BREAKING NEWS

රවී විතරක්‌ බිල්ලට දීලා බේරෙන්න බෑ – විමල් කියයි

රවී විතරක්‌ බිල්ලට දීලා බේරෙන්න බෑ – විමල් කියයි

(2018-01-07 දිවයින පුවත්පත – 18 පිටුව)

මහ බැංකුවේ බැඳුම්කර වංචාව පිළිබඳව ජනාධිපතිතුමා පත් කළ කොමිසමේ වාර්තාව එළිදක්‌වාවිද යන්න පිළිබඳව බොහෝ දෙනා පසු වූයේ දෙගිඩියාවෙනි. නමුත් එම සැක සංකා බිඳ දමමින් මේ වනවිට එම වාර්තාව එළිදක්‌වා ඇති අතර, ඒ පිළිබඳ ජනාධිපතිවරයා ද සිය ස්‌ථාවරය ප්‍රකාශයට පත් කර ඇත.

දැන් එළැඹි තිබෙන්නේ බැඳුම්කර ගනුදෙනුවේදී වංචාවක්‌ සිදු වී ඇති බවට චෝදනා කළ පාර්ශ්වයන්ගේ අවස්‌ථාවයි. අප ඒ පිළිබඳව විමසීම සඳහා ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස්‌ පෙරමුණ නායක විමල් වීරවංශ මහතා මුණගැසුනෙමු. ඒ මහතා ඒ පිළිබඳව අපි හා දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය – මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව එළිදක්‌වා තිබෙනවා. ඒ පිළිබඳව පසුගියදා ජනාධිපතිවරයාත් ප්‍රකාශයක්‌ කළා.

ඒකාබද්ධ විපක්‌ෂය ඇතුළු ආණ්‌ඩු විරෝධී බලවේග දිගින් දිගටම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අගමැතිවරයාටත් චෝදනා එල්ල කළා. නමුත් පසුගියදා ප්‍රකාශයට පත් කළ වාර්තාවෙන් සහ ජනාධිපතිතුමාගේ කතාවට අනුව අගමැතිවරයාට කිසිදු චෝදනාවක්‌ එල්ල වන්නේ නැහැ නේද?

පිළිතුර – ඩිව් ගුණසේකර මහතාගේ සභාපතීත්වයෙන් යුතු කෝප් කාරක සභාවෙන් බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බලා වාර්තාව එළිදක්‌වන්නට සූදානම් වූ අවස්‌ථාවේදී ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරලා එදා සත්‍යය හෙළිදරව් වීම වැළැක්‌වූයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා. එම ඡන්දයෙන් පසුව එතුමාට සිද්ධ වූවා අගමැතිතුමා බේරා ගන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිද්ධ වූ බව ප්‍රකාශ කිරීමට. ඒක තමයි බැඳුම්කර හොරුන්ට ජනාධිපතිතුමා දුන්න උදව්ව.

අනික ඔය කියන වාර්තාව තවම රටට එළිදක්‌වලා නෑ. නමුත් ජනාධිපතිතුමා කළ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ මෙම හොරකමේ මහ මොළකරුට කිසිම චෝදනාවක්‌ නැති බව තමයි. ප්‍රධානීන් නොදැනුවත්ව මලික්‌ සමරවික්‍රමලා, රවි කරුණානායකලා, කබීර් හෂීම්ලා මහ බැංකු පරිශ්‍රයට යන්නේ නැහැ. ඉතිහාසයේ පළමු වතාවට ලාංකිකයෙක්‌ නොවන අධිපතිවරයෙක්‌ පත් කරන්නෙත් නැහැ. ඒ වගේම ඉතිහාසයේ පළමු වතාවට මහ බැංකු අධිපතිවරයෙක්‌ මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සිද්ධ කරන පරිශ්‍රයට යන්නෙත් නෑ.

