BREAKING NEWS

රට ස්ථාවර කරන්න නම් මේ ආණ්ඩුව පැත්තකින් තියන්නම වෙනවා

රට ස්ථාවර කරන්න නම් මේ ආණ්ඩුව පැත්තකින් තියන්නම වෙනවා
-ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි

රට ස්ථාවර කිරීමට මේ ආණ්ඩුව පැත්තකින් තබා ජනතාව විසින් රටට උචිත වැඩපිළිවෙළක් සහිත නව ආණ්ඩුවක් ගොඩනැඟිය යුතු බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති.

ඊයේ(14) ජාතික නිදහස් පෙරමුණේ නායකයන් උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී අනුශාසනාවක් සිදු කරමින් සිරිවිමල නාහිමියෝ එසේ පැවසූහ.

එහිදී වැඩිදුරටත් අනුශාසනා කළ උන්වහන්සේ මෙසේ ද සඳහන් කළහ.

“අවශ්‍ය නැති මොහොතකයි මේ ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් ගෙන එන්න හදන්නේ. මේ අයට ඕනේ රට අනෙක් පැත්ත හරවන්න. මේ ආණ්ඩුව රටක්, ජාතියක්, ආගමක් ගැන හැඟීමක් ඇති එකක් නොවෙයි. රටේ තිබෙන දේවල් විකුණන් කාලා රටත් විනාශ කරලා, තමුනුත් විනාශ වන එකයි මේ අාණ්ඩුව කරමින් ඉන්නේ. ඔබතුමන්ලා වාගේ අය නිසා මේ රට මේ තරමින්වත් රැකිලා තිබෙනවා. මේ අය ඔබතුමාගේ කටට බයයි. නැත්තම් මීට වැඩියෙන් නටනවා. රටට හානි කරනවා. බෙදුම්වාදීන්ට ඡන්දයේදී පොරොන්දු වුණු නිසා මේ ආණ්ඩුවට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනෙන්න වෙනවා. ඒක නොකර ඉන්න බැරි වෙලා තිබෙනවා. ඔබතුමන්ලා මේ ෆෙඩරල් ව්‍යවස්ථාව හදන එකට විරුද්ධ වුණු එක ලොකු දෙයක්.

මේ රට ස්ථාවර කරන්න නම් මේ ආණ්ඩුව පැත්තකින් තියන්න වෙනවා. එහෙම පැත්තකින් කියලා රටට උචිත, මහජන සේවයක් හොඳින් සිද්ධ වන වැඩපිළිවෙළක් සහිත ආණ්ඩුවක් අපි ගොඩනැගිය යුතුව තිබෙනවා. හොරු අල්ලනවා කියලා බලයට ආවාට මේ අයට එක හොරෙක්වත් අල්ලා ගන්න තවම බැරි වුණා. දැන් ඒ අය හොරකම් කරනවා. කවදාවත් නොතිබුණු නියඟයක් අද තිබෙන්නේ. ධාර්මික පාලනයක් රටක නොමැති වන කොට මේ වගේ තත්වයක් ඇති වෙනවා.

පසුගිය දිනවල විජේදාස රාජපක්‍ෂ මහතා මේ ආණ්ඩුවේ ඇමතිවරයකු ලෙස කරපු ප්‍රකාශ අපි අගය කරන්න ඕනෙ. මේ ආණ්ඩුවේ ඇමතිවරයකු ‘මට ඇමතිකමට වඩා රට වටිනවා’ කීම කාගෙත් පැසසුමට ලක් විය යුතුයි. ඔබතුමන්ලා කරන කැප කිරීම ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසයි මේ රට මේ තරම්වත් රැකිලා තිබෙන්නේ.

විපක්‍ෂයක් තිබෙන්නේ ආණ්ඩුවක් නොමඟ යනවානම් පෙන්නලා දෙන්න. නමුත් අද විපක්‍ෂ නායක ඇතුළු නිල විපක්‍ෂයෙන් ආණ්ඩුවට නිසි බලපෑමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා රට අයාලේ යනවා. රටේ ජනතාව බලය දුන්නේ එක නායකයකුට. නමුත් බලය පාවිච්චි කරන්නේ තවත් කෙනෙක්. අද නායකයෝ ගොඩයි.

