BREAKING NEWS

මහ සඟරුවන මව්බිමේ සතුරන්ට එරෙහි ජාතික සටන අතට ගනී! විමල් උපවාසය අත හරී!

රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පෙමසිරි මහනාහිමි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි ලිඛිතව කළ ඉල්ලීම් සහ සියම් නිකායේ කල්‍යාණ සාමග්‍රී පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය පිඹුරේ උදිත මහනාහිමි, සියම් නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය පල්ලත්තර සුමනජෝති නාහිමි, සියම් නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමි, විද්‍යෝදය පිරිවෙනේ පරිවේනාධිපති ආචාර්ය පූජ්‍ය බලන්ගොඩ සෝභිත නාහිමි, රාමඤ්ඤ නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය නාගොඩ අමරවංශ නාහිමි, පූජ්‍ය කිරම විමලජෝති නාහිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසාර නාහිමි, මහාචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර නාහිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමි ඇතුළු මහා සංඝරත්නය පසුගිය මාර්තු 30 වැනිදා කොළඹ ජාතික රෝහල වෙත පැමිණ සෙත් පිරිත් සජ්ඣානයෙන් පසුව කළ ඉල්ලීම් ද අනුව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පුරා පැය 216ක් තිස්සේ ගෙන ගිය සිය උපවාස ක්‍රියාමාර්ගය අත හැරීමට එකඟ විය.
“අපේ පුරාණ කීමද සිතිය යුතු ‘පණ ඇත්නම් නේද අණ ඇත්තේ.’ මේ බව සිතා ඉදිරි ජාතික. ආගමික දේශපාලන සේවය කිරීම මනාව අවබෝධකර ගනිමින් උපවාසය අත හැර නිරෝගී සුවය ලබන ලෙස දයාවෙන් දැනුම් දෙමි. මේ ලිපිය දැකීමෙන් – බැලීමෙන් උපවාසය අත හරී යයි තදින්ම මම විශ්වාස කරමි’ රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පෙමසිරි මහනාහිමිගේ ලිපියේ සඳහන් විය.

“ඔබතුමා විසින් ආහාර ගැනීම ප්‍රතික්‍ෂේප කරමින් උපවාසයක් ආරම්භ කළ බවත් එයින් ගිලන් වී බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවත් අපි ජනමාධ්‍ය හරහා දැන ගත්තෙමු. ඔබේ චතුර කථිකත්වය, දැනුම මෙන්ම මව්බිමට දක්වන අසීමිත ඇල්ම පිළිබඳ පක්‍ෂ භේදයෙන් තොරව කාගෙත් ඇගයීමක් ඇත. එවැනි නායකයකු විනාශ වී යනු දැකීම මහා සංඝරත්නය ලෙස අපට රිසි නොවේ.

විපක්‍ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමට ඔබතුමා උපවාසයේ නිරත වන බව අපි දැන ගත්තෙමු. ඔබතුමාලාගේ අයිතීන්ට යම් බලපෑමක් සිදු වන්නේ නම් ඒ පිළිබඳ මැදිහත් වීමට මහා සංඝරත්නය ලෙස අපට පුළුවන. එබැවින් ඔබතුමා පවත්වා ගෙන යන අඛණ්ඩ උපවාසය නවත්වන මෙන් ශාසනාලයෙන් දැනුම් දෙමු.” මල්වතු මහා විහාරයේ සිට මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියෝ විමල් වීරවංශ මහතාට සිය ලිපියෙන් දන්වා සිටියහ.

මෙම ලිපි දෙක ද රැගෙන සියම් නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලත්තර සුමනජෝති නාහිමියෝ ඇතුළු ඉහත කී මහා සංඝරත්නය ජාතික රෝහලේ 45 වැනි වාට්ටුවේ ඒ වන විට රඳවා සිටි විමල් වීරවංශ මහතාට සෙත් පිරිත් සජ්ඣායනය කිරීමට සහ උපවාසය නතර කරන ලෙස ඉල්ලා සිටීම සඳහා ඒ වාට්ටුව තුළට යාමට සූදානම් වූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් ඊට ඉඩ දුන්නේ නැත. ඔවුන් පැවසුවේ ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අවසරය උවමනා බවය.

“මෙතැන ඉන්නේ මේ රටේ කාගෙත් ගෞරවාදරයට පාත්‍ර වූ මහානායක-අනුනායක හිමිවරුන් පිරිසක්. අපේ හැඳුනුම්පත තමයි මේ චීවරය. එල්ලා මැරීමට සිටින අයකුට වුවත් අපි ගොස් පිරිත් සජ්ඣායනය කරනවා. ඇයි මේ රටක් වටින මිනිසාගේ ජීවිතය රැක ගන්න අපට ඉඩ නොදෙන්නේ?” හිමිවරු කිහිප දෙනෙක්ම එහිදී දැඩිව පවසා සිටියහ.

කෙසේ නමුත් ටික වේලාවකින් මේ හිමිවරුන්ට විමල් වීරවංශ මහතා රඳවා සිටින ඇඳ වෙත ගොස් ඔහුට ඉහත ලිපි 02 ලබා දීමටත් උපවාසය නතර කරන ලෙස තම ඉල්ලීම් ඉදිරිපත් කිරීමටත් ඉඩ ලැබිණි. නායක හිමිවරුන්ගේ ඉල්ලීම් ද රාමඤ්ඤ නිකායේ මහනාහිමිගේ සහ මල්වතු පාර්ශ්වයේ අනුනාහිමිගේ ලිපිද සලකා බැලූ විමල් වීරවංශ මහතා තම උපවාසය නතර කිරීමට එකඟ විය. උපවාසය නතර කිරීම සංකේතවත් කිරීමට උන්වහන්සේලා අතින් විමල් වීරවංශ මහතාට කිරි වීදුරුවක් පොවනු ලැබීය.

“විමල් වීරවංශ කියන්නේ මේ රටට ඕනෙ නායකයෙක්. කොටින්ගෙන් මේ රට බේරා ගැනීමට දේශපාලන නායකයකු ලෙස සුවිශාල මෙහෙවරක් කරපු කෙනෙක්. එයා උපවාසයකට වාඩි වුණා කීවාම මම බලවත් වේදනාවකට පත් වුණා. ඔහුව මේ විපතින් ගලවා ගන්නයි මම ආවේ. එයා මේ විපතින් ගලවා ගත්තේ නැතිනම් මේ රටම විපතට වැටෙනවා.

ඔහු මේ උපවාසය අතහරින්න එකඟ වුණා කීවාම මට ආයෙත් ඉපදුණා වගේ දැනෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබෙනවා” විමල් වීරවංශ මහතා උපවාසය අතහැරීමට එකඟ වූ පසු පල්ලත්තර සුමනජෝති නාහිමියෝ අන් අයට ද ඇසෙන සේ පැවසූහ.

“ඒ මොකක්ද අපේ හාමුදුරුවනේ?”
එතැන සිටි හිමිවරු කිහිප නමක්ම විමසා සිටියහ.

“මේකෙන් මගේ කුලපතිකම ගහලා යන්න පුළුවන්. ඒත් කුලපතිකම වගේද රට?” පල්ලත්තර සුමනජෝති නාහිමියෝ පිළිතුරු වශයෙන් සඳහන් කළහ.
-අබර-

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*