එහෙත් ප්‍රකාශයට පත් වී තිබෙන කරුණු අනුව මෙම වංචාවේ මහ මොළකරුට කිසිදු චෝදනාවක්‌ නෑ. අනෙක්‌ අතට රවි කරුණානායකට සිද්ධ වූයේ මිස්‌ ෆයර් එකක්‌ නේ. රවි කරුණානායකගේ නිවස පිළිබඳ තොරතුරු හෙළිදරව් වූයේ අතුරු කාරණයක්‌ නිසා. එම නිසා එයට පමණක්‌ නඩු දාන්න කිව්වට තේරුමක්‌ නෑ. අනිත් එක හිටපු මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරු ජාතිකයෙක්‌. ඔහු සිංගප්පූරුවට ගියාට පසු නඩු දැම්මත් වැඩක්‌ නෑ. ඔහුට නඩුවට නෑවිත් ඉන්න පුළුවන්.

ලංකා ඉතිහාසයේ සිද්ධ වූ විශාලතම මූල්‍ය වංචාව දැන් රටටම හෙළිදරව් වෙලා ඉවරයි. ආණ්‌ඩුවේම මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වූ ලක්‍ෂ්මන් යාපා මහතා ප්‍රකාශ කළා මෙම මූල්‍ය වංචාව නිසා සිදු වී ඇති පාඩුව මිලියන 3 කට වඩා වැඩි බව. නමුත් මෙම වාර්තාවෙන් එම ගණන අඩු කර පෙන්වා තිබෙනවා. එම නිසා අපට සාධාරණ සැකයක්‌ ඇති වී තිබෙනවා. මෙම වාර්තාව මගින් ඇත්ත හොරු පිළිබඳව පියවර ගැනීමට වඩා ඒ පිළිබඳව ජනතාව තුළ තිබෙන උනන්දුව සහ ආවේගය දිය කර හැරීමට උත්සාහ දරනවා ද කියන එක පිළිබඳව.

අනික ජනාධිපතිතුමා තමයි ආණ්‌ඩුවේ නායකයා වන්නේ. මෙම මූල්‍ය වංචාවට අනිත් අයත් සම්බන්ධ බව පිළිගන්නවා නම් ජනාධිපතිවරයා වහාම කළ යුත්තේ ඒ අය ඉල්ලා අස්‌වන තත්ත්වයට පත් කිරීමනේ. රවි කරුණානායක පමණක්‌ බිල්ලට දීලා අත හෝදා ගන්න බැහැනේ. අගමැතිවරයාට ඉල්ලා අස්‌වෙන්න කියල කියන්න ඕන නැති නම් අස්‌ කරන්න ඕන. ඒ වගේම මෙම වංචාවට සම්බන්ධ ඇමැතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට ඉල්ලා අස්‌වෙන්න කියලා කියන්න ඕන. මන්ත්‍රී ධුරයෙනුත් ඉල්ලා අස්‌ වෙන්න කියලා කියන්න ඕන. එසේ නොමැතිව කොමිසමේ නිගමන රටට කියන්න නොවෙයිනේ ජනාධිපතිවරයකු සිටින්නේ. ජනාධිපතිතුමා කොමිසමේ මාධ්‍ය ප්‍රකාශකයා නොවෙයිනේ. ඊට වඩා බලවත් තිරණාත්මක පියවරකට යා යුතුයි.

ප්‍රශ්නය – ඔබ තවදුරටත් චෝදනා කරන්නේ ජනාධිපතිවරයා බැඳුම්කර වංචාකාරයන් ආරක්‌ෂා කිරීමට කටයුතු කරන බව තමයි. නමුත් ජනාධිපතිතුමා එම කොමිසම පත් කිරීම සහ එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම මගින් අපක්‌ෂපාතිව කටයුතු කරන බව පැහැදිලි වනවා නේද?

පිළිතුර – ජනාධිපතිවරයාට එම වගකීමෙන් ගැලවෙන්න බෑ. ඔහු තමයි මහ බැංකු අධිපතිවරයා පත් කරන්නේ, ඔහුගේ අත්සනින් යුතු ලිපියෙන්. ඉතිහාසයේ පළමු වතාවට මහ බැංකුව අගමැතිවරයා යටතට ගැසට්‌ කරන්නෙත් ජනාධිපතිවරයාගේ අනුදැනුම මත තමයි. සිංගප්පූරු ජාතිකයකු වූ අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති ලෙස පත් කරන්නෙත් අගමැතිවරයාගේ උවමනාවට ජනාධිපතිවරයා විසින්. මම කියන්නේ මෙම මහා මූල්‍ය වංචාවෙන් ජනාධිපතිතුමාට ලාභයක්‌ ලැබුණද නැද්ද කියන එක නෙවෙයි. මම කියන්නේ රාජ්‍ය නායකයා විධියට ජනාධිපතිවරයාට මෙහි වගකීමෙන් ගැලවෙන්න බැහැ කියන එක තමයි. ඇමැතිවරයකු යම් දූෂණයක්‌ කර තිබෙනවා නම් රටේ නායකයාට එම වගකීමෙන් ගැලවෙන්න බැහැ. ඔහු විසින් ඊට අදාළ දඬුවම් ක්‍රියාත්මක කළ යුතුයි. එක්‌කෝ ඉල්ලා අස්‌වීමට සැලැස්‌විය යුතුයි. නැති නම් අස්‌ කළ යුතුයි. එය තමයි ජනාධිපතිවරයාට අයත් කාර්යය.

