BREAKING NEWS

යුද අපරාධ චෝදනා පිළිබඳ විග්නේෂ්වරන්ලාගේ ජාත්‍යන්තර පරීක්‍ෂණ යෝජනාත් මංගලලාගේ දේශීය පරීක්‍ෂණ යෝජනාත් කරළියට එන්නේ ඔවුන්ගේ විජාතික හාම්පුතුන්ගේ උවමනාවටයි

10257306_413515478809999_6429318719685533232_oයුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය බවට උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කිරීමත් ඒ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයකට ශ‍්‍රී ලංකා රජය සූදානම් යැයි මංගල සමරවීර මහතා පැවසීමත් යන කාරණා දෙකම ඉන්දියාව සහ බටහිර බලවතුන්ගේ බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය අනුව සැලැසුම් කළ ඒවා බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

අද(12) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එහි දේශපාලන මණ්ඩල සභික, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් පියතිස්ස මහතා මෙසේද පැවසීය.

‘‘උතුරු පළාත් සභාව තුළ බෙදුම්වාදයට උඩගෙඩි දෙන යෝජනාවක් සම්මත කර ගෙන තිබෙනවා. පසුගිය 10 වැනිදා උතුරු පළාත් සභා මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් තමයි මෙම යෝජනාව ඉදිරිපත් කළේ. ‘1948 දී නිදහස ලැබීමෙන් පසු බලයට පත් වූ සෑම සිංහල ආණ්ඩුවක් විසින්ම දෙමළ ජනයාට එරෙහිව සිදු කළ ජන ඝාතන සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සිදු කළ යුතුයි’ කියලයි මේ යෝජනාව සම්මත කර ඇත්තේ. ‘2009 දී සිදු වූ මහා ජන ඝාතනය’ පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කළ යුතු බවද මෙම යෝජනාවේ අන්තර්ගතව තිබෙනවා.

වර්තමාන ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු පසුගිය දිනවල කීවා ‘දැන් කොටි නැහැ මුවෝ ඉන්නේ’ කියලා. ඉන්දියාවට හා බටහිරට අවශ්‍ය පරිදි බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයක් මේ රට තුළ දිගින් දිගටම ක‍්‍රියාත්මක වුණා. හැබැයි ඔවුන්ගේ න්‍යාය පත‍්‍රය 2005 සිට 2015 කාලය තුළ ක‍්‍රියාත්මක කිරීමට ඉඩ ලැබුණේ නැහැ. මහින්ද රාජපක්‍ෂ පාලනය මේ බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය යටපත් කරලා 2009 මැයි 18 වැනිදා බෙදුම්වාදී ත‍්‍රස්තවාදය සහමුලින්ම පැරදවීමට සමත් වුණා. තමන්ගේ බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය යටපත් කරලා තමන්ගේ කොටි සුරතලූන් වනසා දැමීමේ පලිය ගැනීමේ මෙහෙයුමක් ඉන්දියාව සහ බටහිර බලවතුන් ඇරඹුවා. එහි කූඨප‍්‍රාප්තිය ලෙස තමයි මහින්ද රාජපක්ෂ ගෙදර යවා ‘යහපාලනය’ බිහිකර ගැනීමට හැකි වුයේ.

දැන් යළිත් ඉන්දියාවේ සහ බටහිර බලවතුන්ගේ ශ‍්‍රී ලංකාවට එරෙහි බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය වේගයෙන් ක‍්‍රියාත්මක වෙනවා. ඒ අනුව ශ‍්‍රී ලංකාව තුළ දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග තම සිතැගි ඉටුකර ගැනීමට උත්සාහ කරනවා. ඔවුන් තවමත් ’දෙමළ ඊළමක්’ පිළිබඳ සිහිනය අතහැර නැහැ. ඒ නිසයි අද උතුරු පළාත් සභාව තුළ මෙවැනි යෝජනා සම්මත වෙන්නේ. දැන් දෙමළ ජාතිවාදී බෙදුම්වාදී බලවේග තම ඊළාම් සිහිනය ඉටුකර ගැනීමට ජාත්‍යන්තරව වගේම ශ‍්‍රී ලංකාව තුළත් වේගයෙන් ක‍්‍රියාත්මක වෙමින් සිටිනවා. ‘යහපාලනයේ’ ගෙවීගිය දින 34 තුළ පණ අදිමින් සිටි කොටි බෙදුම්වාදයට හොද හැටි ‘ඔක්සිජන්’ ලබාදී තිබෙනවා. අද ‘යහපාලනය’ තුළ දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට අහිමිව ඇත්තේ අවි ආයුධ පමණයි.
මේ තත්ත්වය තුළ වර්තමාන ආණ්ඩුවේ ඇතැමුන්ට ‘කොටියාට මුව හම් පොරවන්න’ සිදු වී තිබෙනවා. අද කොටියා මුව හම පැත්තකට දාලා තම සැබෑ ස්වරූපය පෙන්වමින් සිටිනවා. ඒ අනුවයි උතුරු පළාත් සභාවේ මෙවැනි යෝජනා සම්මත වෙන්නේ. පූර්ණ බලැති යුද අපරාධ චෝදනා පිළිබඳ දේශීය පරීක්‍ෂණයකට සූදානම් බව ඉන්දියාවට ගිය යහපාලන ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවා. ඒ අතරේ තමයි ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පිළිබඳව උතුරු පළාත් සභාවේ යෝජනා සම්මත වෙන්නේ, දැනටමත් 2009 දී යුද්ධය අවසාන සමයේ සිදු වුවා යැයි කියන යුද අපරාධ චෝදනා පිළිබඳ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ඒකපාර්ශ්වික ජාත්‍යන්තර පරීක්ෂණයක් කරනවානේ. නමුත් මෙවැනි ජාත්‍යන්තර පරීක්ෂණයකින් ඉන්දියාවට සහ බටහිරට ඕනෑ දේ සිදු කරන්න බැහැ. ශ‍්‍රී ලංකාව රෝම ප‍්‍රඥප්තියට අත්සන් තබා නැති නිසා එම පරීක්ෂණයේ ප‍්‍රතිඵල මත මේ රටේ රණවිරුවන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත රැගෙන යන්න බැහැ.

