BREAKING NEWS

‘විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය ළමයකුට දෙන්න’ – ජානිපෙ නායක විමල් වීරවංශ

    අද පාර්ලිමේන්තුවේ විපක්‍ෂ සංවිධායකවරයා විහිළුකාරයකුගේ තත්ත්වයට ඇද වැටී ඇති බවත් එම ධුරය ළමයකුට ලබා දුන්න ද මීට වඩා හොඳින් එම ධුරයේ කටයුතු ඉටු කරනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ(05) ජාතික නිදහස් පෙරමුණේ බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

‘‘මේ ආණ්ඩුව සූදානම් වෙනවා දීපවාලී උත්සවයට කලින් ප‍්‍රබල එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් නිදහස් කරන්න. අනෙක් පැත්තෙන් හිටපු ආරක්‍ෂක හමුදා ප‍්‍රධානීන් විවිධ චෝදනා යටතේ ජනාධිපති කොමිෂන් සභාවලට, මූල්‍ය අපරාධ කොට්ඨාසයට දිනපතා, සතිපතා කැඳවනවා. අධිකරණ අමාත්‍යවරයා ප‍්‍රකාශ කොට තිබෙනවා ‘පළමුව ලෙහෙසියෙන් නිදහස් කළ හැකි කොටි සැකකරුවන් දීපවාලියට පෙර නිදහස් කරනවා. නීතිපති උපදෙස් අනුව ඉතිරි කොටස දෙවැනි වටයේදී නිදහස් කරනවා’ කියලා. එල්.ටී.ටී.ඊ. සැකකරුවන් සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට මේ තරම් අනුකම්පාවක් ඇති වෙන්න හේතුව කුමක්ද? මේ අය බලයට පත්වීමට පෙර ඇති වූ එකගතාවක් නොවෙයිද මේ ක‍්‍රියාත්මක වන්නේ? මේ ක‍්‍රියාත්මක වන්නේ දෙමළ ඩයස්පෝරාවෙත්, දෙමළ ජාතික සන්ධානයේත් උවමනාව.

අද ක‍්‍රියාත්මක වන්නේ බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් පමණයි. ජනතාවට ලබා දෙන සහන පිළිබඳ බොහෝ සුරංගනා කතා කිව්වා. නමුත් තිබූ තත්ත්වයට සාපේක්‍ෂව බඩු මිල දිනෙන් දින ඉහළ යනවා. එදා රුපියල් 140කට තිබූ පරිප්පු කිලෝව අද රුපියල් 220යි. අද මාළු මිරිස් කරලක් කන එක පවා සිහිනයක් බවට පත්ව තිබෙනවා. මේ ආණ්ඩුවට රක්තවර්ණ සුජාතභාවයක් පිරිනමපු ඇතැම් පිරිස් මේ පිළිබඳව කටක් අරින්නේ නැහැ. ඔවුන්, පසුගිය ආණ්ඩුවට අදාළව යම් චෝදනාවක් තිබුණා නම් එය මේ ආණ්ඩුවේ අවධානයට යොමු කරවන්න විතරයි කට අරින්නේ.

ජවිපෙ නායකයා ඇවන්ගාර්ඞ් සිදුවීම පිළිබඳ විශාල ඝෝෂාවක් කළා. නමුත් පසුගිය(04) පාර්ලිමේන්තුවේදී පොලීසිය භාර අමාත්‍යවරයා පැවසුවා ‘ඇවන්ගාර්ඞ් සිදුවීම මිලේනියම් සිටි සිදුවීම වගේ පොලීසිය ලකුණු දමා ගන්න කරපු වැඩක්’ කියලා. තමන්ම මහන්සි වෙලා හදපු ආණ්ඩුවේ පොලීසිය භාර ඇමතිවරයා එහෙම කියන කොට දැන් මොකක්ද අනුර දිසානායකට කථා කරන්න ඉතිරි වන ප‍්‍රශ්නය? ඒකෙන්ම පෙනෙනවා නේද, විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අද විහිළුකාරයකුගේ තත්ත්වයට පත් වෙලා කියලා. අපට කියන්න තියෙන්නේ ‘විපක්‍ෂ සංවිධායකකම ළමයකුට දෙන්න’ කියලා. මේ ආණ්ඩුව යහපාලන මූලධර්ම, පුරුෂාර්ථ අමු අමුවේ කඩන කොට මෙයා නිහඩයි. දිගින් දිගටම ‘ඇවන්ගාර්ඞ් ඇවන්ගාර්ඞ්’ කියමින් ගියා. ඊයේ පාර්ලිමේන්තුවේදී ඒකත් පුස්සක් බව හෙළි වුණා.

