BREAKING NEWS

මේ ජාතික ආණ්ඩුව අද ලෝකයේ ‘අරුම පුදුම’ නිපදවීමක් බවට පත්ව තිබෙනවා – ජානිපෙ නායක විමල් වීරවංශ

ගොඩනැඟී ඇති ජාතික ආණ්ඩුව අද ලෝකයේ අරුම පුදුම නිපදවීමක් බවට පත්ව ඇති බවත් එයට අදාළව අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩිකර ගැනීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් රැුගෙන ඒම ව්‍යවස්ථාවිරෝධී බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(30) ජාතික නිදහස් පෙරමුණේ බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘සැප්තැම්බර් පළමුවැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. එදිනට නියමිත ප‍්‍රධානතම කාර්යය කථානායකවරයා තෝරා පත් කර ගැනීමයි. අපට ආරංචියි පක්‍ෂ නායක රැස්වීමක් කැඳවීමටත් පෙර එක්සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පූර්ව අවබෝධයක සිට ‘යෝජිත ඊනියා ජාතික ආණ්ඩුවට අදාළ ඇමති මණ්ඩලය වැඩිකර ගැනීමේ යෝජනාවක්’ 03 වැනිදා රැගෙන එන බව.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවට, ‘අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩිකර ගැනීමට’ යෝජනාවක් ගෙන ඒමට නම් රට තුළ ඇත්ත වශයෙන්ම ජාතික ආණ්ඩුවක් ගොඩනැඟී තිබිය යුතුයි. 19 වැනි සංශෝධනය අනුව ‘ජාතික ආණ්ඩුව යනු කුමක්ද?’ කියා අර්ථ නිරූපණයකුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වී තිබෙනවා. ‘පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව ලබා ගන්නා පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායම පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්‍ෂ හෝ ස්වාධීන කණ්ඩායම් සමග එකතු වී සාදන ආණ්ඩුව ලෙසයි’ එහි සඳහන්ව ඇත්තේ. ඇත්තෙන්ම එම අර්ථනිරූපණය අප විසින් තමයි ඇතුළත් කරනු ලැබුවේ.

දැන් තිබෙන්නේ එහෙම තත්ත්වයක්ද? එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාව දිනා ගත් පක්‍ෂය බවට පත්ව තිබෙනවා. නමුත් 113ට අඩුයි. ජාතික ආණ්ඩුවක් හදනවා නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මුළුමනින්ම ජාතික ආණ්ඩුවේ කොටස්කරුවකු විය යුතුයි. ඒ විතරක් නොවෙයි විපක්‍ෂයක්ද නොමැති විය යුතුයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පාර්ශ්ව ඇමති ධුර දරමින් හෝ නොදරමින් ඒ ආණ්ඩුවේ කොටස්කරුවන් විය යුතුයි. නමුත් අද මේ සියලූ පාර්ශ්ව ඊනියා ජාතික ආණ්ඩුවේ කොටස්කරුවන් නොවෙයි. අඩුම තරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයවත් මුළුමනින්ම මෙම ජාතික ආණ්ඩුවේ කොටස්කරුවකු නොවෙයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා නම් ‘පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ කොටසක් අමාත්‍ය ධුර භාර ගත යුතුයි. තව කොටසක් විපක්‍ෂයේ වාඩි විය යුතුයි’ කියලා එයින් කියැවෙන්නේ කුමක්ද? ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවා මුළුමනින්ම මෙම ජාතික ආණ්ඩුවේ කොටස්කරුවකු නොවන බවයි.

එහෙම නම් යථාර්ථයේ නැති ජාතික ආණ්ඩුවක් සඳහා අමාත්‍ය ධුර වැඩිකර ගැනීමට යෝජනාවක් රැගෙන ආ හැකිද? එවැනි යෝජනාවක් රැගෙන ඒමම ව්‍යවස්ථාවට පටහැනියි. ඒ විතරක් නොවෙයි අද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් අමාත්‍ය ධුර ලබා ගැනීමට ඒ පැත්තට යවනවා. අනෙක් පැත්තෙන් ඔහු විපක්‍ෂ නායකයා තේරීමත් සිදු කරනවා. මේ ජාතික ආණ්ඩුව අද ලෝකයේ ‘අරුම පුදුම’ නිපදවීමක් බවට පත්ව තිබෙනවා, මේ හදන්නේ ව්‍යවස්ථාවේ පේළි, අකුරු අතරින් රිංගා යාමට නොවේද? මේක වැරදියි.

