BREAKING NEWS

“විපක්ෂයේ ඉඳිමින් ජනතාවට බොරු කළා හොඳටම ඇති. පා.ච රණවකලා ගත් මග ගනිමින් දැන් කෙලින්ම ආණඩුවට යන්න”

Captureආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහිව ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් පාද යාත්‍රාවක යෙදුණු විට ඊට වඩාත්ම එරෙහිව කටයුතු කළ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ සංවිධායකවරයා දැන් කළ යුත්තේ තවදුරටත් තම විපක්‍ෂයේ රතු කොඩිය ‘සිරිකොතේ වලං ඇල්ලීමට’ නොදී පා.ච රණවකලා ගත් මඟ ගනිමින් ආණ්ඩුව තුළට යාම බව ජාතික නිදහස් පෙරමුණේ නායක, ජන සටන පාද යාත්‍රාවේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ (01) කොළඹ ලිප්ටන් වටරවුමේදී ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවැති පාද යාත්‍රාව අවසන් කිරිමේ යෝධ ජන රැලිය අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුවට අවුරුද්දයි මාස අටක් වන විට ‘ගෙදර යන්න මහත්තයෝ’ කියන පණිවිඩය දීමට අද(01) ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් ලිප්ටන් වට රවුමට පැමිණ තිබෙනවා. අපි එන්න හිටියේ හයිඞ් පාර්ක් පිටියටයි. මේ වන විට හයිඞ් පාර්ක් පිටිය ‘සංවර්ධනය’ කරන්න පටන් අරන් වලවල් කපලා තිබෙනවා. ‘වලවල් හාරන්න සිරිසේන- වික්‍රමසිංහ මහත්වරුනි, දේශපාලන වශයෙන් අපට නුඹලාගේ කුණුකය වලලන්න, මේ විදියට පිට්ටනිවල තවතවත් වලවල් හාරන්න’ කියලා අපි කියනවා. මේ අයගේ දේශපාලන අවමංගල්‍ය උත්සවය’ පවත්වන්න දැන් කාලය ඇවිත් තිබෙනවා. මේ ජෝඩුවට මතක වස්ත්‍ර දෙන්න හාමුදුරු කෙනෙක් හොයා ගන්න ලැබෙන්නේ නැහැ. මේ ආණ්ඩුව වැඩ පටන්ගත්තේ හාමුදුරුවරු හිරේ දමලයි.

සිරිසේන මහත්තයා කවදාවත් හිතලා නැහැ මේ රටේ ජනාධිපති වෙන්න. වික්‍රමසිංහත් හැමදාම ‘කොඩිය’ ගන්න ලිස්සන ගහේ නගිනවා. ඒත් රූටලා වැටෙනවා. කොඩිය ගන්න පුළුවන් වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. රටේ කරුමෙට සිරිසේන ජනාධිපති වුණා. වික්‍රමසිංහ කොඩිය ගත්තා. මේ අය දැන් හිතනවා ‘ඕනෙ කෙළියක් අපට ඕනෙ විදියට කරනවා’ කියලා. ඒකට හරියන විපක්‍ෂ සංවිධායකවරයකුත් ඉන්නවා. එයා තමයි අර රතු අලි පැටියා. එයා දැන් ‘යහපාලන ඔඩොක්කුවේ’ නැලවෙනවා. මේ පාද යාත්‍රාව ආවේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියට එරෙහිවයි. දෙමුහුන් අධිකරණ හදලා රණවිරුවන් දඩයම් කිරීමට සහ බෙදුම්වාදයට පණ දෙන ව්‍යවස්ථා මර උගුලක් අටවන එකට එරෙහිවයි. ඒ විතරක් නොවෙයි එට්කා ගිවිසුම ගහලා මේ රටේ සේවා ආර්ථිකය ඉන්දියානුවන්ට විවෘත කිරීමට එරෙහිවයි. පොහොර සහනාධාරය කපලා ගොවියා ගොවිතැනින් ඈත් කරන එකට සහ ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්, මහ සඟරුවන ඉලක්කකර ගෙන යන දේශපාලන දඩයමට එරෙහිවයි.

