BREAKING NEWS

මාස 15ක් මේ ආණ්ඩුව දුවලා තිබෙන්නේ කිසිදු ආර්ථික සැලැස්මක් නැතිවයි.

13002525_917646788353142_4928594452378754907_oජනාධිපතිවරයා ජී-7 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කරන බවට අගමැතිවරයා කළ ප‍්‍රකාශයෙන්ම පැහැදිලි වන්නේ මෙම ආණ්ඩුව පසුගිය මාස 15 තුළ කටයුතු කර ඇත්තේ කිසිදු ආර්ථික සැලැස්මකින් තොරව බව යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ (11) බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

‘‘ ජනාධිපතිවරණයට පෙර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ වගේම අගමැති රනිල් වික‍්‍රමසිංහගේත් ප‍්‍රධාන සතුරකු වූයේ රාජපක්ෂ පාලනය පමණක් නොවෙයි චීනයත් ප‍්‍රධාන සතුරකු වූවා. ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ රනිල් වික‍්‍රමසිංහ එදා විපක්ෂනායකවරයා කීවා, ‘පෝට් සිටිය ඉතා නොවැදගත් ව්‍යාපෘතියක්. හික්කඩුව දක්වා එක පැත්තකින්, කල්පිටිය දක්වා අනෙක් පැත්තෙන් මුළු වෙරළ තීරයම ඛාදනය වෙනවා. ඒ නිසා අපි ජයග‍්‍රහණය කළොත් වරාය නගරය ඉදි කිරීම නතර නරනවා ’ කියලා. ‘ මේ රට චීන කොලනියක් කරන්න හදනවා, චීනය ආර්ථික ඝාතකයෙක් ’ ආදී වශයෙන් අවලාද ගහපු මේ අයට අද දෛවයේ සරදමක් විදිහට චීනයට ගිහිල්ල ‘ පස්වාන් දහසකට බුදු වෙන්න. අපට කීයක් හරි දෙන්න ’ කියන්න වෙලා තිබෙනවා.

‘ මාස 15ක් දුවලා තියෙන්නේ ආර්ථික සැලැස්මක් නැතිව ’

චීනයට ගිහිල්ලා ආපු අගමැති රනිල් වික‍්‍රමසිංහ අද කියනවා ‘ වරාය නගරය මේ කලාපයේ වාණිජ කේන්ද්‍රස්ථානය බවට පත් කරනවා. හම්බන්තොට වරායේ අක්කර 3000ක් චීන කර්මාන්ත පුරයකට දෙනවා. මත්තල ගුවන්තොටුපළත් අපි චීනයත් සමඟ එකතු වෙලා දියුණු කරනවා ’ කියලා. දැන් වික‍්‍රමසිංහ මහත්තයාට කථා කරන්න වෙලා තියෙන්නේ රාජපක්ෂ පාලන සමයේ සංවර්ධන ව්‍යාපෘති උපායමාර්ගිකව නිවැරදි බව පිළිගනිමින්. මේකෙන්ම පෙනෙනවා එදා බොරු චීන විරෝධයක් නිර්මාණය කරලා බලය උදුරා ගැනීමක් සිදු කළේ කියලා. තමන්ගේ බටහිර හාම්පුතාලාගේ කීමට චීන විරෝධයක්, වෛරයක් හදලා අද ඒ හාම්පුතාලාගෙන් සතයක්වත් නොලැබෙනකොට උදව් ඉල්ලන්න චීනයට යන රනිල් වික‍්‍රමසිංහලාට මේ රටේ ආර්ථිකය ගොඩගැනීමට කිසිඳු ඥානයක් නැහැ කියලා, පෙනෙනවා. දැන් කියනවා, ‘ ජනාධිපතිතුමා ජී-7 සමුළුවට ගියාට පස්සේ රජයේ ආර්ථික සැලැස්ම ඉදිරිපත් කරනවා’ කියලා. ඒ කතාවෙන් පෙනෙන්නේ කුමක්ද ? මේ ආණ්ඩුව පසුගිය මාස 15 තුළ කටයුතු කර ඇත්තේ කිසිදු ආර්ථික සැලැස්මකින් තොරව කියලා.

‘ මොක නැතත් හොරකම නම් අපූරුවට කරනවා.’

