BREAKING NEWS

රට හමුවේ වන නව අභියෝග ජය ගැනීමට ධෛර්ය ශක්තිය ලැබේවා !

රට හමුවේ වන නව අභියෝග ජය ගැනීමට ධෛර්ය ශක්තිය ලැබේවා !

2017 වසර උදාවන්නේ ශ්‍රී ලංකාවේ පොදු ජනතාව හමුවේ නව අභියෝග රැසක් නිර්මාණය කරමිනි. රණවිරුවන් දිවි පුදා රැකගත් අපගේ මාතෘභූමිය ෆෙඩරල් ව්‍යවස්ථාවක් හරහා බෙදා වෙන්කර තෑගි ඔප්පුවකින් දෙමළ ඊළම ලබා දීමේ ක්‍රියාදාමය පරාජය කිරීම මේ අභියෝග අතර ප්‍රමුඛතම අභියෝගය වී තිබේ.

රුපියල අවප්‍රමාණය වීම, බැංකු පොලී අනුපාතික ඉහළ දැමීම හා රාජ්‍ය බැංකු සතු මුදල් ආණ්ඩුවට ණයට දීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට ණය මුදලක් හෝ ලබා ගත නොහැකි තත්වයක් උද්ගතවීම ආදියෙහි ප්‍රතිඵල ලෙස රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙමින් ඇත. 2014 දී 7%ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන සිටි ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මේ වන විට 3.4% දක්වා පහළ බැස තිබේ. එපමණක් නොව චීනයට හම්බන්තොට වරාය සමඟ ඉඩම් අක්කර 15,000ක් පවරා දීම 2017 දී සිදු කිරීමට නියමිතය. ඒ හරහා ද මෙතෙක් නොතිබූ අභියෝගයක් රට හමුවේ මතුව ඇත. තවද ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකය ඉන්දියාවට මුළුමනින්ම විවෘත කෙරෙන එට්කා ගිවිසුම අත්සන් තැබෙන්නේ ද මේ වසරේදීය. එට්කා ගිවිසුම අත්සන් තැබිමත් සමඟම ශ්‍රී ලංකාවට දිගූකාලීන අවාසි රැසකට මුහුණ දීමට සිදු වන බව නොරහසකි. එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ වත්මන් ආණ්ඩුව ගිවිසගත් රණවිරුවන් දංගෙඩියට යැවීමේ යාන්ත්‍රණය සක්‍රියව පණ ගැන්වීමට නියමිතව ඇත්තේ ද 2017 දීය.

ඒ නිසා ඉහත ව්‍යසනවලට මුල් වූ රටටත් ජනතාවටත් වහපාලනයක් වී ඇති වත්මන් ආණ්ඩුව පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හළ යුතු වසර බවට 2017 වසර පත්ව තිබේ. එබැවින් ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉහත අභියෝග ජය ගැනීමේ අධිෂ්ඨානය ඇතිකර ගන්නා ලෙස ඉල්ලා සිටින අතර ඒ සඳහා ඔවුනට ජාතිකත්ව, ආගම් භේද දුරලා සමගියෙන් අත්වැල් බැඳගැනීමට මේ වසරේදී ධෛර්ය, ශක්තිය ලැබේවා’යි පතන්නෙමු.

විමල් වීරවංශ (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2017.01.01

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*