BREAKING NEWS

රටේ ආර්ථිකයත් සමාජීය පැවැත්මත් සම්පූර්ණයෙන්ම වනසා දමන පනත් කෙටුම්පත් 15ක් සම්මතකර ගන්න රනිල් වික්‍රමසිංහ පාලනය සැරසෙනවා

13522937_961996653918155_6793891352858751029_oරටේ ආර්ථිකය සහ සමාජීය පැවැත්ම සම්පූර්ණයෙන්ම වනසා දමන පනත් කෙටුම්පත් 15ක් මේ වසර අවසන්වීමට පෙර සම්මතකර ගැනීමට රනිල් වික්‍රමසිංහ පාලනය සැරසෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(28) පිටකෝට්ටේ පිහිටි එම පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ පවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද අදහස් දැක්වීය.

“මේ ආණ්ඩුව ‘කොත්තු රොටී දානවා වගේ’ කඩිමුඩියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කරමින් සිටිනවා. එහි යම් යම් කොටස් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා තුළ සැකසෙන බවට තොරතුරු පළ වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් පිටතත් මීට අදාළ කටයුතු සිදු වෙනවා. මේ අවුරුද්ද අවසාන වන විට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මතකර ගෙන ජනමතවිචාරණයකිනුත් ජය ගැනීම ආණ්ඩුවේ අරමුණයි. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සමාජයේ පවතින ජාතිකත්ව බෙදීම් තීව්‍ර කරනවා වගේම ප්‍රාන්ත පාලනයක් සඳහා ඉඩකඩ නිර්මාණයකර දීමත් සිදු වෙනවා. පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා සතු බලය දුර්වල කරලා ප්‍රාන්ත පාලනයන්ගේ බලය ශක්තිමත් කරන ජාතිවාදී, බෙදුම්වාදී අන්තවාදී දේශපාලන ව්‍යාපෘතිවලට ඉතා ඉහළ ජයග්‍රහණයන් ලබාදෙන ව්‍යවස්ථාවක් බවට එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පත් වෙනවා. එම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එලෙස සම්පාදනය කරමින් තිබියදී අප දන්නා ආකාරයට පනත් කෙටුම්පත් 15ක් සම්පාදනය වෙනවා, එකපිට එක ගෙනවිත් සම්මත කර ගැනීමේ උවමනාව ඇතිව. මේ පනත් කෙටුම්පත් ටික තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මතකර ගැනීමේ අරමුණින් තමයි අමතර වාහන ඇතුළු සියලු වරප්‍රසාද ලබාදීලා පාර්ලිමේන්තුව තුළ කණ්ඩායමක් තරකර ගෙන ඉන්නේ.

‘ආර්ථික සංවර්ධන(විශේෂ විධිවිධාන) පනත’

මේ පනත් කෙටුම්පත් 15 අතර තිබෙනවා, ‘ආර්ථික සංවර්ධන(විශේෂ විධි විධාන) පනත් කෙටුම්පත’ කියලා පනත් කෙටුම්පතක්. ඒ පනත් කෙටුම්පත සම්මත වීමෙන් අනතුරුව සුපිරි අමාත්‍යවරයකු බිහි වෙනවා. ඒ ඇමතිවරයාට ඒ පනතින් බලය ලැබෙනවා, ශ්‍රී ලංකාවේ ඕනෑම ඉඩමක් එක ගැසට් නිවේදනයක් මගින් අත්පත්කර ගන්න, ඒ වගේම එක ගැසට් නිවේදනයක් මගින් තමන් අදහස් කරන සමාගමකට ඉඩම් ඕනෑ තරම් ප්‍රමාණයක් පවරන්න, පිරිනමන්න, විකුණන්න. එමගින් අපේ රටේ ඉඩම්වල සම්පූර්ණ අයිතිය විදේශ බහුජාතික සමාගම්වල උවමනාව අනුව කළමනාකරණය කරන්නත් මේ සුපිරි ඇමතිවරයාට බලය ලැබෙනවා. දැනටමත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය තිබෙනවා විදේශ ආයෝජකයන්ට විශේෂ වරප්‍රසාද ලබා දීමට. අපේ ආණ්ඩුව කාලයේත් ආවා ‘උපායමාර්ගික ආයෝජන කළමනාකරණ පනත’ නමින් පනතක්. එමගිනුත් විදේශ ආයෝජකයන් දිරිගන්වනසුලු වැඩිපිළිවෙළක් දියත් වුණා. මේ කියන ආර්ථික සංවර්ධන(විශේෂ විධිවිධාන) පනත, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත සහ උපායමාර්ගික ආයෝජන කළමනාකරණ පනත යන දෙකම අතික්‍රමණය කරලා අපේ රටේ ඕනෑම වාණිජ දේපළක් අත්පත්කරගෙන විදේශ සමාගමකට විකිණීමේ බලය සහිතව එනවා.

