BREAKING NEWS

මේ රට යළි නිවැරදි පීල්ලට ගැනීම සඳහා පෙළගැසෙමු!

බටහිර අධිරාජ්‍යවාදයේ සහාය ඇතිව වැරදි පීල්ලකට ඇද දමා ඇති මේ රට යළි නිවැරදි පීල්ලට ගැනීම සඳහා පෙළ ගැසෙන ලෙස, රටට ආදරය කරන සියලූ වැඩ කරන ජනතාවගෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඉල්ලා සිටී.

විමල් වීරවංශ මහතා මේ ඉල්ලීම කරනු ලැබුවේ ඊයේ(01) කිරුලපන ලලිත් ඇතුලත්මුදලි ක‍්‍රීඩාංගණයේදී පැවැති ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලය විසින් සංවිධානය කළ එක්සත් මැයි රැලියට තම පක්‍ෂයේ සුබ පැතුම් එක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘හයිඞ් පිටියේ පැවැත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැයි රැලිය මීට පැයකට පෙර අවසන් වූණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය හූ නාදයෙන් පිළිගෙන තමයි ඒ රැලිය අවසන් වී තිබුණේ. ‘මහින්ද රාජපක්‍ෂ’ කියන නම කියැවෙන විට ඒ රැලියේ මහ හඩින් අත්පොළසන් හඩ නැගී තිබුණා. බලාගෙන ගියාම ඒකත් අපේ රැලියක්. අද මහින්ද වෙනුවෙන් රැලි දෙකයි. මැයි 01 වැනිදා මහින්ද සමග මේ රට යළි නැගට්ටවමු! කියන බලකිරීම සිදු කරන වැඩ කරන ජනතා රැලිය තමයි කිරුලපන පැවැත්වෙන්නේ.

හෙට එනවා, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්. ‘ගහන්න අත්පුඩියක්’ ඊළග දවසේ එනවා, ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා. ‘ගලවන්න ඇඳුම්’ එහෙමනේ ඊළගට කියන්න වෙන්නේ.

බටහිර අධිරාජ්‍යවාදය සහ ඔවුන්ගේ දකුණු ආසියානු කලාපයේ උප කොන්ත‍්‍රාත්කාර ඉන්දියාව විසින් නටවන රූකඩ ආණ්ඩුවක් හදලා, ජාතිය දිනාගත් ජයග‍්‍රහණ සියල්ල ආපස්සට හරවලා, නැවත මේ රටට හතුරු කල්ලි අද ඔළුව උස්සලා තියෙනවා. ඒ වගේම වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් අද පොඩිපට්ටම්කර තිබෙනවා. එවැනි මොහොතකයි මේ ඵෙතිහාසික මැයි රැලිය පවත්වන්නේ.

රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 10,000කින් වැඩි කරනවා කීවා. හැබැයි ඒක කළාද? කරනවා කියලා නොකර සිටීමයි මේ ආණ්ඩුවේ වෙනස මහින්ද රාජපක්‍ෂ කරන්න පුළුවන් ඒවා කරන්නම් කියලා කීවා. ඒ වගේම කියපු දේ කළා. හැබැයි මේ රටේ සමහරුන්ට ඕනෙ වුණා, කියපු දේ නොකරන පාලනයක් ගෙන එන්න, වෙනකට. දැන් එවැනි පාලනයක් හැදිලා තියෙනවා. රාජ්‍ය සේවකයා වගේ විශ‍්‍රාමිකයාත් ‘මහදවාලේ’ රවටනු ලැබුවා. රාජ්‍ය සේවකයාට යතුරුපැදි නොමිලේ දෙනවා කීවා. යතුරුපැදි ලබා දුන් අයගෙන් පසුගිය ආණ්ඩුව අය කළ රුපියල් 50,000 නැවත දෙනවා කීවා. ඒ කිසිවක් කළේ නැහැ. කියපු දේ නොකර සිටීමයි මේ ආණ්ඩුවේ වෙනස.

