BREAKING NEWS

යාපනයේ හර්තාල් ව්‍යාපාර සහ කොටි සැමරුම් සිදුවීම් ඉතාම භයානක ප‍්‍රවණතාවක් – ජානිපෙ නායක විමල් වීරවංශ

යාපනය ඇතුළු නගර කිහිපයක සිදු වූ හර්තාල් ව්‍යාපාරය සහ ඊනියා මහවිරු සතියක් ප‍්‍රකාශයට පත් කර කොටි සැමරුම් සිදු කිරීම ඉතාම භයානක ප‍්‍රවණතාවක් බවත් කොටි සංවිධානය ආරම්භ වීමට පූර්විකාව ලියැවුණෙත් මේ ආකාරයටම බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(22) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘යුද්ධය නිමා වීමෙන් පසුව ප‍්‍රථම වතාවට යාපන අර්ධද්වීපය ප‍්‍රධාන කොට ගත් නගර කිහිපයක විශාල ප‍්‍රචණ්ඩකාරී විරෝධතා ව්‍යාපාරයක් ඇරඹී තිබෙනවා. මෙම විරෝධතා ව්‍යාපාරයට නිමිත්ත වී තිබුණේ යාපනය කයිට්ස් ප‍්‍රදේශයේ විසූ දැරිවියක් ඒ අවට පදිංචි පුද්ගලයන් විසින් දූෂණය කොට මරා දැමීම. එවැනි අඳුරු සහගත ඉරණමකට ඒ දියණිය ගොදුරු වීම පිළිබඳ අපි පළමු කොටම අපේ බලවත් ශෝකය පළ කොට සිටිනවා. පොලිසිය විසින් ඊට වගකිව යුතු පිරිස් කඩිනමින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපි ඒ පිළිබඳව සතුටු වෙනවා. එම සැකකරුවන් අධිකරණය වෙත කඩිනමින් ඉදිරිපත් කොට තිබෙනවා. එහෙම බැලූවාම මෙතැන විරෝධය පළ කරන්න හේතුවක් ඉතිරි වෙලා නැහැ.

මෙසේ චූදිතයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වීම කාර්යක්‍ෂමව කඩිනමින් සිදු වෙමින් තිබියදී කිසියම් කණ්ඩායමක් වෙනත් කිසියම් අරමුණක් ඉටුකර ගැනීම වෙනුවෙන් මේ සිද්ධිය නිමිතිකොටගෙන සාහසික, කැරලිකාරී, ප‍්‍රහාරාත්මක විරෝධතාවකට පදනම ගොඩනගා ගෙන තිබෙනවා.

අපි දන්නවා පසුගිය කාලයේ පොලීසියට අමතරව ආරක්‍ෂක හමුදා, උතුරේ සිවිල් ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් රාජකාරී ඉටු කළ බව. මේ වන විට ආරක්‍ෂක හමුදා තමන්ගේ කඳවුරු තුළට සීමා කරලා තියෙනවා. දැන් ඔවුන්ට කිසිදු ආකාරයකින් සිවිල් ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කරන්න ඉඩ ලැබිලා නැහැ.

‘පාසල් යන දැරිවියක් සමූහ වශයෙන් දූෂණය කරලා මරා දැමීමේ සිදුවීමක්’ යුද්ධය අවසන් වී ගෙවී ගිය පසුගිය වසර 05 තුළ අහන්න වුණේ නැහැ. මෙවැනි කනගාටුදායක පුවතක් අසන්නට ලැබුණේ, මේ ඊනියා යහපාලනය ආවාට පසුවයිත ඒ වගේම ආරක්‍ෂක හමුදා කඳවුරු තුළට සීමාකර, පොලිස් කොට්ඨාස ගැලෙව්වාට පසුවයි. නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන පිළිබඳව තිබෙන බිය හා ගෞරවය ඒ සමාජයෙන් නැති කළාට පස්සේ එහි අතුරු ප‍්‍රතිඵලයක් ලෙසයි මේ විදියේ අශීලාචාර සිද්ධියක් අපට ඇහන්නට ලැබෙන්නේ. මේක තමයි ඔවුන් කියන නිදහස. අද උතුරේ එවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. එහි අනෙක් ප‍්‍රවණතාව ලෙස අධිකරණයට ගල් ගසන තත්ත්වයක් ඇති වී තිබෙනවා.