විදේශ විනිමය පාලන(සංශෝධන) පනත

විදේශ විනිමය පාලන පනත සංශෝධනය කිරීම සඳහා වූ සංශෝධන පනත් කොටුම්පතක් ද මේ පනත් කොටුම්පත් 15 අතර තිබෙනවා. මේ පනත සංශෝධනය කරන්නේ ඕනෑම කෙනෙකුට මේ රටට ඩොලර් රැගෙන ඒමට සහ ඕනෑම වෙලාවක ආපසු රැගෙන යාමට ඉඩ ප්‍රස්ථාව නිර්මාණයකර දෙමින්. මේ පනත සංශෝධනය කළාම මහ බැංකුවේ අධීක්‍ෂණයෙන් තොරව ඕනෑම කෙනෙකුට රට තුළට ඩොලර් රැගෙන ඒමටත් ආපසු රැගෙන යාමටත් ඉඩකඩ ලැබෙනවා. ඉන්දුනීසියාව, මැලේසියාව වැනි රටවල ආර්ථිකය එක රැයින් බිඳ වැට්ටවීමට සෝරෝස් වැනි ජාත්‍යන්තර මූල්‍ය චෞරයන්ට හැකි වුණේ එම රටවල ද මෙවැනි ඉඩකඩක් නිර්මාණයකර දී තිබුණු නිසයි. ඒ විතරක් නොවෙයි, ජාත්‍යන්තර මූල්‍ය චෞරයන්ට කැමති ආකාරයට ඩොලර් මිලියන ගණන් ගෙනවිත් ආණ්ඩුවට කියන්න පුළුවන් ‘මේ වැඬේ කරලා නුදුන්නොත් මම මගේ ඩොලර් මිලියන ගණන ආපසු රැගෙන යනවා’ කියලා. එමගින් මේ රටේ පාලනතන්ත්‍රය හසුරුවන්නත් ජාත්‍යන්තර මූල්‍ය චෞරයන්ට ඉඩ ලැබෙනවා. ඒ නිසා මේ රටේ ස්වෛරීභාවයට සහ ස්වාධීනත්වයට මෙම පනත් සංශෝධනය මගින් දැඩි බලපෑමක් ඇති වෙනවා.

බැංකු පනත සංශෝධනය කිරීම

දැනට පවතින බැංකු පනත අනුව රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමට බැහැ. බැංකු පනත මගින්ම ඒ සුරක්‍ෂිත බව සලසා දී තිබෙනවා. දැන් සියලු රාජ්‍ය බැංකු විකුණා දැමීමේ නීතිමය ඉඩකඩ සලසා ගැනීම සඳහා බැංකු පනත සංශෝධනය කිරීමට මේ ආණ්ඩුව කඩිමුඩියේ සූදානම් වෙනවා.

