BREAKING NEWS

ලබන සතියේ අපි රනිල්ට විරුද්ධව විශ්වාසභංගයක් භාර දෙනවා. මහ මැතිවරණයකට සූදානම් වෙන්න – ජානිපෙ නායක විමල් වීරවංශ කුරුණෑගල ජනගග‍ෙන් ඉල්ලයි

ඉදිරි සතියේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් භාර දීමට පාර්ලිමේන්තුවේ සැබෑ විපක්‍ෂය සූදානම් බවත් ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවන බවත් එබැවින් මහ මැතිවරණ ජයග‍්‍රහණයට දැන් සිටම සූදානම් වන ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ප‍්‍රගතිශීලී සියලූ ජනකොටස් වෙතින් ඉල්ලා සිටියි.

ඊයේ(08) කුරුණෑගල වෙලගෙදර ක‍්‍රීඩාංගණය අසල ‘දිනූ නිදහස අනතුරේ – මහින්ද සමග නැගිටිමු’ යන තේමාව යටතේ පැවැති දැවැන්ත ජන රැලිය අමතමින් ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය.

එහිදී විමල් වීරවංශ මහතා සිදු කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

‘‘ලක්මව වෙනුවෙන් උරෙන්උර ගැටී සටන් වැදුණු සත්කෝරලය අද ලෑස්තියි, දෙවන නිදහස් අරගලයේ දෙවන පරිච්ෙඡ්දය ආරම්භ කරන්න. මේ මහා ජන ගග ලෝකයටම කියන පණිවිඩය ඒකයි. සාලින්ද දිසානායක, ටී.බී. ඒකනායක, ජයරත්න හේරත්, තාරානාත් බස්නායක, නිල්වලා විජේසිංහ යන ඇතුගල්පුරයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීතුමන්ලා, ඒ වගේම වයඹ පළාත් සභාවේ මන්ත‍්‍රීතුමන්ලා සමග එක්ව අපි මේ දැවැන්ත වේදිකාව නිර්මාණය කළා.

එදා සුද්දාගේ කතිර කොඩිය බිම දාලා ‘සිංහලේ කොඩිය’ ඉහළට ඔසවන්න ධෛර්ය තිබුණු වාරියපොළ ශ‍්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ නිර්මාණය කරනු ලැබුවේ මේ සත්කෝරලය විසිනුයි. මේ සත්කෝරලය එවැනි වීරයන්, රණකාමී නායකයන් වගේම ජාතියට එල්ල වන අභියෝග ජය ගැනීමට සමත් බලමුළු ගොඩනැගූ පොළොවක්. නුගේගොඩින් පෙබරවාරි 18 වැනිදා ආරම්භ කරලා, මහනුවර, රත්නපුර හරහා සත්කෝරලයට එනකොට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 57ක් සමගයි මේ වේදිකාව නිර්මාණය වුණේ.

අපි සියලූ දෙනා මේ විදිහට එකතු වීමේ අරමුණ කුමක්ද? අපේ ආදරණීය මාතෘභූමිය අද තීරණාත්මක අන්තරායකට මුහුණ දී තිබෙනවා. දැවැන්ත බටහිර වටලෑමකට අපි ගොදුරු වී තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පසුගියදා ශ‍්‍රී ලංකාවට ආවා. මෙසේ වසර 43කට පසුව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයකු ශ‍්‍රී ලංකාවට පැමිණෙන්නේ ඇයි? මෙරට ජනාධිපතිවරණයෙන් පසුව ජෝන් කෙරී ඇමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේදී පවසා තිබුණා ‘ශ‍්‍රී ලංකාවේ සිදු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස කළේ අපියි’ කියලා. අපි දන්නවා, ‘කෙරීලා’ පිටිපස්සේ ඉදලා තමයි මහින්ද රාජපක්‍ෂව එලවන්න වැඩ කළේ. ඇමෙරිකා – ඉන්දියා ඔත්තු සේවා බලඇණි, සල්ලි දීලා එදා ආණ්ඩුවේ මැතිඇමතිවරුන් මිලදී ගත්තා. සිංගප්පූරුවේදී දෙමළ ඩයස්පෝරාවේ ඥානකෝන්ලාගේ නිවෙස් තුළ තමයි මේ සල්ලි ගනුදෙනු සිද්ධ වුණේ. අපි ‘යහපාලන’ ආණ්ඩුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට අභියෝග කරනවා, ‘ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ සිංගප්පූරු බැංකු ගිණුම් පිළිබඳ සොයලා අයථා ඉපයීම් ගැන පුළුවන් නම් නීතිමය පියවර ගන්න’ කියලා.