මහින්ද රාජපක්‍ෂ පාලනය බැ?රුම් ප‍්‍රශ්න දෙකකට අදාළ වචන දෙකක් වූ ’මායම් ගම්මාන’ සහ ‘රැකියා විරහිත උපාධිධාරියා’ කියන ඒවා මේ රටේ ශබ්දකෝෂයෙන් ඉවත් කරනු ලැබුවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන කාලයේ ශබ්දකෝෂයෙන් ඒ විදිහට වචන ඉවත් වුණාද? නැහැ. තරමක් අසභ්‍ය වචන නම් ශබ්දකෝෂයට අලූතෙන් එකතු වුණා.

සාමය ගෙනල්ලා, ස්ථාවරභාවය හදලා ජාතියට අරමුණක් ඉලක්කයක් දීලා මහින්ද රාජපක්‍ෂ පාලනය මේ රට ඉදිරියට රැගෙන ගියා. බටහිර අධිරාජ්‍යවාදයට සහ බටහිර අධිරාජ්‍යවාදයේ දකුණු ආසියානු උප කොන්ත‍්‍රාත්කාර ඉන්දියාවට උවමනා වුණා මේ රට අස්ථාවර කරන්න. පඹයකුට මේ රට භාර දෙන්න. රූකඩයකු පුටුවේ වාඩි කරන්න.

‘මෝඩිගේ සෙල් ලිපිය’

ඉන්පසුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මේ රටට ආවා. ගහන්න අත්පුඩියක්.(ජනතාවගෙන් හූ හඩක්) ඇවිත් උතුරට ගිහිල්ලා මුල් ගලක් තිබ්බා. ඒ සමරු ඵලකයේ සඳහන් වෙනවා, ‘ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයෙන් අග‍්‍රාමාත්‍යා ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝඩි මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. මෙම මුල්ගල තබන ලදී’ කියලා. මුල්ගල තියපු දිනයේ රාත‍්‍රීයේ එතැනට ආපු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඒ මුල්ගල අයින් කරලා වෙනත් මුල්ගලක් එතැන සවි කළා. ඒ අලූත් මුල්ගලේ මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ කියන නම් දෙකම නැහැ. ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ශ‍්‍රී ලංකාවට පැමිණ අහවල් දේ කළා’ කියලා විතරයි එහි සඳහන් වෙන්නේ. පුරා විද්‍යාඥයකුට මේ මුල්ගල තව අවුරුදු 1000කින් හමු වුණොත් කියන්නේ ‘සෙල් ලිපියක්’ කියලයි. ඉන්දියාවේ පුරා විද්‍යාඥයන් එදාට ලියයි අලූත් පුරාවෘත්තයක් ‘ශ‍්‍රී ලංකාවේ සිරිසේන යුගයේ එහි උතුරු ප‍්‍රාන්තය පාලනය කරනු ලැබුවේ ඉන්දියාව විසිනි’ කියලා. ස්වෛරී රාජ්‍යයක එහෙම දේවල් වෙන්නේ නැහැ. නමුත් අද එවැනි දේත් සිදු වෙනවා.

පලාලි ගුවන් තොටුපළත් සිවිල් ගුවන් තොටුපළක් කරන්න කියා දැන් මේ ආණ්ඩුවට උපදෙස් ලැබී තිබෙනවා. ඉන්දියානු නාවික හමුදා යාත‍්‍රා දැන් ත‍්‍රිකුණාමල වරාය අසලට පැමිණ තිබෙනවා. ත‍්‍රිකුණාමලයේ ඉතිරි තෙල් ටැංකි ටිකත් තමන්ගේ අතට ගන්න අද ඉන්දියාව කුරුමානම් අල්ලනවා. උතුරේ අහිංසක ධීවර ජනතාවට අයිති මත්ස්‍ය සම්පත අද දකුණු ඉන්දීය ධීවර මාෆියාව විසින් කොල්ල කනවා. අපේ නාවික හමුදාවට ඒ මුහුදු ආරක්‍ෂක වැඩසටහන් නවත්වන්න අණ දීලා ඉවරයි. ඒ තත්ත්වයට මේ රට අද අසරණ කොට තිබෙනවා.

