BREAKING NEWS

ලංකාවේ මුහුදු සීමාව ධීවර කටයුතු සඳහා ඉන්දියාවට පාවා දෙන්න එපා! – ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි

ශ‍්‍රී ලංකාවේ මුහුදු සීමාව වසර තුනක කාලයක් සඳහා වසරකට දින 83 බැගින් පරිහරණය කිරීමට ඉන්දීය ධීවරයන්ට ලබාදීමට ගෙන ඇති පාවාදීමේ තීන්දුව වහා හකුළා ගන්නැයි ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවට අවධාරණයකර සිටී.

අද(31) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවේදී එහි මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද පැවසීය.

‘‘දෙස්, විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කොට තිබුණා. ‘වසර 03ක කාලයක් සඳහා වසරකට දින 83 බැගින් ඉන්දියාවේ ධීවරයන්ට ශ‍්‍රී ලංකා මුහුදු සීමාව තුළ ධීවර කටයුතුවල නියැලීමට ඉඩ ලබාදීමට දෙරට අතර පැවති සාකච්ඡාවලදී එකගතාවකට පැමිණියා’ කියලා. මෙම මාධ්‍ය වාර්තා පළ වී සතියක පමණ කාලයක් ගත වී ඇතත් ඒවා ප‍්‍රතික්‍ෂේප කිරීමට අදාළ බලධාරීන් කටයුතු කර නැහැ. ඒ නිසා අප හිතනවා, ඉහත මාධ්‍ය වාර්තා සත්‍ය බව.

මේක ඉතාමත් බරපතළ ප‍්‍රශ්නයක්. ගොඩබිම වාගේම මේ මුහුදු සීමාවත් අපේ රටට අයිති එකක්. අපේ රටේ මුහුදු සීමාව ඉන්දීය ධීවරයන්ට පරිහරණයට ඉඩකඩ ලබාදෙන්නේ කෙසේද? එය අපේ රටේ ස්වෛරීභාවය පාවා දීමක් නොවේද? අනෙක දින 83ක කාලයක් ඉන්දීය ධීවරයන් අපේ මුහුදු සීමාව නතුකර ගත්තාට පසුව වසරේ ඉතිරි කාලය බාධාවකින් තොරව ධීවර කටයුතුවල යෙදීමට ඔවුන් අපේ ධීවරයන්ට ඉඩ දේවිද? කියන ගැටළුවද මතු වෙනවා.

විශාල ට්‍රෝලර් යාත‍්‍රා, තහනම් විධික‍්‍රම, තහනම් ආම්පන්න යෙදා ගනිමින් උතුරු මුහුදේ සියලූ ධිවර සම්පත් ඉන්දියාවට සිත් සේ කොල්ලකෑමට ඉඩ දීමයි මෙහිදී සිදුවන්නේ. ‘මේක සුළුවෙන් සලකන්න එපාෟ ඉන්දීය රජයට මේ විදියට දණ නමලා මේ රටේ ධීවර ජනතාවත්, රටේ ස්වෛරීභාවයත් වනසා දමන්න එපා! කියා ජාතික නිදහස් පෙරමුණ ලෙස අපි අවධාරණය කොට සිටිනවා.

ඉන්දියානු ධීවර මාෆියාව විසින් උතුරේ ධීවර ජනතාව දිගින් දිගටම අපහසුතාවට පත් කරමින් සිටිනවා. ඔවුන් උතුරු මුහුදේ මත්ස්‍ය සම්පත කොල්ලකෑවා. අද මේ යහපාලන ආණ්ඩුව ඒ ‘හොරකම, මංකොල්ලකෑම’ නීතිගත කර තිබෙනවා. අද ගිවිසුම් ගහලා හොරකමට ඉඩකඩ සලසා දී තිබෙනවා. මේ ක‍්‍රියාදාමයට මේ රටේ ධීවර ජනතාව කිසිසේත්ම එකග නැති බව ආණ්ඩුව තේරුම් ගත යුතුයි.