දැන් අර එක්කෙනෙක් කියනවානේ, ‘මෝඩි ආවා ගහන්න අත්පුඩියක්, කෙරී ආවා ගහන්න අත්පුඩියක්, ඔබාමාත් එනවා. එතකොට ගහන්න බල්ටියක්’ කියලා. බටහිර බලවතුන් ඊළග, ලිබියාව, ඉරානය, සිරියාව බවට ශ‍්‍රී ලංකාව පත් කිරීමට උත්සාහ කරනවා. ජෝන් කෙරී මහත්තයා ඇවිල්ලා කියනවා. ‘දැන් ශ‍්‍රී ලංකාව තුළ නීතියේ අධිපත්‍යය හොඳටම සුරැකේ’ කියලා. අපේ සිරිසේන ජනාධිපතිතුමාගේ චවනයෙන් කියනවා නම් ‘බම්බුව තමයි’.

පාර්ලිමේන්තුව හරහා යමින් නිසි ක‍්‍රියාපටිපාටිය අනුගමනය නොකර බලයට ආපු ගමන් හිටපු අග විනිසුරුතුමන්ව කනෙන් ඇදලා එළියට දැම්මා. ඒ වගේම අගමැතිගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් දමලා තියෙනවා. ඒ කැබිනට් අනුකමිටුව පමණක් නියෝග කරන ‘මූල්‍ය අපරාධ’ පිළිබඳ සොයන්න පොලිස් දඩයම් ඒකකයක් දාලා තියෙනවා. තමුන්නාන්සේලාගේ ආදරණීය මන්ත‍්‍රීවරයා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මැතිතුමා මේ පොලිස් දඩයම් ඒකකයෙන් අත්අඩංගුවට ගත්තේ ඇයි? ජනාධිපතිවරණ කාලයේදී නම් එතුමාට බොරු එතනෝල් චෝදනා එල්ල කළා. ඒවා ගැන දැන් නිශ්ශබ්දයි. අත්අඩංගුවට ගත්තේ සතොසින් ණයට බඩු ගත්තාට. සතොසින් ණයට බඩුගත්තා. පසුව ඒ ණය ගෙව්වා. ඒ්ත් අත්අඩංගුවට ගෙන හිරේ දැම්මා.

‘ණය ගැනීමෙන් හිරේට යාමට සිදුවේ’

ඉස්සර අපි අහලා තියෙන්නේ, ‘ණය ගැනීමෙන් මිතුරත්, මුදලත් දෙකම නැතිවේ’ කියලයි. දැන් ‘ණය ගැනීමෙන් හිරේට යාමට සිදුවේ’ කියලයි කියන්න වෙන්නේ. විපතට පත් වූ අවතැන් පිරිසක් වෙනුවෙන් සතොසින් ලක්‍ෂ 52කට ණයට වඩු අරන් බෙදලා දීලා පසුව ඒ ණය ගෙවපු එකද අද මේ රටේ සිදු වූ ලොකුම මූල්‍ය අපරාධය? අපි මේ රටේ ජනතාවට කියනවා, ‘බැංකුවකින් විතරක් නොවෙයි, සමූපකාරයකින්වත් ණයට ගන්න එපා. මොවුන් ඇවිත් කුදලං යාවි’ කියලා.

මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති උන්නැහේට අපි කියනවා, ‘ඔබ ඇතුළු ඔය දඩයම් ඒකකයේ සියලූ දෙනාට අනාගත මහින්ද රාජපක්‍ෂ පාලනයකදී ජනතාවට වගකියන්න වෙනවා’ කියලා. මේ දඩයම් ඒකකයට නියෝග දෙන්නේ පොලිස්පති නොවෙයි, අගමැති ‘මිස්ටර් ක්ලීන්’. අගමැති පොලිසීයට කෙලින්ම නියෝග දෙන අද පොලිස් රාජ්‍යයක් නොවෙයිද බිහි වී තිබෙන්නේ? ‘අද මේ රට වෙනුවෙන් කැප වූ මිනිසුන් දඩයම් කිරීමේ නීතියේ ආධිපත්‍යය නම් ඉතා හොඳින් සුරකිනු ලැබේ’ කියලයි කියන්න තියෙන්නේ.