මීට ඉහතදී කොටි සංවිධානය ආරම්භ වෙන්න පූර්විකාව ලියැවුණෙත් මේ ආකාරයටම තමයි. මේක ඉතාම භයානක ප‍්‍රවණතාවක්. මේ හර්තාලයට දින කිහිපයකට කලින් තමයි ඊනියා මහ විරු සතියක් ප‍්‍රකාශයට පත් කරලා, දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමතිවරයා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් ඒ වගේම එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය අමාත්‍යවරිය විජයකලා මහේෂ්වරන් යන සියලූ දෙනා එකතු වෙලා පහන් පත්තු කරලා කොටි ත‍්‍රස්තවාදීන් සැමරුවේ.

‘ජාතිවාදී, බෙදුම්වාදී, ෆැසිස්ට්වාදී, මිනීමරු කොටි ත‍්‍රස්තවාදය’

ගෙවී ගිය අවුරුදු 05 තුළ මිනීමරු බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන් සැමරීමට කිසිවකුට හැකි වුණේ නැහැ. මම අහගෙනයි ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහත්තයා කියනවා, ‘මියගිය අය සැමරීමට කාටත් අයිතියක් තියෙනවා’ කියලා. එහෙම නම් ජර්මනියේ නාසිවාදී, ෆැසිස්ට්වාදී හිට්ලර්වත්, ඉතාලියේ මුසොලිනිවත් සමරනවා ඇති. ජනතා විමුක්ති පෙරමුණේ පැරණි ප‍්‍රකාශන, ඒ වගේම රෝහණ විජේවීර සහෝදරයා ලියූ ග‍්‍රන්ථ කියවලා බැලූවොත් එල්. ටී. ටී. ඊ. සංවිධානය හඳුන්වා ඇත්තේ කෙසේද? ‘ජාතිවාදී, බෙදුම්වාදී, ෆැසිස්ට්වාදී මිනීමරු කොටි ත‍්‍රස්තවාදය’ කියලයි.

මිනීමරු ෆැසිස්ට්වාදී ත‍්‍රස්තවාදීන් පහන් පත්තු කරලා සැමරීමේ නිදහසක් ලෝකයේ කොහෙවත් ලබා දෙන්නේ නැහැ. මේ රටේ හිටපු ජාතිවාදී, බෙදුම්වාදී, ෆැසිස්ට්වාදී, මිනීමරු ත‍්‍රස්තවාදීන් පිරිසක් සැමරීමට ඉඩ දෙනවා කියන්නේ ‘තමන්ගේ වල තමන් විසින්ම කපා ගැනීම’. අධිකරණය නියෝග නොසලකා කොටි ත‍්‍රස්තවාදීන් සැමරීම සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වූයේ නැහැ. ‘උසාවි නියෝගය නොතකා උතුරේ ජයටම කොටි සැමරුම්’ දිවයින පුවත්පත 19වැනිදා එසේ වාර්තා කොට තිබුණා ඡායාරූප ද සමගින්. එක් ඡායාරූපයක ඇත්තේ බැනරයක්. එහි ලියා ඇත්තේ ‘දෙමළ ජනතාව සමූහ ඝාතනය නතර කරනු!’ කියලයි. සමරන්නේ මේවායි. උතුරේ පාසල්වලත්, යාපනය විශ්ව විද්‍යාලය තුළත්, රජයේ ආයතන තුළත් මෙසේ කොටි සැමරුම් සිදු කෙරුණා. උතුරු පළාත් සභාව නිල උත්සවයක් පවත්වලා කොටි සැමරුවා.

මෙසේ සමරනු ලැබුවේ, ජාතිවාදී බෙදුම්වාදී, ෆැසිස්ට්වාදී, මිනීමරු ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් නොවෙයිද? එවැනි මිනීමරු ව්‍යාපාරයකට වීරත්වය ආරෝපණය කිරීම ද මේ යහපාලන මහත්වරු සිදු කළේ? මේ මිනීමරු ත‍්‍රස්තවාදී ව්‍යාපාරයට හසු නොවන මනසක් පසුගිය අවුරුදු 05 තුළ උතුරේ තරුණ පරපුර තුළ හැදුනා. දැන්  ඔවුන් මේ කුරිරු මිනීමරු ෆැසිස්ට්වාදී ව්‍යාපාරයේ ගොදුරක් බවට පත් කරන්න මෙසේ වීරත්වයක් ආරෝපණය කිරීම බලපාන්නේ නැද්ද? මෙසේ ‘වීරත්වයේ කිරිවලින්’ මිනීමරු, ෆැසිස්ට් ව්‍යාපාරයක් දෝවනය කරලා ගෙනාවාම මේ තරුණ පරපුර ඔවුන්ගේ සිහිනය මේ ව්‍යාපාරය මතින් සැබෑකර ගැනීමට හිතන්නේ නැද්ද? මිනීමරු, ෆැසිස්ට් ව්‍යාපාරයක් සැමරීමට ඉඩ දෙන එකටද සංහිඳියාව කියන්නේ. බෙදලා දෙන එකවත්, ඉල්ලන සියල්ල දෙන එකවත් සංහිඳියාව නොවෙයි.

