BREAKING NEWS

මේ රටේ ජාතික ආරක්ෂාව, ඒකීයභාවය හා ස්වෛරීභාවය වෙනුවෙන් තම පෑන මෙහෙයවන මාධ්‍යවේදීන් රනිල්ට අද ජාතිවාදීන් වෙලා – ජාතික නිදහස් පෙරමුණ

10340004_420267441468136_8212467780488006781_nජාතික ආරක්‍ෂාව, එකීයභාවය, භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීභාවය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් තම පෑන මෙහෙයවන මාධ්‍යවේදීන් අද රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයාට ‘ජාතිවාදීන්’ වී ඇති බවත් එසේ තිබියදී දෙමළ ජාතිවාදී බෙදුම්වාදය වපුරන උදයන් පුවත්පත සහ ටැමිල්නෙට් වෙබ් අඩවිය පිළිබඳ කිසිදු සඳහනක් නොකිරීමට හෝ ඔහු පරෙස්සම් වන බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

අද(26) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේනතු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේද සඳහන් කළේය

‘‘පසුගිය 22 වැනිදා කුරුණෑගල මල්පිටිය ප‍්‍රදේශයේදී පැවැති එක්සත් ජාතික පක්‍ෂ ක‍්‍රියාකාරීන්ගේ හමුවකදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉතාමත් සාහසික පණිවිඩයක් ලාංකේය සමාජයට දුන්නා. ‘ජාතිවාදය අවුස්සන්න එපාෟ එහෙම කරලා මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපාෟ’ කියලා රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී මාධ්‍යවේදීන්ට බලවත් තර්ජනයක් එල්ල කලා.

දිවයින ප‍්‍රධාන කර්තෘ අනුර සොලමන්ස්, රිවිර ප‍්‍රධාන කර්තෘ සිසිර පරණතන්ත‍්‍රි යන මහත්වරුන්ගේ නම් කියලා තවත් මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හා හිමිකරුවන් ගැන සඳහන් කරලා තමයි, රනිල් වික‍්‍රමසිංහ මහත්තයා මේ බලවත් තර්ජනය සිදු කොට ඇත්තේ, මේ අවස්ථාව කියන්නේ මානව හිතවාදී ජනමාධ්‍යවේදී රිචඞ් ද සොයිසා සහෝදරයා ඝාතනය කරලා වසර 25ක් සපිරෙන අවස්ථාව.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා මෙහිදී ඉතාමත් මැනවින් අවධාරණය කළා තමන් යන්න හදන්නේ මොන වගේ පාරකද කියන එක. 1977 දී රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ මාමණ්ඩිය වූ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාත් තමන්ගේ ගමන පටන් ගත්තේ මේ විදියටමයි. 1977න් ඇරඹුුණු ජේ.ආර්. – රනිල් පාලනය තම ගමන අවසන් කළේ රිචඞ් ද සොයිසා වැනි මානව හිතවාදී ජනමාධ්‍යවේදීන් අමු අමුවේ මරා දමලා.

