BREAKING NEWS

රවී කරුණානායකට එරෙහි මිලියන 390ක විනිමය අපරාධය පිළිබඳව ඉදිරි නීතිමය පියවර ගන්නැයි ජානිපෙ නීතිපතිවරයාගෙන් ඉල්ලයි.- ජාතික නිදහස් පෙරමුණ

රවී කරුණානායක මහතා මිලියන 390ක විනිමය වංචාවෙන් නිදොස් කොට නිදහස් කරමින් ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් හෝ යළි ඒ අපරාධය සම්බන්ධයෙන් ඉහළ අධිකරණයක ඔහුට එරෙහිව නඩුවක් ගොනු කිරීමෙන් හෝ එම අරුමපුදුම තීන්දුව පිළිබඳව සමාජය තුළ මතුව ඇති බලවත් සැකය ඉවත් කර සාධාරණය ඉටු කර දෙන්නැයි ජාතික නිදහස් පෙරමුණ නීතිපතිවරයාගෙන් ඉල්ලයි.

අද(21) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා මෙසේද පැවසීය.

‘‘රුපියල් මිලියන 390ක විනිමය අපරාධයක් සම්බන්ධයෙන් වර්තමාන මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් නඩුවක් පවරා තිබුණා. එම නඩුවෙන් පසුගිය 18 වැනිදා රවී කරුණානායක මහතා අරුමපුදුම ආකාරයට නිදහස් වුණා. මේ පිළිබඳව සමාජය තුළ මහත් ආන්දෝලනයක්, සැකයක් මතුව තිබෙනවා. මේ තත්ත්වය ගරු අධිකරණයේ අපක්‍ෂපාතීත්වයට, ස්වාධීනත්වයට, විශ්වාසනීයත්වයට නෛතික පාරදෘශ්‍යභාවය හා නෛතික වගවීමට බලපෑමක් සිදු කොට තිබෙනවා.

මේ නඩු කටයුත්ත ආරම්භ වූ මුල් අවස්ථාවේදීම එය විභාග කිරීමේ බලයක් කොළඹ මහාධිකරණයට නොමැති බව පවසමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණා. නමුත් එහිදී අභියාචනාධිකරණය තීන්දු කළා ‘මෙම නඩුව විභාග කිරීමේ බලයක් කොළඹ මහාධිකරණයට තිබේ’ කියලා. ඒ අනුව සාමාන්‍ය කාර්යපටිපාටිය අනුගමනය කරමින් මේ නඩුව විභාග වුණා.

2015 ජනවාරී 08 වැනිදා, සිදු වූ බල පෙරළියෙන් පසුව, විශේෂයෙන්ම රවී කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධුරයට පත් වූවාට පසුව මෙම නඩුව අසාමාන්‍ය වේගයකින් යුතුව විභාග වූ අයුරු දැකගත හැකියි. මෙසේ අධිවේගයෙන් මේ නඩුව විභාග වීම නිසා සියලූ සාක්‍ෂිකරුවන් කැඳවීමට පවා නොහැකි වූ බවයි වාර්තා වන්නේ. සාමාන්‍යයෙන් නඩු කටයුත්තකදී සාක්‍ෂිකරුවකු කැඳවන්නේ නඩු දිනයට සතියකට, දින  10කට, ඇතැම් විට සති දෙකකට පෙර සිතාසියක් යැවීම මගිනුයි. නමුත් මේ නඩුවේදී සාක්‍ෂිකරුවකු කැඳවා තිබුණේ දුරකථන පණිවිඩයක් ලබා දීම මගිනුයි. ඒ අනුව මේ නඩුව සාක්‍ෂිකරුවන් දුරකථන පණිවිඩ මගින් කැඳවූ නඩුවක් ලෙස මෙරට අධිකරණ ඉතිහාසයට එක් වෙනවා. මෙහෙම අධිවේගයෙන් ගිහිල්ලා නඩුවේ කටයුතු නතර වෙලා, තීන්දුවකුත් ලැබෙනවා.