යුද්ධය අවසන් අදියරේදී ‘වහාම යුද්ධය නතර කරන්න’ කියලා කියන්න බි‍්‍රතාන්‍ය විදෙස් ඇමති ඬේවිඞ් මිලිබෑන්ඞ් සහ ප‍්‍රංශ විදේශ ඇමති බර්නාඞ් කුච්නර් යන දෙන්නා ‘ඩබල් දාලා’ ලංකාවට ආවා. ඇඹිලිපිටියේ තිබුණු ජනාධිපති මන්දිරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් ඔවුන් දෙන්නා කැඳවනු ලැබුවා. ‘මේ රට ඔයගොල්ලන්ට අයිති නැහැ. මේක යටත් විජිත යුගය නොවෙයි. මමයි මේ රටේ පාලකයා. යුද්ධය කරනවාද? නැද්ද? කියලා තීරණය කරන්නේ මමයි. ඔයාලගේ උපදෙස් මට වැඩක් නැහැ’ කීවා. දැන් එහෙම කියයිද?(නැහැ යනුවෙන් ජනතාව පවසයි) බි‍්‍රතාන්‍ය මහ රැජින මේස් ගලවලත් අත දීලානේ. නැගිට්ටපු රට අද හැම අතින්ම වට්ටවලා ඉවරයි.

ලෝක බැංකුව කියනවා, ‘2014දී 7.4ක්ව තිබුණු ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2015දී 6.7ක් වෙනවා, 2016දී 6.3ට බහිනවා’ කියලා. කර්මාන්ත ශාලා වැහෙනවා. පෞද්ගලික අංශයේ සේවකයන් කප්පාදු කරනවා. ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ සේවකයන් දොට්ට දානවා. කඩිගුලක් වගේ වැඩ කරපු මිනිස්සු අද තුෂ්නිම්භූත වෙලා බලා ඉන්නවා ‘හත්වලානේ මේ මොකක්ද සිද්ධ වුණේ’ කියලා.

දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ සංවිධාන රැුසක තහනම ඉවත් කරලා තිබෙනවා. ඔවුන් දැන් කොළඹ සහ උතුරේ කාර්යාල දමලා වැඩ අරඹන්න සූදානම් වෙනවා. අද රනිල් වික‍්‍රමසිංහ ද්විත්ව පුරවැසිභාවය ලබා දෙන්න හදන්නේ දෙමළ ඩයස්පෝරාව ලබා දෙන ලැයිස්තුවට අනුවයි. ඒ විදිහට දෙමළ ඊළාම් සිහින රාජ්‍යයේ අගමැති රුද්‍රකුමාරන්ගේ ලැයිස්තුවකට ද්විත්ව පුරවැසිභාවය දීලා ඒ ඡන්ද කුට්ටියත් කඩා ගන්න තමයි මේ අය දත කන්නේ. ඒ හරහා මේ ලබා ගත්තු බලය පවත්වා ගෙන යන්නයි රනිල් වික‍්‍රමසිංහලා උත්සාහ කරන්නේ.

