින්නේ කොහොමද? කියන එක අපි පෙන්නුවා. ඒක ලෝකයටම ආදර්ශයක්’ කියලා.

ජනවාරි 09 වැනිදා පාන්දර හිටපු ජනාධිපතිතුමන් සිනහමුසු මුහුණින් සමුගෙන යන විට රතිඤ්ඤා පිපිරුණේ කොහ‍ොමද? දෙමළ ඩයස්පෝරාවේ බලපෑමක් සහිත ප්‍රදේශවල පමණක් රතිඤ්ඤා පත්තු වුණා. මේ බටහිර රටවල් දිර්ඝ කාලයක් බලා හිටියා යුද්ධය ජයග්‍රහණය කළ මේ නායකයා පරදවන්න අවස්ථාවක් ලැබෙනතුරු. මේ ජනවාරි 08 වැනිදා ලැබුණු ‘ජයග්‍රහණයේ’ ඇත්ත ජයග්‍රාහකයන් ඉන්නේ රටින් පිට. 1815 දී සිදුවුණු ජයග්‍රහණයෙන් සතුටු වුණේ බටහිර අධිරාජ්‍යවාදීන්. ඒ වගේම අද මේ ජනවාරි 08 වැනිදා සිදු වුණා කියන ‘වෙනසින්’ උද්දාමයට පත් වෙලා ඉන්නෙත් බටහිර අධිරාජ්‍යවාදීන් සහ ඔවුන්ගේ කලාපයේ උප කොන්ත්‍රාත්කරුවා වන ඉන්දියාව.

‘බටහිර සහ ඉන්දියාවේ සතුට’

බටහිර අධිරාජ්‍යවාදීන් සහ ඉන්දියාව මෙසේ සතුටු වන්නේ කුමක් නිසාද? සිතා බලන්න. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඔවුන් විශ්වාස නොකළ ජයග්‍රහණයක් ජාතියට දිනා දුන්නා. ප්‍රංශ විදේශ අමාත්‍ය බර්නාඞ් කුෂ්නර්, බිරතාන්‍ය විදේශ අමාත්‍ය ඬේවිඞ් මිලිබෑන්ඞ් යන දෙන්නාම එකට මේ රටට ඇවිල්ලා ‘නවත්තන්න යුද්ධය’ කියලා කිව්වා. ‘මේක මගේ රට ඔයාලාගේ රට නොවෙයි’ කියලා එදා කෙලින් කියන්න මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට කොන්දක් තිබුණා. ඒ දිනවල මට මතකයි ප්‍රංශයේ හිටපු තානාපති ආචාර්ය දයාන් ජයතිලක මැතිතුමා කළ ප්‍රකාශයක්. ‘ප්‍රංශ විදේශ අමාත්‍යවරයා ප්‍රංශයට පැමිණි පසු මට හමුවුණා. ඔහු කිවා, ඔයගොල්ලන්ගේ නායකයා හරි පුදුම නායකයෙක්. ඔහු ඉතා ශක්තිමත් නායකයෙක් කියලා.’ ‘කපන්න බැරි අත ඉඹිනවා වගේ’ එදා බර්නාඞ් කුෂ්නර් එහෙමයි දයාන් ජයතිලකට මැතිතුමාට පවසා තිබුණේ. ‘මේ රට යටත් විජිත කොලනියක් නොවෙයි’ කියන පණිවිඩය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එදා ලබාදුන්නා. එහෙම නායකයන් බටහිර බලවතුන්ට රුස්සන්නේ නැහැ. අභ්‍යන්තර ගැටළු විසදලා රටවල් ස්ථාවර කරන නායකයන් බටහිර අධිරාජ්‍යවාදීන්ට රුස්සන්නේ නැහැ. නමුත් ඇමෙරිකන් ගැති ඒකාධිපතියන්  ඕනෑ තරම් ඉන්නවා. ඔවුන් ඇමෙරිකා එක්සත් ජනපද න්‍යාය පත්‍රයට එක`ගයි.

