BREAKING NEWS

රට බේරාගත් රණවිරුවන් බිල්ලට ගැනීමට එන ෂෙයිඞ් අල් හුසේන්ට එරෙහිව ජාතික විරෝධතාවකට සැරසෙමු!

12647090_871306996320455_504683998661137609_nදෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවා, රට බේරාගත් රණවිරුවන් බිල්ලට ගැනීමේ යාන්ත‍්‍රණය කඩිනම් කිරීමට ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිත එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් ෂෙයිඞ් අල් හුසේන්ට එරෙහිව ජාතික විරෝධතාවකට සැරසෙන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මුළුමහත් ජාතියෙන් ඉල්ලා සිටී.

විමල් වීරවංශ මහතා මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ අද(28) එම පක්‍ෂයේ 342/1/4, කෝට්ටේ පාර, පිටකෝට්ටේ යන ස්ථානයේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

‘‘පසුගිය ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපදය සමග ඇතිකරගත් එකගතාව අනුව මානව හිමිකම් කොමසාරිස් ෂෙයිඞ් අල් හුසේන් මහතා ලබන පස්වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළව තිබෙනවා. ඔහු ලංකාවට එන්නේ, ‘ශ‍්‍රී ලංකාව තුළ පිහිටුවිය යුතු යැයි ඔවුන් විසින් විශ්වාස කරන ඊනියා යුද අපරාධ පිළිබඳ සොයා බලන අධිකරණ යාන්ත‍්‍රණය පිහිටුවීමට සඳහා රජය පොළඹවාලන්න’ කියා එම මාධ්‍ය වාර්තා මගින් අනාවරණය කොට තිබෙනවා.

මේ අතරතුර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා බීබීසී සිංහල සේවය සමග සිදු කළ සාකච්ඡාවකදී කියනවා, ‘විදේශීය විනිසුරන් සහිත යුද අපරාධ යාන්ත‍්‍රණය පිළිබඳව මම විශ්වාසය තියෙන්නේ නැහැ. දේශීය විනිසුරන් සහ දේශීය හැකියාවන් සමග අපට ඒක කරන්න පුළුවන්. ඒක රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නයක්’ කියලා. ඒ අනුව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ජිනීවාවලදී ඇතිකරගත් එකගතාවය අතර ප‍්‍රශ්නයක් තියෙනවා. රටේ විදේශ අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී එකග වුණා ‘අපි විදේශීය විනිසුරන් සහිත දෙමුහුන් යුද අපරාධ පිළිබඳ සොයන අධිකරණයක් පිහිටුවනවා’ කියලා. විදේශීය විනිසුරන් පමණක් නොවෙයි විදේශීය අභිචෝදකයන්, නීතිඥයන් හා පරීක්‍ෂකයන් සහිත සෑම අංශයකටම විදේශීය මැදිහත්වීමක් සහිත යුද අපරාධ යාන්ත‍්‍රණයක් සඳහා තමයි ඔහු එහිදී එකග වුණේ.

ජනාධිපතිවරයාගේ බීබීසී ප‍්‍රකාශයෙන් පසුව, අග‍්‍රාමාත්‍යවරයා චැනල් 4 නාලිකාවට කියනවා ‘ජිනීවාවලදී එකග වූ ආකාරයට අපි මැයි මාසයේ යුද අපරාධ අධිකරණය ආරම්භ කරනවා’ කියලා. මේ බව අද ‘The Island’ ඇතුළු පුවත්පත්වල පළව තිබෙනවා. ජිනීවාවලදී එකග වූ ආකාරය කියන්නේ ‘විදේශීය විනිසුරන් සහිතව මෙම යුද අපරාධ අධිකරණය පිහිටුවීම’ යන්නයි. මෙතැනදී කරුණු ගණනාවක් පිළිබඳව ව්‍යාකූලතාවයක් මතු වෙනවා. පළමු කරුණ තමයි ‘විදේශ අමාත්‍ය මංගල සමරවීර ජිනීවාවලදී එකගතාවයන්ට පැමිණියේ රටේ රාජ්‍ය නායකයා වන මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අදහස් විමසන්නේ නැතිවද?’ යන්න. දෙවැන්න තමයි ‘මේ රටේ රාජ්‍ය නායකයා කවුද? යන්න. 19 වන සංශෝධනයෙන් මේ රටේ විධායක ජනාධිපති ධුරය අහෝසි වුණේ නැහැනේ. ඒ නිසා මේ රටේ රාජ්‍ය නායකයා වන්නේ විධායක ජනාධිපතිවරයානේ.