ජාතික විධායක සභාව හෙවත් ‘ගෙස්ටාපෝව’

අපට ඊයේ පෙරේදා ලැබුණා ගැසට් නිවේදනයක්. අගමැතිවරයා ප‍්‍රමුඛ කැබිනට් අනු කමිටුවක් මගින් මෙහෙයවන මූල්‍ය අපරාධ පිළිබඳ පොලිස් කොට්ඨාසයක් හදන බව ඒකෙන් කියැවෙනවා. පොලිස්පතිවරයාගේ අනුදැනුමෙන් තොරව, ඒ පොලිස් කොට්ඨාසයේ ප‍්‍රධානියා ලෙස පත් කරන නියෝජ්‍ය පොලිස්පතිවරයාට කටයුතු කරන්න පුළුවන්. ඔහුට ශ‍්‍රී ලංකාව පුරා සිද්ධ වෙලා තිබෙන මූල්‍ය අපරාධ ගැන හොයන්න කෙලින්ම උපදෙස් දෙන්න පුළුවන් අර අගමැතිවරයා ප‍්‍රමුඛ කැබිනට් අනුකමිටුවටයි. මේ ගැසට් නිවේදනයෙන් මොකක්ද කරන්න හදන්නේ? ‘අප්පච් මළෝ’ කියලා සුදු කොඩිය වනාගෙන යහපාලන ආණ්ඩුව ගාව ඩණ නොගහපු හිටපු මැති ඇමතිවරුන්ට කුමක් හෝ චෝදනාවක් දාලා කුදලාගෙන යන්නයි මේ ගැසට් එද හදලා තියෙන්නේ.

අපි මේ ගැන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඇහුවා. ‘මම මේ ගැන දැනුම්වත් නැහැ. මම වහාම මේක නවත්වනවා’. කියලා එතුමා එහිදී පැවසුවා. ඒත් ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත උන්නැහේ කියලා තියෙනවා ‘මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒක දන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? මේ තීන්දුව ගත්තේ. අනුර දිසානායකත් ඉන්න ජාතික විධායක සභාවේදීනේ’ කියලා. අන්න ‘බළලා මල්ලෙන් එළියට’ පැන්නා නේද?. ජාතික විධායක සභාව තමයි අද ‘ගෙස්ටාපෝව’ වී ඇත්තේ. අනුර දිසානායක ඉන්නවා (වෛර නම්බර් වන්). සම්බන්ධන් ඉන්නවා (වෛර නම්බර් ටූ). චන්ද්‍රිකා ඉන්නවා (වෛර නම්බර් ඩබල් ත‍්‍රී). රනිල් ඉන්නවා (වෛර නම්බර් ෆෝ). චම්පික ඉන්නවා (අම්බානක් වෛර). එතැන ඉන්නේ නියම ‘වෛර කට්ටලයක්’. මේක එදා හිට්ලර්ගේ ආණ්ඩුවේ තිබුණු ‘ගෙස්ටාපෝව’ වගේ. එතැනින් තමයි මර්දනය මෙහෙයවන්නේ. මගේ මිත‍්‍රයෙක් පැමිණිල්ලක් දාන්න ගියා මේ අලූත් පොලිස් ඒකකයට. ‘මට ගිය ආණ්ඩුවෙන් ටෙන්ඩර් එකක් සම්බන්ධයෙන් අසාධාරණයක් වුණා. ඒ ගැන පැමිණිල්ලක් දාන්නයි ආවේ’ කියලා ඔහු සඳහන් කොට තිබුණා. එතැන හිටපු පොලිස් මහත්තුරු එයාට පවසා තිබුණා. ‘අපි මෙතැන කෙලින්ම පැමිණිලි භාර ගන්නේ නැහැ. ඔයා ගිහින් අගමැතිතුමාගේ මූලිකත්වයෙන් තියෙන කැබිනට් අනු කමිටුවට ඔය පැමිණිල්ල දෙන්න. එතැනින් එව්වොත් අපි හොයන්නම්’ කියලා. දැන් මේ හදපු පොලිස් කොට්ඨාසයට රටවැසියාට පැමිණිලි දාන්න බැහැ. තමන්ට යටත් වුණු මිනිහට එරෙහි පැමිණිල්ල කුණු බක්කියට දානවා. යටත් නොවුණු මිනිහට එරෙහි පැමිණිල්ල බොරු වුණත්, ඇත්ත කරලා ‘අල්ලපන් මෙයාව’ කියලා පොලිස් කොට්ඨාසයට යවනවා. මේකයි ‘යහපාලන ක‍්‍රමය’ අපි කියනවා, ‘සිරසේන ජනාධිපතිතුමනි, වික‍්‍රමසිංහ මහත්මයාණෙනි, තමුන්නාන්සේලා, කුමන මර්දන යාන්ත‍්‍රණ හැදුවත්, මේ වේදිකාවේ සිටින අපි සියලූ දෙනා හිරේ දැම්මත්, මේ අතට ගත්තු කොඩිය අපි අතහරින්නේ නැහැ. එකා මත්තේ එකා මැරුණත් අපි අරඹපු සටන ජයග‍්‍රහණයෙන් මිස කෙළවර කරන්නේ නැහැ.

