BREAKING NEWS

රටම රැවටූ ‘යහපාලන’ දුගඳ හමන මේ ආණ්ඩුවට පිළිකුල හා විරෝධය දක්වන්න මාර්තු 06 වැනිදා මහනුවරට ලක්‍ෂ ගණනින් එන්න – දිනේෂ්, විමල්, වාසු, ගම්මන්පිල ඉල්ලති

01

රටම රැවටූ ‘යහපාලන’ දුගඳ හමන මේ ආණ්ඩුවට පිළිකුල හා විරෝධය දැක්වීමට මාර්තු 06 වැනිදා මහනුවර නගරයට ලක්‍ෂ ගණනින් පැමිණෙන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායකයෝ් ඉල්ලා සිටිති.

අද(03) පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 08හි පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර යන මහත්වරු මෙසේ ඉල්ලා සිටියහ.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘සාමාන්‍යයෙන් අලූත් ආණ්ඩුවක් බලයට ආපුවාම ඒක පරණ වෙන්න අවුරුදු කිහිපයක් ගත වෙනවා. ඉක්මනින් ආණ්ඩු පරණ වෙන්නේ නැහැ. නමුත් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට බලයට ඇවිත් දවස් 52ක් ගත වන කොට පරණ වුණු ආණ්ඩුවක දුගඳ අද මේ රටේ ජනතාවට දැනෙන්න පටන් අරන් තිබෙනවා.

අපි ඒක තේරුම් ගන්නේ කොහොමද? කඳුකරයේ කුඩා තේවතු හිමියන් හූල්ලනවා, ‘පාලන මිල රුපියල් 80 කළාට දැන් දළු කිලෝව යන්නේ 60ට’ කියලා. ‘රබර්වලට ස්ථාවර මිලක් නැහැ. ගන්නෙ කුණු කොල්ලෙට’ කියලා රබර්වතු හිමියන් කියනවා. රජයේ සේවකයෝ, ආරක්‍ෂක හමුදාවල සාමාජිකයෝ කියනවා. ‘කෝ මූලික වැටුප 10,000කින් වැඩිකළාද? මහින්ද රාජපක්‍ෂ පාලනය වැඩි කළ 3,000ක අතුරු දීමනාවට තව 5,000ක් එල්ලපු එක විතරයි කළේ’ කියලා. ඒ වගේම අද බොහෝ රාජ්‍ය ආයතනවල අතිකාල කරන එක නවත්තලා. සංවර්ධන වැඩ නොකෙරෙන නිසා අතිකාල දීමනා ගෙවීම් නතර කරලා. අද බොහෝ සේවකයින්ගේ අතිකාල කපලා ලැබුණු ආදායම නතර වෙලා. ඔවුන් ‘රුපියල් 5000ක් වැටුපට එල්ලූවා’ කියන මිත්‍යාවට යට කරලා තිබෙනවා. මේ සියලූ දෙනා අද ‘මේ යහපාලන ආණ්ඩුව ගෙදර යවන්නේ කොහොමද?’ කියා කල්පනා කරමින් ඉන්නවා.

පරිභෝගික ජනතාව බලාපොරොත්තු වුණා පාරිභෝගික ද්‍රව්‍යවල මිල බොහෝ සෙයින් පහළ ගිහිල්ලා තමන්ට විශාල සහනයක් ලැබේවි කියලා. නමුත් දැන් කඩේට ගිහිල්ලා එන්නේ දෙවියන්ට දෙස් දෙවොල් තබතබා. ඒ විතරක් නොවෙයි, ‘යහපාලනයට’ කතිරය ගහන්න පොළඹපු අයගෙත් දෙමව්පියන් සිහිපත් කරමින් තමයි බොහෝ පාරිභෝගිකයන් අද කඬේ ඉදලා ගෙදර එන්නේ. හැම පැත්තෙන්ම මහජනයාගේ ඇස් නිලංකාර කරලා ආකර්ෂණීය සටන් පාඨවලින් ඔවුන් රවටලා තිබෙනවා. ඒ සටන්පාඨ මහජනයාගේ ඇස් ඉදිරිපිට ‘අයිස් දිය වෙනවා’ වගේ දින 52කදී සේදිලා යමින් තිබෙනවා.

