BREAKING NEWS

රණවිරුවන්ට එරෙහිව චෝදනා නිර්මාණය කෙරෙන ‘ෆැක්ටරියක්’ බවට පත්වන ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත’ සම්මතවීමට එරෙහිව ක්‍රියාමාර්ග තෝරන්න පෙරට එන්න

13575981_963188497132304_4118503479172842286_oරණවිරුවන්ට එරෙහිව චෝදනා නිර්මාණය කෙරෙන ෆැක්ටරියක්’ බවට පත්වීමට නියමිත ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත’ සම්මත වීමට එරෙහිව ක්‍රියාමාර්ග තේරීමට වහා පෙරට එන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා මුළුමහත් ජාතියෙන් ඉල්ලා සිටියි.

අද(30) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

“මා පසුගිය අඟහරුවාදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී ආණ්ඩුව කඩිනමින් ගෙන ඒමට සූදනම් වන රටත් ජනතාවත් අනතුරේ හෙළන පනත් කෙටුම්පත් 15ක් පිළිබඳව ඔබව දැනුම්වත් කළා. ඉන් එකක් පිළිබඳව අද ඔබව විශේෂයෙන් දැනුම්වත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා. මේ දිනවල පැවැත්වෙන ජීනිවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32වැනි සැසිවාරයේදී මානව හිමිකම් කොමසාර්ස් ෂෙයිඞ් අල් හුසේන් ශ්‍රී ලංකාව පිළිබඳව බරපතළ ප්‍රකාශ ගණනාවක් සිදුකර තිබෙනවා. ‘විදේශීය විනිසුරන්, අභිචෝදකයන්, නීතිඥයන් හා විමර්ශකයන් ඇතුළත් දෙමුහුන් යුද අපරාධ අධිකරණය පිහිටුවිය යුතුයි’ කියා ඔහු එහිදී යළිත් අවධාරණයකර තිබෙනවා. එසේම ‘චෝදනා එල්ලවී ඇති ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවන්හි නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකා රජය පියවර ගත යුතුයි, ශ්‍රී ලංකාවේ සහජීවනය ඇති කිරීම සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග ගත යුතුයි’ යනුවෙන්ද ඔහු අවධාරණයකර තිබුණා. පසුගිය වසරේ මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ආ යෝජනාව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා විසින් පිළිගනු ලැබුවා. ‘දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවිය යුතුයි’ යන නිර්දේශය එම යෝජනාවේ තිබුණා. මේ වන විට ශ්‍රී ලංකා රජය එම නිර්දේශය ක්‍රියාත්මක කිරීමට බැඳාී අවසන්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ ශ්‍රී ලංකා ආක්‍ෂක හමුදාවන්ට යුද අපරාධ චෝදනා එල්ල කළ වාර්තාවත්, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවත් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා 100%ක් පිළිගනු ලැබුවා. දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට ජිනීවාවලදි එකඟ වූවාට පසුව අද කරුණාරත්න පරණවිතාන වැනි නියෝජ්‍ය අමාත්‍යවරුන් ‘දේශීය විනිසුරන්, සහිත අධිකරණ යාන්ත්‍රණ’ ගැන කියන කතා පිළිගන්න බැහැ. ඒවා නිකම් ජනතාව ගොනාට අන්දන්න කියන කතා පමණයි.

එදා ජිනීවාවලදී මේ ආණ්ඩුව පැමිණි එකඟතාව අද ඉටු කරන්න කියලා තමයි ෂෙයිඩ් අල් හුසේන් බල කරන්නේ. ඉහත කී දෙමුහුන් යුද අපරාධ අධිකරණය පිහිටුවීමේ පූර්විකාව මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. මේ මගේ අතේ තිබෙන්නේ, 2016 මැයි 11 වන දින නිකුත් කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද ‘ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය’ (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පිළිබඳ පනත් කෙටුම්පතයි.

(එම පනත් කෙටුම්පත මාධ්‍ය වෙත පෙන්වයි)

‘මේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය සොයන අතුරුදහන් වූවන් කවුද?’

