BREAKING NEWS

රටට උවමනා වම එළිදැක්වේ

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිරගතව ලියූ ‘රටට උවමනා වම’ කෘතිය අද(07) සවස කොළඹ සම්බුද්ධත්ව ජයන්ත මන්දිරයේදී එළිදැක්විණි. කෘතියෙහි මුල් පිටපත විමල් වීරවංශ මහතා විසින් මහාචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව නාහිමියන්ට පිළිගන්වන ලදී.

මෙම අවස්ථාවට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි, පූජ්‍ය කිරම විමලජෝති නාහිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක, දිනේෂ් ගුණවර්ධන, ලංකා සම සමාජ පක්ෂයේ නායක, මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන මහින්ද යාපා අබේවර්ධන, ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද
හිටපු අගවිනිසුරැ සරත් නන්ද සිල්වා, මහාචාර්ය නලීන්ද සිල්වා, ආචාර්ය දයාන් ජයතිලක, මහාචාර්ය ක්ෂණිකා හිරඹුරේගම ඇතුළු විද්වත්හු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජානිපෙ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජානිපෙ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර, ජානිපෙ ජාතික සංවිධායක පියසිරි විජේනායක, ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, ජානිපෙ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න, ජානිපෙ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශන්ත ගුණසේකර, ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල, ජානිපෙ නීති උපදේශක, නීතිඥ කපිල ගමගේ යන මහත්ම මහත්මීහු වේදිකාවේ අසුන්ගෙන සිටියහ.

මෙහිදී ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සහ මහාචාර්ය විලේගොඩ අරියදේව නාහිමි ආරාධිත දෙසුම් පැවැත්වූහ.

ඉන් අනතුරුව කෘතියේ කතුවර විමල් වීරවංශ මහතා සිය දෙසුම සිදු කළේය.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    (මේක මම ලිව්වේ මෙහෙම එකක් තියෙනවා කියලා කියපු දවසෙමයි (May 5). හැබැයි මම යවපු තැනින් මේක කැපිලා ගියා. ඒ හින්දා මෙතනට දාන්න හිතුවා ඉස්සෙල්ල. පස්සේ තව එකක් ලියනවා).

    ආදරණීය විමල්, ඔබ කවදා හෝ රටම එළිය කරමින් පායන උදා ඉරක් ලෙස මම දුටුවේ 2015 පෙබරවාරි 18 නුගේගොඩදී ඔබ දුටු පලමු දිනයේදීමයි. ජීවිතයේ ප්‍රථම වතාවට දේශපාලන කතාවක් ඇසූ දිනයෙමයි. රටක් විනාශයෙන් වලකා ගන්නට, ජාතියකට පණ පොවන්නට ඔබ ගත් යෝධ උත්සාහය දුටු පළමු දිනයේදීමයි. එදා ඔබේ කතාව අසා ජීවිතයේ ප්‍රථම වතාවට මම දේශපාලනය ගැන කතා කරන්න පටන් ගත් දවසේමයි. ලංකා ධරණී තලයම අඳුරු කළ යුගයක් ආරම්භයේදීමයි. එදා ඉතා ප්‍රබල තත්වයක සිටි යහපාලන ආණ්ඩුවට එරෙහිව ජාතියටම පණ දෙමින් ඔබ නැඟූ අභීත රණහඬ ඇසූ පලවෙනි දවසේමයි. රට වෙනුවෙන් අත්හල නොහැකි යුතුකමක් හැම දෙනාටම ඇති බව ඔබ මුළු රටටම කියා දුන් දවසේමයි. ප්‍රතිපත්තිගරුක විප්ලවවාදී වාමාංශික දේශපාලන නායකයෙකු වූ ඔබට රටේ අනාගතය වෙනස් කරමින් රට වෙනස් මඟකට ගෙනයන, රටට වඩා සුදුසු සුභවාදී පාලන ක්‍රමයකට ගෙන යන ඔබටම ආවේනික දැක්මක් ඇතැයි මා සිතුවේ ඔබේ කතාව ඇසූ පෙබරවාරි 18 වෙනිදාමයි. එදා මා සිතු දේ 2015 සිටම අද දක්වාත්, අද වන විට එදාටත් වඩා ප්‍රබලවත් ඔබට අනෙක වාරයක් පවසා ඇත.

    රට වෙනුවෙන් ඔබේ දේශපාලන ප්‍රතිපත්තිය කුමක්දැයි “රටට උවමනා වම” කෘතිය මගින් ලංකාවටම දැන ගන්නට ලැබෙනු ඇත. (ඔබ දිනක් පුවත්පතකට විස්තර කළ පරිදි), බෞද්ධ සභ්‍යත්වය හා බැඳුනු වාමාංශික ප්‍රතිපත්තියක් ගැන ඔබ ලියූ පොත, ලංකාව නිදහස ලැබූ දා සිට අනුගමනය කරන කර්ශක ධනවාදී ආර්ථික ක්‍රමයට පිළිතුරක් වෙන පොද වැස්සක් ලෙසත්, පිළිණු වී දුගඳ හමන ලංකා දේශපාලන වා තලයට මුසු වෙන නැවුම් සුවඳක් ලෙසත්, අඳුරු අහස එළිය කරමින් පායන්නට නියමිත උදා ඉරක ප්‍රභාවත් රැස් දහරාවක් ලෙසත් සලකමි.

    රටටත් ඔබටත් ආදරය කරන සියලු දෙනා අනිවාර්යයෙන්ම කියැවිය යුතු කෘතියක් ලෙස ඔබේ “රටට උවමනා වම” කෘතිය දකිමි. විශේෂයන්ම දේශපාලන සිරකරුවෙකු ලෙස සිර ගත වී සිටියදී ඔබ ලියු මේ කෘතිය අනාගතයේ ලංකා ඉතිහාසය වෙනස් කරන තීරණාත්මක දේශපාලන දර්ශනයක් වනු නොඅනුමානය.

    ඔබට මගේ හෘදයාංගම සුභ පැතුම් සමග ශ්‍රී දළදා සමිඳු පිහිටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත්, රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත්, යෝධ බල යෝධ වීර්යයත් ප්‍රාර්ථනා කරමි.

    ඔබ සිරගතව සිටියදී, මාර්තු 1 වෙනි දින, ඔබේ වෙබ් අඩවියට ලියූ කවියක් නැවත සටහන් කරමි.

    ඉතිහාසය වෙනස් කරමු
    අළුත් අකුරු වලින් ලියමු
    ගොඩ නංවන අළුත් රටට
    පහනක් වී පාර කියමු

    ඉතිහාසය අළුත් කරමු
    වෙනස් අකුරු වලින් ලියමු
    හැරවුම් ලක්ෂය ඔබ වී
    අභියෝගය බාර ගනිමු!

    අනාගතය අළුත් කරමු
    ඔබේ අකුරු වලින් ලියමු
    ජන හදවත් එලිය කරන
    අළුත් ඉරක් උදා කරමු!!

    නිදහස් නිවහල් රටකට
    මුල් තැනදී අපේ කමට
    පෙරට ඇවිත්, රට සුරකින
    පංචායුධයම වෙනු මැන!!!

Leave a Reply

*