BREAKING NEWS

“වැට් පනතට අත ඔසවන මන්ත්‍රීවරුන්ට ඊළඟ ඡන්දයේදී නිසි පිළිතුරු දෙන්න”

Captureජනතාව මත අධික බරක් පටවන වැට් බදු පනත් කෙටුම්පතට පක්‍ෂව අත ඔසවන්නේ කවුදැයි අගෝස්තු 11 වැනිදා මුළු රටටම දැකගත හැකි බවත් එසේ අත ඔසවන මන්ත්‍රීවරුන්ට ඉදිරි මැතිවරණයේදී කිසිදු උදව්වක් නොකිරීමට මෙරට ඡන්දදායයන් අදිටන්කර ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් දැක්වූයේ ඊයේ(06) සීදුව දිනිඳු උත්සව ශාලාවේදී ‘ව්‍යවස්ථා මර උගුල සහ ජාතියේ අවමගුල’ යන මැයෙන් වූ තම දේශන මාලාවේ සිව්වැන්න සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

“ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් බිඳ වැට්ටවීම දේශපාලනමය වශයෙන් අස්ථාවර කිරීම හා ජාතික ආරක්‍ෂාව බිඳවැට්ටවීම යන ත්‍රිවිධාකාරයෙන් බෙලහීන කිරිමේ මෙහෙයුමක් තමයි 2015 ජනවාරි 08 වැනිදා ආරම්භ කෙරුණේ. එමගින් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ගේ හා ඉන්දියාවේ උවමනාව ඉටුකරදීමට මේ රූකඩ ආණ්ඩුව කටයුතු කරනවා.

යුද ජයග්‍රහණයෙන් පසුව මේ රට විශාල සංවර්ධනයක් අත්පත්කර ගත්තා. ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහළ ගියා. දකුණු ආසියාවේ මානව සංවර්ධන දර්ශකයන්හි ඉහළම තැන සිටියේ ශ්‍රි ලංකාව. 2015 ජනවාරි 08 වැනිදා මේ අය බලයට ආවේ ඉන් එහා තැනකට රට ගෙන යනවා, කියලයි. ‘වෙනසකට’ ඡන්දය දුන් තරුණ ඡන්දදායකයෝ කට ඇරගෙන බලා සිටියා රටේ සුඛිත මුදිත තත්වයක් ඇති වෙන තුරු. නොමිලේ වයි-ෆයි අරගෙන, රැකියා දශලක්‍ෂයෙන් එකකුත් ලබාගෙන, පුංචි කාර් එකකුත් අරගෙන ඒවා පෙන්වලා පෙම්වතියකුත් හොයාගෙන, විවාහ රෙජිස්ට්‍රාර් ගාස්තුත් නැතිව කසාදයකුත් කරගෙන සතුටින් ඉන්නයි මේ තරුණ පිරිස බලාපොරොත්තු වුණේ. නමුත් මේ අය බලයට ආපු දවසේ ඉඳලා මේ සිහින සියල්ල බිඳ වැට්ටුවා.

ආර්ථිකය බිඳ වැටීම

අපි මුලින්ම බලමු ආර්ථිකය බිඳ වැටෙන ආකාරය. අද රුපියල අවප්‍රමාණය වන ආකාරයෙන් පෙනෙනවා රට ඇද වැටිලා තිබෙන තැන. මේ ආකාරයෙන් රුපියල බංකොලොත් වූ යුගයක් ශ්‍රී ලංකා ඉතිහාසයේ තිබුණේ නැහැ. 2015දී රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක් අපේ ණය බර රුපියල් බිලියන 285කින් ඉහළ ගොස් තිබෙනවා. අපේ ආණ්ඩුව කාලයේ ඩොලර් බිලියන 08ක පමණ විදේශ වත්කම් සංචිතයක් මේ රට සතුව තිබුණා. එය මේ වන විට ඩොලර් බිලියන 05කට පමණ අඩු වි තිබෙනවා. මහ බැංකු බැඳුම්කර වංචාව නිසාත් මේ රටේ ආර්ථිකයට සිදු වී ඇති පාඩුව ඉතාමත් බරපතළයි. ‘බැඳුම්කර වංචාව නිසා සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 1.67ක් පමණ වෙනවා’ කියලා විගණකාධිපතිවරයා පසුගියදා කෝප් කමිටුවට ලබාදුන් වාර්තාවේ සඳහන් වෙනවා. මේ මහ බැංකු මගඩිය නිසා ලංකාවේ ණය බර තවත් වැඩි වුණා. බැංකු ණය පොලී අනුපාතිකය 14%ට වඩා ඉහළ ගියා. අද කෝටි ගණන් මුදල් අච්චු ගහනවා. ඒ සමඟම උද්ධමනය ඉහළ යාමත් සිදු වෙනවා.

