BREAKING NEWS

‘රනිල් දුන් සහයෝගය ගැන විමල් කියූ කතාව’

JNP GOSSIP LAST WEEK by Anuruddha Ranawarana

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ ‘විදෙස් ගමන් බලපත‍්‍ර’ පිළිබඳ නඩුව පසුගිය බදාදා මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනිණි. එහිදී විමල් විරවංශ මහතාගේ වලංගු විදේශ ගමන් බලපත‍්‍රය ඔහු වෙත මුදා හැරීමටත් ඔහුට ගුවන් ගමන් වාරණයක් නොපැමිණවීමටත් අධිකරණය විසින් කටයුතු කළ අතර නඩුව යළි කැඳවීම 2016-05-03 දිනට කල් තබනු ලැබීය.
විමල් වීරවංශ මහතාගේ ‘විදෙස් ගමන් බලපත‍්‍ර’ නඩුව එදින විභාගයට ගැනෙන බව දැන ගත් බොහෝ හිතවතුන් උදෑසනින්ම මීගමුව උසාවි සංකීර්ණය ඇතුළතත් පිටතත් රැඳී සිටිනු දැක ගත හැකි විය.
මේ පිරිස අතර මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, සිසිර ජයකොඩි, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සහ රොජර් සෙනෙවිරත්න, ලලන්ත ගුණසේකර යන පළාත් සභා මන්ත‍්‍රීවරු වූහ.
විමල් වීරවංශ මහතා මීගමු උසාවි සංකීර්ණයෙන් පිටව යාමට පැමිණියේ ඉහත කී පක්‍ෂ නායකයන් හා මහජන නියෝජිතයන් සමගිනි. පිටවීමේ දොරටුව අසලදී රැදී සිටි මාධ්‍යවේදී හිතවතුන් වෙත විමල් වීරවංශ මහතා මෙසේ අදහස් දැක්වීය.
‘අද දිනයේදී අපේ නීතිඥ මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි ගරු අධිකරණය මගින් මගේ වලංගු ගුවන් ගමන් බලපත‍්‍රය මාහට ලබාදුන්නා. ඒ වගේම මෙම නඩුව විමසීම ලබන වසරේ මැයි දක්වා කල්තබනු ලැබුවා. මම හිතනවා අධිකරණය මෙහි සත්‍ය තත්ත්වය ඉදිරි කාලයේදී අනාවරණය කරයි කියලා.
මම හිතන්නේ නැහැ මෙතැන බරපතළ තත්ත්වයක් තිබුණා නම් ගරු අධිකරණය විසින් මගේ වලංගු ගුවන් ගමන් බලපත‍්‍රය මා වෙත ලබාදෙයි කියා. ඒ වගේම මා වෙත ගුවන් ගමන් වාරණයක් ද පනවා නැහැ. අධිකරණය විසින් ගෙන තිබෙන ඒ පියවර දෙක මගින්ම අනෙක් අතට සනාථ වෙනවා, ‘රහස් පොලීසිය පෙන්වන අන්දමේ බරපතළ ප‍්‍රශ්නයක් මෙතැන තිබිලා නැහැ’ කියලා.
අපි ජනමාධ්‍යයට ස්තූතිවන්ත වෙනවා මේ සිදු වීම පිළිබඳව නියම තත්ත්වය ජනතාව වෙත රැගෙන යාමට දැක් වූ සහයෝගය පිළිබඳව. ඒ වගේම මේ මොහොතේදී අපට සහාය දුන් නීතිඥ මහත්වරුන් ඇතුළු සැමට අපේ ස්තූතිය පළ කරනවා.’’