ජනවාරි 09 වැනිදා පත්වුණු මේ ආණ්ඩුව, එතැන් සිට මේ දක්වා ඉන්දියාවේ ඕනෑ එපාකම් අනුව මේ රට එහි ‘කොලනියක්’ බවට පත් කිරීමට කටයුතු කරනවා. ඉන්දීය ආග‍්‍රාමාත්‍යවරයා ශ‍්‍රී ලංකාවට ඇවිල්ලා, එක්සත් රටක් තුළ 13න් එහාට ගිය විසඳුමක් ලබාදිය යුතු බවට ප‍්‍රකාශ කරන විට මේ ආණ්ඩුව නිහඩව සිටියා. ඒ විතරක් නොවෙයි තලෙයිමන්නාරම දුම්රිය මාර්ගය විවෘත කරන විට ඊට අදාළ සමරු ඵලකය ඒවා ඇත්තේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගිනුයි. එහි ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ නම් සඳහන්ව නැහැ.

ඉන්දියාව අද බලපෑම් එල්ල කරනවා ‘පලාලි ගුවන් තොටුපළ සිවිල් ගුවන් තොටුපළක් බවට පත් කරන්න’ කියලා. ඉතාම පැහැදිලිව කියන්න ඕනෙ, පලාලි ගුවන් තොටුපළ ගුවන් හමුදාවට අයත් එකක්. ගුවන් හමුදා කඳවුරකයි එය පිහිටා ඇත්තේ. ඒ නිසා ගුවන් හමුදා කඳවුරක සිවිල් ගුවන් තොටුපලක් පවත්වාගෙන යන්න බැහැ. ඒ අනුව ඉතා පැහැදිලියි පලාලි ගුවන් හමුදා කඳවුර ඉවත් කිරිමේ සැලැස්මක් තමයි අද ක‍්‍රියාත්මක වෙන්නේ.

2002-2004 රනිල් වික‍්‍රමසිංහ පාලනය යටතේ තමයි ඉන්දියාවේ ෂධක්‍ සමාගමට ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි බදුදීමේ ගිවිසුමට ඇත්සන් තැබුණේ. එම ගිවිසුමේ පාර්ශ්වකරුවන් වුණේ ශ‍්‍රී ලංකා රජය හා ෂධක්‍ සමාගම දැන් ෂධක්‍ සමාගම වෙනුවට ඉන්දීය රජය සමග මේ ගිවිසුම යළි අත්සන් කිරීමට සූදානම්වන බව අපට ආරංචි වී තිබෙනවා. සමාගමක් සමග අත්සන් කරන ගිවිසුමකට වඩා රාජ්‍ය දෙකක් අතර අත්සන් තැබෙන ගිවිසුමක් ඉතා බලසම්පන්නයි. ඉන්දියාව සමග මෙවැනි ගිවිසුමකට ගියහොත් අනාගතයේදී එය ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට ඉතාමත් අහිතකර ප‍්‍රතිඵල ගෙන දේවි. මේ සියල්ල අනුව ඉතාම පැහැදිලියි ‘වත්මන් ආණ්ඩුව ඉන්දියාවට කොතරම් යටහත් ආකාරයට හැසිරෙනවාද?’ කියා.

මේ ආණ්ඩුව බලයට අවේ ‘රටකට අපමණ අගයක් දෙනවා’ කියලයි. ‘අපමණ අගයක් ලබා දෙන්නේ කවර රටකටද?’ කියා කියුවේ නැහැ. දැන් අපි කාටත් තේරුම් ගන්න පුළුවන් මේ ආණ්ඩුව ඉන්දියාවට අපමණ අගයක් ලබාදී ඇති බව. ‘ඉන්දියාවට ලැබුණා අපමණ අගයක්. ලංකාවට ලැබුණා පොරොවෙන් පහරක්.’ අද සාම්පූර් නාවික හමුදා කඳවුර පොරෝ පහරක් ගැහුවා වගේ ඉවත් කරන්න යන්නේ. පලාලි අධි ආරක්‍ෂිත කලාප, පොරෝ පහරක් ගැහුවා වගේ අයින් කළා. යාපනයේ අධි ආරක්‍ෂිත කලාපයේ අක්කර 1000ක්, පොරෝ පහරක් ගැහුවා වාගේ අයින් කළා. ලංකාවේ ජාතික ආරක්‍ෂාව ඇතුළු වටිනාකම් සියල්ල ඉවත් කරමින් එය දුර්වල කරන්න වත්මන් ආණ්ඩුව පාර කපමින් සිටිනවා. ඒ අතරේ ඉන්දියාවට අපමණ අගයක් ලබාදෙමින් සිටිනවා.