එක්සත් ජනපද න්‍යාය පත්‍රයට, බටහිර අධිරාජ්‍යවාදී උවමනාවන්ට එකග නැත්තම් ලොව පුරා එවැනි නායකයන් එළියට ඇදලා දැමීමයි බටහිර දිර්ඝකාලීන සැලැස්ම වී ඇත්තේ, ලිබියාවේ තරුණයන් වෙනසක් ඉල්ලගෙන පාරට බැස්සා. ලිබියාව නිදහස් අධ්‍යාපනයක් තිබුණු රටක්. ඒ රටේ විශ්ව විද්‍යාලවල   ඉඩකඩ නොමැතිනම් විදේශ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට පවා රජය මුදල් ලබා දුන්නා. කසාද බැන්දාට පසුව ගෙයක් රජයෙන් ලබා දෙනවා. ලෝකයේ සුබසාධනය ඉහළින්ම තිබුණු රටක්. එතැනත් ‘වෙනසක්  ඕනේ’ කියන මතය හැදුවා. එක්සත් ජනපදය උපරිම සහයෝගය ලබාදුන්නා. ගඩාෆිව අවසානයේ බල්ලෙක් වගේ මරා දැමුණා. හැබැයි අද ලිබියාව ඒ සාපයෙන් බැට කනවා. අවසානයේදී ලිබියාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරයාට ගඩාෆිගේ ඉරණමට මුහුණ දෙන්න වුණ තත්ත්වයකට ඒ රට අස්ථාවර වුණා. දැන් ලිබියාවේ තෙල් සම්පත කොල්ල කනවා ඇමෙරිකානු, අප්‍රිකානු, ප්‍රංශ සමාගම් එතැනදී කියුවෙත් ‘ඒකාධිපතියාගෙන් මිදී වෙනසක් ඇති කරමු’ කියලයි.

ඊට කලින් ඉරාකයේ සදාම් හුසේන් පලවා හැරියෙත් ‘ඒකාධිපතියා’ කියන ලේබලය අලවලා, ඔහු පලවා හැරීමේ උවමනාව, ඉරාකයේ තෙල් සම්පත කොල්ලකෑම මිස අනෙකක් නොවෙයි. සදාම් හුසේන් පලවා හැරියා කියා ඉරාකයට අද වෙනසක් ලැබී තිබෙනවාද? අද ISIS කියන ත්‍රස්ත කල්ලිය ඉරාකයම වෙළාගෙන තිබෙනවා. ‘සුන්නි’ සහ ‘ෂියා’ ලෙස ඉරාකය අද දෙකඩ වෙන්න යන්නේ. දෙපැත්තට වෙලා මිනී මරා ගන්න, මලමිනී ගොඩගැහෙන රටක් බවට අද ඉරාකය පත්ව තිබෙනවා. මම කීවේ උදාහරණ දෙකක් විතරයි, ‘වෙනසක්  ඕනෙ’ කියන තෙල බෙදලා අද ලෝකයේ බොහෝ රටවල් මේ ආකාරයට අස්ථාවර කරලා තිබෙනවා.

‘මුහුණුපොත : ඉලපොත’

“ස්මාට් ෆෝන්” එකෙන් ‘මුහුණු පොත’ බලන්න අවශ්‍ය 3ඨ-4ඨ පහසුකම් ලබාදුන්නෙත් 2005න් පස්සේ මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේයි. ඊට පසුව තමයි, ඒ තාක්‍ෂණය යොදාගෙන මායාකාරී සටන් පාඨවලින් තරුණ පරපුර රවටලා ඔවුන් පාරට ගෙනඒමේ මෙහෙයුම වේගවත් වුණේ. මේක ‘මුහුණු පොත’ නොවෙයි අපේ රටට අදාළව නම් ‘ඉලපොත’. මේකෙන් කරන්නේ ඉවත් කරන්න  ඕනෙ නැති දේවල් ඉවත් කිරීම. මැදපෙරදිග රටවලදී කළෙත් ඒක. තියෙන තත්ත්වයට වඩා හොඳ තත්ත්වයක් ඉල්ලාගෙන මිනිස්සු යනවා. හැබැයි ලැබෙන්නෙ තිබුණු තත්ත්වයටත් වඩා ගොඩාක් නරක තත්වයක්.

ඒ නිසා තමයි අපි කල් තියා කිව්වේ, ‘තිබෙන ජයග්‍රහණ රැකගෙන තමයි, අලූත් ජයග්‍රහණ දිනා ගැනීමට යා යුත්තේ’ කියලා. ‘ලැබූ ජයග්‍රහණ බිල්ලට දිලා අලූත් ජයග්‍රහණ දිනා ගන්න බැහැ’ කියන කතාව අපි එදා සෑම ජනාධිපතිවරණ වේදාකාවකම කිව්වා. දැන් බටහිරට  ඕනේ ‘වෙනස’ ශ්‍රී ලංකාව තුළ සිදු කොට තිබෙනවා.