‘ඩොලර් කාක්කන්ට දුන් පොරොන්දුව කඩවෙලා’

ගෙනාපු 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි ‘දහනවය’ නොවෙයි ‘නවදවය’ කළා. මේක ගෙනාවේ ජනාධිපතිවරයාගේ විධායක බලයෙන් කොටසක් ගලවලා ‘ස්වාධීන’ කොමිෂන් සභාවලට දෙන්න. මෙමගින් විධායකයට පාර්ලිමේන්තුවට හා මහජනතාවට වග නොකියන ප‍්‍රභූ පැලැන්තියක් අතට රාජ්‍ය පාලනයේ බලවත් කොටසක් දෙන්න ගියා. මේ කොමිෂන් සභාවල සාමාජිකයන් ලෙස බටහිර තානාපති කාර්යාලවලට රිංගන ඩොලර් කාක්කන් සහ කාක්කියන් පත් කිරීමට මේ යහපාලන ආණ්ඩුව එකග වී තිබුණා. මේක අපි නතර කළා. අපි මේ සියලූ කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වග කියන්න ඕනෙ කියන තැනට යටත් කළා.

දැන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමත් පාර්ලිමේන්තුවට වග කියන්න ඕනෙ. අර අධ්‍යක්‍ෂ ජනරාල් නෝනාට අපි කියනවා ‘දන්නේ නැත්තම් අහගන්න නෝනේ, රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ හිතවතියේ(මම දන්න විදිහට නම් රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ නෝනාගේ හිතවතියක්), අල්ලස් කොමිසම පාර්ලිමේන්තුවට වග කියන්න ඕනෙ. රනිල්ගේ ලණු කාලා මේ ක‍්‍රියාදාමය දිගටම ගෙන යන්න ඔබතුමීලාට බැහැ’ කියලා. ඒ වගේම මූල්‍ය අපරාධ අංශයේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිතුමාට අපි කියනවා ‘මහත්තයෝ, තව පෝය කිහිපයකට වඩා මේ ආණ්ඩුව තියෙන්නේ නැහැ. ඒ හින්දා තරු වැඩි කර ගන්න හිතාගෙන ඔය මර්දන යාන්ත‍්‍රණය මෙහෙයවනවා නම් ඒවාට වග කියන්න, උත්තර දෙන්න දවසක් එනවා’ කියලා.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා මේ විදිහට පිනට බලයට එනවා. 2002දී මේ විදිහට ආවා. 2004දී නැවත ගියා. ආවා ගියා විතරයි. මේ පාරත් සිරිසේන මහත්තයාගේ ‘වලිගයේ’ එල්ලිලා ආවා. ඒත් බලන්නකෝ පාර්ලිමේන්තුවේ දාන ‘පාට්’ එදා යුද්ධය කරන අවස්ථාවේ ඊට විරුද්ධව හිටපු සියලූ කල්ලි, කොටි ත‍්‍රස්තවාදයට උඩගෙඩි දුන් සියලූ කල්ලි, බටහිර අධිරාජ්‍යවාදයට කත් අදින බත් බැලයෝ සියලූ දෙනා, අද මේ ආණ්ඩුව ඇතුළේ ලැගලා ඉන්නේ. ජාතියට ඕනෙ ඒ ගමන නොවෙයි. ‘වෙනසක්’ කියලා මහජනතාව ඉල්ලූවේ ඒ ගමන නොවෙයි, මේ රට දියුණුවෙන් දියුණුවට පත් කරලා ඉදිරියට රැගෙන යන ගමන. ඒ ගමන අපි යළි ඇරඹිය යුතුයි. ජීවිත පූජාවෙන් හෝ අපි මේ රට යළි නිවැරදි පීල්ලට ගත යුතුයි.

