BREAKING NEWS

රත්නපුරේ දී විමල්ට හදිසි අනතුරක්

රත්නපුරේ දී විමල්ට හදිසි අනතුරක්

ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා ගෙවී සතිය තුළ බෙහෙවින් කාර්යබහුල විය.ඒ පොහොට්ටුව ලකුණින් තරඟ වදින, සිය පක්‍ෂයේ අපේක්‍ෂකයන්ගේ සහ සෙසු පක්‍ෂවල අපේක්‍ෂකයන්ගේ ජයග්‍රහණය පිණිස පැවැත්වෙන ජනහමුවල ප්‍රධාන කථිකයා ලෙස සහභාගි වන අතරේ ඒකාබද්ධ පොදුජන පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ජාතික රැලි මාලාවේ ද ප්‍රධාන කථිකයා ලෙස සහභාගි වීමට සිදුව තිබීම නිසා ය.

ගෙවී ගිය සතියේ දී අනුරාධපුර, ත්‍රිකුණාමලය, රත්නපුර හා කොළඹ යන දිස්ත්‍රික්කවල පක්‍ෂයේ අපේක්ෂකයන් සංවිධාන කළ ජනහමුවලට දින 04ක් වෙන් කිරීමට සිදු වීමෙන් විමල්ට වැල්ලවාය, දඹුල්ල, අම්ලබන්ගොඩ, මතුගම, යාපනය ආදී ජාතික රැලිවලට සහභාගී වීමට නොහැකි විය.

“මොකද විමල් මන්ත්‍රීතුමා එන්නේ නැද්ද? කියලා මිනිස්සු මගෙන් අහනවා” මෙසේ ජාතික රැලි කිහිපයකට සහභාගී නොවීම පිළිබඳව ලැබෙන ජනතා ප්‍රතිචාර පිළිබඳව විමල්ගෙන් විමසා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ය. එහි දී විමල් වීරවංශ මහතා තමන් මුහුණ පා සිටින දුෂ්කරතාව හිටපු ජනාධිපතිවරයාට පැහැදිලි කළේය. කෙසේ වුවත් හොරණ, ගොඩකවෙල, තිස්සමරාරාමය, අම්බලන්ගොඩ, මාතර ආදී සෙසු ජාතික රැලිවලට සහභාගී වෙමින් විමල් සිය සුපුරුදු වාග් චාතුර්ය දක්වන ආකාරය දැකගත හැකි විය.

මේ කාර්යබහුල තත්වය මැද විමල් වීරවංශ මහතාට රිය අනතුරකට මුහුණ පෑමට ද සිදු විය. පසුගිය බ්‍රහස්පතින්දා ඔහු ගමන් ගත් රිය අනතුරකට ලක් වූයේ ඇහැලියගොඩ පරකඩුව ප්‍රදේශයේ දී ය. එදින ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් නායක, පළාත් සභා මන්ත්‍රී දීපාල් ගුණසේකර මහතා පොහොට්ටුවෙන් තරඟ වදින ජානිපෙ අපෙක්ෂකයන් වෙනුවෙන් ජනහමු හා ජනරැලි 30කට ආසන්න ප්‍රමාණයක් සංවිධානය කර තිබූ අතර විමල් ඒ එක් ජනහමුවක් අමතා තවත් එකකට යන අතරතුර මෙම රිය අනතුර සිදුව තිබිණි. ඒ වන විට දීපාල් ගුණසේකර මහතා ද ගමන් ගෙන තිබුණේ විමල් වීරවංශ මහතාගේ රියෙනි. එකවරම පිටුපසින් පැමිණි කැබ් රථයක් විමල්ගේ රියේ තදින් ගැටී තිබිණි. පසුපස අසුනේ සිටි විමල් වීරවංශ මහතා විසි වී ගොස් ඉදිරිපස අසුනේ ගැටී ඇති නමුත් තුවාලයක් සිදු වී තිබුණේ නැත.

කෙසේ වෙතත් පසුව බලන විට පිටුපසින් පැමිණ ගැටී තිබුණේ දීපාල් ගුණසේකර මහතාගේ කැබ් රථය ය. එදින රත්නපුර මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහාය පිණිස පැමිණි සිටි ජානිපෙ එක්සත් රාජධානි කමිටුවේ ඉන්දික මහතාගේ ජිප් රථය විමල්ට සහ දීපාල්ට ඒ මොහොතේ පිහිටට ආවේය. ‘හැප්පුණු වාහන හදා ගෙන එන්න කියලා අපි දැන් මේකේ නැගලා ඉතිරි රැස්වීම් ටිකට යමු. මිනිස්සු බලා ගෙන ඇති නේ.” විමල්, දීපාල් ද සමඟ ජිප් රථයට නැඟුණේ එසේ කියමිනි.

-අබර-

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.