මේ පනත හඳුන්වා දී තිබෙන්නේ ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම සඳහා ද අතුරුදහන් වූ තැනැත්තන් සෙවීම සහ ඔවුන් පිළිබඳව සොයා බැලීම සඳහා ද, අතුරුදහන්වූ තැනැත්තන්ගේ ඥාතීන්ට සහාය වීම සඳහා ද අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ දත්ත සමුදයක් ස්ථාපනය කිරීම සඳහා ද ඉහත කී කාර්යාලයට පවරනු ලබන බලතල හා කර්තව්‍යවලට අදාළ කාර්යපටිපාටි සහ මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා ද, මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධව නැතහොත් ඊට ආනුෂංගික සියලු කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකි’ කියලයි.

‘ලෝකයේ අංක 01’

ලෝකයේ අභ්‍යන්තර ත්‍රස්තවාදය පරාජය කරපු, කිසිම රටක් ඒ ත්‍රස්තවාදය පරාජය කරපු තම රටේ හමුදාවන් එහිදී සිදු කරන ලද්දේ සාපරාධී වරදක්ය යන හැඟීමෙන් ඒ හමුදාවන් විසින් සිදු කොට ඇති ඊනියා වැරදි පොළොව හාරමින් සෙවීමේ පිළිවෙතකට යන්නේ නැහැ. එක්සත් ජනපදය, මහා බි්‍රතාන්‍යය, යුරෝපයේ වෙනත් රටවල් සිදු කළ යුද්ධ ද තිබෙනවා. ඒ යුද්ධ සියල්ල නිර්මල, පරම පවිත්‍ර යුද්ධ නොවෙයි. එම යුද ජයග්‍රහණවලින් පසුව මානව හිමිකම් කඩවුණු ආකාරය හෝ අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳව හෝ මේ විදියට හාරා අවුස්සන පිළිවෙතකට ඒ කිසිම රටක් ගිහින් නැහැ. තම රටේ පැවැති අභ්‍යන්තර ත්‍රස්තවාදය පරාජය කරපු හමුදාවන්ට එරෙහිව චෝදනා නිර්මාණය කරන ෆැක්ටරියක් හදන්න දායක වන ලෝකයේ පළමු ආණ්ඩුව ලෙස මේ ආණ්ඩුව ඉතිහාසයට එක් වෙනවා.

මේ පනත සම්මත කළාම මොකද වෙන්නේ? අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු රැස් කරන කාර්යාලයක් විවෘත වීම. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවනවා කියුවාම මට නම් හිතුනේ ‘1988-89 වකවානුවේ අතරුදහන් වූ 60,000කට අධික තරුණ තරුණියන්ගේ දෙමාපියන් හා ඥාතීන් මගින් මේ කාර්යාලයට ඒ තොරතුරු ලබා දිය යුතුයි’ කියලා. නමුත් මේ පනතින් එහෙම ඉඩක් හදලා නැහැ. ‘යම් තැනැත්තකු අතරුදහන් වූ කාලසීමාව නොතකා ඒ තැනැත්තා පිළිබඳව සෙවීමට අතරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය කටයුතු කළ යුතුයි’ කියන වගන්තිය අනුව අපි කාටත් එහෙම හිතෙන්න පුළුවන්. නමුත් ඊළඟට මෙම පනත් කෙටුම්පතේ සඳහන් වෙනවා. ‘එසේ වුවද (Office of Missing Persons) O.M.P විසින් පහත සඳහන් සිද්ධිවලට ප්‍රමුඛත්වය ලබා දිය හැකිය’ කියලා.

01. ඉතා මැතකදී සිදු වූ පුද්ගලයන් අතුරුදහන් වීම පිළිබඳ සිද්ධි
02. දැනටමත් වැදගත් සාක්‍ෂි තිබෙන සිද්ධි
03. O.M.Pහි මතය අනුව මහජනයාට වැදගත් වන සිද්ධි’ ලෙස ඒවා දක්වා තිබෙනවා.