ඒ විතරක් නොවෙයි, ජෝන් කෙරී ශ‍්‍රී ලංකාවට ඇවිල්ලා කිව්වා ‘දේශීය යුද අපරාධ විමර්ශන යාන්ත‍්‍රණය බලගන්වන්න අවශ්‍ය තාක්‍ෂණික සහයෝගය අපි ලබාදෙනවා. එහිදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පරීක්‍ෂණ මණ්ඩලයට ලැබුණු සාක්‍ෂිත් යොදා ගන්න’ කියලා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ‍්‍රී ලංකාවට එරෙහි පරීක්‍ෂණ මණ්ඩලය ඉදිරියේදී සාක්‍ෂි දුන් පිරිස් වසර 20ක් යනතුරු හෙළිදරව් කරන්නේ නැහැ. ඒ ආකාරයට ලබාගත්තු විශ්වාසනීයත්වයෙන් තොර සාක්‍ෂි පිළිගන්න කියලයි කෙරී කියන්නේ. මේ කරන්න හදන්නේ, දේශීය යුද අපරාධ විමර්ශන යාන්ත‍්‍රණය මගින් මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු රණවිරුවන් 43ක පමණ පිරිසක් වරදකරුවන් කිරීම. ඔවුන්ට එල්ල කරන චෝදනාව වන්නේ, ‘ශ‍්‍රී ලංකාව තුළ සිදු වූ යුද්ධයේදී සමූහ මිනිස් ඝාතන සිදු කිරීම’ යන්නයි. දෙමළ ජනතාවට එරෙහිව සමූහ මිනිස් ඝාතනයක් සිදු වුණා කියලා දේශීය යුද අපරාධ විමර්ශන යාන්ත‍්‍රණය මගින්ම තහවුරු කිරීම තමයි ජෝන් කෙරීලාගේ උවමනාව.

ඊළග පියවර තමයි, ලබන මහ මැතිවරණයෙන් පසුව උතුරු හා නැග‍ෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීමේ යෝජනාව එම පළාත් සභා දෙක විසින් වෙන වෙනම රැගෙන ඒම. ඒ යෝජනා වෙන වෙනම සම්මත කර ගෙන පළාත් දෙක ඒකාබද්ධ වෙනවා. මේ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය අවශ්‍යයි. මේ සඳහා බොහෝදුරට දැනට සිටින ජනාධිපතිවරයා අවසරය ලබාදෙන්න ඉඩ තිබෙනවා. එසේ අනුමැතිය ලබා නොදුන්නොත් බලහත්කාරයෙන් ඒකාබද්ධ වුණා කියන පදනමේ සිට ඒගොල්ලෝ වැඩ කරන්න පටන් ගන්නවා. ඒ ඒකාබද්ධ පළාත් සභාව තුළ මූල්‍ය ප‍්‍රඥප්ති, පොලිස් ප‍්‍රඥප්ති සම්මත වෙන්න පටන් ගන්නවා. ඉන් පස්සේ මූල්‍ය බලය, පොලිස් බලය හා ඉඩම් බලය අතට අරගෙන නිල නොවන වෙනම පාලනයක් ගොඩ නගන්න පටන් ගන්නවා. මේක තමයි, මහ මැතිවරණයෙන් පසුව ක‍්‍රියාත්මක කිරීමට නියමිත කෙරීලාගේ න්‍යාය පත‍්‍රය. රනිල් වික‍්‍රමසිංහ කල්ලිය සූදානම් වෙනවා, මේ න්‍යාය පත‍්‍රය පහසුවෙන් ඉදිරියට ගෙන යන්න පුළුවන් විදිහට මහ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවට තවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් ගෙන එන්න. 19න් කප්පාදු කරන්න බැරි වුණු විධායකයේ බලතල තවදුරටත් කප්පාදු කිරීමයි එහි අරමුණ. මූල්‍ය බලතල සමග ඉඩම් – පොලිස් බලතල සහිතව ඉහත කී ප‍්‍රාන්තයේ බලය ශක්තිමත් වන විට, විධායකය දුර්වල කරනවා. ඒ ප‍්‍රාන්ත පාලනයෙන් එන බලපෑමට මුහුණ දෙන්න බැරි විධායකයක් හදනවා. මුදුන දුර්වලා කරලා, පරිධිය බලවත් කරනවා. මේක තමයි කෙරීලා මේ අයට බාර දීලා තියෙන සැලැස්ම.