එසේ නොමැතිව කොමිෂන් වාර්තාවක බැරැරුම්කම සුළු කොට දක්‌වන කරුණු ප්‍රමාණයන් රටට කියන එක ජනාධිපතිවරයකුගේ කාර්යය භාරයට වඩා, එම කොමිසමේ මාධ්‍ය ප්‍රකාශකයාගේ කාර්යභාරය වෙනවා.

ප්‍රශ්නය – රවි කරුණානායක මන්ත්‍රීතුමා එක්‌සත් ජාතික පක්‌ෂයේ නියෝජ්‍ය නායකයකු වනවා. ඔහුට මෙම කොමිෂන් සභා වාර්තාව මගින් චෝදනා එල්ල කිරීම එම පක්‌ෂයේ විරෝධයට හේතු වන බව පැහැදිලියි.

එම නිසා ජනාධිපතිතුමා එ. ජා. පක්‌ෂය ආරක්‌ෂා කිරීමට කටයුතු කරන බවට චෝදනා කරන්න බැහැ නේද?

පිළිතුර – මෙම හොරකමේ දිග පළල කොහොමටත් දැන් මුළු රටම දන්වා නේ. එම නිසා එක්‌සත් ජාතික පක්‌ෂයේ නායකයා සහ එම පක්‌ෂය කෙරෙහි එම පක්‌ෂයේ පාක්‌ෂිකයන් තුළම දරුණු කලකිරීමක්‌ තිබෙනවා. එම කලකිරීම ගම් මට්‌ටමින් අපට දකින්න තිබෙනවා. එම නිසා මෙම හොරකම නිසා ඇති වන බලපෑම දැනටමත් එ. ජා. පක්‌ෂයට ඇති වෙලා ඉවරයි.

එම හොරකම පිළිබඳව සොයන්න ජනාධිපතිතුමා පත් කළ කොමිසමේ කරුණු අප හිතන තරම් දරුණු නොවුණත් මේ රට බලාපොරොත්තු වූ මට්‌ටමේ නොවුණත්, සුළු ලෙස හෝ කරුණු දැක්‌වීම නිසා මෙතෙක්‌ ජනාධිපතිතුමාත්, එක්‌සත් ජාතික පක්‌ෂයත් අතර තිබුණ සීතල යුද්ධය කරළියට එන එක වළක්‌වන්න බැරි වේවි. මීළඟට එ. ජා. පක්‌ෂය තරගකාරීව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට අදාළ වංචා හෝ දූෂණ ඉස්‌මතු කරාවි. එවිට මේ රටේ ජනතාවට තේරෙවි. හොරු අල්ලන්න කියලා ආ අයියලා ටික මොන විදියේ හොරුද කියන එක. දැනටමත් ඒක මේ රටේ ජනතාවට තේරිලා තිබෙන්නේ. පරණ ආණ්‌ඩුව හොරු හොරු කියලා චෝදනා කරමින් ඇවිත් දින 100 න් අලුත් රටක්‌ හදනවා කියලා ඇවිත්, දවස්‌ 20 ක්‌වත් යන්න කලින් මහ බැංකුව ශුද්ධ කළා. ඒ වගේ කම්බ හොරු ටිකක්‌ අතේ තමයි අද මේ රටේ පාලන බලය තිබෙන්නේ. එය කොතරම් බරපතළද කියන්නේ ජනාධිපතිවරයාටත් ඒ පිළිබඳව සොයන්න කොමිසමක්‌ පත් කිරීමට සිද්ධ වූවා. එතැනට මේ රටේ ජනමතය හදන්න අපි විශාල කාර්යය භාරයක්‌ කළා.