මේ වගන්තිය අනුව අනිවාර්යෙන්ම 88-89 ධවල භිෂණයට අදාළ සිදුවීම් අවැදගත් වෙලා යුද්ධයට අදාළ සිද්ධි මේ O.M.P එකට වැදගත් වෙනවා.

O.M.Pහි සුපිරි බලය

‘යම් රාජ්‍ය ආයතනයක් හෝ යම් රාජ්‍ය නිලධාරියකු විසින් යම් තැනැත්තෙකු රඳවා තබාගෙන ඇති හෝ කලින් රඳවා ගෙන සිටි බවට සැක කරනු ලබන යම් රඳවා තබා ගැනීමේ ස්ථානයකට, පොලිස් ස්ථානයකට, බන්ධනාගාර යකට හෝ වෙනස් ස්ථානයකට දිවා කාලයේ හෝ රාත්‍රී කාලයේ වරෙන්තුවක් නොමැතිව ඇතුළු වී විමර්ශනය කිරීමට සහ O.M.P විසින් පවත්වනු ලබන යම් විමර්ශනයක කාර්යය සඳහා අවශ්‍ය යැයි සලකනු ලබන යම් ද්‍රව්‍යයක් පරික්‍ෂා කිරීමට සහ පිටපත් හෝ උදෘත ලබා ගැනීමට, තහනමට ගැනීමට හෝ රඳවා තබා ගැනීමට O.M.Pහි යම් නිශ්චිත නිලධාරියකුට බලය පැවරේ.’ යනුවෙන් ද මෙහි සඳහන් වෙනවා. මේ බලතල අනුව ඕනෑම වේලාවක, ඕනෑම හමුදා කඳවුරකට මේ කාර්යාලයේ බලය පැවරූ නිලධාරියාට යන්න පුළුවන්. ගිහින් විමර්ශන පවත්වන්න පුළුවන්. යමිකිසි ද්‍රව්‍ය තමන් සන්තකයට ගන්න පුළුවන්. මේ නිලධාරියාට සුපිරි බලයක් නීතියෙන්ම ලබා දෙනවා.

‘බොරු පැමිණිලිත් තොග ගණනින් එනවා’

මේ කාර්යාලය ස්ථිාපිත කළාම ඇත්ත පැමිණිලි වගේම බොරු පැමිණිලිත් තොග ගණනින් එන්න පටන් ගන්නවා. ඒ අනුව මේ කාර්යාලයේ දත්ත සමුදයක් ස්ථාපනය වෙනවා, ‘පසුගිය යුද සමයේදී මෙපමණ ගණනක් අතුරුදහන් වී ඇත’ කියලා. මේ කාර්යාලයට පුළුවන්කම තිබෙනවා. යුද්ධයෙන් අතුරුදහන් වූවන් පිළිබඳ වැරදි තොරතුරු සමාජගත කරන්න. සැබෑ ගණනට වඩා ඉතා ඉහළ ගණනක් පෙන්නුම් කරන්න.

මේ කාර්යාලය මගින් යම් යම් අතුරුදහන්වීම්වලට වගකිවයුත්තන් ලෙස ආරක්‍ෂක හමුදා නිලධාරීන් පිරිසක් නම් කිරිමත් සිදු වෙනවා. එසේ හඳුනාගත් ‘චූදිත’ ආරක්‍ෂක හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මේ පනත් කෙටුම්පතට ඇතුළත් කරලා තිබෙනවා. ‘චුදිතයන් පිළිබඳව ඔවුන් අයත් හමුදාවන්හි ප්‍රධානීන්ට දැනුම් දී අභ්‍යන්තර විනය පියවර ගන්නා ලෙස දැනුම් දීම’ එක ක්‍රියාමාර්ගයක්. ‘චූදිතයන්ට එරෙහිව අධිකරණමය පියවර ගන්නා ලෙස දැනුම්දීම’ තවත් ක්‍රියාමාර්ගයක්. කෙලින්ම කියන්නේ නැහැ ‘යුද අපරාධ අධිකරණයට යොමු කරනවා’ කියලා. ඒත් අධිකරණමය ක්‍රියාමාර්ග කියන්නේ පිහිටුවනු ලබන ‘යුද අපරාධ අධිකරණයට ඉදිරිපක් කිරිමට තමයි.

