BREAKING NEWS

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව අහෝසි කරන බව රනිල්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා – ජානිපෙ නායක විමල් වීරවංශ

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව, සියල්ල මුදලට විකුණන සෞඛ්‍ය සේවාවක් බවට පත්කරන බව රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මෙවර මහ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඉතා පැහැදිලිව සඳහන් වන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
විමල් වීරවංශ මහතා මේ බව පෙන්වා දුන්නේ පසුගිය 29 වැනිදා බදුල්ල දිස්ත‍්‍රික්කයේ මහියංගණය නගරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ජනරැලිය අමතමිනි.
එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
‘‘ශ‍්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය අධිකාරී ව්‍යුහයකට වෙනස් කරන බව රනිල් වික‍්‍රමසිංහ තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් කියනවා. ‘අධිකාරී ව්‍යුහයක් කියන්නේ මොකක්ද?’ කියලා මම පැහැදිලිකර දෙන්නම්. නිවාස සංවර්ධන අධිකාරිය ගන්න. ‘ඒ අධිකාරිය විසින් සල්ලි හොයලා ඒගොල්ලන්ගේ වැටුප් ගෙවා ගන්න ඕනේ. ඒගොල්ලන්ට සල්ලි හොයන්න බැරිනම්, වැටුප් ගෙවා ගන්න බැරිනම් ආයතනය කඩා වැටෙනවා. සාමාන්‍යයෙන් අධිකාරියකට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදෙන්නේ නැහැ.
රෝහල් පද්ධතිය දෙපාර්තමේන්තු ව්‍යුහයෙන් ගලවලා, අධිකාරී ව්‍යුහයකට ඇද දමපුවාම මොකක්ද වෙන්නේ? සියල්ල මුදලට විකුණන සෞඛ්‍ය සේවාවක් බවට මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව පත්වෙනවා. රනිල් වික‍්‍රමසිංහගේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් පැහැදිලිවම කියලා ඉවරයි, ශ‍්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය පෞද්ගලීකරණය කරන බව. මෙතෙක් කලක් නොමිලේ ගත්තු බෙහෙත් ටික මුදල් ගෙවා ගන්න තත්වයට මේ රටේ දුප්පත් ජනතාව ඇද දමන්නයි මේ සැරසෙන්නේ, ඒකට ඉඩ දෙන්න එපා! අගෝස්තු 17 වැනිදා ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න.
මහ බැංකු බැඳුම්කර වංචාව හේතුවෙන් මේ රටේ ජනතා මුදල් රුපියල් කෝටි 6000කට වැඩි ප‍්‍රමාණයක් නාස්ති කරලා ඉවරයි. දැනටමත් රාජ්‍ය ආයතන විකුණාගෙන කෑම අරඹලා තියෙනවා. සතොස ආයතනයේ රාක්ක ටික හිස් කරලා මාස 06කින් ඒක කාලා දැම්මා ප‍්‍රතිව්‍යුහගත කරනවා කියලා. දැන් ඒක කාර්ගිල්ස් අයිතිකරුට විකුණා දමන්න සැරසෙනවා. හිටපු ජනාධිපතිතුමන් සිය පාලන කාලයේදී ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ මුදල් යොදවලා ෂෙල් සමාගම සතුව තිබූ අපේ ගෑස් සමාගම රජයට පවරාගෙන ‘ලිට්රෝ’ නමින් පවත්වාගෙන ගියා. දැන් රනිල් වික‍්‍රමසිංහලා, රවී කරුණානායකලා ඒ ලිට්රෝ ගෑස් සමාගම විකුණා දමන්න ෂෙල් සමාගමේ ප‍්‍රධානීන් කොළඹට ගෙනල්ලා මේ දිනවල සාකච්ඡා කරනවා. ලංකා හොස්පිටල් රජය සතු සමාගමක්. ඒකත් විකුණා දමන්න හදනවා. ඒ විතරක් නොවෙයි මේ යහපාලකයින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව ‘භාරත් පෙට්රෝලියම් සමාගමට’ විකුණා දැමීමට ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටිනවා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*