BREAKING NEWS

යහපාලනය කියන්නේ විධායක බලතල අත්තනෝමතික ලෙස යොදා ගැනීමද? – ජානිපෙන් යහපාලන ආණ්ඩුවට පැනයක්

10982709_410373659124181_8690321369245839925_nව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ බලතල උදුරා ගැනීමටත් විපක්‍ෂයේ ක‍්‍රියාකාරීන් මර්දනය කිරීමටත් ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල යොදා ගැනීම යහපාලනයදැයි ජාතික නිදහස් පෙරමුණ ප‍්‍රශ්න කර සිටියි.

අද(05) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මෙසේ ප‍්‍රශ්න කරන ලද්දේ එහි දේශපාලන මණ්ඩල සභික, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා විසිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් පියතිස්ස මහතා මෙසේද සඳහන් කළේය.

‘‘අද වන විට මේ ‘යහපාලනයට’ දින 27ක් සම්පූර්ණ වී තිබෙනවා. මේ ‘යහපාලන මහත්වරු’ තමන්ගේ පාලනය ආරම්භ කරනු ලැබුවේ ප‍්‍රචණ්ඩත්වය වපුරමින්. 1977 බලයට ආපු එක්සත් ජාතික පක්‍ෂ පාලනය අවුරුදු 17කට පසුව සිය පාලනය අවසන් කළ ආකාරය අපට අමතක නැහැ. ‘ධර්මිෂ්ඨ පාලනයකට’ ආපු ඒ අය තම පාලනය අවසන් කළේ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ජවිපෙ දේශපාලන ක‍්‍රියාකාරිකයන් 60,000ක ජීවිත උදුරාගනිමින්. ඔවුන් මේ රට ලේ විලක් බවට පත් කළා. අද ර`ගදැක්වෙන්නේ ඒ ‘ධර්මිෂ්ඨ පාලනයේ කාබන් කොපියක්. ඒකට කියන්නේ ‘යහපාලනය’. මේ ‘යහපාලනය’ ඇරඹුණේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්. පාර්ලිමේන්තුවේ බහුතරය සිටි පක්‍ෂය පැත්තකට විසි කරලා සුළුතර මන්ත‍්‍රී සංඛ්‍යාවක්(225න් 49ක්) සිටින එජාප නායකයා ජනාධිපති දිවුරුම් දීලා තත්පර ගණනකින් අගමැති ධුරයට පත් වුණා.

ඊට පසු සිදුවුණු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, යහපාලන විරෝධී සිදුවීම් ගණනාවක් තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ නිරෝෂන් පාදුක්ක කියන මැරයා කැස්බෑව පොලීසියට කඩාවැදිලා යකා නටනකොට මේ යහපාලනය ඇරඹිලා පැය 24ක් ගෙවි තිබුණේ නැහැ. පී. හැරිසන් කැබිනට් අමාත්‍යවරයා ඇතුළු ඔහුගේ මැර පිරිස තමන්ගේ ජයග‍්‍රහණය සැමරුවේ පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දීලා. අද ඒ පිරිස අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ විරුද්ධ පාක්‍ෂිකයන්ට කරන හිරිහැරවල නිමක් නැහැ. ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ අද විශාල භීෂණයක් පතුරවමින් සිටිනවා. දිවුලපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තම නිවසේදී පහරකෑමට ලක් වෙනවා. වත්තල ප‍්‍රදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු එජනිස මන්ත‍්‍රීවරු මාසික රැස්වීමේදී යකඩ පොලූ ප‍්‍රහාරයකට ලක් වෙනවා. වත්තල සිදුවීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඍජුව සම්බන්ධ බවට සාක්‍ෂි තිබෙනවා. දොම්පේ ප‍්‍රදේශයේ රණවිරු බිරිඳක් අමානුෂික ලෙස පහරකෑමට ලක්වී තිබෙනවා. ඊට හර්ෂණ රාජකරුණා එජාප පළාත් සභා මන්ත‍්‍රීවරයාගේ මැර පිරිසක් සම්බන්ධයි. මේ කිසිවකට නීති මගින් කටයුතු කර තිබෙනවාද? අද මේ සියල්ල යට ගසා ඇත්තේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහත්තයායි.

