BREAKING NEWS

“මේ ආණ්ඩුව රාජ්‍ය පාලනයේ ‘අ’ යන්න, ‘ආ’ යන්න හා ‘ඇ’ යන්න යන කිසිවක් නොදන්නා බව මේ වන විට ඔප්පු වී අවසානයි”

13996280_988848081233012_6151693456346179676_oවැට් බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආකාරයෙන් ඔප්පු වන්නේ මේ ආණ්ඩුව රාජ්‍ය පාලනයේ ‘අ’ යන්න, ‘ආ’ යන්න හා ‘ඇ’ යන්න යන කිසිවක් නොදන්නා බව යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(09) පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 08හි පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

“සමහරුන් මවන ලද අසත්‍ය මතය වූයේ ‘මේ ආණ්ඩුව කළමනාකරණ හැකියාවන්ගෙන් කෙලපැමිණි අයගෙන් සැදුම්ලත් අෘණ්ඩුවක්. විශේෂයෙන් කළමනාකරණ හැකියාව වික්‍රමසිංහගේ මොළය තුළ කිදා බැස තිබෙනවා’ කියලයි. නමුත් අද ඔප්පු වෙලා තිබෙනවා ‘මේ ආණ්ඩුව රටේ නීතිය දන්නේ නැහැත බදු සංශෝධයක් ගෙන එනවානම් ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මතකර ගත යුතුයි කියලා දන්නේ නැහැ. පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත යුතුයි කියලා දන්නේ නැහැ’ කියලා. ඒ කියන්නේ ‘රාජ්‍ය පාලනයේ අ යන්න,, ආ යන්න, ඇ යන්න කියන කිසිවක් දන්නේ නැහැ’ කියලා. මේ ආණ්ඩුව අ යන්න – බිංදුව ‘අං’ නම් දන්නවා ඇති.

‘ඉතිහාසයේ පළමු වතාවටයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පනත් කෙටුම්පතක් බල රහිත කළේ’

බලන්න ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලැබී තිබෙනවා ‘පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනතක් බල රහිතයි’ කියලා. මීට කලින් යම් කෙනෙක් යම් පනත් කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළාම ‘පනත් කෙටුම්පතේ යම් වගන්ති සංශෝධනය කරනවා නම් එය තුනෙන් දෙකෙන් සම්මත කර ගත හැකියි. සම්මතකර ගන්න තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයක් අවශ්‍යයි. එහෙම නැතිනම් සරල බහුතරයෙන් සම්මතකර ගත හැකියි’ කියලයි මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියා තිබෙන්නේ. කවදාවත් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත් ශුන්‍ය වුණේ නැහැ.

කුමක්ද මෙතැනදි වුණේ? අනීතික විදියට වැට් බද්ද ඉහළ දැමීමට එරෙහිව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට අදාළ අතුරු තහනම් නියෝගය ලබාදීමට නියමිතව තිබුණේ 2016 ජූලි 11 වැනිදායි. ආණ්ඩුව ජූලි 11 වැනිදාට පෙර යෙදුණු සිකුරාදා දිනයේ (ජූලි 08 වැනිදා) පාර්ලිමේන්තුවට දඩබඩ ගාලා මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කළා. එමගින් බලාපොරොත්තු වුණේ ‘අපි වැට් බදු ඉහළ දැමීමට අදාළ පනත් කෙටුම්පතක් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා’ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් කියන්න. ශ්‍රේෂ්ඨාධිකරණයට කීම සඳහා පමණක් මේ පනත් කෙටුම්පත කලබලයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පවා නොමැතිවයි.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය නොමැතිව පාර්ලිමේන්තුවේ යම් පනත් කෙටුම්පතක් සම්මතකර ගන්න පුළුවන්ද? මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති සියලු පනත් කෙටුම්පත් ආවේ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය සහිතවයි. ඒ අනුව පැහැදිලියි, ‘මේ ආණ්ඩුව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යයි’ කියලා නොදන්නා බව. මුලින් මේ ආණ්ඩුව නීතියට පටහැනිව බදු ඉහළ දමලා මේ රටේ ජනතාවගේ මුදල් කොල්ලකන්න පටන් ගත්තා. ඒක ආණ්ඩුවක් විසින් මහ දවල් සිදු කළ සොරා කෑමක්. ඒ සොරා කෑම අපට නතර පකරන්න පුළුවන් වුණා, ජූලි 11 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ අතරු තහනම් නියෝගය මගින්. ඊට පසුව මේ ආණ්ඩුව නීත්‍යානුකුල ආකාරයට පනත සම්මතකර ගෙන බදු වැඩි කරනවා කියලා කීවා. නමුත් ඒ පනත් කෙටුම්පත ඉදිරිපත්කර ඇත්තෙත් නීතියට පටහැනිව. ‘රටේ නීතිය නොදන්නා ආණ්ඩුවක් තව කොතෙක් කලක් තිබිය යුතුද?’ කියන ප්‍රශ්නය දැන් පැන නැඟී තිබෙනවා.

‘නීතිය කියා දීමේ පාඨමාලාවක්’

ජනාධිපතිට, අගමැතිට හා අමාත්‍ය මණ්ඩලයට රටේ නීතිය කියා දීමේ පාඨමාලාවක් අද අවශ්‍ය වෙලා තිබෙනවා. නීතිය නොදන්නා, නීතිය නොතකන මේ ආණ්ඩුව රජයේ එදිනෙදා වියදමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට බැරි තත්වයකට ඇද වැටී තිබෙනවා. ඒක අපි කරපු දෙයක් නොවෙයි. ඔවුන් විසින්ම සිදුකර ගනු ලැබූවක්.

‘ඉදුරුවේ ආචාරියාට වුණු දේ….’

වැට් බද්ද හෝ ජාතිය ගොඩනැගීමේ බද්ද වැඩි කරනවා නම් ඊට අදාළ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ නිසි පරිදි සම්මතකර ගත යුතුයි. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් නොමැතිව, පාර්ලිමේන්තුවත් මඟ හැරලා හොර පාරෙන් ඒ බදු වැඩි කිරීමයි මේ ආණ්ඩුව විසින් සිදු කරනු ලැබුවේ. හොර පාරෙන් ගිහින් බදු වැඩි කරපු මේ ආණ්ඩුව අද නියම ආකාරයට ලබාගත හැකි බදු ටිකවත් ලබා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ඉඳුරුවේ ආචාරියාට සිදු වුණු දේ තමයි අද මේ ආණ්ඩුවට සිදු වී තිබෙන්නේ. මේක මුදල් ඇමතිගේ ප්‍රශ්නයක් විතරක් නොවෙයි මුළුමහත් ආණ්ඩුවේ ප්‍රශ්නයක්.

අද තිබෙන්නේ නීතිය නොතකන පාලනයක් බව ඔප්පු වෙලා ඉවරයි. ඊනියා නිල විපක්‍ෂය මේ පිළිබඳව හීන් කෙඳිරියක්වත් නොනඟන වෙලාවක ඒකාබද්ධ විපක්‍ෂයේ අපි පාරේ සටනෙත් ඉන්නවා, මතවාදී සටනෙත් ඉන්නවා ඒ වගේම අධිකරණය හරහා ජනතාවගේ අයිතීන් රැකදීමේ සටනෙත් ඉන්නවා. ඒකාබද්ධ විපක්‍ෂය ලෙස අපි මේ රටත් ජනතාවත් වෙනුවෙන් අපේ සාමුහික වගකීම ඉටු කරනවා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.08.10

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*