අපි මේ රටේ මාධ්‍යවේදී සහෘදයන්ගෙන් අහනවා, ‘රිචඞ් ද සොයිසා ඝාතනයෙන් අවුරුදු 25කට පසුව ජේ.ආර්.ගේ බෑනා ඉල්ලන්නේ කාගේ මල කඳද? කියා. එදා රිචඞ් ද සොයිසා මේ රටේ ජනතාවගේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් තම ජීවිතය පූජා කළා. මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, භෞමික අඛණ්ඩතාව, ස්වෙරීභාවය, වෙනුවෙන් හඩ නගන කවර මාධ්‍යවේදියාගේ ජීවිතයද රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අද ඉල්ලන්නේ? මේ බරපතළ තර්ජනය හමුවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එක වචනයක් කිව්වාද? අපි අහනවා ජනතා විමුක්ති පෙරමුණෙන් ‘මේකද තමුන්නාන්සෙලා රටට දෙනවා කියූ මාධ්‍ය නිදහස?’ කියා. අපි අහනවා මාඳුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගෙන්, ‘හාමුදුරුවනේ මේකද ඔබ වහන්සේලා හදනවා කියූ සාධාරණ සමාජය?’ කියා. අපි අහනවා, පාඨලී චම්පික රණවකලාගෙන්, ‘ඔයගොල්ලො හදනවා කියූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජය මේකද?’ කියා. අපි අහනවා ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගෙනුත් ‘නහී වේරේන වේරානි’ වලට මේක අදාළද?, මෛත‍්‍රී පාලනයට මේක අදාළද?’ කියා.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා මේ යළිත් අත වනන්නේ 1988-89 පැවති මෘග ෆැසිස්ට් පාලනයට බව ඉතා පැහැදිළියි. මේක පටන් ගත්තේ අද ආයෝජන මණ්ඩලයේ සභාපති වෙලා ඉන්න උපුල් ජයසූරියලා ලවා අගවිනිසුරු මොහාන් පීරිස් මහතා බලෙන් පුටුවෙන් එළියට ඇදලා දමලා. ඉන්පසුව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිනි මහාචාර්ය ක්‍ෂණිකා කඹුරේගම මහත්මිය පුටුවෙන් ඇදලා දැම්මා. ඒ වගේම රවී කරුණානායක තමන් ‘හිටපු ආරක්‍ෂක ලේකම් පිළිබඳ සිදුකළ ප‍්‍රකාශයක් නිවැරදි කලා කියලා වත්මන් ආරක්‍ෂක ලේකම් යූ.බී. බස්නායක මහතාගෙන් නිදහසට කරුණු විමසුවා. අද රජයේ ඉහළ නිලධාරීන්ගේ කට බැඳලා තියෙන්නේ.

මාධ්‍යවේදීන්ට මෙවැනි බරපතළ තර්ජනයක් එල්ල කිරීමට පෙර බන්දුල පද්මකුමාර මහතාගෙන් ස්වර්ණවාහිනියේ ‘මුල්පිටුව’ ගැලෙව්වා. දිවයින ඉරිදා සංග‍්‍රහයේ කිර්ති වර්ණකුලසූරිය මහතාගේ ‘ආරක්‍ෂක කොලම’ ගැලෙව්වා. අද ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනතාවට තොරතුරු ලබාගැනීමට තිබූ සියලූ මාර්ග අවහිරකර තිබෙනවා. එසේ තිබියදී තමයි ‘තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතක්’ ගැන උදම් අනන්නේ.

අද උදයන් පුවත්පත උතුරේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදය පතුරනවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ඒ ගැන එක වචනයක් කතා කරනවාද? කොටි සංවිධානයේ නිල වෙබ් අඩවිය වූ ටැමිල්නෙට් වෙබ් අඩවිය අද දෙමළ ජාතිවාදී බෙදුම්වාදය සයිබර් අවකාශය ඔස්සේ පතුරුවා හරිනවා. කෝ රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා ඊට එරෙහිව කටක් අරිනවාද? නැහැ. ‘උදයන්’ හා ‘ටැමිල්නෙට්’ විශේෂයෙන් උතුරේ සහ නැග‍ෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවගේ සිත් තුළට ‘දෙමළ ජාතිවාදී බෙදුම්වාදය’ කාවද්දමින් සිටිනවා. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ඡන්දය දුන් දෙමළ පවුල් සොය සොයා ඔවුන්ව සිය නිවෙස්වලින් පලවා හරින්නේ මේ ජාතිවාදය උත්සන්න කිරීමේ ප‍්‍රතිඵලයක් විදියටයි.

ඒ විදියට අද උතුරේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදය වපුරන ටැමිල්නෙට් වෙබ් අඩවිය සහ උදයන් පුවත්පත ඉදිරියේ බොහොම නිවට නියාලූ ලෙස හැසිරෙන රනිල් වික‍්‍රමසිංහ මහතා මේ රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීභාවය, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ලියන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස ගැන ලියන ජනමාධ්‍යවේදීන්ට ‘ජාතිවාදය අවුස්සන්න එපාෟ’ කියලා බරපතල ලෙස තර්ජනය කරනවා. ඔහු මෙවැනි තර්ජන තුළින් බලාපොරොත්තු වෙන්නේ 2002 ප‍්‍රභාකරන් සමග රට බෙදීමේ ගිවිසුමක් අත්සන් කරලා කොටියාට ඊළමට කපලා දුන්නු පාර යළි එළිපෙහෙලි කරලා තම ගමන යන්න.

