BREAKING NEWS

මෝඩිගේ ප‍්‍රකාශයට විරෝධය පා විමල් පාර්ලිමේන්තු සභා ගැබෙන් එළියට…

bnbnදෙදින නිල සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝඩි මහතා පාර්ලිමේන්තුව වෙත ආවේ පසුගිය 13 වැනි සිකුරාදා ය. එහිදී ඔහු ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතා විශේෂ දේශනයක් සිදු කළේය.

මෙම දේශනය ඇරඹී මද වේලාවකින් නැගී සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිට වී ගියේය. ඒ බව බොහෝ දෙනකුගේ ඇස ගැටුණු අතර, මාධ්‍ය වාර්තාකරණයේ යෙදී සිටි මාධ්‍ය සගයෝද ඒ අතර වූහ. ඒ මොහොතේදී විමල් වීරවංශ මහතා එසේ සභාගැබෙන් ඉවත්ව යාමට හේතු කවරේදැයි විමසා බැලීමට මාධ්‍ය සගයන්ට නොහැකි වූයේ කාගෙත් අවධානය මෝඩි අගමැතිවරයාගේ දේශනය කෙරෙහි යොමුව තිබූ බැවිනි.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ දේශනයෙන් අනතුරුව ලත් ඇසිල්ලෙහිම පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත්වීමට හේතුව කවරේදැයි විමල් වීරවංශ මහතාගෙන් විමසා සිටීමට මාධ්‍ය සගයෝ අමතක නොකළහ. එහිදී විමල් වීරවංශ මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් දුන්නේ මෙවන් පිළිතුරකි.

‘‘ශ‍්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක්. ඒ නිසා අපේ අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඒකීයද, සන්ධීයද,  සහසන්ධීයද කියලා තීරණය කරන්නේ අපි. දැන් මෝඩි අග‍්‍රාමාත්‍යතුමා ලංකාවට ඇවිල්ලා එතුමා කියනවානම්, බලපෑම් කරනවානම් ‘13 නොවෙයි 13න් එහාට යන්න’ කියලා එහෙම බලපෑම් කරන රාජ්‍ය නායකයකුගේ දේශනයකට සවන් දෙන්න මට  ඕනෙ කමක් නැහැ. ඒ අනුව තමයි පාර්ලිමේන්තුවේ එතුමාගේ කතාව පටන් ගත්ත ගමන් මම පාර්ලිමේන්තු සභා ගැබෙන් නික්ම ආවේ.   අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සිදුවිය යුතු වෙනස්කම් ගැන, ‘13න් එහාට යන්න, මෙහාට යන්න’ කියලා කියන්න වෙනත් රටක රාජ්‍ය නායකයකුට අයිතියක් නැහැ’’

‘දැන්වත් කළ්‍යාණ මිත‍්‍රයෝ හඳුනාගන්න’

බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් කුප‍්‍රකට උඩරට ගිවිසුම. ගැසට් මගින් නීතිගත කර වසර 200ක් සපිරුණේ 2015 මාර්තු 15 වැනිදාය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් රට බේරා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණු අභීත රණවිරුවන් සහ වසර 30ක බෙදුම්වාදය පැරදවීමේ සටනේදී ජීවිත පරිත්‍යාග කළ අභීත රණවිරුවන් සිහිපත් කරමින් කතරගම කිරි වෙහෙර අබියසදී ඔවුනට පිං අනුමෝදන් කිරීමේ උත්සවයක් එදින පැවැත්විණි.මෙම ආගමික උත්සවය පැවැත්වුණේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

ජාතික විරු සමරු සංසදය විසින් සංවිධානය කරන ලද මෙම පිං අනුමෝදම් කිරීමේ වැඩසටහන කතරගම දේවාල භූමියේ පිහිටි අෂ්ඨඵල බෝධිය අබියසින් ආරම්භ විය. මහා සංඝරත්නය පෙරටුකරගත් විශාල ජන ගගක් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු වන ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, සාලින්ද දිසානායක, ගාමිණි ලොකුගේ, නාමල් රාජපක්‍ෂ, මනූෂ නානායක්කාර, උදිත ලොකුබණ්ඩාර, ජානක වක්කුඹුර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පළාත් සභා මන්ත‍්‍රී, උදය ගම්මන්පිල, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, ඌව පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති, පද්ම උදයශාන්ත ගුණසේකර යන මහත්වරු ඇතුළු සම්භාවනීය පිරිසක් පාගමනින්ම කතරගම කිරිවෙහෙර අසලට පැමිණියහ. කිරිවෙහෙරට ගිලන්පස  ඇතුළු පූජාභාණ්ඩ තැන්පත් කිරීමෙන් අනතුරුව ආගමික වැඩසටහන ආරම්භ කෙරිණි.