ප්‍රශ්නය – මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කළ කොමිසමේ වාර්තාව සමඟ පසුගිය ආණ්‌ඩුවට එල්ල වූ විවිධ චෝදනා පිළිබඳව සිදු කළ පර්යේෂණවල වාර්තාවකුත් එළිදක්‌වා තිබෙනවා.

පසුගිය ආණ්‌ඩුවට එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව මොකද කියන්නේ.

පිළිතුර – කොමිෂන් සභා පත් කරනවා. වාර්තා එළිදක්‌වනවා. බැඳුම්කර මහා හොරකමේ වාර්තාව එන කොට පරණ ආණ්‌ඩුවටත් ගහන්න ඕන නිසා එම වාර්තාවත් දමා තිබෙනවා. මේ කියන්න හදන්නේ අපි විතරක්‌ නොවෙයි ඒ ගොල්ලත් හොරු කියන ඒකනෙ.

එහෙත් ඇත්ත කතාව ඒක නෙවෙයිනේ. පරණ ආණ්‌ඩුව සම්බන්ධයෙන් තිබෙන්නේ වලංගු නැති චෝදනා. නමුත් බැඳුම්කර කොමිසමේ වාර්තාවේ තිබෙන්නේ උණු උණුවේ හසු වුණු හොරු ටිකක්‌ පිළිබඳ තොරතුරු. එම නිසා පරණ ආණ්‌ඩුවේ අමාත්‍යාංශයක සිද්ධ වූ මොකක්‌ හෝ පෙන්වලා ලංකා ඉතිහාසයේ සිද්ධ වූ ලොකුම මූල්‍ය වංචාව තුලනය කරන්න හදනවා නම්, සමබර කරන්න හදනවා නම් ඒක කවදාවත් කරන්න පුළුවන් දෙයක්‌ නොවෙයි.

සිද්ධ විය යුත්තේ කොමිෂන් දදා ඉන්න එක නොවෙයි. සිද්ධ විය යුත්තේ යම්කිසි වරදක්‌ සිද්ධ වී තිබෙනවා නම් ඊට එරෙහිව නඩු පැවරීමයි. නමුත් එහෙම සිද්ධ වෙලා නැහැනේ. කොඩි කණු, සිල් රෙදි බෙදීම, වාහන අවභාවිත කිරීම වැනි චෝදනාවලට පමණයිනේ නඩු පවරලා තිබෙන්නේ. නමුත් ප්‍රකෝටි ගණනක වංචාවක්‌ සිද්ධ කළ බැඳුම්කර වංචාව පිළිබඳව නඩු පවරලා නැහැනේ. ඊ. පී. එෆ්. එකට කොතරම් පාඩු සිදු වී තිබෙනවාද? රාජ්‍ය බැංකුවලට කොතරම් පාඩුවක්‌ සිද්ධ වී තිබෙනවාද? එම පාඩුව සිද්ධ නොවුණා නම් හම්බන්තොට වරාය වගේ දෙකක්‌ හදන්න තිබුණා. මත්තල ගුවන් තොටුපළ වගේ තවත් එකක්‌ හදන්න තිබුණා. අධිවේගී මාර්ග තව දෙකක්‌ හදන්න තිබුණා. බිලියන ගණනක පාඩුවක්‌. මෙම පාඩුව ගණන් බලලා ඉවර කරන්න බෑ. ණයක්‌ ගන්න කොට බැංකු පොලී අනුපාතය ඉහළ ගියේ මෙම හොරකම නිසා. රුපියල අව ප්‍රමාණය වූවා. විදේශ ආයෝජකයන් මේ රට අත හැරලා ගියා. ආර්ථික වර්ධන වේගය 4% දක්‌වා අඩු වෙලා. ඒ සියල්ලටම මේ හොරකම බලපෑවා. එම නිසා කොහේ හෝ වුණයි කියන හොරකමක්‌ සමඟ බැඳුම්කර වංචාව සසඳන්න බෑ. මේ හොරකම මුළු රටත්, මුළු ආර්ථිකයත්, රටේ අනාගතයත් පසුපසට ගෙන ගිය හොරකමක්‌. මේක නිකන් හොරකමක්‌ නොවෙයි, රටම වට්‌ටපු හොරකමක්‌.