‘රනිල් මහත්තයෝ අපි ඔයාගේ මිනිමරු කල්ලිවලින් 1988-89දී දිවි බේරාගත් මිනිස්සු අපි මේ ගත කරන්නේ ‘ඇරියස්’ ජීවිත කාලයක්. ඒ නිසා ඔයාගේ මෘග ෆැසිස්ට් පාලනයට එරෙහිව අපි දිවි හිමියෙන් සටන් වදිනවා’ කියලා අපි අවධාරණය කරනවා.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයලා මේ යන්න හදන්නේ යළි මේ රට ලේ විලක් කරන මාවතකට පමණක් නොවෙයි, රට සීසීකඩ කරන ගමනකට. ඊට එරෙහිව සටන් වදින්න අත්වැල් බැඳගන්න කියලා අපි සියලූ ප‍්‍රගතිශීලී ජනකොටස් වෙතින් ඉල්ලා සිටිනවා.

යහපාලනයක් ගෙනයන බවට දිවුරා පොරොන්දු දිලා තමයි මේ අය බලයට ආවේ. මහා පරිමාණ වංචා, දූෂණ, සිදුකළ අයට එරෙහිව කටයුතු කරන බවයි පැවසුවේ. වංචා, දූෂණ, ෆයිල් දහස් ගණනක් තිබෙන බවයි පෙන්නුවේ. දින 100න් දින 50ක් ගෙවිලා ඉවරයි. ඒත් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන්, එතනෝල් ජාවාරම්කරුවන් ඇතුළු චම්පික රණවකලා කියන ආකාරයට ‘මෙගා ඞීල්’ කාරයන් යහතින් ඉන්නවා. ඔවුන්ට කිසිදු බලපෑමක් යහපාලන ආණ්ඩුවෙන් සිදු වෙලා නැහැ. මේ සමාජය සතු දේපළ අපේ ඇස් පනාපිට ගිලපු, ඒ පිළිබඳ ජනතා සාක්ෂි ඇති පදමට ඇති මේ අයට දඩුවම්දීම සාධාරණයි කියලා ජනතාව හිතන ‘කම්බහොරු’ ඉන්නවා. කෝ උන්ට තවමත් අතවත් තියලා තියෙනවාද? අපි කියනවා, මේ යහපාලන ආණ්ඩුවට ‘දැනට පවතින අල්ලස් හෝ දූෂණ නීතිය බලවත් නොමැතිනම් නීතිය බලවත් කරන නව සංශෝධනයක්, එසේ නොමැතිනම් නව පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙනෙන්න’ කියලා. එහෙම ගෙනැල්ලා 1977න් ඇරඹි පාලනයේ සිට ඉදිරියට මහජන නියෝජිතයන් සිදුකළ අල්ලස් හෝ දුෂණ ක‍්‍රියාකාරකම්වලට දැඩි දඩුවම් ලබාදෙන්න. මහජන නියෝජිතයන් හා රජයේ ඉහළ නිලධාරීන් මහජන දේපළ කොල්ලකෑම ඉතාමත් නරක අයුරින් ඉහළ ගියේ 1977 විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති හඳුන්වා දුන් පසුවයි. එතැන් සිට ඉදිරියට එසේ මහජන දේපළ කොල්ලකෑ පිරිස්වලට දඩුවම් දෙන්න වැඩපිළිවෙළක් හදන්න කියලා අපි මේ ‘යහපාලකයන්ගෙන්’ ඉල්ලනවා.

‘අනුර දිසානායක මහත්තයෝ බොරුවට පාරම්බාන්න එපා!’