මේ විදියට අපේ රටේ ආර්ථිකය බිඳ වැටෙන කොට තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(ෂඵත්‍) ‘පිහිටට’ එන්නේ. ෂඵත්‍ එක දැන් මේ රූකඩ ආණ්ඩුවේ බෙල්ලෙන් අල්ලලා හොල්ලන ගමනක් කියනවා ‘විදේශ විනිමය සංචිතය තරකර ගන්න මහජනයාගෙන් බදු අය කරලා හැකි පමණ මුදල් හොයා ගන්න. එහෙම කළාට පස්සේ අපි ඉතිරි මුදල් දෙන්නම්’ කියලා. ඒ ෂඵත්‍ ඉල්ලීමට අනුව තමයි අගමැතිවරයා සහ මුදල් ඇමතිවරයා ජනතාව මත අධික බදු බරක් පටවනු ලැබුවේ. වැට් බදු පනත පාර්ලිමේන්තුවේදී සංශෝධනය නොකර, පවතින නීතියට පටහැනිවයි බදු වැඩිකළේ. ඒ නිසයි අපි ඊට එරෙහිව උසාවි ගියේ. එහිදී අනීතික ලෙස බදු අය කිරිම නතර කිරීමට අපට හැකිවුණා.

‘වැට් බදු පනතට එරෙහි නොවන්නේ කවුද?

නමුත් දැන් මේ බදු බර යළි පටවන්න, අදාළ පනත් කෙටුම්පත අගෝස්තු 10 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන එනවා. මේ ආණ්ඩුව මහ දවාලේ ජනතාවගේ මුදල් ‘පික්පොකට්’ ගහපු එකයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නතර කළේ. ඒ නිසා දැන් ජනතාවට බලන්න පුළුවන් තමන් කතිරේ ගහලා යවපු නියෝජිතයන් කටයුතු කරන ආකාරය. ‘අධික බදු බරක් පටවන මේ පනතට පක්‍ෂව අත ඔසවන්නේ කවුද?, විරුද්ධව නැඟී සිටින්නේ කවුද?’ කියා අගෝස්තු 11 වැනිදාට ජනතාවට දැකගත හැකියි. මේක බලන්න වටිනා ජවනිකාවක්. මේ රටේ ව්‍යාපාරික සංගම් අගෝස්තු 09 වැනිදා සියලු කඩ සාප්පු වහලා වැට් බදු පනතට විරෝධය දැක්වීමට සූදානම් වෙනවා. ඔවුන් ප්‍රධාන කාරණා දෙකක් කියනවා. පළමු එක තමයි, මේ වැට් බදු වැඩිකිරීම දරාගත හැකිවන පරිදි අඩු කිරීම. දෙවැන්න, මේ පනතට අත ඔසවන කිසිදු පාර්ලිමේන්ත මන්ත්‍රීවරයකුට ඊළඟ ඡන්දයේදී ‘සත 05ක’ උදව්වක් කරන්නේ නැහැ, කියන එක. ව්‍යාපාරිකයන් පමණක් නොවෙයි මේ රටේ පොදු ජනතාවත් මේ අපරාධකාරී පනතට අත ඔසවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊළඟ මැතිවරණයේදී ‘සතයක’ උදව්වක් නොකළ යුතුයි. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රටේ බදු ගැසීමට අත තියන්න පුළුවන් වුණා. ඊළඟට ඔවුන් දෙන වට්ටෝරුවට අනුව ආර්ථිකය බෙලහීන කරන අණ පනත් ටිකත් ගෙන එන්නයි මේ අෘණ්ඩුව සූදානම් වෙන්නේ.