කෙසේ නමුත් මේ තත්වයෙන් රට බේරා ගන්න ඕනේ. ජාතිය ආරක්‍ෂා කර ගන්න ඕනෙ. ජේ.ආර්. ජයවර්ධන මහතා වගේම මේ ආණ්ඩුවත් රටේ ඉතිහාසය වෙනස් කරන්න හදනවා. ඉතිහාසය වෙනස් කළාම මේ අයට මේ කරන වැඬේ ලේසියෙන්ම කර ගන්න පුළුවන්. වෙනසක් ගෙන එනවා කියලා මේ ආණ්ඩුව මේ රටට ලොකු විනාශයක් කළා. ඒකට මිනිස්සු විරුද්ධ වන කොට දැන් කැති, පොලුවලින් උත්තර දෙන න්‍යායකුත් මේ ආණ්ඩුව හදාගෙන තිබෙනවා”

මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා,

“මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි අපි ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාදාමයෙන් ඉවත් වුණා. එහිදී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් අපේ මන්ත්‍රීවරු පස් දෙනා කථානායකවරයාට ලිපියක් භාර දෙමින් නිල වශයෙන් ඉවත් වුණා. 2015 ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ජනවරමක් ඉල්ලා සිටියේ ජනමතවිචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්න. මහ ඡන්දයේදී කිසිම පක්‍ෂයකට මන්ත්‍රී ධුර 113 ඉක්ම වූ බහුතර බලයක් ලැබුණේ නැහැ. ඒ නිසා නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා මහ මැතිවරණයේදී කිසිම පාර්ශ්වයකට ජනවරමක් ලැබුණා කියනවා නම් ඒක බොරුවක්. මේ ආණ්ඩුවේ අය සහ නව ව්‍යවස්ථාවක් සඳහා පෙනී සිටින අය කියන්නේ ‘ජනවරම අනුව නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි’ කියලනේ. නමුත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කිසිවකුටත් ජනවරමක් ලැබී නැහැ.

මේ ආණ්ඩුව කඩිනමින් ඉවත් නොකළහොත් රටටත්, ජනතාවටත් තවත් ප්‍රශ්න ගණනාවක් ඇති කරනවා. දැන් සමෘද්ධිලාභීන්ගේ දීමනාව කපන්න යනවා. මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට විකුණන්න යනවා. ආර්ථිකය දිනෙන් දිනම කඩා වැටෙනවා. උතුරේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට පොලිසියට බැරි වෙලා තිබෙනවා. හොරු අල්ලනවා කියලා බලයට ආපු මේ අයට දැන් තමන්වම අල්ලා ගන්නයි වෙලා තියෙන්නේ.”

මෙම අවස්ථාවට ජානිපෙ ජාතික සංවිධායක, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක, නියෝජ්‍ය ලේකම්වරු, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරු වන නිමල් ප්‍රේමවංශ සහ නිමල් පියතිස්ස යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-08-15

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    ගැටඹේ හාමුදුරුවො විමල් ගැන කියපු කතාව මම හිතන්නේ මුළු රටම අනුමත කරනවා. විමල් නොහිටින්න මේ ආණ්ඩුව ෆෙඩරල් ගෙනල්ල, දෙමුහුන් අධිකරණ පිහිටුවලා මුළු රටේම සම්පත් විකුනලා, මිනිස්සුන්ට උහුලන්න බැරි තරම් බදු බර පටවල මෙලහට.

    හැබැයි විමල් පටන් ගත්ත ගමන ඒ විදියට යන්න නොදී විමල්ව අවහිර කලේ මහින්දයි බැසිලුයි ඒකාබද්ධ විපක්ෂයයි. 2015, 2016 ඕනේ තරම් අවස්ථා තිබුන ආණ්ඩුව වෙනස් කරන්න. රනිල්ට අස් වෙන්න බල කරන්න. හැබැයි එහෙම නොකර එහෙම කරන්න හදපු විමල්වයි විමල් ගොඩ නගපු ජන පවුරයි ජන සටනයි අන්තිම කැත විදියට පාවලා දුන්නේ මහින්දයි බැසිලුයි ඒකාබද්ධ විපක්ෂයයි. රනිල්වයි ආණ්ඩුයි ආරක්ෂා කලේ ඒගොල්ලෝ. ආර්ථිකය කඩා වැටිලා කර කියා ගන්න දෙයක් නැතුව ආණ්ඩුවත් අකුලාගෙන යන තැනට වැඩ හැදුනු රනිල්ට හයිය දුන්නේ මහින්දයි ගෝඨාභයයි. එක්කෙනෙක් චීනෙට ගියා අනිත් එක්කෙනා ජපානෙට ගිය රනිල් වෙනුවෙන්. අද වෙනකොට රනිල් රටට විරුද්ධව කරන හැම දේටම වග කියන්න ඕනේ මෙච්චර දුරක් රනිල්ව අරන් ආපු තමන් තමයි නියම විපක්ෂය කියලා පාරම් බාන මිනිස්සු.

