BREAKING NEWS

‘යුද්ධය නැති රට යහපාලනයෙන් දෙකඩවන හැටි’ විමල් කියයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයට  අංක 20න් තරග වදින ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් රචිත, ‘යුද්ධය නැති රට යහපාලනයෙන් දෙකඩ වන හැටි’ කෘතිය එළිදැක්වීම පසුගිය සතියේ කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට ප‍්‍රධාන  ආරාධිතයා ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහභාගී විය. මෙම කෘතිය එළිදැක්වීමට සමගාමීව නීතිඥ කපිල ගමගේ මහතා විසින් රචිත ‘නොගිය නුවණ’ කෘතිය විමල් වීරවංශ මහතාට පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

    මෙහිදී පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියෝ අනුශාසනාවක් සිදු කළ අතර හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා, ප‍්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක යන මහත්වරු කෙටි දෙසුම් පැවැත්වූහ.

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ආචාර්ය ගුණදාස අමරසේකර, ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක, වෛද්‍ය වසන්ත බණ්ඩාර, මහාචාර්ය අතුල සුමතිපාල ඇතුළු විද්වත්හු රැසක් ද, කලාකරුවෝ ඇතුළු සම්භාවනීය පිරිසක් ද එක්ව සිටියහ.

    ”අපේ රටේ දේශපාලනයේ ගෙවීගිය කාලසීමාවන් තුළ විවිධ චරිත මතු වුණා. යුගයෙන් යුගයට බිහි වූ චරිත අතර සේනානායක චරිතය, බණ්ඩාරනායක චරිතය, රාජපක්‍ෂ චරිතය සුවිශේෂයි. එම චරිත ආශ‍්‍රිතව තවත් වැදගත් දේශපාලන ද චරිතද මතු වුණා. රාජපක්‍ෂ චරිතය ආශ‍්‍රිතව බිහි වූ දේශපාලන චරිත අතුරින් වඩා වැදගත්ම දේශපාලන චරිතය මෙම කෘතියේ කතුවරයා වන විමල් වීරවංශයි”
   
    හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා, විමල් වීරවංශ නම් දේශපාලනඥයාට තම දෙසුම අතරේ චරිත සහතිකයක් ලබා දුන්නේ එසේ පවසමිනි.

    ”ජනවාරි 08 වැනිදා රට හමුවේ මතු වුණු අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද? කියන ප‍්‍රශ්නයට පිළිතුරු සොයන්න අපි ඊට දින කිහිපයකට පසුව හමුවෙලා සාකච්ඡුා කළා. ඒ සාකච්ඡුාවට දිනේෂ්, විමල්, ගම්මන්පිල, වාසු ඇතුළු රටට ආදරය කරන දේශපාලනඥයන් පිරිසක් සහභාගි වුණා. ඒ සාකච්ඡාවේදී නුගේගොඩදී රැස්වීමක් පැවැත්විය යුතු බවට යෝජනා වුණා. ඒ සම්බන්ධයෙන් එහිදී විවිධ මත පළ වුණා. එහිදී විමල් කීවා, ‘මම තනියම හරි රැස්වීම පවත්වනවා’ කියලා. ඒ ඍජු තීරණය මත පිහිටා අපි කවුරුත් කටයුතු කළා. අවසානයේදී රටට එරෙහි ගමන ආපස්සට හරවන විශිෂ්ටතම සන්ධිස්ථානය වුණේ ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් එක්වූ නුගේගොඩ ජනතා රැලිය.

    අගෝස්තු 17 වැනිදා රටේ ජනතාව ගත යුතු වැදගත් තීරණයක් තියෙනවා. ඒ තමයි, රටේ අගමැති කරන්නේ රනිල් ද, මහින්ද ද, කියන එක. ඒ වගේම අගෝස්තු 17 වැනිදා කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාව ගතයුතු වැදගත් තීරණයක්ද තියෙනවා. ඒ තමයි, වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යවන්නේ රනිල් ද, විමල් ද කියන එක. කොළඹ දිස්ත‍්‍රික්කයෙන් රනිල්ට වඩා වැඩි මනාපයෙන් අපි විමල්ව පාර්ලිමේන්තු යැවිය යුතුයි. විමල් වැනි රටට හිතැති මිනිසකුගෙන් මේ රටේ මිනිසුන්ට ඉටුු කරවා ගත යුතු විශාල වැඩ කොටසක් තිබෙන නිසයි මම එහෙම කියන්නේ” ආචාර්ය දයාන් ජයතිලක එහිදී පැවසුවේ එවැනි අදහසකි.