නඩුවේ කටයුතු හිටිහැටියේ නතර වන්නේ කෙසේද? විත්තියේ නීතිඥවරයා(රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි) හිටිහැටියේ මේ නඩුව සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කරනවා, ‘මෙම නඩුව ගොනු කිරීමේ දෝෂ පවතිනවා’ කියලා. ඔබ දන්නවා, මෙවැනි මූලික විරෝධතා ඉදිරිපත් කරන්නේ නඩුවක මුල් වකවානුවේදී බව. නමුත් මේ නඩුව අවාසන අදියරට ආවාට පසුව මූලික විරෝධතා හෙවත් ගොනු කිරීමේ දෝෂයක් ඇති බව සාකච්ඡා කරලා තමයි මහාධිකරණ විනිසුරුතුමිය තීන්දුව දෙන්නේ.

ඒ වගේම නඩුවක් විභාගකර අවසන් වූ දිනයේදීම තීන්දුව ලබා දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් තීන්දුව ලබාදීමට දිනයක් නියම කරනවා. මේ අරුමපුදුම නඩුවේදී නඩු විභාගය අවසන් වූ දිනයේදීම තීන්දුවත් ලබා දෙනවා. ඒ තීන්දුව අනුව රවී කරුණානායක මහතා නිදහස් වූවා. මෙහිදී සිදු වූ තවත් අරුමපුදුම දෙයක් තමයි, මෙම නඩුව විභාග කළ විනිසුරුතුමිය තම 31 වසරක අධිකරණ සේවය අවසන් කරලා තීන්දුව ලබා දුන්නු දිනයේදීම විශ‍්‍රාම ගැනීම. මෙම කරුණත් මේ නඩුව පිළිබඳ අවිශ්වාසනීයත්වයක්, අපැහැදීමක් සමාජය තුළ ඇති කරවන්න හේතු වුණා.

මෙහිදී පෙන්වා දිය යුතු තවත් කරුණක් තමයි නඩුව විභාග වන අවස්ථාවේදී රවී කරුණානායක මහතා හැසිරුණු ආකාරය. සාමාන්‍යයෙන් අධිකරණ ශාලාව තුළට ජංගම දුරකථනයක් රැගෙන යාමට බැහැ. නීතිඥ මහත්වරුන් පවා අධිකරණය ශාලාව තුළදී දුරකථන භාවිතා කරන්නේ නැහැ. නමුත් රවී කරුණානායක මහතා විත්ති කූඩුවට නගින්නෙත් ජංගම දුරකථනයත් අතැතිවයි. එපමණක් නොවෙයි ඔහු විත්ති කූඩුවේ සිට ජංගම දුරකථනය භාවිතා කරනවා. රවී කරුණානායක මහතා විත්ති කූඩුව තුළ හැසිරෙන්නේ තමන්ගේ ගෙදර නිදන කාමරයේ හැසිරෙනවා වගෙයි.

ඉහත කී සියලූ කාරණා සමග මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් සමාජයේ බරපතළ සැකයක් ඇතිව තිබෙනවා. රවී කරුණානායක මහතාගේ මේ අරුමපුදුම නිදහස් වීම පිළිබඳව සමාජය තුළ මහා ආන්දෝලනයක් මතුව තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ අපි නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා ‘මේ ඇති වී තිබෙන තත්ත්වය අධිකරණයට නුසුදුසු බැවින්, අයහපත්ව බලපාන බැවින් ඉහත කී රුපියල් මිලියන 390ක විනිමය අපරාධය සම්බන්ධයෙන් නැවත අභියාචනයක් ඉදිරිපත් කරන්න. එසේ නැතිනම් ඉහළ අධිකරණයක මේ විනිමය අපරාධය පිළිබඳ නඩුවක් ගොනුකර සමාජයට සාධාරණය ඉටු කරන්න’ කියලා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-05-21

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*