‘රේගු ආඥා පනත සංශෝධනය කිරීම’

ඒ වගේම රේගු ආඥා පනතත් කඩිමුඩියේ සංශෝධනය කිරීමට මේ ආණ්ඩුව සැරසෙනවා. මේ පිළිබඳව නම් රේගු නිලධාරීන්ගේ සංගමය දැනටමත් ජනතාව දැනුම්වත් කිරිමේ කටයුත්තක නියැලී සිටින බව දැක ගන්න ලැබුණා. රේගු ආඥා පනතින් රේගු නිලධාරීන්ට ලැබී ඇති බලතල අඩු කරලා ජාවාරම්කාරයන්ට රිංගා යාමට හැකි වන ලෙස රේගු ආඥා පනත සංශෝධනය කිරීමට නියමිතයි. දැනටමත් යම් තැනැත්තියක් හරහා රේගු නිලධාරින්ට බලපෑම් කරලා රතු දොරටුවෙන් යන්න ඕනේ දේවල් කොළ දොරටුවෙන් යවනවා. ඒ විදියට නීතිවිරෝධීව ජාවාරම්කරුවන්ට ඉඩ හදා දෙන එක නීත්‍යනුකුලව කරවන්නයි මේ රේගු ආඥා පනත සංශෝධනය කරන්නේ.

‘විගණන පනත ගෙන එනවා’

විගණන පනතක් ගෙන එන බවට මේ ආණ්ඩුව ඡන්ද පොරොන්දුවකුත් දුන්නා. ‘යම් පුද්ගලයකු රජයේ ව්‍යාපෘතියක් ඉටුකර දීමේදී රජයට යම් අලාභයක් සිදු කළා නම් එය අයකර ගැනීමේ බලය විගණාකාධිපති දෙපාර්තමේන්තුවට හෝ ස්ථාපිත කිරීමට නියමිත කොමිසමට ලබාදිය යුතුයි’ කියලයි එදා කීවේ. ඒ කරුණ තමයි විගණන පනතෙහි ඇතුළත් විය යුතුව තිබූ වැදගත්ම කාරණය. නමුත් මේ ආණ්ඩුව අද විගණන පනත ගෙන එන්නේ ඒ වැදගත්ම ශක්තිය විගණන නිලධාරීන්ගෙන් අයින් කරලා විගණන ක්‍රියාවලිය ඉතාමත් දියාරු කරලමිනුයි. ඒ අතරේ ‘විගණන කොමිසම’ නමින් ‘සුදු අලියකුත්’ නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ පනතට ඇතුළත් වෙනවා.

එක පැත්තකින් විදේශ විනිමය වංචාකරුවන්ට දොර අරිනවා. අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ට රටේ ඉඩම් ටික විකුණා දමනවා. රාජ්‍ය බැංකු ටික පෞද්ගලීකරණය කරනවා. ඒ අතරේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සතු බලතල කප්පාදු කරන්න විගණන පනතක් ගෙන එනවා. ඔන්න ලැබීමට නියමිත වෙනස.

බීජ පනතත් ගෙන එනවා

පසුගිය ආණ්ඩුව සමයේත් මෙම බීජ පනත ගෙන ඒමේ සූදානමක් තිබුණා. අපි ඒ පිළිබඳව හිටපු ජනාධිපතිතුමන්ට කරුණු පහදා දීලා කැබිනට් මණ්ඩලයේදී ඒ පිළිබඳව විරෝධය දක්වලා බීජ පනතක් ගෙන ඒමට තිබූ සූදානම නතර කළා. මේ රටේ ගොවි ජනතාවට බීජ පිළිබඳව තිබෙන අයිතිය සම්පූර්ණයෙන්ම උදුරා ගැනීමට බීජ පනතෙහි ප්‍රතිපාදන තිබෙන නිසයි අපි එදා එයට විරුද්ධව වුණේ. බීජ පනත ගෙනාපු ගමන් ගොවියාට තමන් සන්තකයෙහි බීජ තබා ගැනීමේ අයිතිය අහිමි වෙනවා. එහෙම බීජ ළඟ තබා ගන්නා ගොවියාව හිරේ දැමීමට පොලීසියට මේ පනතින් බලය ලැබෙනවා. බීජ කියන දෙය ගොවියාට අයිති නැති, බහුජාතික සමාගම්වලට පමණක් අයිති දෙයක් බවට මෙම බීජ පනත මගින් පත් කරනවා.