මම නියෝජනය කරන නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ තලවාකැලේ ප‍්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත් දෙමළ තරුණයකු ඒ අසල ජලාශයකට පැන දිවි නසා ගත් බව පොලීසිය පවසනවා. අපි හරියට දන්නේ නැහැ, දිවි නසා ගත්තාද?’ කියලා. පසුගිය පාලන සමයේදී මේ වගේ සිදුවීමක් සිදු වුණාම පුවත්පත්වල දැවැන්ත සිරස්තල නිර්මාණය වෙනවා. නමුත් අද ඒවා නිහඩතාවයේ ගිල්වා තිබෙනවා. ඒ තරමට වතුකරයේ ජාතිවාදී බෙදුම්වාදී කල්ලි බලවත් වී තිබෙනවා. මෙහිදී තලවාකැලේ පොලිස් නිලධාරීන්ට ප‍්‍රසිද්ධියේ පහර දෙනවා. ගල් මුල් ප‍්‍රහාර එල්ල කරනවා. ඒ විතරක් නොවෙයි ඔවුන් අද එම ප‍්‍රදේශවල ජීවත් වන සිංහල ජනතාවට පවා බලපෑම් කරන තත්ත්වයක් දක්නට ලැබෙනවා. මේකද යහපාලනය කියන්නේ?

‘යට ඇඳුම් හෝදලා…’

මේ ‘යහපාලනය’ ඇතුළේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමයත් ඉන්නවා නේද? දෙමළ ජාතික සන්ධානය හා එක්සත් ජාතික පක්‍ෂය සමග කර වටා අත් දමා ගෙන යන ගමනක් අද ජනතා විමුක්ති පෙරමුණට තිබෙන්නේ. ඔවුන් අද ‘සිරිකොතේ බැඳලා දමපු දඩයම් බල්ලකුගේ භූමිකාව’ ඉටුකරමින් ඉන්නවා. එදා අපි අනුර දිසානායකලා සහ රවි කරුණානායකලා අතර තිබුණු හාදකම් ගැන රටට කීවා. අද ඒ දේවල් සාක්‍ෂි සහිතව ඔප්පු වී තිබෙනවා. අද එජාප නායකයන්ගේ රෙදි අපුල්ලනවා විතරක් නොවෙයි, ඒ අයගේ යට ඇඳුම් හෝදලා මිරිකලා මිහිරි පානයක් ලෙස පානය කරන තත්ත්වයට වත්මන් ජවිපෙ නායකයන් පත් වෙලා තිබෙනවා.

පාර්ලිමේන්තු බලය, අධිකරණයේ බලය බුල්ඩෝසර් කරලා විපක්‍ෂයේ සිටින අහිංසක ක‍්‍රියාකාරීන්ට පහර දීලා, ගෙවල් ගිනි තියලා, සේවයට වාර්තා කිරීමට පවා ඉඩ නොදී ලබාගත් විධායක බලය මේ අන්දමින් අත්තනෝමතික ලෙස යොදා ගත් ඉතිහාසයක් අපේ රටේ තිබුණාද? කියා නැවත සිතා බලන ලෙස අපේ රටේ බුද්ධිමත් ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.

මේ යහපාලන ආණ්ඩුව අල්ලස්, දූෂණ පිළිබඳ මාධ්‍ය සන්දර්ශන පැවැත් වූවාට මේ දින 27 තුළ කිසිවකුට එරෙහිව විධිමත් නීතිමය පියවරක් ගනු ලැබුවාද? නැහැ. මේ තරමින් හරි මේ යහපාලනයෙන් ජනතාවට බේරි ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ දැන් ‘ඉන්ටර්වල්’ එකක් ලැබී තිබෙන නිසයි. මේ දැන් ලැබී ඇත්තේ ‘අපායේ ඉන්ටවල්’ එකක්. මහ මැතිවරණයෙන් පස්සේ තමයි, නියම යමපාලනය, අපායේ යම රජුගේ යමපාලනය පටන් ගන්නේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරනවා කියලා මහා ඝෝෂාවක් සිදු කළා. කොත්තමල්ලී, කහ, උම්බලකඩ අත්‍යවශ්‍ය භාණ්ඩද? සහල්, පොල්, එළවළු, පරිප්පු අත්‍යවශ්‍ය භාණ්ඩ නොවේද? මුං ඇට, උදු, කොත්තමල්ලී, මිරිස්, කහ, උම්බලකඩවලට ගහපු බදු අඩු කළාම කාටද වාසිය ගියේ? ඉන්දියාවට මිස වෙන කාටද?. පාන්පිටි, උඳු, කොත්තමල්ලී, භූමිතෙල් ආදියෙහි මිල අඩු කරලා එක් ජන කොට්ඨාසයක් ඉලක්ක කරගෙන නොවෙයිද මේ බඩට පොඩි හුළං පාරක් ගහලා තියෙන්නේ?

