BREAKING NEWS

‘මේක පිං කැටේ එකතු වන රුපියලටත් බදු ගහන්න හදන ආණ්ඩුවක්’

‘මේක පිං කැටේ එකතු වන රුපියලටත් බදු ගහන්න හදන ආණ්ඩුවක්’

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බදාදා එහි නායක, විමල් වීරවංශ සහ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී රැස්විය

එහිදී ශ්‍රී දළදා මාලිගාව භාරකාර අරමුදල ඇතුළු පුණ්‍යායතන අරමුදල්වලින්ද බදු අය කිරීමට නියමිත, මේ රටේ සියලු පුරවැසියන් මත අධික බදු බරක් පටවන, පසුගිය මැයි 02 වැනිදා කැබිනට් අනුමැතිය ද ලබාගෙන ඇති යෝජිත දේශීය ආදායම් පනතෙහි ඇති භයානකකම පිළිබඳව මුලින්ම සාකච්ඡා කෙරිණි..

“2017 මැයි 02 වැනිදා සිරිසේන – වික්‍රමසිංහ හවුල් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය නව දේශීය ආදායම් පනතක් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දි ඇති යෝජිත නව දේශිය ආදායම් පනත හොඳින් අධ්‍යයනය කළාම අපට පෙනෙන්නේ ප්‍රධාන අරමුණු 02ක් ඉටු කර ගැනීම පිණිස මෙම යෝජිත පනත රැගෙන එන බවයි. ඉන් පළමුවැන්න තමයි, අපේ රටේ බදු අය කිරීමේ, පරිපාලනය කිරීමේ, කළමනාකරණය කිරීමේ කාර්යයේ නිරත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මුළුමනින්ම අකර්මණ්‍ය කර එම කාර්යය මුළුමනින්ම පෞද්ගලික අංශයට පැවරීම. දෙවැන්න මේ රටේ සෑම සුරවැසියකු මතම අධික බදු බරක් පැටවීම සඳහා නව බදු ක්‍රමවේද හඳුන්වා දීම. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති මේ යෝජිත පනත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම යෝජිත පනත සැකසීම සඳහා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තිකයන්, බදු උපදේශකයන්, මෙන්ම පෞද්ගලික අංශයේ කිසිදු දේශීය සම්පත්දායකයකු සම්බන්ධකර ගෙන නැහැ. ඒ සඳහා සම්බන්ධ වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ගජ මිතුරන් කිහිප දෙනෙකු පමණයි. අප්‍රිකානු කලාපයේ රාජ්‍යයක් වූ ඝානාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දී එම රට අවුලෙන් අවුලට ඇද දැමූ ‘ජාතික බදු ප්‍රතිපත්තිය’ තමයි ඔවුන් ශ්‍රී ලංකාවටත් මේ යෝජිත පනත මගින් රැගෙන ඒමට හදන්නේ” නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහතා ඒ පිළිබඳව කරුණු දක්වමින් පැවසීය.

“මේ යෝජිත දේශීය ආදායම් පනත කොතරම් විසකුරු වුවත්, ඒ ගැන රටේ ජනතාව දන්නේ නැහැ. ඒත් ඒකට දැන් කැබිනට් අනුමැතිය ලැබිලත් ඉවරයි. නිල විපක්‍ෂයත් මේ පිළිබඳව කටක් අරින්නේ නැහැ. අපි මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම වහාම පටන් ගන්න ඕනේ” නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක පෙන්වා දුන්නේය.

ඊළඟ දිනයේදී මාධ්‍ය හමුවක් පවත්වා ඒ පිළිබඳව රට හමුවේ තැබීමටත් ඉදිරියේදී පක්‍ෂය විසින් ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ යන තේමාව යටතේ පවත්වන ජනතා සම්මන්ත්‍රණවලදී මෙම කරුණු තවදුරටත් ජනතාව වෙත රැගෙන යාමටත් ජානිපෙ දේශපාලන මණ්ඩලය තීරණය කළහ.

‘පරිසර දිනයේදී ජනපති කරන අපූරු වැඩක්’

ඉන් අනතුරුව පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයේ අවධානය ලක් වූයේ පරිසර අමාත්‍ය ධුරය ද දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර පරිසර දිනයේදී සිදු කිරීමට නියමිත අපූරු කටයුත්තක් ගැනය.

ඌව – වෙල්ලස්ස – බින්තැන්න ප්‍රදේශයට අයත් පාරිසරික වැදගත්කමකින් යුත් අක්කර 62,5000ක් ඇමෙරිකා එක්සත් ජනපද සමාගමකට පවරා දෙමින් එදින සිනී නිෂ්පාදන ව්‍යාපෘතියකට මුල්ගල් තබන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතිනි.

“මේ ආණ්ඩුවේ රාජ්‍ය ව්‍යවසාය විකුණා දැමීමේ ප්‍රතිපත්තිය යටතේ පැල්වත්ත, සෙවණගල සීනි කර්මාන්තශාලා විකුණා දමන්න හදනවා. කන්තලේ උක් වගාව සඳහා වෙන්කර ඇති අක්කර 25,000ට කිසිම කර්මාන්තයක් ගෙන යන්නේ නැහැ. ඒක මුඩුබිමක් බවට පත් කරලා ඉවරයි. එහෙම තියෙද්දී මේ ආණ්ඩුවට ඌව – වෙල්ලස්ස, බින්තැන්න ප්‍රදේශවල අක්කර 62,500ක් ඇමෙරිකා එක්සත් ජනපදයේ CDVCA සමාගමට ලබා දීමට සිදුව ඇත්තේ ඔවුන් මේ ආණ්ඩුවට දමන පළමු කොන්දේසිය ‘අපට නැවුම් බිමක් දීපල්ලා’ කියන එක නිසයි.

ලෝක ඉතිහාසය පුරා උක් වගාව සඳහා වෙනත් රටවලට ආපු බහුජාතික සමාගම් සෑම විටම ඉල්ලා සිටියේ නැවුම් බිමක්, නැවුම් වනාන්තර, නැවුම් පෝෂක ප්‍රදේශ. බ්‍රසීලය, ඉන්දියාව ආදී රටවලින් ඒ සඳහා බොහෝ නිදසුන් ලබා ගත හැකියි. කුප්‍රකට ‘බුකර්ටේට්’ සමාගමත් ලෝකය පුරා අලුත් උක් වගා බිම් සොයා ගිහින් අවසානයේ එදා ඌව – වෙල්ලස්සට ආවෙත් ඒ විදිහට. මේ බහුජාතික සමාගම් දන්නවා ඌව වෙල්ලස්ස කියන්නේ රත්තරන් බිමක් කියලා. එදා එළාරට එරෙහිව දුටුගැමුණු රජතුමා සටන් වදිද්දි සද්ධාතිස්ස කුමාරයා මේ බිම ධන්‍යාගාරයක් බවට පත් කළා. එදා ඒ යුද ජයග්‍රහණයට ඌව – වෙල්ලස්ස ඒ විදියට මහෝපකාරී වුණා. මේ කටයුත්ත පරාජය කරන්න අපි මේ වන විට පිහිටුවා ගෙන ඇති ‘ඌව – වෙල්ස්ස – බින්තැන්න ගොවිබිම් සුරැකීමේ ජනතා ව්‍යාපාරය’ ලෙස කළ හැකි සියල්ල කරනවා” ජානිපෙ මොනරාගල දිස්ත්‍රික් නායක, ඌව – වෙල්ලස්ස, බින්තැන්න ගොවිබිම් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු උදයශාන්ත ගුණසේකර මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

-අබර

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*