ඒ අනුව ආර්ථික සංවර්ධන(විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත, නමින් පනත් කෙටුම්පතක් එනවා. එමගින් රටේ ඕනෑම වාණිජ දේපළක් අත්පත්කර ගෙන විදේශ සමාගමකට විකිණීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට ලැබෙනවා. ඒ වගේම බැංකු පනත සංශෝධනය කරලා රාජ්‍ය බැංකු පෞද්ගලීකරණයට ෙම් අාණ්ඩුව IMF උපදෙස් අනුව සූදානම් වෙනවා. රේගු ආඥා පනත සංශෝධනය කිරීම, වගේම බීජ පනත, සෞඛ්‍ය සේවා අධිකාරී පනත, ආදී පනත් සියල්ල ගෙන එන්නේ IMF උපදෙස් අනුව මේ රට සමාජ-ආර්ථික වශයෙන් බෙලහීන කරන්නයි.

‘දේශපාලන අස්ථාවරභාවය‘

දේශපාලන වශයෙන් මේ රට අස්ථාවර කිරීම සඳහා තමයි, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට මේ ආණ්ඩුව කඩිමුඩියේ සූදානම් වෙන්නේ. ‘මේ නව ව්‍යවස්ථාව කුමනාකාරයේ එකක්ද?’ කියන එක අපට වටහා ගන්න පුළුවන් ලාල් විජේනායක මහතා සභාපතිත්වය දැරූ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව’ මගින්. මේ කමිටු වාර්තාවේ අපූරු නිර්දේශ ගණනාවක් තිබෙනවා. දිවි දීලා රැකගත්තු ‘රටේ ඒකීයභාවය’ ඉවත් කිරීම, බුද්ධාගමට මෙතෙක් ලබාදී තිබූ ප්‍රමුඛස්ථානය ඉවත්කර මේ රට අනාගාමික රාජ්‍යයක් බවට පත් කිරීම, සමලිංගික සේවනය නීතිගත කිරීම ඒ අතර වෙවා. මේක බෙදුම්වාදයට උඩගෙඩි දෙන ව්‍යවස්ථාවක් ගෙන ඒමටයි මේ අය හදන්නේ. ජනතා විරෝධය නිසා එහෙම බැරිවුණොත් නව ව්‍යවස්ථාව ගෙන ඒම වෙනුවට 13වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් ඉඩම්, පොලිස් බලතල පළාත් සභාවලට දේවි. රට දෙපලු වන දිසාවට මේ අය එවැනි පියවරක් තැබුවහොත් උතුර එක් අන්තවාදයකටත් නැගෙනහිර තවත් අන්තවාදයකටත් නතු වේවි. එහි තර්කානුකූල ප්‍රතිඵලය ලෙස මතවාදී විවිධත්වයට ඉඩ තිබෙන දකුණත් අන්තවාදයේ ග්‍රහණයට හසුවේවි. ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ටත් ඉන්දියාවටත් අවශ්‍ය වී ඇත්තේ එයයි. අන්තවාදයන් තුනක් අතට සිංහල. දෙමළ, මුස්ලිම් සමාජ භාර කළාම ඒ අන්තවාදයන් තුන මරා ගන්නවා. අවසානයේදී මේ රට අශිෂ්ට අවිචාර දඩබිමක් බවට පත් වෙනවා. අන්න ඒ දෙය සිදුවන විට රටේ ජාතික ආරක්‍ෂාව බිඳ වැටී තිබෙන්න ඕනේ. ඒ සඳහා ආරක්‍ෂක හමුදා දුර්වල වී තිබිය යුතුයි.