‘වසරකට රුපියල් ලක්‍ෂයක බද්දක්
සෑම පුරවැසියකුටම ගෙවන්න වෙනවා’

රවී කරුණානායක මුදල් ඇමතිවරයා දැනටමත් පවසා තිබෙනවා ‘ඊළග අයවැයෙන් බදු ආදායම රුපියල් බිලියන 2000 දක්වා ඉහළ නංවනවා’ කියලා. මේ කියන්නේ කුමක්ද? ඔබ දන්නවා ඍජු බදු අය කරන්න පුළුවන් සීමාසහිතව කියලා. ඒ අනුව වක‍්‍ර බදු ඉතා විශාල වශයෙන් ඉහළ යනවා කියන එකයි මේ කියන්නේ. වක‍්‍ර බදු ඉහළ යනවා කියන්නේ පාරිභෝගික ජනතාවට දැනට තිබෙන ජීවන බරටත් වඩා වැඩි බරකට කර ගහන්න වෙනවා කියන එකයි. බදු ආදායම රුපියල් බිලියන 2000 දක්වා ඉහළ නංවනවා කියන්නේ මේ රටේ සෑම පුරවැසියකුටම වසරකට රුපියල් ලක්‍ෂයකට අධික මුදලක් රජයට ගෙවන්න සිදු වෙනවා කියන එකයි.

‘යහපාලන අරුමෝසම් කතා කියපු මේ අය
නීති අධ්‍යාපන සභාවත් කෙලසලා’

මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා විවෘත අයදුම්පත‍්‍ර කැඳවීමකින් තොරව පත් කරගෙන එහි ස්වාධීනත්වය කෙලසලා දමපු මේ ආණ්ඩුව කරපු තවත් එවැනි පත් කිරීමක් මම අද පෙන්වා දෙන්නම්. යහපාලනය ගැන දේශනා කරමින් ගියපු මේ අය ඉතාමත් පහත් තත්ත්වයකට අද ඇද වැටී තිබෙන බව එයින් ඔබට පෙනෙවි.

නීති අධ්‍යාපනය නියාමනය කිරීම සඳහා 1901දී පිහිටුවපු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව පසුගිය අවුරුදු 115 පුරා නීති ක්‍ෂේත‍්‍රයට නීතිඥවරුන් බිහිකිරීමේ ස්වාධීනතාව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කළා. මෙම නීති අධ්‍යාපන සභාවේ සභාපතිවරයා වන්නේ නිල බලයෙන්ම අග‍්‍රවිනිශ්චයකාරතුමා. එහි ලේකම් ධුරය දරන්නේ නීති විද්‍යාලයේ විදුහල්පතිතුමා. සෙසු සාමාජිකයන් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනෙක්, නීතිපතිතුමා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා, අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කරන සාමාජිකයන් 06 දෙනෙක් හා ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පත්කරනු ලබන සාමාජිකයන් දෙදෙනෙක්.

මෙවර ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පත්කරන සාමාජිකයන් දෙදෙනාගෙන් කෙනෙක් ලෙස නීතිඥ සාලිය පීරිස් මහතාව පත් කර තිබෙනවා. අපට සාලිය පීරිස් මහත්තයා සමග පෞද්ගලික ප‍්‍රශ්නයක් නැහැ. නමුත් නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා, ගුවන්විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ නන්ද මුත්තෙට්ටුවේගම, රාවය පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන හා නීතිඥ සාලිය පීරිස් යන මහත්වරු එකතු වෙලා CFPS(Center For Professional Studies) ආයතනය පත්වාගෙන යනවා. එම ආයතනය නීති ප‍්‍රවේශ විභාගයට උපකාරක පන්ති පවත්වන දිවයිනේ ප‍්‍රධානතම ආයතනය. ඒ වගේම ලන්ඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධව නීති උපාධිය ඉතා විශාල මුදලකට ලබාදීමේ කටයුතුත් මේ ආයතනය විසින් සිදු කරනවා. මෙවැනි ආයතනයක හිමිකරුවන් හතරදෙනාගෙන් එක් අයකු නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයකු වීම අනුකූල වන්නේ කවර යහපාලන මූලධර්මයකටද? මේක සාධාරණද? සදාචාරසම්පන්නද? මෙතැනදී ‘ස්වාර්ථය පිළිබඳ ගැටුම’(Conflict of Interest) මතු වෙනවා නේද? මාස 10ක පාලන කාලය තුළ මේ ආණ්ඩුව පෙන්වා දී තිබෙනවා, තමන් බලයට එන්න බලාගෙන දේශනා කළේ ‘යහපාලන බණ’ නොවෙයි ‘වැදි බණ’ කියලා.