ඒ නිසයි ගජේන්ද්‍රන් පොන්නම්බලම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීතුමා යාපනයේදී කියන්නේ ‘අපි ස්වයං පාලනය දිනා ගන්නේ බහුතර සිංහලයාගේ කැමැත්ත හෝ අනුකම්පාව මත නොවෙයි, ඒක අපට ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන්(ජෝන් කෙරීලාගෙන්) ලැබෙන දෙයක්’ කියලා.

යම්කිසි ජාතිකත්වයකට එරෙහිව සමූහ මිනිස් ඝාතන සිදු වුණා කියලා සනාථ වුණාම, ඒ ජාතිකත්වයේ දේශපාලන නිදහස සහ වෙන්වීම වෙනුවෙන් ක‍්‍රියාත්මක වීමේ බලය එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිමි වෙනවා. ඉන් පසුව අදාළ යෝජනා ගෙනල්ලා සම්මත කරලා එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු – නැග‍ෙනහිර වෙනම පාලනය හදලා දෙනවා.

‘ධවල භීෂණයක්!’

පිරබාහරන් ඇතුළු කොටි ත‍්‍රස්තවාදීන් ජීවිතය දීලා, ‘සමූහ මිනිස් ඝාතනයක් සිදු වුණා’ කියන චෝදනාව නගන්න ජාත්‍යන්තර ප‍්‍රජාවට ඉඩකඩ නිර්මාණය කරලා දුන්නා. දැන් ජෝන් කෙරීලා ඇතුළු පිරබාහරන් පිටුපස සිටි ජාත්‍යන්තර නඩය ඒ චෝදනාව මත මේ පොළොව බෙදන ව්‍යාපෘතිය ඉදිරියට ගන්නවා. ඒ විතරක් නොවෙයි මුස්ලිම් ජනයාට නැග‍ෙනහිර පළාතේ එක් දිස්ත‍්‍රික්කයක අභ්‍යන්තර ස්වයං පාලනයක් ද ලබා දෙනවා. එහෙම ලබාදීලා ටික කාලයකින් එතැන මුස්ලිම් – දෙමළ ගැටුම අවුලූවනවා. එතැනට ISIS එකත් ගෙනඑනවා. ඉන්පසුව ISIS එක දකුණටත් ගෙනඑනවා. දකුණේ සිංහල – මුස්ලිම් ගැටුම අවුලූවනවා. ජෝන් කෙරීලා කිසිම ජන කොටසකට නිදහස, සාමය දීලා නැහැ. ඉතා පැහැදිලියි, මේ රට දඩබිමක්, ලේවිලක්, කැරකෝප්පුවක් බවට පත් කරන්නයි ජෝන් කෙරීලා හදන්නේ.

ජෝන් කෙරී මේ ටික කරන හැටි කියලා දෙන්නයි ශ‍්‍රී ලංකාවට ආවේ. එයා ජනාධිපතිතුමන් හමු වුණා. ‘පිනා අගමැති’ රනිල් හමු වුණා. චන්ද්‍රිකා නෝනා හමු වුණා.(නොනවත්වා දැඩි හූ හඩක් එල්ලවෙයි) මේ සැලැස්ම ක‍්‍රියාත්මක කරන්න නම් ජනතාව රවට්ටන්න  ඕනෙ. දුන්නු පොරොන්දු මේ වන විට ඉටු කරලා ඉවරද? සමෘද්ධිලාභියාට කියපු ගණන වැඩි කළාද? අඩු කරපු විදුලි ගාස්තු යළි අය කරන තත්ත්වයකට අද ඇවිල්ලා තියෙනවා. රාජ්‍ය සේවකයාගේ අතිකාල කපනවා. පළාත් සභාවලට චක‍්‍රලේඛයක් එවා තිබෙනවා මධ්‍යම රජයෙන්, ‘අලූතෙන් කිසිවකු රාජ්‍ය සේවයට බඳවා ගන්න එපා’ කියලා. යළි රාජ්‍ය ආයතන කප්පාදුවට සූදානම් වෙනවා.

