BREAKING NEWS

”මේ ආණ්ඩුව සිංහල-මුස්ලිම් ගැටුමක් හදලා ජාතිකවාදී බලවේග පොඩිපට්ටම් කරන්න පොටක් පාදා ගන්න බලනවා”

”මේ ආණ්ඩුව සිංහල-මුස්ලිම් ගැටුමක් හදලා ජාතිකවාදී බලවේග පොඩිපට්ටම් කරන්න පොටක් පාදා ගන්න බලනවා”

-විමල් වීරවංශ

ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මතකර ගැනීමට සහ එට්කා ගිවිසුම අත්සන් කිරීමට තීරණාත්මක ලෙස එරෙහි විය හැකි සැබෑ ජාතිකවාදී බලවේග ඊට පෙර පොඩිපට්ටම්කර දැමීමට පොටක් පාදා ගැනීමට වත්මන් ආණ්ඩුව සැරසෙන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අනතුරු අඟවයි.

ඒ අනුව ඉතාමත් සූක්ෂ්ම ලෙස ආණ්ඩුවේ ඇතැම් පිරිස් සිංහල-මුස්ලිම් ගැටුමක් ඇවිලවීමේ උත්සාහයක නිරතව සිටින බවත් ඒ මහතා පෙන්වා දෙයි.

විමල් වීරවංශ මහතා මෙසේ අනතුරු ඇඟවූයේ ඊයේ (16) බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක මාධ්‍ය හමුවේදීය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

”1815 දී උඩරට රජුගේ කෲරත්වයෙන් ගැලවෙන්නැයි කියලා සුද්දාගේ උදව් අරගෙන උඩරට පාලනය වෙනස් කරපු මිනිස්සුන්ට අවුරුදු 2-3ක් යන විට තේරුණා ”අපි හොඳටම රැවටුණා” කියලා. ඉන්පසුව ඒ රැවටුණු මිනිස්සුම 1818 වනවිට සුද්දාට විරුද්ධව නැගී සිටියා. එසේ නැගී සිටීමට ගත වුණේ අවුරුදු තුනක් පමණයි.

ඒ වගේම 2015 ජනවාරි 08 වැනිදා ‘යහපාලනය’ කියන වචනයට, මේ ආණ්ඩුව බලයට ගෙන එන්න කඩේ ගියපු අය කියපු දේවල්වලට, රතු අලිපැටව් කියපු දේවල්වලට රැවටුණු මිනිස්සු එදා වගේ අවුරුදු තුනක් ඉවසන එකක් නැහැ. අපි විශ්වාස කරනවා, ‘අවුරුදු 02කින් ඒ ජනතා නැගිටීම සිදුවේවි’ කියලා. මෙවර අය-වැයෙන් ඒ ජනතා නැගිටීමට අවශ්‍ය කරන උත්තේජනය ඕනෑවටත් වඩා සපයලා තිබෙනවා.

”මධ්‍යම පංතියට කණ පැලෙන්න දීලා”

මේ අය-වැයෙන් මධ්‍යම පංතියට කණ් අඩි පැලෙන්න පහර දීලා, පීඩිත ජනතාව මත පටවා තිබූ බර දෙගුණ තෙගුණ කරලා පමණක් නොවෙයි රටේ මුළුමහත් ආර්ථිකය විජාතිකකරණය කිරිමත් අරඹලා තිබෙනවා. පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ බලයෙන් කොටසක් මහ බැංකුවට පවරා තිබෙන බව අපි දන්නවා. නමුත් අද කොටින්ට උදව් කරපු මේ ආණ්ඩුවට හිතවත් පුද්ගලයකු සතු විදේශීය සමාගමකට මහ බැංකුවට අයිති කාර්යයන් පැවරිමට මේ අය-වැයෙන් යෝජනාකර තිබෙනවා. ඒ අනුව 2015 ජනවාරි 08 වැනිදා රැවටුණු මිනිස්සු නිසැක ලෙසම 2017 දී මේ ආණ්ඩුව පලවා හරින සටන අරඹාවි, කියා අපි විශ්වාස කරනවා.

”රාජ්‍ය නායකයා කවුද?”