එසේ අදහස් දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න කිහිපයකට ද විමල් වීරවංශ මහතා පිළිතුරු සැපයුවේය. විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් ‘හයිබි‍්‍රඞ් අධිකරණ යාන්ත‍්‍රණය’ පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා ඉතාලිය, ප‍්‍රංශය සහ එංගලන්තය බලා යාමට ගිය විමල් වීරවංශ මහතාට එල්ල වූ බාධාව ගැන එදින(23) පාර්ලිමේන්තුවේදී විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු ප‍්‍රශ්න කළහ. එහිදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ තමන් පවතින නීතිමය බාධා ඉවත්කර විමල් වීරවංශ මහතාට විදෙස්ගත වීමට අවස්ථාව සලසා දෙන බවය. එහෙත් රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී එසේ පවසද්දී අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව නීතිමය බාධා තවත් වැඩි කරමින් විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබිණි. එසේම එම නිලධාරීන් විමල් වීරවංශ මහතාගේ වලංගු ගුවන් ගමන් බලපත‍්‍රය වැඩිදුර විමර්ශන සඳහා රඳවා ගැනීමට ද අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කළේය. ඒ අනුව විමල් වීරවංශ මහතාට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉහත කී ‘සහයෝගය’ යටතේ තම යුරෝපා සංචාරය නවතා දැමීමට සිදු විය. මේ පිළිබඳව ද මාධ්‍යවේදීන් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාගෙන් මෙහිදී ප‍්‍රශ්න කර සිටියේය.
ඊට මන්ත‍්‍රීවරයා දුන්නේ මෙවැනි අපූරු පිළිතුරකි.
‘රනිල් වික‍්‍රමසිංහ මහත්තයා දුන්නු සහයෝගය තමයි මේ’ ඊට එතැන රැස්ව සිටි කාටත් සිනහ නොවී සිටීමට නොහැකි විය.
අධිකරණ සංකීර්ණය වෙත පැමිණි පක්‍ෂ නායකයන් ඇතුළු සෙසු පක්‍ෂවල මහජන නියෝජිතයන් සඳහා තේ පැන් සංග‍්‍රහයක් සූදානම් කිරීමට ජාතික නිදහස් පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් නායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලලන්ත ගුණසේකර මහතා කටයුතු යොදා තිබිණි. ඒ කටුනායක පිහිටි ඔහුගේ නිවසේදීය. ඒ අනුව අධිකරණයේ කටයුතු නිමාවීමත් සමගම දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන මන්ත‍්‍රීවරු ඇතුළු පිරිස විමල් වීරවංශ මහතා ද සමග ලලන්ත ගුණසේකර මහතාගේ නිවසට ගියහ.
එහිදී මේ පිරිස අතර සංවාදයට භාජනය වූයේ විපක්‍ෂ මන්ත‍්‍රීවරුන්ට එල්ල වී ඇති රාජ්‍ය මර්දනය පිළිබඳවය.
‘දැන් මේ සිදුවීම උදාහරණයට ගන්නකෝ. මේ අයට ඕනෙ වුණේ විමල්ගේ සංචාරය නතර කරන්න’ දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.
‘ඔව්! ඒක ඇත්ත, මමත් මෙවැනි විදෙස් ගමන් බලපත‍්‍ර ගැටළුවකට මුහුණ දී තිබෙනවා. නමුත් ‘ලොස්ට් පාස්පෝට්’ එක සහ වලංගු පාස්පෝට් එක සහිතව මට විදෙස්ගත වෙන්න ප‍්‍රශ්නය තේරුම්ගත් නිලධාරීන් ඉතාමත් සද්භාවයෙන් ඉඩකඩ සලසා දුන්නා. නමුත් කුඩා සිදුවීම් මුල්කර ගනිමින් අද සිදු වන්නේ සියුම් විදිහට විපක්‍ෂය දඩයම් කිරීමක්’ ගාමිණි ලොකුගේ මන්ත‍්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
‘මේක අද පොලිස් රාජ්‍යයක් බවට පත් කරමින් යනවා. දැන් නීතිපති දෙපාර්තමේන්තුවත් තමන්ගේ හිතවතුන්ගෙන් පුරවා ගන්නයි, මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ’ උදය ගම්මන්පිල මහතා සංවාදයට එක්වෙමින් පැවසීය.