උතුරු – නැග‍ෙනහිර පළාත වෙන් වෙන කොට, සිංහල – මුස්ලිම් සහ දෙමළ මුස්ලිම් ගැටුම් ඇවිලෙන විට ඒ අල්ල පනල්ලෙ මොකද වෙන්නේ? රාජ්‍ය ආයතන විකුණා දැමෙනවා. රාජ්‍ය සේවය කප්පාදු වෙනවා. මහජන සහන කප්පාදු වෙනවා. අයිතිවාසිකම් පොඩිපට්ටම් වෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැලලෙනවා. යළිත් බටලන්ද වධකාගාර යුගය නිර්මාණය කෙරෙනවා. මේක තමයි කෙරීලාගේ සමස්ත න්‍යාය පත‍්‍රය. මේකට දිනන්න ඉඩ දුන්නොත් අපේ කොල්ලො ලක්‍ෂ ගණනක් දිවිපුදලා දිනා දුන්නු සාමය මේ පොළොවට නැති වෙනවා. ඒ අපරාධය සිදු වෙන්න ඉඩ දෙන්න බැහැ. ඒ අපරාධය වළක්වන්න පුළුවන් එකම නායකයා මහින්ද රාජපක්‍ෂ නිසා තමයි අදත් අපි මේ විදිහට ඔහු ඉහළින්ම ඔසවා ගෙන එන්නේ.

චන්ද්‍රිකා මැතිනිය කියනවා…(දැඩි හූ හඩ පැතිරේ) ඒ නමට ඒ කරම්ම අකැමති නම් මම එයාට ‘බටකොළ ආච්චි’ කියලා කියන්නම්කෝ.(හූ හඩ නවතී) අර මංගල සමරවීර උන්නැහේ කියනවානේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට වයස 70යි. එයා දැන් මුත්තෙක්’ කියලා. මම මංගල සමරවීරගෙන් අහනවා, ‘මහින්ද මුත්තා නම් චන්ද්‍රිකා බටකොළ ආච්චි නොවෙයිද?’ කියලා. ‘බටකොළ ආච්චි’ හොඳයි. මුත්තා නරකයි. ‘අනෙක් අතට මේ මහින්දට මුත්තා කියන්නේ මංගල කිරිකිත්තා. මංගලට කරන්න බැරි මොන තරම් දේවල් මහින්දට කරන්න පුළුවන්ද?

ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගත්තා. මාවත් ඉදිරි සති දෙක තුළ අත්අඩංගුවට ගන්නා බවට තොරතුරු ලැබී තියෙනවා. මහ මැතිවරණයට පෙර අපි 10-15ක් අත්අඩංගුවට ගැනීමට සැලසුම්කර තිබෙනවා. ඒ විදිහේ ධවල භීෂණයක් සමගයි මේ අය මහ මැතිවරණයකට එන්න හදන්නේ. අපි මේ සත්කෝරලයේ විරෝදාර ජනතාවගෙන් අහනවා, ‘ඒ ගිනියම් මර්දනය පොඩිපට්ටම් කරලා මහින්ද රාජපක්‍ෂ දිනවන කොඩිය අතට ගන්න තමුන්නාන්සේලා සූදානම්ද?’ කියලා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයෝ, අපි ඔය දඩයමට යටත් වෙන්නේ නැහැ. මහින්ද රාජපක්‍ෂ අගමැති කරලා, ජාතික සටන දිනවලා මිසක් අපි ඉදිරියට තැබූ පියවර ආපස්සට ගන්නේ නැහැ.