‘චෝදනා නිර්මාණය කරන ෆැක්ටරිය’

මේ අනුව ඉතා පැහැදිලියි, ආරක්‍ෂක හමුදාවන්ට සත්‍ය හෝ අසත්‍ය භූත හෝ අභූත චෝදනා නිර්මාණය කරන ෆැක්ටරිය තමයි මේ පනත් කෙටුම්පත සම්මතකරගෙන හදන්න උත්සාහ කරන්නේ. ඒ ෆැක්ටරියෙන් චෝදනා ටික ‘පැටව් ගස්සලා’ හදා ගත්තට පස්සේ එනවා, යුද අපරාධ අධිකරණය. මේ ෆැක්ටරියෙන් කරන්නේ රණවිරුවන් යුද අපරාධ අධිකරණයට රැගෙන යන්න අවශ්‍ය චෝදනා ටික නිර්මාණය කරලා දෙන එක.

ඇත්තෙන්ම ගත්තොත් පසුගිය ආණ්ඩුව ඇතුරුදහන් වූවන් පිළිබඳ කොමිසමක් ස්ථාපිත කරලා අදාළ දිස්ත්‍රික්කවලට ගිහිල්ලා තොරතුරු ලබාගෙන වාර්තාවක්ද ඉදිරිපත් කළා. එසේ තිබියදී විමර්ශ සිදු කිරිමේ බලයක් සහිත ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනතක්’ ගෙන එන්නේ, මේ රටේ ආරක්‍ෂක හමුදාවන්, ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඇතුළු බටහිර රටවල උවමනාව අනුව බිලි ගැනීමටයි.

අපි අද මේ රටේ පාරේ බැහැලා නිදහසේ ඇවිදින්නේ මේ රණවිරුවන් නිසා. දෙමාපියන්ට, දරුවන් පාසල් ගිහිල්ලා එනතුරු හූල්ලන්නේ නැති බලා ඉන්න පුළුවන් වෙලා තිබෙන්නේ මේ රණවිරුවන් නිසා. එහෙව් රණවිරුවන් තමයි අද මේ විදියට මේ රටේ භයානකම අපරාධකරුවන් බවට පත්කර ගෙන යන්නේ බුද්ධි අංශ නිලධාරීන් තොගයක් දැනටමත් හිරේ දමලා ඉවරයි.

2015 ජනවාරි 08 මේ රටේ පොදු ජනතාවට ඕනෙ වුණේ, තමන්ට නිදහසේ ගමනක් බිමනක් යන්න, මරණ බියෙන් තොරව ජිවත් වෙන්න සුදුසු වාතාවරණය, අනන්ත අප්‍රමාණ කැප කිරිම් කරලා හදලා දීපූ රණවිරුවන් දඩයම් කිරිමේ යුගයක් නිර්මාණය කිරීමටද? එදා ඒ වැරැද්දට සම්මාදම් වුණු පිරිස මේ පාපකර්මයේ කොටස්කරුවන් වන්නේ නැද්ද? ඒ නිසා මේ මහා පාපකර්මය පැරදවීමේ මොහෙයුමේදී ජනවාරි 08 වැනිදා ඒ වැරැද්දට සම්මාදම් වුණු පිරිසට අපි කාටත් වඩා වැඩි වගකීමක් පැවරෙනවා. අපි ජනවාරි 08 වැනිදා ඒ පාපකර්මයට කර ගැහුවේ නැහැ. අපි දැන සිටියා ‘මේ සිදුවන්නේ රටට, ජාතියට අවශ්‍ය වෙනසක් නොවෙයි, සම්පූර්ණයෙන්ම මේ රටට විරුද්ධ බලවේගවලට අවශ්‍ය වෙනස, කියලා. ඊට හවුල් අයගෙන් අපි ඉල්ලනවා ‘කරුණාකරලා රණවිරුවන් බිල්ලට ගන්න, දඩයම් කරන ඔවුන්ට එරෙහිව චෝදනා නිර්මාණය කරන ෆැක්ටරියක් බවට පත්වන මේ ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මතවීමට එරෙහිව ක්‍රියාමාර්ග තෝරන්න’ කියලා.

