BREAKING NEWS

‘ලබන සතියේ විමල් අත්අඩංගුවට, කියා දැන් ටෙි‍්‍රලර්ස් යවනවා’

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බ‍්‍රහස්පතින්දා සවස එහි බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී පක්‍ෂ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ සහ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් රැස්විය.

එහිදී ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම සහ ආණ්ඩුව විපක්‍ෂ ක‍්‍රියාකාරීන් මර්දනයට ගෙන ඇති පියවර පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

‘‘මාධ්‍ය වාර්තා අනුව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයකු ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර හතළිස් ගණනකට පසුවයි. එතරම් කාලයකට පසු ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයකුට ශ‍්‍රී ලංකාවට පැමිණීමට තිබුණු සුවිශේෂ අවශ්‍යතාව කුමක්ද? ජෝන් කෙරී මහතා පැමිණ සිදු කළ දේවල් නිරීක්‍ෂණය කළාම, ඒ පැමිණීම මට නම් දැනුණේ ‘විදුහල්පතිතුමා, ළමයි පංති කාමරයේ හොඳින් ඉන්නවාද?’ බලන්න ආපු ගමනක් විදිහටයි.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ඔවුන්ගේ කොංග‍්‍රස් මණ්ඩලයට පවසා තිබුණා ‘ශ‍්‍රී ලංකාවේ සිදු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනය අපේ වැඩක්’ කියලා. ජෝන් කෙරී මහතා ශ‍්‍රී ලංකාවට පැමිණියේ ඔවුන් ඇති කළ නව පාලනයට තව උපදෙස් සහ නියෝග ටිකක් දීලා යන්න මිස වෙන දෙයකට නොවෙයි. වෙසක් සමය හේතුවෙන් කිසිඳු බාධාවකින් තොරව තම කටයුතු ශ‍්‍රී ලංකාව තුළ සිදුකර ගන්න පුළුවන් කියන විශ්වාසය ඇතිවයි ඔහු මේ කාලවකවානුවම ඊට යොදා ගන්න ඇත්තේ. වෙසක් සමයේ ‘කෙරී’ නොවෙයි ‘ඔබාමා’ පැමිණියත් බෞද්ධ ජනතාවගේ අවධානය ඒ කෙරෙහි යොමු වන්නේ ඉතාමත් අඩුවෙන්.’’ හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය, ජානිපෙ නියෝජ්‍ය සභාපති පියසිරි විජේනායක මහතා සඳහන් කළේය.

‘‘මෙතෙක් මෙරට දේශපාලන ඉතිහාසය තුළ සිදු නොවූ දෙයක් කිරීමටයි, ජෝන් කෙරීලා දැන් සැරසෙන්නේ. ඒ තමයි බටහිර අධිරාජ්‍යවාදයට අවශ්‍ය කරන ව්‍යාපෘතිය එක්සත් ජාතික පක්‍ෂය ලවා තනියෙන් ඉටු කරවා ගැනීම වෙනුවට, ඒ ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එකතු කරවාගෙන ඉටු කරවා ගැනීම. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ඒ දෙය ඉටු කරවා ගන්නයි ඔවුන් අද සැරසෙන්නේ. ඒකට තමයි ඔවුන් මේ ‘මෛත‍්‍රී – රනිල් – චන්ද්‍රිකා’ කියන අරුම පුදුම හවුල හැදුවේ. මීට කලින් බටහිර කොන්ත‍්‍රාත්තු, මේ පක්‍ෂ දෙක එකට එකතු වෙලා කර ගහන හවුල් නිර්මාණය කරන්න බැරි වුණා. මීට කලින් එක් අයෙක් බටහිර කොන්ත‍්‍රාත්තුවකට කර ගහන කොට, අනෙක් කෙනා ඊට එරෙහිව, රැහැනිව හිටගත්තා. 2001දී රනිල් වික‍්‍රමසිංහ මහතා භාර ගත් බටහිර කොන්ත‍්‍රාත්තුවට එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඒ විදිහටම කර ගැහුවේ නැහැ.