දේශීය විනිසුරන් සහිත යුද අපරාධ පිළිබඳ සෙවීමේ යාන්ත‍්‍රණයක් පිහිටුවන බවට ජනාධිපතිවරයා බීබීසියට ප‍්‍රකාශ කළාම ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය, ගෝලීය දෙමළ සංසඳයේ සුරේන් සුරන්දිරන්, දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් හා මානව හිමිකම් කවුන්සිලයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කීත් හාපර් යන අය එකහෙළාම ඊට විරුද්ධව කරුණු දක්වා තිබුණා. විදේශීය විනිසුරන් සහිතව ජිනීවාවලදී එකග වූ පරිදි යුද අපරාධ යාන්ත‍්‍රණයක් පිහිටුවිය යුතු බව මේ පිරිස අවධාරණය කර තිබුණා.

‘ආඩින්ගේ කැඳ හැලිය’

අද වන විට මේ ආණ්ඩුව තුළ බරපතළ මත ගැටුමක් හටගෙන ඇති බව පෙනෙනවා. ජනාධිපතිවරයා කියනවා ‘දේශීය විනිසුරන් එපා!’ කියලා. මංගල සමරවීර සහ රනිල් වික‍්‍රමසිංහ කියනවා ‘ජිනීවාවලදී එකග වුණේ විදේශීය විනිසුරන් සහිත දෙමුහුන් අධිකරණයක් පිහිටුවන්න. අපි ඒ වැඬේ මැයි මාසය වන විට සිදු කරනවා’ කියලා. එහෙමනම් මේ ආණ්ඩුව ‘ආඩින්ගේ කැඳ හැලිය’ වගේ නොවෙයිද? ජත්‍යන්තර අභියෝගයක් කළමනාකරණය කරන්න පුළුවන්ද ජනාධිපති එක මතයක සිටියදී, අගමැති සහ විදේශ ඇමති වෙනත් මතයක් දරනවා නම්, ජනාධිපතිගේ මතය රජයේ මතය නොවෙයි නම්, ඒක පිළිගන්නේ නැතිනම් මේ රට අරාජික තත්වයක නොවෙයිද අද තියෙන්නේ? රටේ ජනාධිපති හිතුවාට ‘විදේශ විනිසුරන් එපා!’ කියලා ප‍්‍රායෝගිකව ක‍්‍රියත්මක වන්නේ එම මතය නොවෙයි නම්, ඒ ධුරය දරන තැනැත්තා ඒ පුටුවේ වාඩි වෙලා ඉන්නේ කුමකටද? ඒකෙන් රටට, ජනතාවට ඇති ප‍්‍රයෝජනය කුමක්ද?

මේක ඉතාමක් බරපතළ, සංවේදී ප‍්‍රශ්නයක්. පෙබරවාරි 05 වැනිදා ෂෙයිඞ් අල් හුසේන් ලංකාවට එන්නේ මැයි මාසය වන විට ජිනීවාවලදී ඇතිකරගත් එකගතා අකුරටම ක‍්‍රියාත්මක වෙනවාදැයි බලන්න. ඒ අනුව දෙමුහුන් යුද අපරාධ අධිකරණය පිහිටුවාවි. විදේශීය විනිසුරන් සහිතව රණවිරුවන්ට එරෙහිව නඩු අහන ක‍්‍රියාදාමය අරඹාවි. දැනටමත් මේ ආණ්ඩුව රණවිරුවන්ගෙන් ගන්න තිබෙන පලිය උපරිමයෙන් ගනිමින් ඉන්නවා. ‘මල මිනියක් නැතිව, මැරුවයි කියලා නිශ්චිතව තහවුරු වෙලා නැතිව කොහොමද මේ වගන්තියක් යටතේ හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවේ තබා ගන්නේ?’ කියලා හෝමාගම මහෙස්ත‍්‍රාත්තුමා අහනකොට ඒකට උත්තර නැති රහස් පොලිසියක් අද තියෙන්නේ. මේ ආණ්ඩුව දිගින් දිගටම බුද්ධි අංශ නිලධාරීන් පීඩාවට පත් කරනවා. ඒ විතරක් නොවෙයි, ආරක්‍ෂක හමුදා නිලධාරීන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත්කර ගැනීමේදී තිබුණු සහනය, අවස්ථාව නැති කළා. හමුදා පවුලක තුන්වන දරුවා ඉපදුණාම රුපියල් ලක්‍ෂයක මුදලක් දුන්නා. අද ඒකත් කපලා දාලා. ආරක්‍ෂක හමුදා නිලධාරීන්ට තිබුණු වරප‍්‍රසාද, අයිතීන් ගණනාවක් අද කප්පාදු කරලා. ඒ අනුව මේ ආණ්ඩුව ජිනීවා එකගතාව අනුව මේ රටේ ආරක්‍ෂක හමුදා දුර්මුඛ කිරීම, දැනටමත් අරඹා තිබෙන බව ඉතා පැහැදිලියි.