ඒ අතරම ඉතාමත්ම භයානක විදියට මේ රටේ ජාතික ආරක්‍ෂාව අවදානමට ලක් වෙමින් තිබෙනවා. රටේ ස්වෛරීභාවය අනතුරට ලක්වෙමින් තිබෙනවා. අපි ආණ්ඩුවෙන් අහනවා ’අපට ආරංචි වුණු මේ දේ ඇත්තද?’ කියලා. ඒ ආරංචි අනුව, උතුරේ මුහුද සතියකට, ඉන්දියන් ධීවරයන්ට දින තුනකුත් මෙරට ධීවරයන්ට අනෙකුත් දිනවලත් වශයෙන් බෙදා දීමට යනවා. ඒ එකගතාව මහ මැතිවරණයෙන් පසුව ක‍්‍රියාත්මක වෙනවාලූ. මේ කරුණු ප‍්‍රසිද්ධ කරන්නේ නැහැ. මෙතැන තිබෙන්නේ ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය ඉන්දියාව සමග බෙදා හදා ගැනීමක්. ඒ විදියටයි මේ යහපාලකයන් ‘දකුණු ඉන්දීය ධිවර ආක‍්‍රමණික ප‍්‍රශ්නයට’ පිළියම් යොදන්න හදන්නේ. රටේ පැත්ත ගැන අබමල් රොනකවත් හැගීමක් නැතිවයි මේ යහපාලකයන් තීරණ ගනිමින් ඉන්නේ.

දැන් දින 100කින් එහාටත් මේ යහපාලනයේ, ඇතැම් පාර්ශ්වකරුවන් හිතන්න පටන් අරන් තිබෙනවා. ජනාධිපතිවරණයට කලින් අපට මතකයි ජාතික හෙළ උරුමයෙන් ‘මේ හදන ආණ්ඩුව ගැන ඔබට තිබෙන විශ්වාසය කෙබඳුද?’ කියා ඇහුවාම දීපු උත්තරය ‘අපි වග කියන්නේ දින 100කට පමණයි’ කියලයි ඔවුන් එදා උත්තර දුන්නේ. ඒ විදියට මේ රටේ ජනතාව දින 100ක ලස්සන මායාවකට කොටු කරලා දැන් ඒ අයම කියනවා, ‘ දින සීයෙන් එහාට අදින්න ඕනේ’ කියලා. මේ හැම දෙයකින්ම පෙනෙන්නේ රටේ ජනතාවගේ ඇස්වලට වැලි ගහලා ඇති බවයි.

‘මල් පෝච්චි ටිකකට වතුර දාන්න බැරි ආණ්ඩුවක්’

වකුගඩු රෝගීන්ට මාසිකව ලබාදෙන රුපියල් 3000ක දීමනාව ඉතාමත් සුළු පිරිසකටයි ලබාදී ඇත්තේ. එවැනි සහනයක් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ගියවර අය-වැයෙන් සියලූ වකුගඩු රෝගීන්ට ලබාදුන්නා. ඒවා අද කෙරෙන්නේ නැහැ. අපි ඉතාමත් කාරුණිකව ජනමාධ්‍ය හිතවතුන්ගෙන් ඉල්ලනවා ‘මේ දින 100න් දෙනවා කියූ දේවල් ජනතාවට ලැබෙනවාද?’ කියා සමාලෝචනයක් කරන්න කියලා.

අද ‘දින 100 පොරොන්දු’ ඉටු කරනවා වෙනුවට අරලියගහ මන්දිරයේ තාප්පයේ මල් පෝච්චි ඉවත් කිරීම වැනි දේවල් සිදුකරනවා. මම දන්නේ නැහැ, මල් පෝච්චි ටිකකට වතුර දාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියා. මේ මල් පෝච්චි ගම්පහ උද්භිද උද්‍ර්‍යානයට යවා තිබෙනවා. එතැනදී ඒවාට වතුර දාන්නේ නැද්ද? එතකොට ඒ වියදම රජයට නොවෙයිද එන්නේ? මහජනතාවට මේ විදියේ බොළඳ දේශපාලන රසඥතාවක් දෙන්න හදනවා. සිදුකළ යුතු දේ වෙනුවට අද ‘‘මල් පෝච්චි ගැලවීමේ’’ සංදර්ශන පෙන්වනවා.

මේ දින 52ට අමාත්‍යවරු දෙදෙනෙක් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ අතරේ මර්දනකාරීත්වය රජ කරනවා. අද කැටගොඩ මන්ත‍්‍රීතුමාට මරණ තර්ජන, බිය වැද්දීම් කරලා මන්ත‍්‍රී ආසනය කොල්ලකන්න හදනවා. මේ ඊනියා යහපාලන ආණ්ඩුවට එරෙහිව හිටගන්න පිරිස්වලට එරෙහිව අද මර්දනය කැඳවා තිබෙනවා. අද නිත්‍යනුකූල පොලිසිය සහ අනෙකුත් ආයතන ඒ සඳහා යොදා ගන්නා මෙවලම් බවට පත්කර ගෙන තිබෙනවා. මේ තත්ත්වය ඉතා බරපතළ බව රටේ ජනතාවට පෙනෙනවා.