මේ අය දින 100 ආණ්ඩුව හදපු ගමන් කළෙත් නීති කඩපු එක. ‘අග විනිසුරුවරයාගේ ධුරය බලශූන්‍ය වේ’ කියලා ලියුම් යවපු එක. ජනාධිපතිවරයාට බලයක් නැහැ, යම් ධුරයක් බලශූන්‍ය කිරීමට. නමුත් කළේ ඒකයි. අද වෙන්නෙත් ඒකමයි. ඒ තමයි නව පාර්ලිමේන්තුවට ‘හිස්බඩින්ම’ අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩිකර ගැනීමට ව්‍යවස්ථා විරෝධී යෝජනාවක් රැගෙන ඒම. ඒ නිසා අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩිකර ගැනීමට පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත යෝජනාව නීතියට පටහැනි යෝජනාවක්. අප ඉල්ලා සිටිනවා, ‘ඉදිරියේ කවුරු කථානායක ධුරයට පත් වූවත් මෙම යෝජනාවට ඉඩකඩ ලබා දෙන්න එපා!’ කියලා. ඒ වගේම පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමේදීත් අපි මේ අපේ මතය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

දින 100 ආණ්ඩුව බලයට පත් වූ ගමන් පළමුවෙන්ම නෑදෑයෝ ආවේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන්. මේ ආණ්ඩුව බලයට ආපු විගසමත් ‘කෙහෙල් කදමලූ’ බැඳගෙන ඇමෙරිකා දූතයෝ පෝලිමේ එනවා. පසුගිය මාස 06 තුළ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහත්තයා ඇතුළු විශාල පිරිසක් ආවා. දකුණු ආසියානු කලාපය භාර සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් නෝනා සමග මානව හිමිකම් පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනොව්ස්කි මහත්තයා ආවා. 2015 මැයි මාසයේ ආපු ටොම් මැලිනොව්ස්කි මහත්තයා මුලතිව් වෙරළේ මල්වඩමක් තියලා මියගිය කොටි ත‍්‍රස්තවාදීන් සැමරුවා. ඊට පසුව ආපු කැනේඩියානු දූත පිරිසත් මුලතිව් වෙරළේ මල් වඩමක් තියලා මියගිය කොටි ත‍්‍රස්තවාදීන් සැමරුවා. මේ යහපාලනයේ ජාත්‍යන්තර නෑදෑ පිරිස ඒ විදියේ ‘ධෛර්ය සම්පන්න’ භූමිකාවක් පසුගිය කාලය පුරාම ඉටු කරනු ලැබුවා.

‘දේශීය විමර්ශනය කුමකටද?’

ඇමෙරිකා එක්සත් ජනපදය දැන් කියනවා, ‘ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය නැහැ. අපේ නිර්ණායක සහ ප‍්‍රමිතීන් අනුව දේශීය විමර්ශනයක් කරනවා නම් අපි ඒකට සහයෝගය දෙනවා’ කියලා. ඇත්තෙන්ම මේ කියන්නේ කුමක්ද? අපි දන්නවා සුඩානය දෙකඩ වුණා. සුඩානය, දකුණු සුඩානය හා සුඩානය ලෙස දෙකඩ වුණාමත් ඇමෙරිකාව කීවේ ‘සුඩානයට අපි ආරක්‍ෂාව දෙනවා’ කියලයි. නමුත් අන්තිමේදී සුඩාන රජයට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන ඒමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කළා. ශ‍්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක් කරලා තීන්දුවක් දුන්නාම ආරක්‍ෂක මණ්ඩලයේදී ඒක පිළිගන්න රුසියාවට හෝ චීනයට බැඳීමක් නැහැ. හැබැයි, ජාත්‍යන්තරයේ නිර්ණායක සහ ප‍්‍රමිතීන් අනුව සිදු කරනු ලැබූ දේශීය විමර්ශනයක් මගින් දෙනු ලබන නිර්දේශ පිළිගැනීමට චීනයට හා රුසියාවට සිදු වෙනවා. ඒ අනුව හිටපු ජනාධිපතිතුමන් ඇතුළු රණවිරුවන් 43 දෙනා දේශීය විමර්ශනයේ නිර්දේශ අනුව ජාත්‍යන්තර විශේෂ යුද අපරාධ පරීක්‍ෂණ මණ්ඩලයක් ඉදිරියට රැගෙන යාමට ඇමෙරිකා එක්සත් ජනපදයට පහසු වෙනවා.