ජල බිල්පත වැඩි වෙනවා. ජනාධිපතිතුමා කියනවා, ‘මම දැනන් හිටියේ නැහැ’ කියලා. රණවිරුවන්ට පහර දෙනවා, ජනාධිපතිතුමා කියනවා,’මම ජනාධිපති මන්දිරයේ හිටියා නම් පහර දෙන්න ඉඩ දෙන්නෙ නැහැ’ කියලා. දැන් අය-වැය ඡන්ද විමසීම ළං වෙනකොට ජනාධිපතිතුමා කියාවි ‘මම කොළඹ හිටපු වෙලාවක නොවෙයි මේ අය-වැය හදලා තියෙන්නෙ’ කියලා. මේක පුදුම තත්වයක්. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍ය නායකයා වන්නේ විධායක ජනාධිපතිවරයායි. මේ ආණ්ඩුව බස් එකක් නම් රියදුරා වෙන්න ඕනේ ජනාධිපතිවරයායි. අගමැතිට කොන්දොස්තර වෙන්න පුළුවන්. දැන් වෙලා තිබෙන්නේ අගමැති රියදුරා වීම සහ ජනාධිපති කොන්දොස්තර වීම. අද බලෙන් රියදුරු වුණු අගමැති මේ බස් එක ‘එහෙ-මෙහෙ’ වද්දමින් ධාවනය කරනවා. සමහර වෙලාවට පාරේ ඉන්න මිනිස්සු හප්පා ගෙන යනවා. ඒ විතරක් නොවෙයි කොන්දොස්තර වුණු ජනාධිපතිවරයාව පාරේ දාලා ඉස්සරහට යනවා. අන්න ඒ වෙලාවට මේ කොන්දොස්තර වූ ජනාධිපතිවරයා කියනවා ‘ අනේ මම බස් එකේ හිටියා නම් මේ දේ වෙන්න දෙන්නේ නැහැනේ’ කියලා.
අද රියදුරා වෙන්න ඕනෙ කෙනා කොන්දොස්තර වෙලා. කොන්දොස්තර වෙන්න වෙන්න ඕනෙ කෙනා රියදුරු ආසනයේ වාඩිවෙලා. අද තිබෙන්නේ එවැනි අවුල්-වියවුල් ඇති ආණ්ඩුවක්. මේ ආණ්ඩුවට රටේ ඇති වී තිබෙන කිසිඳු ගැටළුවකට විසඳුම් නැහැ. අද ඩෙංගු රෝගයෙන් ඉතිහාසය පුරා මියගිය වැඩිම සංඛ්‍යාව මිය යනවා. ඒත් කිසිදු පිළියමක් නැහැ. රෝහල්වල බෙහෙත් නැහැ. මේ ආණ්ඩුව මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් කළ කිසිවක් නැහැ. ඒ නිසා ඉතා පැහැදිලියි මේ ආණ්ඩුව බලයේ සිටින මොහොතක් පාසා රට අරාජික වීමයි සිදු වන්නේ.

”සිංහල-මුස්ලිම් ගැටුමක් හදන්නයි සූදානම”

එසේ තිබියදි මේ ආණ්ඩුව ඉතා සූක්ෂ්ම අන්දමින් සිංහල-මුස්ලිම් ගැටුමක් අවුස්සලා ඒ ලේවලින් වාසි ගන්න හදනවා. නව ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ 2017 පළමු පාර්ලිමේන්තු සතියේ දින තුනක විවාදයක් පැවැත්වීමට නියමිතයි. එසේම එට්කා ගිවිසුම 2017 වසරේ මුල් කාර්තුව තුළ අත්සන් කිරීමට නියමිතයි. ඒ තීරණාත්මක වැඩ කරන්න කලින් මේ ආණ්ඩුව හිතනවා ‘මේ රටේ සැබෑ ජාතිකවාදී බලවේග පොඩිපට්ටම් කළ යුතුයි’ කියලා. ඒකට පොටක් පාදාගන්න තමයි සිංහල-මුස්ලිම් ගැටුමක් හදන්න කටයුතු කරන්නේ. මේ ආණ්ඩුව සහජීවනයේ නාමයෙන් අද අන්තවාදයට උඩගෙඩි දෙනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ තිබුණු සහජීවනයත් නැති වීම පමණයි. මේ ආණ්ඩුව අද කරන එකම දේ ජනතා මුදල් පොකට් ගැසීම පමණයි. ඒ නිසා අපි ලබන වසර මේ ආණ්ඩුව පරාජය කරන වසර බවට පෙරළමු. ඒ සඳහා පෙරට එන ලෙස දේශප්‍රේමී සියලු බලවේග වෙතින් ඉල්ලනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016-11-17

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*