BREAKING NEWS

රාත්‍රියේ සිරකුටිය වැසිකිලියක් තත්වයට පත්කර නොගන්න රාත්‍රී කෑම නොකා වතුර අඩුවෙන් බොනවා

ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පසුගිය 12 වනදා වන විට ගෙවමින් සිටින්නේ තම සිරගත ජීවිතයේ 63 වන දිනයයි. පසුගිය සඳුදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ ඒ මහතා මාර්තු 20 වැනිදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේය.
එදින විමල් විරවංශ මහතා මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේ තමන්ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදුකර ඇති අගතිය පිළිබඳවත් බන්ධනාගාරය තුළ මුහුණ පා ඇති දුෂ්කරතා, පිළිබඳවත් කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා දෙන ලෙසය. එසේම එදින තමන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනී නොසිටින බවත් ඒ අනුව තමන්ට මෙසේ විවෘත අධිකරණයේ ප්‍රකාශයක් සිදු කිරිමට අවස්ථාව ඉල්ලා සිටින බවත් විමල් වීරවංශ මහතා එහිදී අධිකරණයට දන්වා සිටියේය.

මහේස්ත්‍රාත්වරිය විසින් එවැනි ඉල්ලීමකට ඇති නීති ප්‍රතිපාදන විමසා බලා එම ප්‍රකාශය වාර්තාගත කිරීමට ද (යතුරු ලියනය) කටයුතු යොදමින් ඊට ඉඩ දුන්නාය.

“පළමුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙම උසාවිය නොමඟ යවමින් මට සිදුකර ඇති අගතිය පිළිබඳව සැකෙවින් කරුණු දැක්වීමට බලාපොරොත්තු වෙනවා” යනුවෙන් සිය අදහස් දැක්වීම ඇරඹූ විරවංශ මහතා පැයකුත් විනාඩි 32ක කාලයක් සිය ප්‍රකාශය විවෘත අධිකරණය හමුවේ සිදු කළේය.

එහිදි විමල් වීරවංශ මහතා පැහැදිලි කර සිටියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමන්ගේ ස්වාමීන්ගේ උපදෙස් පරිදි ඉලක්කගත පුද්ගලයන් දඩයම් කිරීමේ ක්‍රියාදාමයක් සිදු කරමින් සිටින බවය.
‘වාහන අවභාවිතයට අනුබල දුන්නේය’ යන චෝදනාව මත මා අත්අඩංගුවට ගෙන මේ අධිකරණය හමුවට පමණුවා දින 54ක් රිමාන්ඞ් බන්ධනාගාර ගතකර රඳවා ගෙන සිටින්නේ එක්සත් ජාතික පක්‍ෂයේ පත් කළ මන්ත්‍රීවරයකු වූ ආශූ මාරසිංහ නැමැත්තා මට විරරුද්ධව ලබා දී තිබෙන කටඋත්තරයක් පදනම්වයි. එහෙත් මගේ නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි වත්මන් රජයේ ද නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ලසන්ත අලගියවන්න මහතා පාවිච්චි කරන ලද වාහනවලට අදාළව මා කලින් පෙන්වා දුන් රියදුරාගේ ප්‍රකාශය, එකී නියෝජ්‍ය අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන මෙම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට හේතුවක් ලෙස මෙම මූල්‍ය අපරාධ කොට්ඨාසයට පෙනී යන්නේ නැහැ.” යනුවෙන් ඒ මහතා පෙන්වා දුන්නේය.
“දැනට පවතින ආරක්‍ෂක තත්වය අයහපත් හෝ යහපත් යැයි කීමට තරම් හැකියාවක් මා සතුව ඇත්තේ නැත. ඒ පිළිබඳව තීරණය කළ යුතුව ඇත්තේ ඊට අදාළ බලධාරීන් විසිනි. නමුත් ස්වාමිනි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ගරු අධිකරණය වෙත දන්වා ඇති පරිදි සවස 5.30 සිට පසුදා පෙරවරු 6:00-6:30 දක්වා මා සිටින සිරමැදිරිය හා එම වාට්ටුවේ තිබෙන සෙසු සිර මැදිරි ද අගුළු දමා වසා දමනු ලබනවා. අදාළ ලිපියේ සඳහන් වන පරිදි ශරීර කෘත්‍යයන් වෙනුවෙන් භාජන දෙකක් මේ සිරකුටිය සඳහා ලැබී තිබුණත් ඒවා ප්‍රයෝජනයට ගතහොත් රාත්‍රිය ගත කිරීමට සිදුවන්නේ වැසිකිලියකට සමාන ස්ථානයක බැවින් මා ඒවා ප්‍රයෝජනයට නොගෙන සිටීම සඳහා රාත්‍රී ආහාරය නොගෙන සිටීමෙනුත් වතුර අඩුවෙන් පානය කිරීමෙනුත් ක්‍රියාකොට තිබෙනවා. අදාළ මානුෂීය අවශ්‍යතාවට බන්ධනාගාරයට දිය හැකි පිළිතුර එය විය හැකි වුවත් මා එය අභියෝගයට ලක් නොකළත් එය මා සම්බන්ධයෙන් විසඳුමක් ලෙස පිළිනොගන්නා බව ගරු අධිකරණය වෙත කාරුණිකව දන්වා සිටිනවා”
තම සිරගත දිවියේ කටුක බව මෙන්ම තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන දේශපාලන දඬයමේ කෲරත්වය රට හමුවේ තබමින් ඒ මහතා පවසා සිටියේය.
-අබර-

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*