මේ අය මෙවැනි වෙනසක් ගෙන ආවේ ඇයි? පළමු වැන්න, එල්.ටී.ටී.ඊය විනාශ කොට මේ පොළොවට සාමය දිනාදුන් නායකයාගෙන් වාඩුව ගැනීම. ‘අපේ න්‍යාය පත්‍රයෙන් පිට පැන්නොත් ලැබෙන ප්‍රතිඵලය මෙයයි’ කියන පණිවිඩය ලෝකයේ අනෙකුත් නායකයන්ට  ලබාදීම. මහින්ද රාජපක්‍ෂගෙන් වාඩුව ගන්න නම් පළමුවෙන් ඔහු ඡන්දයෙන් පරද්දන්න  ඕනේ. ඊට පසුව ඔහු සමග හිටපු අය යොදා ගෙන ඔහුට පහර ගස්සලා මහජනතාව ගරු නොකරන තත්වයකට පත් කරන්න  ඕනෙ. ඒ විදියේ තත්ත්වයක් තුළ යුද අපරාධ පිළිබඳ දේශීය පරීක්‍ෂණයේ වාර්තාව රැගෙන එන්න  ඕනෙ, ඊළගට මහින්ද රාජපක්‍ෂ ඇතුළු යුද්ධයට නායකත්වය දුන් පිරිස වරදකරුවන් කරපු දේශීය පරීක්‍ෂණයේ වාර්තාව අරන් එක්සත් ජාතින්ගේ ආරක්‍ෂක මණ්ඩලයට යනවා. එහිදී ඇමෙරිකා එක්සත් ජනපදය යෝජනාවක් ගෙන එනවා ‘ශ්‍රී ලංකාවේ සිදු කරන ලද පරික්‍ෂණයෙන් ඔප්පු වෙලා තියෙනවා මහින්ද රාජපක්‍ෂ ඇතුළු මේ පිරිස යුද අපරාධවලට වගකියන්න  ඕනෙ බව. ඒ නිසා අපි මේ අය හේග් යුද අපරාධ අධිකරණය ඉදිරිපිටට ගෙනවිත් නඩු විභාග කරන්න  ඕනෙ’ කියලා. ඒ යෝජනාව ගෙනෙන්න තමයි අද ඇමෙරිකානු එක්සත් ජනපදය බලාගෙන ඉන්නේ.

මෙවැනි යෝජනා රැගෙන එන්න නම් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට තිබෙන ජන ආකර්ෂණය නැති කරන්න  ඕනෙ. අවලාද තොග ගණනේ ගැහුවා ප්‍රතිරූපය වට්ටන්න. නමුත් අවලාද ගහන්න, ගහන්න ප්‍රතිරූපය තවත් ශක්තිමත් වුණා. ‘අප්පච්චි මළෝ’ කියලා ගියපු අයත් බැලූවේ ප්‍රතිරූපය වට්ටන්න තමයි. අප්පච්චි මළා කියලා, මොන පුතාද අප්පචිචිව මරපු එකාට, තමන්ගේ අම්මාව පාවලා දෙන්නේ. එහෙම පුතාලා ඉන්නවාද?

(‘ඔව්! ඔව්! ඉන්නවා. මොනරාගලත් එහෙම පුතෙක් ඉන්නවා.’ ජනතාව පිළිතුරු දෙති)

ඇමෙරිකා එක්සත් ජනපදයේ පළවන ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ 2015.01.19 දින බොහොම සතුටින් මෙසේ ලියා තිබෙනවා. ‘දෙමළ කැරැල්ල 2009 දී පාගා දමා ඉන්පසුව තම සහෝදරයා ආරක්‍ෂක ලේකම්වරයා ලෙස බඳවා ගෙන ඒකාධිපතිවාදය කරා ගිය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඉවත්කර දැමීමට එහි ඡන්දායකයෝ පියවර ගත්හ. එහිදී ඔවුහු රට පමණක් නොව ලෝකයම විමතියට පත් කළහ. මාධ්‍ය නිදහස, විනිසුරුවරුන්ගේ නිදහස, ආගමික නිදහස හා සුළුතර ජනවර්ගවල නිදහස යළි තහවුරු කිරීමට නව ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ. ඇමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්‍ෂකයන් පවසන්නේ, මෙය ශ්‍රී ලංකාව තුළ නව යුගයක් ආරම්භ කිරීම සඳහා දශකයකට පසුව ලැබුණු ඉතාම වැදගත් අවස්ථාව බවයි. එහෙත් එහි බලයෙන් පහ කළ කල්ලියට යළි බලයට ඒමට ඉඩ නොදී නව ආණ්ඩුවේ බලය තහවුරු කර ගැනීමටද ශ්‍රී ලංකාව වග බලා ගත යුතුව ඇත. ඒ සඳහා සහාය විය හැක්කේ ඇමෙරිකා එක්සත් ජනපදයට පමණි. වෙන කිසි රටකට එසේ කළ හැකි නොවේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඔහුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්‍ෂ තවමත් දේශපාලනිකව මියගොස් නොමැත. ලබන අප්‍රේල් මාසයේදී තීරණාත්මක මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරනු ලැබුවේ විවිධ පක්‍ෂ හා කණ්ඩායම් ගණනාවක සහයෝගයෙනි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පෙරට ගෙන යාමට හැකි වන පරිදි තම බලය ස්ථාවරකර ගත යුතුය’