මෙහිදී පළමු අනුශාසනාව පුරාවිද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් විසින් සිදු කරනු ලැබීය.

‘‘වසර 30ක් තිබූ යුද්ධයෙන් මේ රට බේරාගත් මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ යන ශ්‍රේෂ්ඨ නායකයන් දෙදෙනාට නින්දා අපහාස සිදුවන විදිහට කටයුතු කරන්න එපා. ඔවුන්ගේ ආත්මගරුත්වය ආරක්‍ෂා වන අයුරින් කටයුතු කරන්න. මේ රත්තරන් මිනිස්සු දෙදෙනාට නින්දා අපහාස සිදුවන විදියේ වචනයක් යම් කෙනකු කතා කරන්නේ නම් ඔහු තරම් ජාතිද්‍රෝහියකු, දේශද්‍රෝහියකු මේ රටේ තවත් නම් නැහැ’’ උන්වහන්සේ එහිදී පෙන්වා දුන්හ.

‘‘තිස්වසරක යුද්ධය නිමා කරමින් රටට යළි නිදහස දිනාදුන් මහින්ද රාජපක්‍ෂ කියන්නේ ‘ජාතික නිදහසේ වර්තමාන සාක්‍ෂිකරු’ බව මා පවසනවා’’ සිය අනුශාසනාවේදී ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණෝ සිය අනුශාසනාවේදී එසේ අපූරු විවරණයක් සිදු කළහ.

‘‘එදා ඔබතුමා ළග හිටපු සමහරු අද ඔබ ළග නැහැ. කළ්‍යාණ මිත‍්‍රයන් කවුද කියලා ඔබතුමා දැන ගන්න  ඕනෙ. මේ අද ඔබතුමා සමග ඉන්නේ කළ්‍යාණ මිත‍්‍රයෝ’’ යනුවෙන් පූජ්‍ය පදලංගල ධම්මදේව හිමියෝ සිය අනුශාසනාවේදී පවසන විට තමා වටා සිටින විමල්, දිනේෂ්, ගම්මන්පිල ඇතුළු දේශපාලන පක්‍ෂ නායකයන්ට කෘතඥතා පූර්වක සිනහවකින් සංග‍්‍රහ කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අමතක කළේ නැත.

රත්නපුරේ වේදිකාවට නගින්නේ කවුද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා කරන ලෙසට බල කෙරෙන ජාතික රැලි මාලාවේ තෙවැන්න ලබන මාර්තු 26 වැනිදා සවස 3.00ට රත්නපුර නගරයේදී පැවැත්වීමට නියමිතය.

නුගේගොඩ, මහනුවර රැලිවලදී මෙන්ම විශාල ජනතාවක් රත්නපුර රැලියට ද සහභාගී වනු ඇතැයි එහි සංවිධායකයන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල යන පක්‍ෂ නායකයන් වෙත වාර්තා වී තිබිණි.

‘‘නුගේගොඩදී වගේම මහනුවරදීත් වේදීකාව මහජන නියෝජිතයන්ගෙන් පිරි ඉතිරි ගියා. පළාත් සභා මන්ත‍්‍රීවරු හා පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් බොහෝ දෙනකු ඒ අතර සිටියා. නමුත් විශාල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් සිටියේ නැහැනේ. සමහරු ආවත් වේදිකාවට ආවේ නැහැ. තවත් සමහරු සිටියේ සෙනග අතරේ. හැබැයි මේ සැරේ ලැබෙන පණිවිඩ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට වෙනම වේදිකාවක් හදන්න වෙයි වගේ’’ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා එසේ පවසා තිබුණේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාටය.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*