සෞඛ්‍ය සේවා අධිකාරී පනත

සෞඛ්‍ය සේවා අධිකාරී පනතක් ගෙන ඒන්නේ දැනට මේ රටේ ජනතාව කවර අඩුපාඩුකම් මධ්‍යයේ වුවත් භූක්ති විඳින නිදහස් සෞඛ්‍ය සේවයක් තිබෙනවා නම් එයත් නතර කරලා දැමීමටයි. මේ සෞඛ්‍ය සේවා අධිකාරී පනත මගින් රජයේ රෝහල්වලට සහ පෞද්ගලික රෝහල්වලට සමාන ලෙස සලකනවා යැයි පෙන්වමින් රෝගියාව පොළඹවනවා පෞද්ගලික රෝහල් වෙත යාමට. අපි සිතමු දැනට රජය රජයේ රෝහල් සඳහා රුපියල් 100ක මුදලක් යොදවනවා කියලා. ඒ රුපියල් 100, 50ට අඩු කරලා ඒක රෝගියාට දෙනවා ‘කැමති රෝහලකින් ප්‍රතිකාර ගන්න’ කියලා. මෙහිදී රජයේ රෝහලක් රෝගියාගෙන් ප්‍රතිකාර සඳහා යම් මුදලක් අය කිරීමට නියමිතයි. පෞද්ගලික රෝහල් ප්‍රතිකාර සඳහා සම්පූර්ණයෙන්ම මුදල් අය කරනවා. මේ විදියට ආණ්ඩුව සෞඛ්‍ය සේවය නඟා සිටුවීමට ආයෝජනය කරනවා වෙනුවට රෝගියාගේ ප්‍රතිකාර කාර්යයේ සුළු කොටසකට පමණක් දායකවීමේ ඉඩකඩ මේ සෞඛ්‍ය සේවා අධිකාරී පනත මගින් හදනවා. මෙතෙක් භූක්ති විඳි ‘නිදහස් සෞඛ්‍ය සේවය’ නැත්තටම නැති කිරීම මෙමගින් සිදු වෙනවා.

පාසල් සංවර්ධන සමිති පනත

රනිල් වික්‍රමසිංහ මහත්තයා අධ්‍යාපන ඇමතිවරයා ලෙස සිටියදී ගත්තු උත්සාහය තවමත් අතහැර නැහැ. පාසල් සංවර්ධන සමිති පනතක් ගෙන එන්නේ පාසල ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමට. පාසලට තමන් කැමති ආකාරයට මුදල් උපයන්න ඉඩ දෙනවා. රජයේ පාසලකට යම් නිශ්චිත මුදලක් දෙනවා. ඉතිරි මුදල් පාසල විසින් උපයාගත යුතුව තිබෙනවා. ප්‍රධාන නගරයක පාර අයිනේ පාසලක් නම් පාසල් තාප්පය ගාව කඩ පේලියක් දාලා කඩ කුලියෙන් පාසල නඩත්තුකර ගන්න පුළුවන්. පාසල් ඉඩම ලොකුවට තිබෙනවා නම් වාණිජ කටයුත්තක් වෙනුවෙන් බද්දට දීලා මුදල් උපයන්න පුළුවන්. රජය පාසල් වෙනුවෙන් සුළු මුදලක් වෙන් කරලා ඉතිරි මුදල් පාසල විසින්ම උපයා ගැනීමට බල කෙරෙන පනත තමයි පාසල් සංවර්ධන සමිති පනත. එයත් මේ වසර තුළ ගෙන ඒවි.

මහජන ආරක්‍ෂක ආඥා පනත සංශෝධනය

මේ වන විට මහජන ආරක්‍ෂක ආඥා පනත සංශෝධනය කිරිමේ කටයුතු සිදුවෙමින් පවතිනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ ද සහාය ඇතිව රැගෙන ආපු, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ක්‍රියාත්මක කිරීමට එකඟ වූ යෝජනාවේ තිබුණා ‘මහජන ආරක්‍ෂක ආඥා පනත සංශෝධනය කිරීමට කටයුතු කරනවා’ කියලා.