ජාතික ආරක්‍ෂාව බිඳ වැට්ටවීම

ජාතික ආරක්‍ෂාව බිඳ වැට්ටවීම සඳහා වන මෙහෙයුම ජීනිවා මානව හිමිකම් කවුන්සිලය හරහා ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන් විසින් දියත්කර තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් රැගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මේ රූකඩ ආණ්ඩුවේ විදේශ අමාත්‍ය මංගල පින්සිරි සමරවීර අත එසවූවා. මේ රටේ ජනාධිපතිවරයාට හදිසි අවස්ථාවකදි පළාත් සභාවක් සතු බලතල තමන්ට පවරා ගැනීමට මහජන ආරක්‍ෂක ආඥා පනතින් බලය ලැබී තිබුණා. ඉහත කී ජිනිවා යෝජනාව අනුව මහජන ආරක්‍ෂක ආඥා පනත සංශෝධනය කිරීමට මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා එකඟ වී තිබෙනවා. එවිට ජනාධිපතිවරයාට මෙතෙක් තිබූ පළාත් සභාවක බලතල පවරා ගැනීමේ බලය අහෝසි වෙනවා. ඒ විතරක් නොවෙයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ද ජිනීවාවලදී මේ අය එකඟ වුණා. එම පනත අහෝසි වූවාම එම පනත යටතේ නඩු අසා දඬුවම් දීපු කොටි ත්‍රස්තවාදීන් සියලු දෙනා නිදහස් වෙනවා. මේ අනුව බිඳ වැටෙන්නේ මේ රටේ ජාතික ආරක්‍ෂාව.

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක්!

ඒ වගේම රටේ ආරක්‍ෂක හමුදාවන් දුර්වල කිරීමේ, සහ රණවිරුවන් දඩයම් කිරීමේ උවමනාවෙන් දැනටමත් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. මේකත් ජිනීවා එකඟතා අනුව පිහිටුවනු ලබන ආයතනයක්. ‘අතුරුදහන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරිමේ’ මුවාවෙන් පිහිටුවනු ලබන මෙම කාර්යාලය යුද්ධය ජයග්‍රාහීව නිමා කරපු රණවිරුවන්ට එරෙහිව චෝදනා ගොඩනගන ෆැක්ටරියක් බවට පත් වෙනවා.

ඒ වගේම විශේෂ යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙමගින් අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය හරහා ලැබෙන රණවිරුවන් පිළිබඳ බරපතළ චෝදනා විභාගයට ගැනීමට නියමිතයි. මේ අනුව රණවිරුවන් දඩයමට අවශ්‍ය නීතිමය ඉඩකඩ මේ ආණ්ඩුව හදමින් සිටින බව පැහැදිලියි. මේ බරපතළ මාතෘකා සියල්ල සමාජ සංවාදයට ලක්වීමට තිබෙන ඉඩකඩ රතු අලිපැටියා ඇතුළු ජවිපෙ නායකයන් විසින් අහුරනවා. රටට සිදු වෙමින් තිබෙන මේ විපත ගැන ඔවුන් අද වචනයක් කතා කරන්නේ නැහැ. තම පක්‍ෂයේ 60,000ක් මරා දමපු එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන්, මහින්ද රාජපක්‍ෂට වඩා හොදයි, කියලයි එයා කියන්නේ.