දැන් දෙගොල්ලම එකට එකතු වෙලා බටහිර කොන්ත‍්‍රාත්තුවලට කර ගහන තත්ත්වයක් ඇති කර ගෙන තිබෙනවා. මහ මැතිවරණයෙන් පසුවත් මේ තත්ත්වය පවත්වා ගෙන යන්න මේ අය බලාපොරොත්තු වෙනවා. අපට දැන් පැහැදිලිව මේ අයගේ මාර්ග සිතියම පෙනෙනවා. ඔවුන් අභ්‍යන්තරිකව තීන්දු කර තිබෙනවා, ඔවුන්ගේ අභිලාෂයන්ට බාධාවක් වේ යැයි සිතන 10-15ක විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් ඊළග මහ මැතිවරණයට කලින් හිරේ දමන්න. ඒකට තමයි මූල්‍ය අපරාධ විමර්ශන අංශය කියා අලූත් පොලිස් කොට්ඨාසයක් විවෘත කරනු ලැබුවේ. කෙලින්ම මූල්‍ය අපරාධ පිළිබඳ පැමිණිලි පොලිස්පතිවරයාට භාර නොදී එම කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට භාරදීමට එමගින් සැලසුම් කළා. මූල්‍ය අපරාධ පිළිබඳ පැමිණිලි අගමැතිවරයා ප‍්‍රමුඛ කැබිනට් අනුකාරක සභාවක් මගින් දැන් ඉහත කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කෙලින්ම භාර දෙනවා, පොලිස්පතිවරයාට නොදන්වා. ඒ වගේම මෙම මූල්‍ය අපරාධ විමර්ශන අංශයට කෙලින්ම පැමිණිලි කිරීමට සාමාන්‍ය පුරවැසියකුට බැහැ. මේ අලූතෙන් පිහිටුවපු මූල්‍ය අපරාධ විමර්ශන අංශය භාර ගන්නේ රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ කැබිනට් අනුකාරක සභාව විසින් ලබාදෙන පැමිණිලි විතරයි. මේ රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ කැබිනට් අනුකාරක සභාව පැමිණිලි එවන්නේ තමන්ගේ ‘දඩයම් ලේඛනයට’ අදාළවයි. ජෝන් කෙරීලා මේ රටේ කරන්න හදන ‘සෙල්ලමට’ අතනොගහන කට්ටියක් ඉන්නවා, දේශපාලන පක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හැටියට. ජවිපෙ අනුර කුමාර දිසානායකගේ ආශිර්වාදය ඇතිව මෛත‍්‍රී-රනිල්-චන්ද්‍රිකා හවුල, ජාතික විධායක සභාවට, තමන්ට හීලෑ කරගන්න පුළුවන් පක්‍ෂ දමා ගත්තා. තමන් කරන්න යන කොන්ත‍්‍රාත්තුවට පටහැනිව,   රැහැනිව ගොඩනැග‍ෙන දේශපාලන බලවේග සහ කණ්ඩායම් මර්දනය කිරීමේ න්‍යාය පත‍්‍රය අනුවයි ඉහත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයක් ගොඩනැගුවේ. මේක නීතියට පටහැනියි. පොලිස්පතිවරයා අභිභවා, ඔහුගේ අනුදැනුමෙන් තොරව කටයුතු කිරීමේ බලය මෙම පොලිස් කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී තිබෙනවා.’’ ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