    ”මැතිවරණ ව්‍යාපාරය ඇතුළේ මා ලියපු පොතකුත් මා ගැන ලියැවුණු පොතකුත් ඔබ අතට පත්ව තිබෙනවා. අපි ඒ පොත් ඔබ අතට පත් කළේ මේ මැතිවරණ ව්‍යාපාරය ප‍්‍රඥාව වඩවාලීමකින් තොරව ජයග‍්‍රහණය කරවිය නොහැකි වන නිසයි. සතුරු බලවේග ප‍්‍රඥාව වඩවාලන්න තිබෙන අවස්ථාවන් වහලා ඒ වෙනුවට ‘බොරු සෝබන’ දේශපාලනය ඉදිරියට ගෙන තිබෙනවා. ඒ තත්වය පරදවන්න නම් අපි ජාතියක් ලෙස බරසාර අවබෝධයක් සහිතව ඒ අභියෝගයට මුහුණ දිය යුතු වෙනවා. ඒ සඳහා ජන සමාජය පෙළඹවීම වෙනුවෙන් අපි දියත්කර ඇති ක‍්‍රියාන්විතයේ එක් පියවරක් ලෙස තමයි මෙම කෘති එළිදැක්වීම මම දකින්නේ.

    ජනවාරි 08 වැනිදායින් පසු ‘ආපු සුළිය’ අනෙක් පැත්තට හරවන්න සූදානම් කියලා පෙබරවාරි 18 වැනිදා  ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් නුගේගොඩට ගෙනවිල්ලා, මේ සතුරු බලවේගවලට අපි පෙන්වා දුන්නා. ඒක අපි ආපු මේ ගමනේ නොමැකෙන සන්ධිස්ථානයක්. ඒ වගේම අපට අවසානයේදී හැකිවුණා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටු සභාපතිත්වය හිටපු ජනාධිපතිතුමන්ට ලබා දෙන්න.

    දැන් තමයි ඉතිරි තීරණාත්මක භූමිකාව තියෙන්නේ. මේ සටන ජයග‍්‍රහණයෙන් මිස පරාජයෙන් කෙළවර කළ යුතු වන්නේ නැහැ. මේ සටන ජයග‍්‍රහණයෙන් කෙළවර කළොත් මිස ජාතියට සුරක්‍ෂිතභාවය හිමිවන්නේ නැහැ. 17 වැනිදාට අපට තීරණය කිරීමට ඇත්තේ ‘දෙමළ බෙදුම්වාදී මෙහෙයුමට පණ දෙනවාද?’ නැත්නම් ‘2005 බලයට ඇවිල්ලා 2009 මැයි 18 වැනිදා රටට පණ දුන්නු සිංහයාට නැවත පණ දීලා, ජාතිය ආරක්‍ෂාකාරීව ඉදිරියට ගෙන යනවාද?’ කියන කාරණය විතරයි.

    මේ තියුණු දේශපාලන අභියෝගය හමුවේ නිවැරදි තැන හිටගන්නවාද? නැද්ද? කියලා විතරයි අපට තීන්දු කිරීමට ඇත්තේ, ජාතියේ සැබෑ සතුරා හඳුනාගන්න. ඒ සතුරා තමයි අධිරාජ්‍යවාදය. එය නිවැරදිව වටහාගෙන ඉදිරියට යාමෙන් මිස ජාතියට ජයග‍්‍රහණ ගෙන එන්න බැහැ. ප‍්‍රඥාවන්තව  මේ සටන ඔබේ අතට ගන්න.”

    විමල් වීරවංශ මහතා කෘතිය පිළිබඳ තම දේශනයෙන් එසේ අවධාරණයකර සිටියේය.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*