එදා චම්පික රණවක මහත්තයලා මොකද කීවේ? පරිසර හිතකාමී දෙමුහුන් වාහන මේ රටට ඉතා සුදුසුයි කියලයි කීවේ. ඒත් මේ අතුරු අයවැයෙන් මොකද කරලා තියෙන්නේ. ලක්‍ෂ 06 සිට 13 දක්වා එම වාහනවල මිල ඉහළ දමා තිබෙනවා. ජනතාවගේ ඇස්වලට වැලි ගහලා මාධ්‍ය සන්දර්ශන පවත්වලා දින 100කට පස්සේ එක්සත් ජාතික පක්‍ෂයේ යමපාලනයක් තවත් අවුරුදු 06කට රැගෙන ඒමට නොවෙයිද මේ දගලන්නේ?

අද පාර්ලිමේන්තුවට, අධිකරණයට නීතියේ ආධිපත්‍යයට කුළුගෙඩි පහර එල්ල කරන මහත්වරුන්ට අපි අනතුරු හගවනවා, ‘නුදුරේදීම මේ පාලනය වෙනස් වනවා, ඉන්පසුව මේ සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියාවන් පිළිබඳව අපි විධිමත් පරීක්‍ෂණයක් සිදු කරනවා’ කියලා. ‘කොකාට එක් වාරයක් තියෙනවා නම්, කෙකීට හත් වාරයක්’ තියෙන බව අමතක කරන්න එපාෟ කියලා අපි ‘ජෝන්කරණය’ වූ පොලිස් මහත්වරුන්ගෙන් සහ යහපාලන මහත්වරුන්ගෙන් ඉල්ලනවා. බලපෑම් කරලා, තර්ජන කරලා අත්අඩංගුවට අරගෙන අපිව නිහඩ කරන්න හදනවා නම් මහත්වරුනි, ඒ ඔබලාට සිදුවුණු බරපතළ වැරැද්දක්. අපි ජනතාවගෙන් ඉල්ලනවා, මේ යමපාලනය දින 100න් අවසන් කරන ගමනට එක්වෙන්න. ඒ හා අත්වැල් බැඳගන්න කියා’’

‘යහපාලන’ ආණ්ඩුවේ නොකියන පටන්පාඨය කුමක්ද? -මොහොමඞ් මුසම්මිල්

‘‘මේ යහපාලන දින 100 වැඩපිළිවෙළට සමගාමීව අද බෙදුම්වාදී දින 100ක වැඩපිළිවෙළකුත් ක‍්‍රියාත්මක වෙනවා. ‘දකුණට යහපාලනය – උතුරට ස්වයංපාලනය’ ඒක තමයි වර්තමාන ආණ්ඩුවේ නොකියන සටන් පාඨය.

අද උතුරට යන කිසිවකු පරීක්‍ෂා කරන්නේ නැහැ. ත‍්‍රස්තවාදය හිස එසවීම වැළැක්වීමට මහත් රුකුළක් වුණු, ගෝපි, අප්පන් අල්ලා ගැනීමට උපකාරී වූ ඕමන්තේ මුරපොළ අද ඉවත් කරලා. අද වවුනියාවේදී පොලිස් නිලධාරියකුට නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා තිබෙනවා. ‘අධිආරක්‍ෂිත කලාපයට අක්කර 26,000ක් අයත්ව තිබුණා. දැන් ඉන් 10,000ක් ඉවත් කර තිබෙනවා. ඉතිරි අක්කර 16,000ත් තවදුරටත් අඩු කරන ලෙස අපට ඉල්ලීම් ලැබී තිබෙනවා. අපි ඒ දෙය කරන්නේ කෙසේද කියා කල්පනා කරමින් සිටිනවා’ කියා පසුගියදා හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසා තිබුණා. එහෙම කියපු හමුදා ප‍්‍රකාශකවරයා එම ධුරයෙන් ඉවත් කරනු ලැබුවා. චම්පික රණවක මහතා පසුගියදා උදයන් පුවත්පතට කියා තිබෙනවා, ‘දැනට තිබෙන අධිආරක්‍ෂිත කලාපයේ ඉඩම්ද දෙමළ ජනතාවට ලබා දිය යුතුයි’ කියලා. ඒ අනුව අපට ඉතා පැහැදිලියි තිබෙන අධිආරක්‍ෂිත කලාප ඉවත් වෙමින් තිබෙන බව.