‘මහින්ද  – ගෝඨාභය තවමත් දේශපාලනිකව මියගොස් නැත.’

මේ ලිපියෙන් කියන්නේ ‘මහින්ද රාජපක්‍ෂ ඉක්මනින්ම දේශපාලන මරණයකට පත් කරන්න’ කියලයි. එහි තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. ‘එක්සත් ජනපදය වශයෙන් අප මෛත්‍රීපාල සිරිසේනට කළයුතු උපකාරය කුමක්ද? එහිදී දිගුකලක සිට ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම් ගැටළුව සාකච්ඡාවට ගන්නා බව ජෝන් කෙරී මහතා පවසා තිබේ. 1983 සිට 2009 දක්වා පැවති සිවිල් යුද්ධය තුළ රාජපක්‍ෂ පාලනය සිදුකළ යුද අපරාධ පිළිබඳ පරික්‍ෂණයක් ඇරඹීමට වෙහෙස වුයේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවයි. මෙවැනි කරුණු ඔස්සේ ඉදිරියට යන මේ ලිපියේ අවසානයේ මෙසේ සඳහන් වෙනවා. ‘එබැවින් රාජපක්‍ෂ මහතා යළි බලයට පත්වීමේ  තර්ජනය අතුගා දැමීම මගින් තරු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය රැක ගැනීමට තීරණාත්මකව ක්‍රියාකිරීම තමාගේ (මෛත්‍රී සිරිසේනගේ) යහපතට හේතුවේ. ගෝඨාභයගේ සහෝදරයා වන මහින්ද රාජපක්‍ෂ විසින් ප්‍රබල විපක්‍ෂයේ පාලනය සියතට ගැනීමට සමත් වුවහොත් ගෝඨාභය හිස එසවීමේ නිසැක අවකාශයක් පවතී. දැන්ම රාජපක්‍ෂ මහතා කොන් කිරීම වැදගත් වන්නේ එහෙයිනි.’ මෙහෙම කියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතයි, ඇමෙරිකා එක්සත් ජනපද රාජතාන්ත්‍රික දූත සේවාවන්වල නියුතු නිලධාරීන් තමන්ගේ මග පෙන්වන්නා ලෙස සලකන්නේ මේ ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතයි. මේ ලිපියේ මෙසේද සඳහන් වෙනවා. ‘යුද අපරාධ විභාග කිරීම සඳහා විදේශීය මැදිහත්වීම් නතර කිරිමේ අටියෙන් යුද අපරාධ පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණයකට තමන් සූදානම් බව මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී තිබේ. යම් යම් යුද අපරාධ පිළිබඳ විභාග කිරීමට නව රජය සූදානම් බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශකවරයා පවසා තිබේ. සිවිල් යුද්ධය අවසන් දිනයේදී සුදු කොඩි රැගෙන යටත්වීමට පැමිණි කොටි නායකයන්, හමුදා සෙබළුන් විසින් මරා දමන ලදැයි එල්ල වන චෝදනාද  එවැනි යුද අපරාධයකි. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාගේ එම ප්‍රකාශය අතිශය වැදගත් කමක් ඇති එකකි. මන්දයත් බොහෝ ශ්‍රී ලාංකිකයන් දන්නා පරිදි සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද කොංග්‍රසයට වාර්තා කළ පරිදි ‘උන් ඔක්කොම මරන්න  ඕනෙ’ යනුවෙන් ගෝඨාභය රාජපක්‍ෂ නියෝග කළ බව එවකට සිටි හමුදාපතිවරයා විසින් ප්‍රකාශ කොට තිබිණි. යුද අපරාධ අධිකරණය හමුවේ සාක්‍ෂි දීමටද තමා සූදානම් බව පසුව ඔහු(වත්මන් පීල්ඞ් මාර්ෂල්තුමා) පවසා තිබිණි.’