‘ආණ්ඩුවට අවනත කර ගන්න බැරි අයට අද මුහුණ දෙන්න වෙලා තියෙන්නේ මේ විදිහේ ඉරණමකටයි’ බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.
‘මේ පිළිබඳව අපි අද(28) සවස වැඩිදුරටත් සාකච්ඡා කරලා ගත යුතු ක‍්‍රියාමාර්ග ගනිමු’ ඩලස් අලහප්පෙරුම මහතා සංවාදය අවසන් කරමින් පැවසීය.
මහින්දගේ ජන්ම දිනය ඉහළින්ම සමරන්න
ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් වෙයි!
පසුගිය බදාදා සවස මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ රැස්වීමක් කොළඹදී පැවැත්විණි. මෙම රැස්වීමට ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, ප‍්‍රසන්න රණතුංග ඇතුළු පක්‍ෂ නායකයන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් ද හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ද සහභාගී වී සිටි අතර වාසුදේව නානායක්කාර මහතා හදිසි කටයුත්තක් හේතුවෙන් සහභාගී නොවන බව දන්වා තිබිණි.
මෙහිදී පසුගිය 19 වැනිදා කොළඹින් ඇරඹි ජන සමුළු මාලාව දිස්ත‍්‍රික් මට්ටමින් පැවැත්වීම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 70 වැනි ජන්ම දිනය වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩපිළිවෙළක් සකස් කිරීම යන කාරණා 02 පිළිබඳව අවධානය යොමු කෙරිණි.
මෙම රැස්වීමේදී ජී.එල්. පීරිස් හිටපු අමාත්‍යවරයා රජ්‍ය සේවයේ මතුව තිබෙන බලවත් කඩා වැටීම පිළිබඳව සිදු කළ කතාව කාගේත් අවධානයට යොමු විය.
‘දේශපාලනඥයන්ගේ ආවරණ අනුමැතිය නොමැතිව කිසිඳු තීරණයක් නොගන්නා තැනට ඉහළ රාජ්‍ය නිලධාරීන් හිර කරලා තිබෙනවා. ඒ හින්දා සුළු දෙයක් පවා අද මහජනයාට ඉටුකර දෙන්න ගත යුතු තීරණ ගන්න රාජ්‍ය නිලධාරීන් මැලි වෙනවා. අද රාජ්‍ය නිලධාරීන්ට නීතිමය ප‍්‍රශ්න ඇති වුණාම ඒවාට අවශ්‍ය නීතිමය සහන ලබා ගන්න වෙලා තියෙන්නේ පෞද්ගලිකව’ ජී. එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේය.
‘රාජ්‍ය සේවය වගේම මාධ්‍ය ආයතනත් අද ‘හිරිවට්ටලයි’ තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ පාවිච්චි කරලා එක පැත්තකින් ‘හොරු අල්ලනු!’ කියන සටන් පාඨය පුම්බනවා. ‘යහපාලනයට’ යටත් වෙලා ආණ්ඩුව ඇතුළට රිංගපු ඇත්ත හොරුන් ගැන අද කිසිම කතාබහක් නැහැ. ඊනියා සම්මුතිවාදයට යටත් නොවන පිරිසට එරෙහිව දරුණු දඩයමක් අද දියත් වෙනවා. මීට එරෙහිව බලවත් ජනමතයක් ගොඩනැගිය යුතුයි’ මෙහිදී විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.
ජනසමුළු මාලාවේ දෙවැන්න මාතරදී පැවැත්වීමටත් එහිදී ද ඊනියා සම්මුතිවාදයට එරෙහි වන දේශපාලනඥයන් දඩයමට එරෙහි ජනමතයක් ගොඩනැගීමේ කටයුත්ත අවධාරණය කිරීමටත් මෙහිදී තීරණය විය.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*