‘දේශපාලන මෙගා නාටකයක්’

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පදනම්කර ගනිමින් අද මේ යහපාලන ආණ්ඩුවේ කොටස්කරුවන් වන ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ මෙගා නාට්‍යයක් රග දැක්වීම අරඹා තිබෙනවා. දින 80ක මේ යහපාලන ආණ්ඩුව ඉතාමත් පිරිහීමකට ලක්ව තිබෙනවා. ‘හොරු අල්ලනවා’ කියලා බලයට ආපු මේ ආණ්ඩුව දින 80 කදි ‘කම්බ හොරුන්’ බිහිකර තිබෙනවා. මහ බැංකු බැඳුම්කර වංචාව හේතුවෙන් ඊයේ(30) වන විට රටට සිදුව ඇති පාඩුව බිලියන 35(කෝට් 3500)යි.

යහපාලනයක් ඇති කරනවා කීවා ලැබුණු යහපාලනයක් නැහැ. ලැම්බෝගිනි හොයනවා කීවා, හොයපු ලැම්බෝගිනියක් නැහැ. රත්තරන් අශ්වයෝ ගැන කීවා සොයාගත්තාද රත්තරන් අශ්වයෙක්’ අන්තිමේදී මේ කියපු දේවල් කළේ නැති වුණාට අමාත්‍ය ධුර 78ක් නම් ලබා දීලා තියෙනවා. කියපු සමාජ ප‍්‍රතිසංස්කරණ කිසිවක් ඉටු කරන්න මේ ආණ්ඩුව අසමත් වුණා. දෙනවා කියපු සහන ජනතාවට ලැබී නැහැ. ඒ නිසා ඉතා පැහැදිලියි වර්තමාන ආණ්ඩුව ජනතාව ඉදිරියේ බරපතළ අපකීර්තියකට, අවමානයකට ලක්ව තිබෙන බව. අද ‘යහපාලන වෙනසක්’ බලාපොරොත්තුවෙන් සිටි පිරිස් වේගයෙන් යහපාලන ආණ්ඩුවෙන් ගැලවෙමින් සිටිනවා. ඒ පිරිස් මහින්ද රාජපක්‍ෂ මහතා වටා ඒකරාශි වීම වළක්වන්නයි අද ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය මේ ‘මෙගා ටෙලි නාට්‍යයක්’ රග දැක්වීම අරඹා තිබෙන්නේ.

අද බිම් මට්ටමින් ඉතා දැවැන්ත ජන බලවේගයක් මහින්ද රාජපක්‍ෂ මහතා වටා එක් වෙමින් සිටිනවා. ‘දිනූ නිදහස අනතුරක’ බව ඔවුන් වටගා ගෙන තිබෙනවා. දැන් ‘දින 100 යහපාලන ආණ්ඩුවේ’ කල්කිරියාව ගැන කලකිරුණු පිරිස මහින්ද රාජපක්‍ෂ මහතා වටා ඒකරාශී වෙමින් සිටිනවා. ඊට පිළියමක් ලෙස මේ ආණ්ඩුව හෙළ උරුමයට හා ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩු විරෝධී සළු පිළි අන්දවා තමන් වෙතින් ගිලිහෙන පිරිස් රඳවා ගන්න හිතනවා. මේ ආණ්ඩුවේ උත්තරීතරම ආයතනය ජාතික විධායක සභාව. එය ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරනවා. ජාතික හෙළ උරුමය ජාතික විධායක සභාව සහ කැබිනට් මණ්ඩලය යන දෙකම නියෝජනය කරනවා. මේ පක්‍ෂ දෙකම මේ දින 80 තුළ රටට සිදු වූ නස්පැත්තියට වගකිව යුතුයි. ඒ නිසා මේ පක්‍ෂ දෙකේ පුහු ආණ්ඩු විරෝධී සටන් පාඨවලට නොරැවටෙන ලෙස අපි ‘යහපාලන දුගඳ’ දැනෙන සියලූ ජනකොටස් වෙතින් ඉල්ලා සිටිනවා.’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-03-31

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*