මෙම ලිපිය ලියා තිබුුණේ රයන් ගුඞ්මාන් නැමති නිව්යෝක් විශ්වවිද්‍යාලයේ නීතිය, දේශපාලනය හා සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු විසිනුයි. මෙය ඇමෙරිකා එක්සත් ජනපද රජය වෙනුවෙන් සකසා ඉදිරිපත් කළ ලිපියක්, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික දූත මෙහෙවරේ යෙදෙන නිලධාරීන්ට’ මග පෙන්වන ලිපියක්.

මේක තමයි 2015 ජනවාරි 09 වැනිදා සිට ක්‍රියාත්මක මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහි සැලැස්ම. මේ සැලැස්මේ මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු රණවිරුවන්ගෙන් පළිගැනීම සහ ඔවුන් පිළිබඳ මහජන අප්‍රසාදය ඇති කිරීම කියන අරමුණු දෙක ඇතුළත්ව තිබෙනවා. මේ විතරක් නොවෙයි තවත් සැලැස්මක් තිබෙනවා. පසුගියදා ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඒ පිළිබඳ පවසා තිබුණා. ‘ඊළග මහ මැතිවරණයෙන් පස්සේ ආණ්ඩුවක් පිහිටුවලා උතුරේ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදිය යුතුයි’ කියලයි ඔහු පවසා තිබුණේ. එමගින් අරමුණුකර ඇත්තේ ඉන්දීය අගමැතිවරයා පැවසූ පරිදි 13න් එහාට යන විසදුම, ‘උතුරට ස්වයං පාලනයක්’ හිමිකර දීම.

2001 දී බලයට පත් වූ එජාප ආණ්ඩුවට එදා කටයුතු කරන්න සිදු වුණා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමගයි. රනිල් වික්‍රමසිංහ පාලනය රටට එරෙහි ක්‍රියාමාර්ග ගෙන ආ විට ඊට විරුද්ධව ජවිපෙ සමග සටන් වැදුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුයි. අවසානයේදී 2004 වන විට එජාප ආණ්ඩුවට ගෙදර යන්න වුණා. එහිදී එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සතු විධායක බලය පවා එජාප ආණ්ඩුවේ දේශදෝහී පියවරවලට එරෙහිව යොදා ගත්තා. අදත් ඒ ටික වෙයි කියලා මේ අය බයයි. ඒ නිසයි දැන් මේ අය ශ්‍රී ලනිපය බලහත්කාරයෙන් හරි පෙළවහට ගන්න යන්නේ. මේකට ගමේ ශ්‍රී ලනිප සාමාජිකයන්, පළාත් පාලන මන්ත්‍රීවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන්, වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකුත් කැමති නැහැ.

මෙහිදී වුණේ එජාප, දෙමළ ජාතික සන්ධාන, ජවිපෙ ඡන්දවලින් විධායක ජනාධිපති ධුරයට පත් වුණු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලනිපයේ බලය අල්ලා ගැනීම එයා ඊට පස්සේ කියනවා, ’ඔයගොල්ලෝ දැන් ද්විත්ව රංගනයක් ඉදිරිපත් කරන්න කියලා. එකක් ‘ජාතික ආණ්ඩු චරිතය.’ අනෙක විපක්‍ෂ චරිතය.’ දැන් මේ එක චරිතයක්වත් හරියට රගපාන්න බැරි තත්වයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පත් කරලා තියෙනවා.

හැම අතින්ම අද ජාතිය බැට කනවා. වේදනාවට ලක් වෙලා තියෙනවා. එතැනින් මේ රට එළියට ගන්න ලෑස්ති වෙන්න. ඒ වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ ධජය ඉහළට ඔසවන්න. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒ අවස්ථාව ලබාදුන්නොත් එහෙම යං. නොදෙනවානම්, නව ජාතික පෙරමුණකින් මහින්ද රාජපක්‍ෂ මූලික වුණු ගමනකට සූදානම් වෙන්න.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-04-09

02 03 04 05 -6 07 09 10

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*