ෂෙයිඞ් අල් හුසේන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පෙබරවාරි 05 වැනිදා ලංකාවට පැමිණෙන කොට, ‘දෙමුහුන් යුද අපරාධ අධිකරණ ක‍්‍රියාදාමය පිළිබඳව රට තුළ තිබෙන බලවත් පිළිකුල හා විරෝධය පළ කරන්න දැවැන්ත විරෝධතා ක‍්‍රියාමාර්ග කරා එළඹීම සඳහා සුදානම් වෙලා ඉන්න’ කියලා අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලනවා. මේ අපරාධයට ඉඩ දෙන්න බැහැ. රට බේරාගත්තු රණවිරුවන්ව බිල්ලට ගැනීම සඳහා ‘දෙමුහුන් යුද අපරාධ අධිකරණ’ නමින් සුද්දන්ට අවශ්‍ය තීන්දු ගන්න උසාවි මේ රට තුළ පිහිටුවීමට ඉඩ දී නිහඩව බලා සිටින්න රටට ආදරය කරන කිසිවකුටත් බැහැ.

ජනපතිට අභියෝගයක්

ජනාධිපතිවරයා ‘විදේශීය විනිසුරන් එපා!’ කියන මතයේ අවංකවම සිටිනවා නම් ඒ මතය ක‍්‍රියාවට නැංවිය යුතුයි. ‘ඔබ මේ ආණ්ඩුවේ ප‍්‍රධානියා නම්, මේ රටේ විධායක ජනාධිපතිවරයා නම් කරුණාකරලා බීබීසී පුවත් සේවයට කීවා වගේ විදේශීය විනිසුරන් සහභාගීකර නොගෙන, විදේශීය මැදිහත්වීමකින් තොරව මේ රටේ සාමාන්‍ය නීතිය අනුව වරදක් සිදුව ඇත්නම් ඒ ගැන සොයන්න. එහෙම නැතිව යුද අපරාධ කියලා වෙනම හංවඩු ගහලා, චෝදනා වරගන්වලා ඉදිරිපත් කරන ක‍්‍රියාදාමයකට යන්නේ නැහැ කියන සහතිකය ජාතියට දෙන්න’ කියන අභියෝගය අපි ජනාධිපතිවරයාට කරනවා.

අද රට සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික යන සෑම ක්‍ෂේත‍්‍රයක් තුළම අරාජික තත්වයට ඇද දමා තිබෙනවා. ඊට ප‍්‍රධානතම හේතුව තමයි රටට පාලකයෙක් වෙනුවට පාලකයන් දුසිම් ගණනක් සිටීම. මේ අය නිසි අරමුණකට, ඉලක්කයකට රට රැගෙන යනවා වෙනුවට තම න්‍යාය පත‍්‍ර අනුව රට අවුල් ජාලයක් කරා රැගෙන යනවා.’’

මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, මොනරාගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ශාන්ත ගුණසේකර සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලලන්ත ගුණසේකර යන මහත්වරු ද සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.01.28

 

12513693_871307006320454_6691714397488480124_o


About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*