ප්‍රශ්නය – පළාත් පාලන මැතිවරණය ලබන පෙබරවාරි 10 වන දින පැවැත්වීමට නියමිතව තිබෙනවා. එසේ තිබියදී ජනාධිපතිවරයා විසින් එක්‌සත් ජාතික පක්‌ෂයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දේශපාලන වශයෙන් බලපෑමක්‌ එල්ල කළ හැකි වාර්තා දෙකක්‌ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මැතිවරණයක්‌ අබියසදී ජනාධිපතිවරයා මේ ආකාරයට වාර්තාව දෙකක්‌ ප්‍රකාශයට පත් කළේ එහි වාසිය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රධාන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට ලබා ගැනීමට බවටත් මතයක්‌ පළ වී තිබෙනවා.

ඒ මතය පිළිබඳව ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර – එහෙම අරමුණක්‌ ඇති. ඉදිරි මැතිවරණයේදී වඩාත් අසීරුතාවට පත් වී සිටින්නේ ජනාධිපතිතුමාගේ අපේක්‌ෂක කණ්‌ඩායම. ඒ අය කොතරම් අසීරුවට පත් වී සිටිනවාද කියනවා නම් ඒ අය කියන ජනාධිපති හොරාගේ පිංතූරයත් ඒ අයගේ පෝස්‌ටරයේ දාගන්න සිද්ධ වෙලා. ඒ තරම් අසරණ වෙලා. ඒ වගේ අතෙන් සහ බුලත් කොළයෙන් ඡන්දය ඉල්ලන අය. ඒ අයගේ පෝස්‌ටරයට ජනාධිපතිතුමාගේ ඡායාරූප දාන්නේ නෑ. එයින් පැහැදිලි වනවා ඔවුන් පත් වී සිටින අසීරුතාව. එම අසීරුතාවෙන් මිදෙන්න විවිධ උත්සාහයන් ගන්න බව පේන්න තිබෙනවා. එක්‌ පැත්තකින් ඒකාබද්ධ විපක්‌ෂයේ සිටින අය මිලදී ගන්න හදනවා. විකිණෙන අයට විකිණෙන්න අවස්‌ථාව දීලා තිබෙනවා. අනෙක්‌ අතට කොමිෂන් වාර්තා ගෙනල්ලා අලුත් වටයකින් ගහන්න පටන් අරන් තිබෙනවා. ඒ ආකාරයට එක්‌ එක්‌ විදියේ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

මොනවා වුණත් එක්‌ දෙයක්‌ කියන්න පුළුවන්. ඒ තමයි මේ රටේ ජනතාව පොහොට්‌ටුව දිනවන්න තීරණය කරලා ඉවරයි කියන එක. ගම්වල මිනිස්‌සු බලන් ඉන්නේ ඡන්ද දිනය උදා වනකම්. මිනිසුන් ආර්ථික වශයෙන් බිඳ වැටිලා. කෘෂිකාර්මාන්තය බිඳ වැටිලා. නියඟයෙන් බැට කෑ මිනිසුන්ට වන්දි නෑ. මේ රටේ ඉතිහාසයේ කවදාවත් නැතිව තෙල් නැවක්‌ එනකන් බලන් ඉන්න සිද්ධ වූවා. දැන් හාල් නැවකුයි, පොහොර නැවකුයි එනකම් බලන් ඉන්නවා. දැන් මේ කන්නයේ කාලය අවසන් වී තිබෙනවා. දැන් පොහොර පමා වී ආවාට ඇති වැඩකුත් නෑ. මේක පොහොර ටිකවත් වෙලාවට බෙදා ගන්න බැරි ආණ්‌ඩුවක්‌. මේ ආණ්‌ඩුව බලයට පත් වන විට යුද්ධයක්‌ තිබුණා නම් මොන වගේ විඡ්ජුම්බරයක්‌ සිද්ධ වේවිද? අවුල් ජාලයක්‌ සිද්ධ වේවිද?