එදා, අද හා හෙට මහජන දේපළ අයථා පරිහරණය කරන, දුෂණය කරන, වංචා කරන මහජන නියෝජිතයන්ට හා ඉහළ රජයේ නිලධාරීන්ට දැඩි දඩුවම් දෙන නීතිමය රාමුවක් හැදිය යුතුයි. අපි ජාතික නිදහස් පෙරමුණ ලෙස එසේ කරන ලෙස මේ යහපාලකයන්ට බලකර සිටිනවා. ඒත් අපි දන්නවා මේ ‘යහපාලකයන්’ එසේ කරන්නේ නැති බව තමන්ට යටත් නොවන, හිලෑ නොවන අයට අසාධාරණ ලෙස බොරු චෝදනාවන් ඉදිරිපත් කර නිහඩ කරවීම පමණයි මේ යහපාලකයෝ සිදු කරන්නේ.

අපි කියනවා අනුර දිසානායක මහත්තයාට ‘මේ ආණ්ඩුව අපි කියන දේවල් කලේ නැත්තම් බලාගමු, කියලා තැන් තැන්වල ගිහිල්ලා පාරම්බාන්න එපා!’ කියලා. ඔහේ මේ රටේ කැබිනට් මණ්ඩලයටත් ඉහළින් තිබෙන ජාතික විධායක සභාවේ සාමාජිකයෙක්. ඔහේ මේ ආණ්ඩුවේ අනුත්තර නායකයෙක්. ‘මහින්ද රෙජිමය’ පරදවන්න ඕනේ කියලා යෝජනා කළේ කවුද? පවුල් පාලනය පෙරළන්න ඕනේ කියලා ජනතාව ඉදිරියේ කෑ මොර දුන්නේ කවුද? ‘ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරනු ලැබූ සුවිශේෂී කාර්යභාරයට මාගේ විශේෂ ප‍්‍රණාමය පුදකර සිටිනවා’ කියා එදා මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන් දිනයෙහි පැවසුවා. ජවිපෙට එහෙම ප‍්‍රණාමය පුද කළේ පැවති ආණ්ඩුව පෙරළා දමලා ‘බෙදුම්වාදී මේ නග්න මෘග ෆැසිස්ට් පාලනයට’ පාර කපපුු හින්දයි.

මේ යහපාලනයේ අඩුපාඩුවලට රනිල් වික‍්‍රමසිංහ මහත්තයා හා සමාන වගකීමක් ඔයාටත් තියනවා අනුර දිසානායක මහත්තයෝ. ඒක වහගන්න දැන් රට පුරා සම්මන්ත‍්‍රණ තිය තියා ‘දිව දෙකේ’ කතා කියන්න එපා! මේ රටේ බුද්ධිමත්, දේශප්‍රේමී ජනතාවට අපි කියනවා ‘මේක රනිල් -අනුර ආණ්ඩුව කියලා අමතක කරන්න එපා!’ දූෂිත මහජන නියෝජිතයන්ව, සුදු කරපටි හොරුන්ව නීතිය හමුවට ගෙන ඒමට පවතින නීතිය ශක්තිමත් නැතිනම් නව නීතියක් හදන්න. ඒ නීතිය යටතේ වරදකරුවන් වන අයව සිරගත කරන්න වෙනම සරගෙයක් හදන්න. එහෙම නැතිව ‘මෝඩ චූන්’ කතා කියන්න එපා. අනුර දිසානායක මහත්තයෝ ඒකට ජාතික නිදහස් පෙරමුණ අත් දෙකම ඔසවන්න සූදානම්. අද යහපාලනය නාමයෙන් තමන්ට යටත් නොවන,බෙදුම්වාදයට එරෙහි, ප‍්‍රගතිශිලී මත දරන දේශපාලන පක්‍ෂ නායකයින්ව, මර්දනය කරන්න හදනවා. ඒකට මේ රටේ ජනතාව මේ ‘ජහපාලකයන්ට’ ඉඩ දෙන එකක් නැහැ. මේ දින 100 දුෂ්ට ෆැසිස්ට් පාලනයට එරෙහිව පෙළ ගැසෙන ලෙස අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2015-02-26

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*