‘හයිබි‍්‍රඞ් ආණ්ඩුවේ හයිබි‍්‍රඞ් වප්මඟුල’

මේ අය අද ඉපැරණි සම්ප‍්‍රදායන්ට සලකන්නේ නැහැ. මෙවර රාජ්‍ය වප්මඟුල් උත්සවයේදී සීසාන්න  මී ගවයකු සහ එළ ගවයකු යොදා ගෙන අසාර්ථක වෙලා අන්තිමේදී අත්ට‍්‍රැක්ටරයෙන් තමයි සීසාලා තියෙන්නේ. ගොවියාට ලබා දෙන රාජ්‍ය ගෞරවයක් හැටියටයි රාජ්‍ය වප්මඟුල පවත්වන්නේ. මේ අය ඒවා නොසලකා තමන්ගේ ආණ්ඩුවේ දෙමුහුන් ස්වභාවය පෙන්වන්නයි මේ එළ ගවයයි, මී ගවයයි යොදා ගෙන ඇත්තේ. ඔන්න මේ දෙමුහුන් ආණ්ඩුවේ තරම. ගොවියාට නොසලකනවා පමණක් නොවෙයි මෙවර අය-වැයෙන් පොහොර සහනාධාරය කපා දැමීමේ සූදානමක් පවතින බවත් පෙනෙනවා. රතන ස්වාමින්වහන්සේ කියන ‘පොහොර සහනාධාරය වෙනුවෙන් වැය වන මුදල ගොවියා අතට දෙන්න’ කියන කතාව ඇතුළේ තියෙන්නේ ඒක.  මේ විදිහට මේ රටේ ආර්ථික, දේශපාලන ක්ෂේත‍්‍රවල පමණක් නොවෙයි සමාජ සංස්කෘතික දේහය තුළත් විශාල බිඳ වැටීමක් ඇති වෙලා තිබෙනවා. ඒ සියල්ල පිළිබඳව පාර්ලිමේන්තුව තුළ හඬ නැඟීමේ ඉඩකඩ, ජනවාරි 08 වැනිදා හංස පූට්ටුවට කර ගහපු අය විසින් අද ජානිපෙ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට අහිමි  කරමින් තිබෙනවා.

‘ජානිපෙ ප‍්‍රතිසංවිධානය වෙයි’

මේ සියලූ තත්වයන් මත අපි ජාතික නිදහස් පෙරමුණ විදිහට ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් ඇරඹීමට තීරණය කළා. රටට හිතැති සියලූ ජාතිකත්වයන්ට අයත් තරුණ, වැඩිහිටි, කාන්තා, පිරිමි  පිරිස්වලට අපි ඇරයුම් කරනවා එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී අපත් සමග තරඟ වදින්න එකතු වෙන්න කියලා. ඔබගේ ඉල්ලූම් පත‍්‍ර අංක 21/1, අශෝක මාවත, ජයන්තිපුර, බත්තරමුල්ල යන ලිපිනයට හෝ 011 2882176 ෆැක්ස් අංකයට යොමු කළ හැකියි. වැඩි විස්තර 0113071340/011 2883365 දුරකථනයෙන් ලබා ගත හැකියි. ඒ වගේම දිස්ත‍්‍රික්කවලට අපගේ ආසන සංවිධායකවරුන් ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ඇති පිරිස්වලිනුත් අපි අයදුම්පත් කැඳවීමට මේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ බලාපොරොත්තු වෙනවා.

‘ගියේ හිට්ලර්ද? ආවේ චැප්ලින්ද?’
ජානිපෙන් ජනහමු දසදහසක්

පාර්ලිමේන්තුවේදී වගේම ජනමාධ්‍ය මගිනුත් බොහෝ දුරට යටපත් කරලා තිබෙන අපේ මතය    රැගෙන අපි ගමින් ගමට යන්න සූාදනම්. ඒ ගැන ඉදිරියේදී මාස එකහමාරක කාලය තුළ රටපුරා ‘ගියේ හිට්ලර්ද? ආවේ චැප්ලින්ද?’ යන තේමාව යටතේ අපේ පක්‍ෂ නායකයන් දිස්ත‍්‍රික්ක බෙදාගෙන ජනහමු දසදහසක් පවත්වන්න සූදානම් වෙනවා.