ඒ අතර එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා බොහොම පැහැදිලිව කියනවා ඔවුන්ගේ කොංග‍්‍රස් සභාවට, ‘ ශ‍්‍රී ලංකාවේ සිදු වුණු වෙනස අපේ වැඩක්’ ශ‍්‍රී ලංකාව තුළ සිදු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනය සිදු කළේ අපියි’ කියලා. එහෙම නම් ජෝන් කෙරීට අවශ්‍ය දේ තමයි, ‘චම්පික කෙරීලා’ ‘අනුර කෙරීලා’ ඔක්කොම ටික රනිල් වික‍්‍රමසිංහ මහත්තයත් එක්ක එකතුවෙලා කරලා තියෙන්නේ. ජෝන් කෙරීට අවශ්‍ය වෙනසද, මේ රටේ ජනතාව ඉල්ලූ වෙනස? අද ලැබිලා තියෙන්නේ ජෝන් කෙරීලා ඉල්ලපු වෙනස. ඒ නිසා ඒ ගොල්ලො ඉතාමත් සතුටට පත්ව සිටිනවා.

ඒ වගේම මේ තත්ත්වයට එරෙහි මහා පිබිදීමක් අද මේ රට තුළ ඇතිව තිබෙනවා. හංසයාට කතිරය ගහපු මිනිස්සු අද විශාල ලෙස වෙනස් වී තිබෙනවා. මුළු රටම රවටපු ආණ්ඩුවක් දින 52කින් නිරුවත් වෙමින් යනවා. ඒක වහගන්න තමයි මේ එක එක ‘බයිස්කෝප්’ පෙන්වමින් යන්නේ,

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකාර පක්‍ෂ 04ක් විදියට ඒ යටතේ මැතිවරණවලට තරග වැදුණු මිනිස්සු විදියට අපට වගකීමක් හා යුතුකමක් තිබෙනවා, මේ යහපාලන ආණ්ඩුවට එරෙහි මහජන මතය ඉහළට ඔසවා තබන්න. මේ තත්ත්වය වෙනස් කළ හැකි මාවතකට මේ රට යොමු කරන්න. ඒ දේශපාලන යුතුකම හා වගකීම ඉටු කිරීම සඳහා තමයි අපි සාමූහිකව කටයුතු කරන්නේ. ඒ ක‍්‍රියාදාමයේ් තවත් ඉතා වැදගත් සන්ධිස්ථානයක් විදියට මහනුවරදී ලබන 06 වැනිදා සවස 3.00ට අතිවිශාල ජනකායකගේ සහභාගීත්වයෙන් දැවැන්ත රැලියක් පැවැත්වීමට කටයුතු කරනවා. අපි පක්‍ෂ 04හි නායකයන් ලෙස සාමූහිකව මේ රටට ආදරය කරන සියලූ ජනතාවට එම රැුලියට ලක්‍ෂ ගණනින් පැමිණෙන ලෙස ආරාධනය කරනවා. එසේ පැමිණ මේ යහපාලන ආණ්ඩුවේ දින 52ක පාලනයට තිබෙන ජනතා පිළිකුළ හා විරෝධය පෙන්විය යුතුයි.’’

මෙහිදී අදහස් දැක්වූ මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා

‘‘ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට දින 100 ආණ්ඩුවට තවත් දින 48ක් තිබෙනවා. එම දින 48 තුළ ව්‍යවස්ථා සංශෝධනයකට ගමන් කරන්නේනම්, ඒ සඳහා හදිසි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සාමාන්‍ය පනත් කෙටුම්පතක් ලෙස රැගෙන එන ලෙස අපි ඉල්ලනවා. එහෙම ව්‍යවස්ථා සංශෝධනය රැගෙන ආවොත් එය විවාදයට ගන්නේ දින 07කට පසුවයි. එම පනත් කෙටුම්පත අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට ශ‍්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියකුට අවස්ථාව ලැබෙනවා. එසේ කටයුතු කරාවි කියා අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහජන වේදිකාව ශක්තිමත්ව මහජනතාව අතරට ගෙන යන වැඩපිළිවෙළේ දෙවන පියවර මාර්තු 06 වැනිදා මහනුවරදී තබනවා.’’

මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතාද අදහස් දැක්වීය. පිවිතුරු හෙළ උරුමයේ නායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාද මෙම මාධ්‍ය හමුවට සහභාගීවීමට නියමිතව සිටියද පළාත් සභාවෙහි අත්‍යවශ්‍ය
රැස්වීමක් හේතුවෙන් ඊට සහභාගීවීමට නොහැකිව තිබිණි.

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2015-03-03

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*