දේශීය පරීක්‍ෂණය ඉතා භයානකයි!

ඒ නිසා මේ බටහිර රටවල්, යහපාලන ආණ්ඩුව සහ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී දෙස් විදෙස් කල්ලි සමග මේ දිනවල වෙනත් මෙහෙයුමකට අතගසා තිබෙනවා. දැන් යහපාලන ආණ්ඩුවට ඉන්දියාව සහ බටහිර බලවතුන් උපදෙස් දී තිබෙන්නේ ‘වහාම පූර්ණ බලැති යුද අපරාධ චෝදනා පිළිබඳ දේශීය පරීක්ෂණයක් අරඹන්න’ කියලා. ඒ අනුව තමයි, මංගල සමරවීර විදේශ කටයුතු අමාත්‍යවරයා ඉන්දියාවේදී එවැනි දේශීය පරීක්‍ෂණයකට සූදානම් බව පවසන්නේ. මේ යහපාලන ආණ්ඩුව ඉන්දියාවේ සහ බටහිර උවමනාව අනුව ක‍්‍රියාත්මක වන බව පෙනුනොත් මහ ඡන්දයෙන් දිනන්නත් ඒක බාධාවක් බව ඔවුන් දන්නවා. ඒකයි මේ දේශීය පරීක්ෂණයට විරුද්ධව උතුරු පළාත් සභාව තුළ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට යෝජනා සම්මත කරවන්නේ.

දැන් දකුණේ සමාජය හිතනවා ‘කොටි හිතවාදීන්, 1948 සිට සිදු වූ දෙමළ ජන ඝාතන ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන නිසයි, මේ ආණ්ඩුව යුද අපරාධ චෝදනා පිළිබඳ දේශීය පරීක්ෂණයක් අරඹන්න යන්නේ’ කියලා.

දේශීය පරීක්ෂණය ඉතාමත් බරපතල ක‍්‍රියාවක්. ශ‍්‍රී ලංකා රජය විසින්ම සිදු කළ යුද අපරාධ විමර්ශනයක් එක්සත් ජාතින්ගේ ආරක්‍ෂක මණ්ඩලයට ගියොත් මොකද වෙන්නේ? ශ‍්‍රී ලංකාවේ සිදු වූවා යැයි කියන යුද අපරාධ චෝදනා පිළිබඳ ඒකපාර්ශ්වික ජාත්‍යන්තර පරීක්ෂණයක වාර්තාවක් එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වුව හොත් අපේ මිත‍්‍ර රටවල් වන රුසියාව හා චීනය එහිදී එම පක්‍ෂග‍්‍රාහී පරීක්‍ෂණ වාර්තාවට නිෂේධ බලය යොදා විරුද්ධ වේවි. ඒත් ශ‍්‍රී ලංකාව විසින්ම සිදු කළ යුද අපරාධ චෝදනා පිළිබඳ පරීක්‍ෂණ වාර්තාවකට චීනය හෝ රුසියාවට විරුද්ධ වීමට සදාචාරාත්මකව බැහැ. මොකද මේ පරීක්‍ෂණය පිටත කළ එකක් නොවෙයිනේ. ශ‍්‍රී ලංකාව විසින්ම සිදු කළ එකක්නේ. ඒ නිසා ඉන්දියාවට සහ බටහිර බලවතුන්ට ඕනෑ වෙලා තියෙන්නේ ශ‍්‍රී ලංකා ආණ්ඩුව ලවාම යුද අපරාධ පිළිබඳ පූර්ණ බලැති පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීම. ඒ වැඬේට දකුණේ විරෝධයක් ඇති නොවෙන්නයි අද විග්නේෂ්වරන්ලා අලූතෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණ ඉල්ලන්නේ, කෙසේ වෙතත්, ඉන්දියාවේ සහ බටහිර බලවතුන් අතේ නැටවෙන මේ රූකඩ යහපාලන ආණ්ඩුව අද යළිත් බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයට පණ පොවා ඇති බව මේ රටේ බුද්ධිමත් ජනතාව වටහාගත යුතුයි.

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2015-02-12

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*