‘එට්කා සහ හනුමන් පාලම’

මේ සියල්ල මැද්දේ මේ ආණ්ඩුව මේ රට තවදුරටත් බෙලහීන කරන ගිවිසුමකට එළඹෙන්න හදනවා. ‘එට්කා’ නම් වූ ඒ ගිවිසුමින් මේ රටේ සේවා ආර්ථිකය ඉන්දියාවට සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙනවා. මේ රටේ දරුවන්ගේ රැකියා ටික ඉන්දියානුවන්ට ගිලගැනීමට ඉඩ හදලා දෙන කොන්ත්‍රාත්තුවක් තමයි මේ ආණ්ඩුව අද ඉටුකරමින් ඉන්නේ. තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ සිට සිල්ලර වෙළදාම දක්වා වූ සියලු සේවා මේ ගිවිසුම මගින් ඉන්දියානුවන්ට විවෘත වෙනවා. ඉන්දියාවේ විරැකියාව මිලියන 22යි. ඉන් මිලියන 2ක් ආවත් අපේ අයගේ රැකියා අවස්ථාවන් අහිමි වීමට ඉඩ තිබෙනවා.

ඒ අතරේ දනුෂ්කොඩි සිට මන්නාරම දක්වා වූ පාලමක් හැදීම සඳහා වූ දෙරටේ ඉහළ පෙළේ සාකච්ඡා අවසන් වූ බව අනාවරණය වී තිබෙනවා. ඉන්දුනිසියාවේ පැවැති ආසියානු ඉස්ලාමීය සමුළුවේදී කබීර් හෂිම් ඇමතිවරයා මේ බව පවසා තිබුණා. අපි සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගෙන් මේ පිළිබඳ විමසා සිටියා. එය බොරුවක් බවයි එහිදී ඔහු පැවසුවේ. එදා ආවේ එක හනුමයි. ඒ පාලම හැදුනාම ඉන්දියාවේ සිට හනුමාන්ලා කෙල කෝටියක් පැමිණේවි. පාලම ඉදි කළොත් මේ රට ඉන්දියාවේ 30 වැනි ප්‍රාන්තය වීම වැළැක්වීමට බැහැ. චීනයට යළි ‘පෝට් සිටියේ’ වැඩ ඇරඹිමට දුන්නාම ඉන්දියාවේ මූණ ‘නාලු’ වුණා. ඉන්දියාවේ මූණ හොද කරන්නයි මේ අය මේ මහා පාවාදීම සිදු කරන්නේ.

“ආසියාවේ දියාගෝ ගාර්ෂියාව”

ඒ විතරක් නොවෙයි මේ විදියට අපේ රටේ ජාතික ආරක්‍ෂාව බිඳ වැටිලා හමුදාව දුර්වල වුණාම, සැබෑ වෙන්නේ ත්‍රිකුණාමලය තවත් ‘දියාගෝ ගාර්ෂියාවක්’ බවට පත්කර ගැනීමේ ඇමෙරිකා එක්සත් ජනපද සිහිනය නොවේද? ඒ සිහිනය සැබෑ වීමට ඔවුන්ට අවශ්‍ය, අපේ ආර්ථිකය බෙලහීන වීම සහ සිංහල. දෙමළ, මුස්ලිම් අන්තවාදයන් අතර ඉදිරියේදී ඇතිවන මරා ගැනිල්ල මැඩලීමට අපේ ආරක්‍ෂක හමුදා අසමත්වීම යන තත්වයන් මේ ආණ්ඩුව අද ඉතා සූක්‍ෂ්මව ඉටුකර දෙමින් සිටිනවා. අවසානයේදී සාම සාධක හමුදාවක් ලෙස පැමිණෙන ඇමෙරිකා එක්සත් ජනපද හමුදා ත්‍රිකුණාමලය ඔවුන්ගේ මිලිටරි තිප්පොළ බවට පත්කර ගනිවි.

මේ පරගැති ගමනට විරුද්ධව මේ රටේ සියලු දේශමාමක ජනතාව ඉදිරියට පැමිණිය යුතුයි. මේ පරගැති ගමන පැරදවිය යුතුයි. ඒ සඳහා ඔබ සැමට ධෛර්ය, ශක්තිය ලැබේවා.!

මාතෘභූමියට ජයවේවා!
පරගැති ආණ්ඩුව භංග වේවා!”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.08.07

 

13667934_986795334771620_3827324570966760395_o

13909319_986795064771647_5631854040320710073_o

13923556_986795224771631_697365147536460443_o

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*