දැන් ‘රාජපක්‍ෂ’ කියන නම ඇහුණොත් හිරේ දමන්නයි හදන්නේ. විජේදාස රාජපක්‍ෂ මහත්තයෝ ඔයා පරෙස්සම් වෙන්න. රාජපක්‍ෂලා ටික ඔක්කොම හිරේ දමලා ඉවර වුණාම ඔහේවත් හිරේ දමන්න ඉඩ තිබෙනවා. ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් මේ විදියට පාරට බැස්සේ සිරිසේන-වික්‍රමසිංහ ජෝඩුවට පණිවිඩයක් දෙන්නයි. වික්‍රමසිංහ නම් ලංකාවේ නැහැ. ඉන්දුනීසියාවේ ගිහින්ලු. සිරිසේනට යන්න රටක් තවම නැහැ.

මේ විදියට එකතු වුණු ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව දුන්නු පණිවිඩය කුමක්ද? ‘එට්කා ගිවිසුම ගහන්න එපාෟ දෙමුහුන් අපරාධ අධිකරණ හදන්න එපාෟ රණවිරුවෝ දිවි පුදලා පණ දීපු ඒකීය රාජ්‍යයට අත තියන්න එපාෟ එහෙම කළොත් වටලනවා මුළු කොළඹම. නවත්තපල්ලා නුඹලාගේ දේශපාලන දඩයම, වැට් බද්ද 15% කරලා ජනතාව මත පටවපු අධික බදු බර ඉවත් කරපල්ලා, නැත්තම් වටලනවා මුළු කොළඹම. අද ආවේ ලක්‍ෂයයි, දෙකයි නම් ඉහත ඉල්ලීම්වලට ඇහුම්කන් නොදුන්නොත් ලක්‍ෂ 05,10,20,30, ඇවිල්ලා මුළු කොළඹම නතර වෙනවා. බැහැලා පලයල්ලා. බැහැලා යනතුරු අපි කොළඹින් හෙල්ලෙන්නේ නැහැ’ කියන එකයි ඒ පණිවිඩය.

මේක පොඩි පූර්විකාවක් පමණයි. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියට විරුද්ධව ලක්‍ෂ ගණන් ජනතාව පාරට බහින විට අද කවුද කුලප්පු වෙලා තියෙන්නේ? විපක්‍ෂ සංවිධායකවරයා. ආණ්ඩුවට විරුද්ධව විපක්‍ෂයේ කොටසක් පාරට බැස්සාම ඒකට විරුද්ධව කටමැත දොඩවන්නේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ සංවිධායක. එතකොට මේ රතු අලි පැටියා කාගේ විපක්‍ෂ සංවිධායකද? මෙයා රනිල්ගේ ඔඩොක්කු කුක්කෙක් නොවෙයිද? අද ජවිපෙ රතු කොඩිය මෙයා සිරිකොතේ වලං අල්ලන්න දීලා නැද්ද? අපි රතු අලි පැටියාට කියනවා ‘විපක්‍ෂයේ ඉඳන් තමන්ගේ පක්‍ෂයේ රතු කොඩිය සිරිකොතේ වලං අල්ලන්න නොදී අර පා.ච රණවකලා ගත් මඟ ගනිමින් යන්න කෙලින්ම ආණ්ඩුව ඇතුළට’ කියලා

අපේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදුන්නොත් අපි මෙවැනි පා ගමනකින් ලක්‍ෂ ගණනින් කොළඹට එමු. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මන්දිරයෙන්, රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයෙන් බැහැලා යනතුරු අපි කොළඹ පදිංචි වෙමු. ‘කවර මර්දනයක් ආවත් ඒකට යට නොවී රට වෙනුවෙන් පෙරට එන්න ලක්‍ෂ ගණනක ජනතාවක් ඉන්නවා’ කියලා. අද ඔප්පු කළ ඔබ සැමට අපගේ ප්‍රණාමය පුද කරනවා.

ඔබ සැමට ජයවේවාෟ
මාතෘභුමියට ජය වේවාෟ
මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ට ජයවේවාෟ
ඒකාබද්ධ විපක්‍ෂයට ජය වේවාෟ

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.08.02

 

13641296_983215715129582_7640246105759433013_o

13723929_983217198462767_6581595936240955046_o

13920018_983215335129620_4037976459654981408_o

 

13923825_983217375129416_7334683901643282890_o

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*