ඒක කරන්න පුළුවන් මහින්ද රාජපක්‍ෂගේ ‘කොඩිය, රට බේරාගත් නායකයාගේ කොඩිය, වැඩකරන ජනතාවට පණ දීපු නායකයාගේ කොඩිය ඉහළට එසවීමෙන් පමණයි. එතුමා පෞද්ගලීකරණය කරපු නායකයා නොවෙයි. එතුමා සේවකයන් දොට්ට දාපු නායකයා නොවෙයි. ඔය යූ.එන්.පී. මහත්තුරු තමයි ජූලි වර්ජකයන් ලක්‍ෂ ගණනින් දොට්ට දැම්මේ. මහින්ද රාජපක්‍ෂ වෘත්තීය සමිති ව්‍යාපාරය මර්දනය කළේ නැහැ. ඔහු මේ රටේ රාජ්‍ය අංශය බලසම්පන්න කළා. එතුමාගේ පාලනය තුළ ලක්‍ෂ 08ක් වූ රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්‍ෂ 15 දක්වා වැඩි කළා. ඒ විතරක් නොවෙයි ‘රැකියා විරහිත උපාධිධාරියා’ කියන වචනය මේ රටේ ශබ්දකෝෂයෙන් ඉවත් කළා. එතුමා කලක් තිස්සේ තිබුණු දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් දෙමින් මේ රට ඉදිරියට ගෙන ආවා. අපි යළි මේ රට නිවැරදි පීල්ලට ගැනීම සඳහා කැප වෙමු. ඒ සඳහා පෙළ ගැසෙමු. ලක් මෑණියන් අපෙන් ඒ අභියෝගාත්මක පියවර බලාපොරොත්තු වෙනවා. ලක් මෑණියන් අපට කියනවා. ‘දුවේ, පුතේ මේ මහා යුතුකම ඉටු කරන්න’ කියලා.

‘සමාජ ජාලා වෙබ් අඩවි තුළ සිටින රටට ආදරය කරන තරුණ, තරුණයිනි, මේ සටනට ඔබගේ සවිය දෙන්න. සමාජ ජාලා තුළ බොරු අවලාද ගහන යූ. එන්. පී, ජේ.වී.පී කල්ලි පොඩිපට්ටම් කරලා ‘මහින්ද කොඩිය’ තව තවත් ඉහළට ඔසවන්න’ කියලා අපි මේ මොහොතේ ඉල්ලා සිටිනවා.

මැයි 08 වැනිදා අපි තවත් යෝධ පිම්මක් කුරුණෑගලින් පනිනවා. ඊළග පිම්ම ‘මහින්ද රාජපක්‍ෂ කොඩිය’ රට පුරා රැගෙන යාමේ පිම්ම. ඒ පිම්ම පනින්න සූදානම් වෙන්න.

‘එකතැන තබා සිරකර ජාතියෙ ගමන
නෙක පච දෙසති දියුණුව දියකර දමන
නෙක රටවලට ගැති වී හිස දණ නමන
දැක දැක නොඉද පන්නමු ගැත්තන් අමන

මාතෘභූමියට ජයවේවා!
වැඩකරන ජනතා සමගියට ජයවේවා!
‘මහින්ද රාජපක්‍ෂ ජාතික සටනට ජයම වේවා!’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-05-02

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*