කිසිදු ආර්ථික සැලැස්මක් නැතිව දුවන මේ ආණ්ඩුව අද හොරා කෑම නම් හරි අපූරුවට සිදු කරනවා. කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයට සබීතා පෙරේරා මැතිනයට අයත් ගොඩනැගිල්ල රුපියල් කෝටි 96කට කුලියට ගෙන තිබෙනවා. විගණන මතය වී ඇත්තේ එසේ කිරීම කිසිසේත්ම සුදුසු නොවන බවයි. නමුත් මේ වන විට එම ගනුදෙනුව සිදුව අවසන්. මේ විදිහට ගොඩනැගිලි ගන්නවා ‘අතයට ගනුදෙනු’ බලාපොරොත්තුවෙන් පසුගිය සතියේ මහ බැංකුව බිලියන 40ක බැඳුම්කර ගන්න නිවේදනය නිකුත්කර තිබියදී, අවුරුදු 14කින් ගෙවන්න 14.23 % ක පොලී අනුපාතිකයකට බිලියන 80ක බැඳුම්කර ගෙන තිබෙනවා. මිලදී ගත්තු ගැනුම්කරුවන්ව හෙළිදරව් කරන්නෙත් නැහැ. අපට ආරංචි වෙලා තිබෙන ආකාරයට මහ බැංකු අධිපතිවරයාගේ බෑණාගේ සමාගම තමයි ඒ ගනුදෙනුව පිටුපස වැඩි වශයෙන් ඉන්නේ. පළමු වතාවට බැඳුම්කර වංචාවක් කළා. මහජනතාවට විශාල හානියක් කළා. දැන් නැවත වතාවකටත් බැඳුම්කර වංචාවක් සිදුකර තිබෙනවා. මහ බැංකුව 14.23 % ක පොළී අනුපාතිකයකට බැඳුම්කර ගත්තාම ජනතාවට බැංකුවකින් ණය මුදලක් ගන්න වෙන්නේ කවර පොළියකටද ? මේ රටේ ආර්තිකය වැටුණේ මෙවැනි විපත්තිදායක ආර්තික මූලෝපායන් නිසා බව පැහැදිලියි.

අද දිනය තුළ මේ රටේ බැංකුවලට මිනිස්සු රන් භාණ්ඩ උකස්කර කොපමණ මුදලක් ලබා ගෙන ඇත්ද, කියලා සොයා බලන්න. පානදුර එක්තාරා බැංකු ශාඛාවකින් අද දිනයේ රන් භාණ්ඩ උකස්කර ලබා ගෙන ඇති මුදල රුපියල් මිලියන 02ක් . රන්ජන් රාමනායක කියනවා, ‘ අවුරුදු සතුටින් කන්න පුළුවන් තත්වයක් තිබෙනවා’ කියලා. අවුරුදු කන්න නොවෙයි ලෙවකන්නවත් බැහැ. ඒ නිසයි ජනතාව රන් බඩු උකස් කරලා, ලෙවකන්නවත් බලන්නේ. රටේ ආර්ථික වර්ධන වේගය පහත හෙළන්න, තිබුණු ආණ්ඩුව ගෙදර යවලා, අලූත් ආණ්ඩුවක් පත්කර ගත්තු මිනිස්සු ඉන්න ලෝකයේ එකම රට ශී‍්‍ර ලංකාව. එදා රාජපක්ෂ පාලනය යටතේ ආර්ථික වර්ධන වේගය 7.5 % යි. අද ආර්ථික වර්ධන වේගය 4 % ට වැටිලා.

‘ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව තහවුරු කරනු ’

පසුගියදා බිබිල ප‍්‍රදේශයේ රැස්වීමකදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා කීවා ‘ ඉන්න ජනාධිපතිවරයාටත් වඩා හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව ලබා දෙන ලෝකයේ එකම රට ශ‍්‍රී ලංකාව ’ කියලා. අපි එතුමාට කියනවා ‘ ලෝකයේ ත‍්‍රස්තවාදය පරදවා ජය ලැබූ, ජීවතුන් අතර සිටින ලෝකයේ එකම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව අමතක කරන්න එපා ! ’ කියලා. ඒ වගේම 2010 දී දෙමළ ජාතික සන්ධානය සමඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු, සුදු කොඩි කතාව කියපු සරත් ෆොන්සේකා සමඟ මහින්ද රාජපක්ෂ සන්සන්දනය කරන්න බැහැ. එහිදී සරත් ෆොන්සේකා කටයුතු කළේ දෙමළ ඩයස්පෝරාව සතුටු වන අන්දමටයි. අදත් දෙමළ ඩයස්පෝරාව උද්ඝෝෂණවලදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡායාරූපවලට කෙළ ගහනවා. එවැනි අවදානමක් තිබෙන එතුමාගේ හමුදා ආරක්ෂාව ඉවත් කරන්න එපා ! කියා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.

ඒ වගේම එක්නැලිගොඩ ඝාතනය පිළිබඳ අසත්‍ය චෝදනා ඉදිරිපත් කරලා බුද්ධි අංශ නිලධාරීන් 09 දෙනකු අද සිරගත කොට තිබෙනවා. අපි අද කොළඹ දිස්ත‍්‍රික්කයේ පදිංචි එම නිලධාරීන් දෙදෙනකුගේ නිවෙස් වෙත ගියා. ඔවුන්ගේ වැටුප් නතර කරලා. නීතීඥ ගාස්තු පෞද්ගලිකව ගෙවන්න වෙලා තිබෙන්නේ. අපට ජාතික ආරක්ෂාව තහවුරු කර දීමට කැප වුණු එම බුද්ධි අංශ නිලධාරීන් සිරගත කොට සිටියදී අපට අවුරුදු සැමරිය හැකිද ?. අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා වහා මේ බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කරන්න පියවර ගන්න කියලා.’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.04.12

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*