‘පේ‍්‍රමකුමාර් ගුණරත්නම්ගේ දේශපාලනය කිරීමේ අයිතිය
දඩයම් කරන්න එපා!’
මම මේ මාධ්‍ය හමුවේදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි, පසුගිය(04) පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායක, පේ‍්‍රමකුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව. අපේ පක්‍ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය අතර බොහෝ මතවාදී වෙනස්කම් තිබෙනවා. දේශපාලන වශයෙන් අපි අතර බොහෝ පෑහෙන ලක්‍ෂණවලට වඩා නොපෑහෙන ලක්‍ෂණ වැඩි වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් පේ‍්‍රමකුමාර ගුණරත්නම් ලංකාවේ උපන් කෙනෙක්. මේ රටේ කාලයක් තිස්සේ ජීවත් වුණු කෙනෙක්. උගත් කෙනෙක්. 87-89 කාලය තුළ ශ‍්‍රී ලංකාවේ ඇති වුණු වාතාවරණය නිසා ඔහුට සිදු වුණා වෙනත් ස්වරූපයකින් වෙනත් නමකින් පෙනී සිටින්න. පසුකාලීනවත් ඔහු ඒ ආකාරයට පෙනී ඉදලා තියෙනවා. කෙසේ වුවත් ඔහු විදේශගත වී ලංකාවට නැවත පැමිණෙන විට වෙනත් නමකින් පෙනී සිටීම සම්බන්ධයෙන් මීට ඉහතදී අත්අඩංගුවට පත් වුණා. ඒ වන විට අපි ආණ්ඩුව තුළ සිටියත් ඒ අවස්ථාවේදීත් ඉතා බලකර ඉල්ලා සිටියා, ‘ඔහුව නිදහස් කරන්න. අත්අඩංගුවේ සිටියදී ඔහුට අනතුරක් වීමට තියෙන ඉඩකඩ වළක්වන්න’ කියලා. ප‍්‍රසිද්ධ නිවේදනයක් මගින් ඒ ඉල්ලීම අපි කළා.

කොටින්ට ද්විත්ව පුරවැසිභාවය දෙන ආණ්ඩුවක් මේක. කොටි ඩයස්පෝරාවේ සාමාජිකයන්ට ‘එන්න එන්න’ කියලා දැන් ද්විත්ව පුරවැසිභාවය දෙනවා. ගෝලීය දෙමළ සංසදයේ ප‍්‍රධානී එමානුවෙල් පියතුමා ජනපති, අගමැති ඇරයුමින් තමන් නොවැම්බරයේදී ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව පවසා තිබෙනවා. එහෙම ආණ්ඩුවක් ආගමන විගමන නීති කැඩුවා කියලා පෙරටුගාමී පක්‍ෂයේ නායකයා අත්අඩංගුවට ගන්නවා. මම දන්නේ නැහැ මේවා වෙන්නේ කාගේ බලකිරීම මතද කියලා. සමහරවිට රතු අලි පැටියා වෙන්න පුළුවන් මේක පිටුපසත් ඉන්නේ. කොහොම වුණත් අපි ඉතාමත්  ඕනෑකමින් කියනවා ආණ්ඩුවට, ‘පේ‍්‍රමකුමාර ගුණරත්නම් මහතාගේ පුරවැසිභාවය පිළිබඳ ප‍්‍රශ්නයක් තියෙනවා නම් ඔහුට ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන්න. එසේ ලබාදී මේ රට තුළ දේශපාලනය කිරීමේ අයිතිය පිළිබඳ ගැටළුවක් තිබෙනවා නම් එය නිරාකරණය කරන්න. එසේ නොකර ඔහුගේ දේශපාලනය කිරීමේ අයිතිය දඩයම් කරනවා නම් එය ඉතා පහත් නින්දිත ක‍්‍රියාමාර්ගයක්. ඔහු අපරාධකරුවෙක් නොවෙයි’’ කියලා.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අපි බලාපොරොත්තු වෙනවා, එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ සිටින දේශපාලන පක්‍ෂ 10ක පමණ ප‍්‍රමාණයක් සහ ඊට පරිබාහිරව සිටින දේශපාලන පක්‍ෂ කිහිපයක් සමග සාකච්ඡා කරලා ඒකාබද්ධ පෙරමුණක් යටතේ තරග වදින්න. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා ජවිපෙ හිටපු නායක, ජනතා සේවක පක්‍ෂයේ වත්මන් නායක, සෝමවංශ අමරසිංහ මහතා සමගත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරලා ඔහුගේ පක්‍ෂයත් මේ ක‍්‍රියාදාමයට සම්බන්ධකර ගන්න

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර සහ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් යන මහත්වරු ද සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015.11.06

1 2

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*