‘‘ජනාධිපතිවරණ කාලයේදී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට එල්ල වුණේ ‘එතනෝල් චෝදනා.’ නමුත් දැන් ඒ කිසිම චෝදනාවක් නැහැ. දැන් අලූතින් චෝදනාවක් හොයාගෙන තියෙනවා, මේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් එතුමා සතොසෙන් ණයට බඩු ගත්තා කියලා. එතුමා රුපියල් ලක්‍ෂ 52ක පමණ බඩු සතොසෙන් ණයට ලබාගෙන පසුව ඒ ණය ගෙවා තියෙනවා. එහෙත් සතොසෙන් ණයට බඩු ගත්තා කියා එතුමා අද හිරේ දමා තියෙනවා. මේක පුදුම රටක්නේ. අවතැන් වූ පිරිසකට දෙන්න සතොසෙන් බඩු ණයට ගෙන පසුව ඒ ණය ගෙවූ බවට උසාවියට රිසිට්පත් ඉදිරිපත් කරද්දිත්, ඒ බව සතොසෙන් දන්වා නැහැ කියා එතුමා හිරේ දමා තියෙනවා. මේ සියල්ල කුරුණෑගල රැලියට බිය වී දමන සෙල්ලම්. පසුගියදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඉදිරියේ උසාවි නියෝග නොතකා උද්ඝෝෂණයක නිරත වූවා යැයි කියන චෝදනාවට නායක ස්වාමීන්වහන්සේලා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු 27දෙනකු උසාවියට කැඳවා ඇත්තේත් හෙට(08) දිනයි. මේ අනුව පෙනෙනවා අපේ පොලීසියට ‘ඉසිවර නුවණ’ තිබෙනවා කියා.’’ ඉහත කී 27 දෙනාගෙන් කෙනෙකු වූ ජානිපෙ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ දැඩි ස්වරයෙනි.

‘‘මේ අනුව ඉතා පැහැදිලියි, ජෝන් කෙරීලාගේ උවමනාවට එරෙහි මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ප‍්‍රමුඛ අපේ දේශපාලන පෙරමුණ මැඩලන්න අද ඉතාමත් නින්දිත දඩයම් මෙහෙයුමක් දියත් වන බව. ‘හොරු අල්ලනවෝෟ හොරු අල්ලනවෝෟ’ කියමින් සිදු කරන්නේ නීතියට පිටින් මේ බලවේගය මර්දනය කිරීමයි. දැන් යූ.එන්.පී. මඩ වෙබ් අඩවිවල ප‍්‍රවෘත්ති යනවා, ‘ලබන සතියේ අහවලා අත්අඩංගුවට ගන්නවා’ කියලා. ඒ කියපු විදිහටම අත්අඩංගුවට ගැනීම් ද සිදු වෙනවා. මේ දවස්වල ‘ලබන සතියේ විමල් වීරවංශ අත්අඩංගුවට’ කියා මේ දින 100 ජුන්ටාවට හිතවත් වෙබ් අඩවිවල ‘ටෙි‍්‍රලර්ස්’ යනවා.

මේ ආණ්ඩුව වැඩ පටන්ගත්තෙම නීතිය කනපිට හරවලා. ‘අග විනිසුරුවරයකු ඉවත් කිරීමට අවශ්‍ය නම් එය සිදු කළ යුත්තේ පාර්ලිමේන්තුව හරහාය.’ කියන නීතිය තුට්ටුවකට මායිම් නොකර ‘බයි ෆෝස්’ ක‍්‍රමයට හිටපු අග විනිසුරුතුමන් පන්නා දමලයි මේ ආණ්ඩුව වැඩ පටන් ගත්තේ. ‘අපට නීතිය වැඩක් නැහැ. සුළුතර ආණ්ඩුවක් හැටියට අපි හැසිරෙන්නේ මෙහෙමයි’ කියලා ඒ අය වැඩට බැහැපු ගමන්ම පෙන්වා දුන්නා. කරුමෙට හරි මේක බහුතර ආණ්ඩුවක් වුණා නම් කොහොම හිටීවිද, ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම නොවෙයිද? කලින් ආණ්ඩුවට මේ අය කිව්වේ ‘ඒකාධිපති’ රෙජීමය කියලා. නමුත් මේ ‘දින 100 පැටියා’ දිහා බැලූවාම ඒකා මොනතරම් ඒකාධිපති ද කියා හිතෙනවා.’’ විමල් වීරවංශ ‘දින 100 පැටියාට’ සහතිකයක් දුන්නේ එහෙමය.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*