මේ අයට මේ රට පාලනය කිරීමට බෑ. පසුගිය අවුරුදු 3 දී ඒක තමයි ඔප්පු කරලා පෙන්වූයේ. මේ අයට පුළුවන් ඔවුන් යටතේ වූ ස්‌වාමීන්ගේ ඉල්ලීම ඉෂ්ට කිරීම පමණයි. ව්‍යවස්‌ථා සංශෝධන ගෙන්නේ එකට. සුමන්තිරන් මන්ත්‍රීතුමා යාපනයේදී ප්‍රකාශ කරා පෙඩරල්වලට වඩා එහා ගිය විසඳුමක්‌ ඔවුන්ට ලැබෙන බව. ඒ වගේම අභ්‍යන්තර ස්‌වයං පාලනය ලැබෙන බව ප්‍රකාශ කර තිබෙනවා. මධ්‍යම ආණ්‌ඩුව සහ බලය පළාත් ආණ්‌ඩුවට ගන්න බවත් ප්‍රකාශ කරලා තිබෙනවා. දෙමළ බෙදුම්වාදීන්ට වෙච්ච පොරොන්දු ඉටු කිරීම මිස ආණ්‌ඩුව යටතේ රටත්, ජාතියත් ඉහළට එසවීමක්‌ සිද්ධ වෙන්නෙ නෑ. මේ ආණ්‌ඩුවේ ඉන්නේ කයිවාරුකාරයන් දෙදෙනකු පමණයි. කයිවාරුකාරයන්ට රටක්‌ කරන්න බෑ. මේ රට කරන්න නම් වැඩ කාරයන් මේ රට භාරගත යුතුයි. කයිවාරුකාරයන්ට රටක්‌ කරන්න බෑ. මේ රට කරන්න නම් වැඩකාරයන් එන්න ඕන. ගිය ආණ්‌ඩුව කළ අය යුද්ධය ජය ගෙන රටේ ආර්ථිකය ශක්‌තිමත් කරලා තමන් වැඩ කාරයන් බව පෙන්වූවා. එදා මිනිසුන් යහපත් ජීවිතයක්‌ ගත කළා. මිනිසුන් මේ අය බලයට ගෙනාවේ වඩා යහපත් ජීවිතයක්‌ ලබා ගැනීම සඳහාය. නමුත් තිබුණ ජීවිතයත් බිඳ වැටී තිබෙනවා. එම නිසා මේ රටේ මිනිසුන් මොනවා කළත්, මොන අවලාද නැගුවත්, මෙම ඡන්දයේදී පොහොට්‌ටුව දිනවීමට තීරණය කරලා ඉවරයි. ඒ සමඟම මේ ආණ්‌ඩුවට ජනවරමක්‌ නැහැ කියන එක ඔප්පු වෙනවා. ඒ සනාථ වීමත් සමඟ ආණ්‌ඩුවට බලයේ ඉන්න බැරි වෙනවා. ආණ්‌ඩුවට දාලා යන්න වෙනවා. ගමේ ඉල්ලන අපේක්‌ෂකයා කළු ද සුදු ද කියන එක වැඩක්‌ නෑ. කවුරු වුණත් දිනවනවා කියන තැනට රටම ඇවිත් තිබෙනවා. එම නිසා අපි ආණ්‌ඩුවට කියනවා බැහැලා යන්න සූදානම් වන්න කියලා.

ප්‍රශ්නය – ඔබ පොහොට්‌ටුව ජය ගන්න බව සඳහන් කළත්, එස්‌. බී. දිසානායක ඇමැතිතුමා නම් ප්‍රකාශ කරලා තිබුණා පොහොට්‌ටුවේ පරාජයත් සමඟ මහින්ද රාජපක්‌ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගනීවි කියලා.

පිළිතුර – එස්‌. බී. දිසානායක වගේ කෙනෙකු කියන දෙයක්‌ පිළිබඳව අපි ඒ තරම් බරපතළ විදියට කල්පනා කළ යුතු නැහැ. මොන තරම් කටවරද්දගෙන පරිප්පු කාපු චරිතයක්‌ද? මම හිතන්නේ ඔය මනුස්‌සයා කියන දේවල් මෛත්‍රී ජනාධිපතිතුමාත් ඒ තරම් ගණන් ගන්නේ නැහැ.

සාකච්ඡා කළේ – එරික්‌ ගාමිණී ජිනප්‍රිය

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*