මහජන ආරක්‍ෂක ආඥා පනතින් ජනාධිපතිවරයාට බලය ලැබී තිබෙනවා, හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට පළාත් සභාවක් සතු බලතල තමන්ට පවරා ගැනීමට. එදා උතුරේ මහ ඇමති වර්ධරාජා පෙරුමාල් ‘දෙමළ ඊළාම් කොඩිය ඔසවලා, දෙමළ ජාතික හමුදාවක් හදලා, දී තිබෙන බලය ඉක්මවලා’ නටන්න ගත්තා. එවිට ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා මහජන ආරක්‍ෂක ආඥා පනත යටතේ තමයි උතුරු පළාත් සභාවේ බලය සියතට ගත්තේ. මේ රටේ ප්‍රාන්ත පාලනයන් හැදෙන්න තිබෙන ඉඩකඩ නතර කිරිමේ එකම බලය මහජන ආරක්‍ෂක ආඥා පනතේ වගන්ති තුළයි තිබුණේ. අද එම වගන්ති සංශෝධනය කිරීමට කඩිමුඩියේ සූදානම් වෙනවා.

ජාතික ආරක්‍ෂක පනත

ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරලා ජාතික ආරක්‍ෂක පනත නම් වූ පනතක් පාර්ලිමේන්තුවේදී සම්මතකර ගැනීමට ද මේ අය සූදානම් වෙනවා. ඒකත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී පැමිණි එකඟතා අනුව සිදුවන්නක්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරපු ගමන් ඒ පනත යටතේ දඬුවම් විඳින ත්‍රස්තවාදීන් සියලු දෙනා නිදහස් වෙනවා.

‘ගත්තු මුදලට කෙළෙහිගුණ සැලකීම’

2015 ජනවාරි 08 වැනිදාට කලින් ‘යහපාලනයට කර ගහපු කට්ටිය’ සිංගප්පුරුවට ගිහිල්ලා ඩයස්පෝරාවේ උදවිය හමු වුණා. සමහරු ඩොලර් මිලියන 20ක් ගත්තා. තවත් සමහරුන්ට ඩොලර් මිලියන 10ක් ලැබුණා. මේ රටේ රාජ්‍ය සේවයේ ඉන්න ප්‍රධාන නිලධාරියකුට ඩොලර් මිලියන 03ක් ලැබුණා. සමහර දේශපාලන පක්‍ෂවලට ඩොලර් මිලියන 10 බැගින් ලැබුණා. තවත් සමහරුන්ට ගෙවනු ලැබුවේ එක් තැනැත්තියක හරහා. ඇයට තමයි බෙදන්න තිබුණේ. මියගිය එක්තරා දේශපාලනඥයකුට ඇය ලක්‍ෂ 500ක් බෙදුවා. අලුතෙන් පත්වෙලා ඉන්න ලේකම්වරයකුට ඇය ලක්‍ෂ 200ක් බෙදුවා. ඒ අනුව ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය මැදිහත් වෙලා ඩයස්පෝරාව හරහා මේ කල්ලියට ජනවාරි 08 වැනිදාට කලින් විශාල මුදලක් ලැබී තිබුණා. මේ අය කලින්ම මේ රට විකුණලා ඉවරයි. දැන් කරන්නේ ගත්තු සල්ලිවලට ඇති බැඳීම අනුව යමින් රටේ ඉතිරි වෙලා තිබෙන සමස්ත අයිතිය සහ සාරය පවරාදීමේ කාර්යය.

අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත

දැන්ටමත් මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා, අතුරුදහන්වූවන්ගේ කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතක්. අතුරුදහන්වූවන් පිළිබඳ සොයන්න කාර්යාලයක් පිහිටුවීමටත් ජිනීවාවලදී මේ අය එකඟ වුණා. මේ කාර්යාලය පිහිටුවලා යම් නිලධාරීතන්ත්‍රයකට බලය දෙනවා, ‘අතුරුදහන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමට.’ මේක අනිවාර්යෙන්ම යුද්ධය ජයග්‍රාහීව නිමා කරපු රණවිරුවන්ට එරෙහි චෝදනා ගොඩනගන ෆැක්ටරියක් බවට පත් වෙනවා. මේ පනත සම්මත වුණාම ඒ අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවනු ලබයි. ඒකට විවිධ චෝදනා, පැමිණිලි ගලා ඒවි. කාර්යාලයෙන් ඒවා පිළිබඳව සොයා බලලා ‘ඒවා ඇත්ත’ කියා පිළි ගනීවි. සෑම චෝදනාවක් සම්බන්ධයෙන්ම ඒ අය නඩු දමන එකක් නැහැ. ‘මේ පැමිණිලි ඇත්ත’ කියා ඒවා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට යවාවි. යවලා කියාවි ‘මේ නිලධාරීන්ට විරුද්ධව විනය පියවර ගන්න’ කියලා. ඉතිරි ටික යවාවි නීතිපතිට ‘මේ අයට නඩු පවරන්න’ කියා.

ජනපතිට ප්‍රශ්නයක්

මම දැක්කා ජනාධිපතිවරයා මහා උජාරුවෙන් කියනවා ‘රණවිරුවන් මේ රට රැක්කා. බේරාගත්තා’ කියලා. ‘ජනාධිපතිතුමනි, රණවිරුවන් මේ රට රැක්කා නම් අතුරුදහන්වූවන්ගේ කාර්යාලයක් පිහිටුවීමේ පනත ගෙනල්ලා රණවිරුවන්ට එරෙහි චෝදනා නිර්මාණය කරන ෆැක්ටරිය අරින්නේ ඇයි?’ කියලා අපි ප්‍රශ්න කරනවා. ‘රණවිරුවන්ට ආදරෙයි’ කියන්නේ බොරුවට වර්ණ ගන්වපු වචන ටිකක් එහා මෙහා කරන එකට නොවෙයි. ඒක භාවිතයෙන් ඔප්පු කරලා පෙන්වන්න ඕනේ.

යුද අපරාධ අධිකරණ පනත

ඊළඟට මේ ආණ්ඩුව රැගෙන ඒමට නියමිතව ඇත්තේ ‘යුද අපරාධ අධිකරණ පනත් කෙටුම්පතයි’ ඒකත් මේ වසර තුළ කෙසේ හෝ සම්මතකර ගනීවි. බුද්ධිමය දේපළ පනතට සංශෝධන ගෙන ඒමත් මේ අතර සිදුවේවි. එතැනින් නතර වෙන්නේ නැහැ. ‘සායනික පර්යේෂණ පනත’ කියා පනතක් සම්මතකර ගැනීමටත් නියමිතයි. මේ පනත මගින් ශ්‍රී ලංකාව පර්යේෂණ තිප්පොළක් බවට පත් කිරීමට නියමිතයි. මේ මගින් අපේ රටේ ජනතාව පර්යේෂණාගාර මීයන් බවට පත්කර ගැනීමට බහුජාතික ඖෂධ සමාගම්වලට ඉඩකඩ හදලා දෙනවා. ඇතැම් අප්‍රිකානු රටවල් මෙන් මෙතෙක් ශ්‍රී ලංකාව එවැනි තැනකම ඇද වැටුණේ නැහැ. මේ සායනික පර්යේෂණ පනත මගින් ඊට නීත්‍යනුකූල ඉඩකඩ විවරවී තිබෙනවා.

මේ ආකාරයට පනත් කෙටුම්පත් 15ක් ඉදිරියේදී සම්මකර ගැනීමට නියමිතයි. මේ පනත් කෙටුම්පත් 15 සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ගෙනවිත් සම්මතකර ගතහොත් අපට කතා කිරීමට සමාජයක්, රටක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉන්නේ ඉතාමත් තීරණාත්මක තැනක. අද ඇතැම් දේශපාලනඥයන් මේ භයානක ඇත්ත පින්තුරය වහනවා. ඒ නිසා අපි මේ රටේ මාධ්‍යයට සහ පොදු ජනතාවට කියනවා, ‘කරුණාකරලා මේ තීරණාත්මක අනතුර දකින්න, එය පරාජය කිරීම සඳහා ක්‍රියාමාර්ග තේරීමට පෙරට එන්න’ කියලා.”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ද එක්විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.06.28

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*