පසුගිය කාලයේ ශ‍්‍රී ලංකා මුහුදු සීමාවට බලහත්කාරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවරයන් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්තා. ඒ නාවික හමුදා ආරක්‍ෂක වලල්ල අද තිබෙනවාද? කියන ප‍්‍රශ්නය අපට ඇති වී තිබෙනවා. ඒ විතරක් නොවෙයි කටුනායක ගුවන් තොටුපළේ ප‍්‍රභූ පර්යන්තයෙන් ඩොනල්ඞ් ඥානකෝන්, කැලම් මැක්රේ ඇතුළු කොටි හිතවාදීන් ශ‍්‍රී ලංකාවට පැමිණෙමින් සිටිනවා. නමුත් ඒ සියල්ල ‘යහපාලන මාධ්‍ය අධිකාරිය’ විසින් වසා දමා තිබෙනවා.

ඒ විතරක් නොවෙයි, දකුණු ඉන්දියාවේ සිටින දෙමළ සරණාගතයන් යැයි කියමින් ඉන්දියානුවන්ද සහිතව ලක්‍ෂ ගණනක් උතුරේ නැවත පදිංචි කිරීමට සූදානම් වෙමින් සිටිනවා. මේක ඉතාමත් භයානක තත්ත්වයක්. මේ තත්ත්වය ඉන්දියාවේ බුද්ධි අංශවලට, ශ‍්‍රී ලංකාව තම අත්අඩංගුවට ගැනීමට ඉමහත් රුකුළක් වේවි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරු ඉතා පැහැදිලිව කියා තිබෙනවා, ‘13 සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීමට අපි එකගයි. උතුර නිර්මිලිටරිකරණය කිරීමට අපි එකගයි’ කියලා.

ඒ අනුව ඉතා පැහැදිලියි යහපාලන දින 100 තුළ බෙදුම්වාදී උවමනාව ඉතාමත් හොඳින් ඉටු වන බව. මේ සියල්ල සිදුවන්නේ මාධ්‍යවලට මුකවාඩම් දාලා. දකුණු හා මධ්‍යම ආසියාව භාර ඇමෙරිකානු එක්සත් ජනදප සහකාර රාජ්‍ය ලේකම්වරිය වූ නීසා බිස්වාල් මහත්මියගේ නිල මාධ්‍ය සාකච්ඡාවේදී ප‍්‍රශ්න නොඅසන ලෙස මාධ්‍යවේදීන්ට කළ බලපෑම අඩු තරමින් මාධ්‍ය මගින් අනාවරණය කළේවත් නැහැ. මෙවැනි තත්ත්වයක් යහපාලන මහත්වරුනේ ‘රාජපක්‍ෂ රෙජීමය’ යටතේ තිබුණාද? කියා අපි අහනවා. මේකද යහපාලන මාධ්‍ය නිදහස?

අධිකරණයේ ස්වාධීනත්වයට කුළුගෙඩි පහරක් එල්ල කරමින් අගවිනිසුරු මොහාන් පීරිස් මහතා බලහත්කාරී ලෙස ධුරයෙන් ඉවත් කිරීමට මූලිකත්වය ගෙන ක‍්‍රියා කළ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ උපුල් ජයසූරිය මහතාට ‘කළ සේවය’ වෙනුවන් අද ‘යහපාලන’ ආණ්ඩුව කෘතගුණ සලකා තිබෙනවා. එතුමාට ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය පිරිනමා තිබෙනවා. අපූරු යහපාලනය. ඒ තෑග්ග දෙන ගමන් තමන්ගේ මල්ලිට ටෙලිකොම් සභාපති ධුරය පිරිනමනවා. අපූරු යහපාලනය. යහපාලනය පෙන්වා, දැවැන්ත ෆෙඩරල් පාලනයකටයි මේ අය මේ රට රැගෙන යන්නේ. මේ තත්ත්වයට එරෙහිව නැගී සිටින ලෙස අපි සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.’’

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*