‘දින 100 තොරණට දාපු යහපාලන බල්බ්’

‘යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව’ කියන්නේ මේ ‘දින 100 තොරණට’ දාපු ‘ලස්සන බල්බ්’. මේ තොරොම්බල් කරන ලස්සන වචන ඉදිරියට දාගෙන තමයි මේ යහපාලන මහත්වරු නැවත අපේ මාතෘභූමිය ජාතිවාදී, බෙදුම්වාදී, ෆැසිස්ට් කල්ලිවල ගොදුරක් බවට පත් කරමින් සිටින්නේ. ඒකෙම දිගුවක් තමයි මේ සිදුවෙමින් පවතින හර්තාල් ව්‍යාපාරය. වේදනාවට කාරණය තමයි, වෙනදා මේවා නිවැරදිව දකිමින් ඒ පිළිබඳව ජනතාවට අනතුරු හගවපු ජනතා විමුක්ති පෙරමුණ අද ක‍්‍රියා කරන ආකාරය. සෝමවංශ අමරසිංහ මහතාට අනුව, දැන් ජවිපෙ ඉන්න නායක අලි පැටව්, ‘මියගිය අය සැමරීමට අයිතියක් ඇත’ කියලා කරන්නේ මේ බිහිසුණු පින්තූරයට ‘සුදු හුණු ගෑම. ජවිපෙ වසර 50ක ඉතිහාසය තුළ මෙවැනි තත්ත්වයක් ඇති වී නැහැ. සෝමවංශ අමරසිංහ මහතාට අනුව, දැන් ජවිපෙ ඉන්නේ නායක අලි පැටව් නම් එහෙම වෙන්න පුළුවන්.

මේ රට මේ අවදානමින් මුඳවා ගන්න නම් සිංහල, දෙමළ, මුස්ලිම් අපි ජාතියක් ලෙස එකතු වෙන්න  ඕනෙ. අද ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙමින් යනවා. කියපු බොරු එකක්වත් ඔපුප්කර ගන්න බැරිව ඉන්නවා. ලැම්බෝගිනි ගැන කතා කළා, එක ‘ලැම්බෝගිනියක්’ හම්බවෙලා නැහැ. රත්තරන් අශ්වයෝ ගැන කීවා, එක රත්තරන් අශ්වයෙක් හම්බ වෙලා නැහැ. බේබිලාට චොපර් ගේනවා කිව්වා, එක චොපර් එකක් හම්බ වෙලා නැහැ. මේ විදිහේ වෛර සහගත බොරු වපුරලා තමයි බලය ඩැහැ ගත්තේ. අධිවේගී මාර්ග අඩු ගාණට හදනවා කීවා. දැන් තිබුණු ඇස්තමේන්තුවටම තමයි කඩවත-කෙරවලපිටිය අධිවේගී මාර්ගය හදන්නේ.

ඒ හැම දෙයකින්ම තේරෙනවා ඔවුන් බොරු කියලා බලය ගත්තු බව. ඔවුන් කියපු බොරු අද සනාථකර ගන්න බැරිව ඉන්නවා. උතුරු හා නැග‍ෙනහිර අස්ථාවර කරමින් අද යාපනයෙන් සිංහල ජනතාව එලවන්න  ඕනෑ කරන දැනුම් දීම් කරලා තියෙනවා. මේක කියන්නේ මම නොවෙයි ජාතික හෙළ උරුමය. ‘යාපනයෙන් සිංහල ජනතාව එලවනවා’ කියලා ජාතික හෙළ උරුමය අපට කියලා වැඩක් නැහැ. ඔවුන් ඒ ප‍්‍රශ්නය තමන් පත් කරගත් ජනාධිපතිතුමාටයි, අගමැතිවරයාටයි කියලා විසඳලා දෙන්න  ඕනෙ. උතුරේ ඉන්න සිංහලයන් සුළු පිරිසත් එලවන එකද, සහජීවනය? මෙහෙ ඉන්න දෙමළ ජනතාව එලවන වැඩපිළිවෙළක් කවුරු හරි හදලා තියෙනවාද? නැහැ. අපේ රට අසරණ කරන, අනාථ කරන ගමනක් අද යමින් ඉන්නේ. ‘මේ ගමන නතර කිරීම සඳහා සක‍්‍රීයව පෙළ ගැසෙන්න’ කියා අපි මේ රටට ආදරය කරන සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා’’

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක, ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් යන මහත්වරුද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-05-22

02 03

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*