‘පැය කිහිපයකින් අලුත් මහ බැංකු අධිපතිවරයකු පත්කළ හැටි’

ඊයේ(29) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපූරු ප්‍රකාශයක් කළා “චෝදනාවලට ලක්ව සිටින මහ බැංකු අධිපතිවරයා වෙනුවට අලුත් මහ බැංකු අධිපතිවරයකු තව පැය කිහිපයක් ඇතුළත පත්කරනවා’ කියලා. ඒ කිව්වා වගේම ඊයේ පැය කිහපයක් ඇතුළත පොලොන්නරුවේ සිට කොළඹ මහ බැංකු පරිශ්‍රයටත් ජනාධිපතිවරයා පැමිණියා. එතුමා තනිවමයි මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වී තිබුණේ. ඊට පසුව ඒ බව දැන ගෙනද දන්නේ නැහැ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ද මහ බැංකු පරිශ්‍රයට කඩිමුඩියේ පැමිණ තිබුණා. අන්තිමේදී ජනාධිපතිවරයා මහ බැංකුවේ නිලධාරීන් අමතලා කතාවක් කරලා, තේ එකකුත් බීලා ආපසු තමන්ගේ මන්දිරයට ඇවිත් තිබුණා. නමුත් පැය කිහිපයකින් වෙනවා කියපු දෙය නම් වුණේ නැහැ.

මොකද එහෙම වුණේ? අපට තිබෙන තොරතුරු අනුව ජනාධිපතිවරයා අලුත් මහ බැංකු අධිපතිවරයකු පත් කිරිමේ ලිපියක් අරගෙන තමයි මහ බැංකු පරිශ්‍රයට යන්නේ. නමුත් අගමැති රනිල් වික්‍රමසිංහගේ සහ අර්ජුන් මහේන්ද්‍රන්ගේ හදිසි කඩාපාත්වීමේ ප්‍රතිඵලයක් හැටියට ශ්‍රී ලංකාවේ 06 වැනි විධායක ජනාධිපතිවරයා තමන් සන්තකයේ තිබූ ඒ ලිපිය නැවත සාක්කුවේ දමාගෙන ආපහු තමන්ගේ මන්දිරයට පැමිණ තිබෙනවා. අගමැති ළඟින් හිටියොත් ඇති ගන්නා ක්‍රියාමාර්ග ආපස්සට ගන්න. මෙහෙම ජනාධිපති කෙනෙක් ‘ලොවෙත් නැහැ. ලොවි ගහෙත් නැහැ. මේ රට අද අරාජික සහ අස්ථාවර වෙලා තිබෙන්නේ මේ නිසයි. මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ රටට සිදුකළ වරදේ බරපතලකම ඊයේ විගණකාධිපතිතුමන් කෝප් කමිටුවට ලබාදුන් වාර්තාවෙන් සනාථ වෙලා තිබෙනවා. පොලිස් විමර්ශන කටයුත්තක් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කරන්න බැහැ. නමුත් සංඛ්‍යාත්මකව සිදු වී ඇති පාඩුව පිළිබඳව සිය නිගමනය ඉතා පැහැදිලිව විගණකාධිපතිතුමන් තම වාර්තාවෙහි දක්වා තිබෙනවා. මහ බැංකු අධිපතිවරයා ඊට වගකිව යුතු බව එම වාර්තාවෙන් පැහැදිලි වෙනවා. එහෙම තිබියදී තමයි විධායක ජනාධිපතිවරයා මහ බැංකුව වටේ රවුමක් ගහලා ආපසු තම මන්දිරයට යන්නේ. මෙහෙම පාලනයක් ලෝකයේ වෙන කොහොවත් නැති බවයි මගේ අදහස”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.06.30

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*