දැන් බලන්න, රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පවසනවා, ‘රෝම ප‍්‍රඥප්තියට අප අත්සන් නොකළ නිසා හේග්වල යුද අපරාධ අධිකරණයට හමුදා නිලධාරීන් රැගෙන යන්න බැහැ’ කියලා. රෝම ප‍්‍රඥප්තියට අත්සන් නොකළ නිසා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට(ICC) රැගෙන යන්න බැහැ. ඒක හරි. නමුත් චීනයටත් රුසියාවටත් විරුද්ධ වෙන්න බැරි විදියේ දේශීය විමර්ශනයක තීන්දුව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට රැගෙන ගියාම ඇමෙරිකාවට තීරණය කරන්න පුළුවන්, ශ‍්‍රී ලංකාවේ රණවිරුවන්ට දඩුවම් දීමට ‘ජාත්‍යන්තර විශේෂ යුද අපරාධ පරීක්‍ෂණ මණ්ඩලයක්’ පිහිටුවීමට යුගෝස්ලෝවියාවට එරෙහිව කටයුතු කළ අන්දමින්ම.

‘මේක සටකපට මෙහෙයුමක්!’

ඉහත කරුණු අනුව ඉතා පැහැදිලියි මේක සටකපට මෙහෙයුමක්. ඇමෙරිකා එක්සත් ජනපදය සමග අවබෝධයෙන් කරන මෙහෙයුමක්. දැනටමත් අපට ආරංචියි, මිලිටරි පොලීසිය, චැනල් 4 නිපදවූ ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ ව්‍යාජ චිත‍්‍රපටය පෙන්වමින්, ඇතැම් ජවනිකාවල සිටින හමුදා සෙබළුන් ඔවුන්ගේ ඒකක ප‍්‍රධානීන් ලවා හඳුනා ගන්න හදනවා කියලා. මේක දැවැන්ත පාවාදීමක්. ‘ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය නැහැ’ කියලා වික‍්‍රමසිංහ මහත්තයා කීවාම සමහරු හිතනවා, ඒක ඉතාමත් රැඩිකල් ප‍්‍රකාශයක් කියලා. නැහැ මේක තමයි සටකපට මෙහෙයුම. ජාත්‍යන්තර පරීක්‍ෂණයකින් කරගන්න බැරි වැඬේ දේශීය පරීක්‍ෂණයකින් ඉටුකර දිය යුතුයි. මේ වෙන්නෙ ඒක. ඒ නිසා ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන්, වත්මන් ආණ්ඩුවෙන් මෙන්ම විවිධ මත දරන මේ රටේ ඡන්දදායකයන්ගෙන් අපි එක් ඉල්ලීමක් කරනවා. ‘අපි අතර කවර වෙනස්කම් තිබුණත්, රටේ ඒකීයභාවයට පණ දීපු, මේ රටේ තිබුණු මරබිය තුරන් කරපු දේශපාලන නායකත්වය සහ රණවිරුවන් බිලිගැනීම සඳහා මූලික මාවත සකස් කරන්න දේශීය පරීක්‍ෂණයක මුවාවෙන් මේ සිදු කරන්න හදන මෙහෙයුම වළක්වන්න එකතුවෙන්න’ කියලා.

අලූත් ආණ්ඩුවට අපි සුබ පතනවා, ඒත් සමගම කියනවා, ‘මේ රටට සාමය දිනා දීපු දේශපාලන නායකත්වය හා රණවිරුවන් 43 දෙනකුගේ ජීවිත සමග සෙල්ලම් කරන්න එපා!’ කියලා. දේශපාලන බලය අද තියෙනවා, හෙට නැති වෙනවා. නමුත් මේ අය දිනා දුන්නු සාමය අපට සදාකාලිකවම ඕනෙ. ඒ නිසා, ‘රටට සාමය දිනා දුන්නු දේශපාලන නායකත්වය සහ රණවිරුවන් දේශීය පරීක්‍ෂණයක මුවාවෙන් ජාත්‍යන්තර යුද අපරාධ දංගෙඩියකට බිලි දෙන්න ඉඩ දෙන්න එපා!’ කියන ආයාචනය අපි මේ රටේ දෑහිතකාමී ජනතාවගෙන් සිදු කරනවා.’’

මේ මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල්, නියෝජ්‍ය ලේකම්, නීතිඥ කපිල ගමගේ, මධ්‍යම කාරක සභික, මහාචාර්ය වෛද්‍ය අතුල සුමතිපාල යන මහත්වරුද සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-08-30

11221450_802429673208188_3009474921185867938_n

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*