තවත් කරුණක් මේ මොහොතේ කියන්න තිබෙනවා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරපු සුනිල් ජයසේකර, දැන් ජනාධිපති සහකාර මාධ්‍ය අධ්‍යක්‍ෂ තනතුරකට පත් කරලා තියෙනවා. ඔහුට පවරා ඇති ප‍්‍රධානතම රාජකාරිය වෙලා තියෙන්නේ පුවත්පත්වලට ජාතිකවාදී පදනමින් ලිපි ලියන, ප‍්‍රවෘත්ති සකස් කරන මාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවක් හදන එක. දැන් දඩයම යනවා. දැන් බලන්න, ඊයේ(07) මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා තිබුණා ‘මහින්ද රාජපක්‍ෂ සතුව ඩොලර් බිලියන 18ක වත්කමක් තිබෙනවා’ කියලා. පසුගිය අවුරුදු 10ටම සංවර්ධනය සඳහා රජය වැය කළ මුළු මුදල ඩොලර් බිලියන 05කට වඩා වැඩි වෙන්නේ නැහැ. මංගලට ගණන් බැහැ. එයා අ.පො.ස.(සා.පෙළ) තුන් පාරක් කරලා තුන් පාරම ගණන් ෆේල්. ඊට පස්සේ රට ගිහිල්ලා මෝස්තර නිරූපණයට අදාළ උපාධියක් තමයි අරගත්තේ.ඒ අතරේ එයා කියනවා ‘ඩොලර් බිලියන 18 සමානයි රුපියල් ටි‍්‍රලියන 3.3ක්’ කියලා. අඩු තරමින් මේ හාදයෝ ටික බොරුවක්වත් හරියට කියන්න දන්නේ නැහැ. ඔය බොරු අවලාදවලට මේ ගොඩනැග‍ෙන මහජන රැුල්ල නතර කරන්න බැහැ. මහින්ද රාජපක්‍ෂ කාගෙන්වත් අගමැතිකම් හිගා කන්න ගියේ නැහැ. මහින්ද රාජපක්‍ෂ අගමැති කරන්න ඔය කාටවත් බැහැ. එතුමා මේ රටේ අගමැති කරන්නේ මේ රටේ ජනතාව. අපි සිරිසේන මහත්තයාගෙන් ඉල්ලන්නේ නැහැ ‘මහින්ද රාජපක්‍ෂ අගමැති කරන්න’ කියලා. දැක්කනේ එදා සාකච්ඡාවට ආපු කට්ටිය. ඒ අය සිරිසේන මහත්තයාත් එක්ක ආප්ප කාලා පැනලා ගිය කට්ටියනේ.

‘අනුරගේ කටේ පිට්ටුද?’

අද සිරිසේන මහත්තයාට සිද්ධ වෙලා තියෙනවා ‘ලක්‍ෂ 62 බබා’ නලවන්න. ඒ අතරේ බලනවා ‘ලක්‍ෂ 58 බබාත්’ නලවන්න. ‘ලක්‍ෂ 62 බබා’ නලවනකොට ‘ලක්‍ෂ 58 බබා’ අඩනවා. ‘ලක්‍ෂ 58 බබා’ නලවනකොට ‘ලක්‍ෂ 62 බබා’ අඩනවා. දෙන්නාම එකට නලවන්න බැහැ ජනාධිපතිතුමනි. කවුරුහරි එක බබෙක් තෝරා ගන්න ‘ලක්‍ෂ 62 බබා’ නලවන්න දැන් අධි ආරක්‍ෂිත කලාප ගලවනවා, සාම්පූර් නාවික හමුඳා කඳවුරු ගලවනවා. යූ. එන්. පියේ 47න් 45කටම ඇමතිකම් දුන්නා. ඒ බබා නලවන්න කරන්න පුළුවන් හැමදේම කරනවා. ‘ලක්‍ෂ 58 බබා’ නලවනවා වගේ පෙන්වනවා, බොරුවට ඔළුව අතගානවා. මේ ද්විත්ව රංගනයට වැඩිකල් යන්න බැහැ. වැඩි ආයුෂ නැහැ. ඒ නිසා ඊළග මහ මැතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ අගමැති කරලා මේ රට රැගෙන යන අන්තරායකර ගමනින් මුදවා ගන්න පෙරමුණ ගන්න ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය.