    හාමුදුරුවො කියන කතාව ඇත්ත. මේ ආණ්ඩුව පැත්තකින් තියලා රටට උචිත වැඩ පිළිවෙලක් සහිත නව ආණ්ඩුවක් හදන්න ඕනේ. කා එක්කද? 2015 සහ 2016 මුල නම් අපිත් ලෑස්ති වෙලා හිටියා කොට්ටෙ මාරු කරලා දෙන්න. එහෙම නොවුනේ ඊට වඩා වෙනසක් ජනතාවට සහ රටට හිමි විය යුතු නිසා වෙන්න ඕනේ. ආණ්ඩුව මොන තරම් මිනිස්සුන්ට පිළිකුල් වුනත් ඉසරදයට කොට්ට මාරු කරන්න ජනතාව ලෑස්ති නෑ කියන එක මම හිතන්නේ පෙන්නේ මට විතරක් නෙමෙයි. මට තේරෙන විදියට ජනතාවට ඕනේ කරන්නේ සම්පූර්ණ දේශපාලන ක්‍රියාවලියම වෙනස් කරන්න. ඒ කියන්නේ කොට්ටෙ විතරක් නෙමෙයි කොට්ටෙ එක්කම ලෙඩාවත් රෝහල් ගත කරලා, නිරෝගී පුද්ගලයෙක්ට හෝ එවන් කණ්ඩායමකට රට බාර දෙන්න.

    2020 ට එක්කෝ අස්ගිරියේ මහා නායක හාමුදුරුවෝ චන්දෙට ඉදිරිපත් වෙන්න ඕනේ. ජනාධිපතිවරණෙට. එහෙම නැතුව රට බේරා ගන්න ලැබෙන්නේ නැහැ. ඊළඟ අගමැති සහ ආණ්ඩුව රටට ආදරේ කරන, රටම ආදරේ කරන, ප්‍රතිපත්ති ගරුක, ආත්මාර්ථකාමී බල ලෝභය වෙනුවෙන් තමන්ගේ ප්‍රතිපත්ති පාවා නොදුන්න දේශප්‍රේමි දේශපාලන නායකයෙක් අතට යන්න ඕනේ.

    එහෙමත් නැත්නම් වෙනස් දේශපාලන අදහස් තියෙන, අලුත් විදියටකට රටේ ආර්ථිකය හසුරුවන්න හැකි ප්‍රතිපත්තියක් ගැන දන්න සහ ඒ අනුව වැඩ කරන්න පුළුවන් කෙනෙක්, ධනපතියන් වෙනුවෙන් නැතුව රටේ දුප්පත්, අඩු ආදායම්ලාභී, සහ සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වය උසස් මට්ටමකට අරන් එන්න පැහැදිලි දැක්මක් තියෙන, සීමාසහිත පවුල් කිහිපයක් සහ පුද්ගලයන් පිරිසක් අතරේ හුවමාරු වෙන රටේ පාලනය ජනතාව අතට අරන් දෙන්න හැකියාව ඇති, ධන බලය, දේශපාලන බලය සහ මැර බලයට එරෙහිව නැගී හිටින්න පුළුවන් මොකාටවත් බය නැති, හිතේ ධෛර්යක් තියෙන ස්වාධීන පුද්ගලයෙක් ඉදිරිපත් වෙලා 2020 ජනාධිපතිකමට තරඟ කරලා රටේ අනාගතය බාර අරගෙන අර උඩ කියපු දේශප්‍රේමී දේශපාලන නායකයා එක්ක රටේ පාලනය බාර ගන්න ඕනේ. වෙන විකල්පයක් නම් මට පෙන්නේ නැහැ.

    කවුරු මොන සෙල්ලම් දැම්මත් සිද්ධ වෙන්නේ රටට හොඳ දෙයක්. 2015 මහින්දගෙ පාලනය වෙනස් වුනේ මොකොද කියන්න දන්නේ නැති වුනත්, එහෙම වෙලා වුනත් රනිල්ට ඉහලින්, රනිල්ගෙ තනි තීරණ ක්‍රියාත්මක කරන්න බැරි වෙන විදියට සිරිසේන කියලා ජනාධිපතිවරයෙක් රටේ බලයට පත් වුනේ රටේ වාසනාවට කියල හිතන්න වෙනවා රනිල් කරන දේවල සහ වෙන්න තිබුණු දේවල හැටියට.

    තමන්ගෙ කෙන්දරේට අනුව රට පාලනය කරන, තීරන ගන්න කෙනෙක් නැතුව, රටෙයි, මිලියන 21ක් ජනතවගෙයි “කෙන්දර වලට හොඳ විදියට” රට පාලනය කරන්න කැමති, පරාර්ථකාමී නායකයෙක් තමයි රටට ඕනේ වෙන්නේ.

    රටේ යහපත වෙනුවෙන් කරන්න ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ තමයි විමල් වීරවංශ කියන මං හුඟක් ආදරේ කරන, මගෙ පණටත් වඩා ආදරේ කරන, මගේ රටට තරම් මං ආදරෙ කරන දේශප්‍රේමියා තමන්ගේ වටිනාකම තේරුම ගැනීම.

    ඒ වුණත් හම්බන්තොට ගැන මගේ තරහක් සහ කහටක් තියෙනවා තවම.

Leave a Reply

*