දෙමළ ජාතික සන්ධානය සහ කොටි හිතවාදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සූදානම් වෙනවා, ලබන 19 වැනිදා යාපනයේදී ප‍්‍රභාකරන්ගේ සමරුවක් පවත්වන්න. අද සියල්ල සිදුවන්නේ මේ ආදරණීය මාතෘභූමිය බෙදීයාමේ දිශාවට. පසුගිය ආණ්ඩුව සාමය ඇති කරලා, ජන හදවත් තුළ තිබුණු වෛරය තුනී වෙන්න ඉඩ හැරලා, උතුරට දියුණුව ගෙනල්ලා, අධිවේගී මාර්ග පවා හදමින් සංවර්ධනයත් සමග එකමුතුකම ක‍්‍රමානුකූලව හැදුවා. ඒ ගමන අද සම්පූර්ණයෙන් අනෙක් පැත්තට හරවලා තියෙනවා. බෙදුම්වාදී ව්‍යාපාරය පිනවන දිශාවකට මේ රට හරවලා ඉවරයි. අද රණවිරුන් බැරැක්කවලට ගාල් කරලා ඉවරයි. හැම තැනම හමුදා කඳවුරු ගලවන තීන්දු අරගෙන ඉවරයි. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ දුප්පත් අම්මා, තාත්තාගේ දරුවෝ දිවි පුදලා බේරා ගත්තු මේ මව්බිම නැවත ඒ පරාජිත බලවේගවලට ගිලගන්න ඉඩ දෙන්න එපා!

දින 100 ඉවරයි. ඒ ටිකට කොතරම් හොරකම් සිදු වුණා ද කියා, තමුන්නාන්සේලා දන්නවා. මූල්‍ය අපරාධ කොට්ඨාසය අද ඇයි මහ බැංකු අධිපති ළගට නොයන්නේ? ඔහු සිදු කළේ මූල්‍ය අපරාධයක් නොවෙයිද? මූල්‍ය හුරතලයක්ද? දැන් බලන්න, ජනතා විමුක්ති පෙරමුණ ජෝන් කෙරී ආවාට කිඹුහුමක්වත් ඇරියාද? අපි දන්නා ජනතා විමුක්ති පෙරමුණ නම් එහෙම නැහැ. ජෝන් කෙරී ‘ෆෙඩරල් දෙන්න  ඕනෙ’ කියනකොට අනුර කුමාර කටවත් ඇරියාද? අනුරගේ කටේ ‘ඇමෙරිකන් පිට්ටුද? – ඉන්දියන් පිට්ටුද?’. සෝමවංශ අමරසිංහ සහෝදරයා නොවෙයි රෝහණ විජේවීර සහෝදරයා හිටියත් අද ඔය ජනතා විමුක්ති පෙරමුණෙන් එළියට බහිනවා. අද ජවිපෙ තම මූලික ගමන් මාර්ගයෙන් පිට පැනලා ඉවරයි. එදා ඵෙතිහාසික කාර්යභාරයකට උරදුන්නු ජනතා විමුක්ති පෙරමුණ අද සම්පූර්ණයෙන්ම බටහිර න්‍යාය පත‍්‍රයේ ගොදුරක් බවට පත් වී අවසන්. අද අපට වෙන මගක් නැහැ, ඇත්තේ එකම මගයි. ඒ තමයි, ‘මහින්ද රාජපක්‍ෂ ධජය ඉහළටම ඔසවාගෙන රට වෙනුවෙන් පෙරටම යාමේ මග’. ඒ මග්‍ෙ ඉදිරියට යාමට එක්රොක් වෙන්න, රොද බැඳගන්න.

ලබන සතියේදී අපි රනිල් වික‍්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගය භාර දෙනවා. ඒක භාර දුන්නු ගමන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න වෙනවා. ඒ නිසා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණයක් අපි ලබාගන්නවා. තමුන්නාන්සේලා ලෑස්ති වෙන්න ඉතිරි හරිය හරියට කරන්න. ඒ සඳහා ඔබ සැමට ධෛර්ය, ශක්තිය ලැබේවා! යෝධ බල, යෝධ වීර්ය ලැබේවා!

මාතෘභූමියට ජයවේවා!
මහින්ද රාජපක්‍ෂට ජයෙන් ජයම වේවා!’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-05-09

01 02 03 04 12 20 22 1123 21 19 18 17 16 15 07 08 09 10 14 13

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*