BREAKING NEWS

‘විපක්‍ෂ දඩයමට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධතාවක්!’

ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ රැස්වීමක් මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපති, ඩලස් අලහප්පෙරුම ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසකගේ හා පිවිතුරු හෙළ උරුමයේ නායක, පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාගේ ද සහභාගීත්වයෙන් ජී. එල්. පීරිස් මහතාගේ නිවසේදී පැවැත්විණි.

මෙහිදී විශේෂ අවධානය යොමු වූයේ දිගින් දිගටම විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇප නොලැබෙන ආකාරයට බන්ධනාගාරක ගත කරමින් ආණ්ඩුව ගෙන යන ‘විපක්‍ෂ දඩයම’ පිළිබඳවය.

‘‘පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට ඕනෑ විදිහට කටයුතු කරන්න දෙන්න බැහැ. ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයකට අනුව කටයුතු කරන්න ඉඩ තියන්න බැහැ. අපි ඊළග පාර්ලිමේන්තු සතියේදී විශ්වාසභංග ටික ගෙනෙමු. ඒ සඳහා අවස්ථාව ලබා දුන්නොත් තමයි, 20 වැනි සංශෝධනයට අත එකවීම පිළිබඳවත් සලකා බැලීමට පුළුවන් වෙන්නේ’’ දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී පැවසීය.

‘‘එහෙමනම් අපි මුලින්ම මුදල් ඇමති රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගය මුලින්ම ගෙනෙමු!’’ බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

‘‘අපි අගමැති රනිල් වික‍්‍රමසිංහට විරුද්ධවත් විශ්වාසභංගයක් භාර දිය යුතුයි නේද? විමල් වීරවංශ මහතා එහිදී පවසා සිටියේය.

ඒ අනුව අගමැතිවරයාට විරුද්ධ විශ්වාසභංගය ද එම පාර්ලිමේන්තුව සතිය තුළම භාර දිය යුතු යැයි ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කළේය.

‘‘මෙහෙම බලා ඉදලා හරියන්නේ නැහැ. බොරු චෝදනා දාලා එකිනෙකා අත්අඩංගුවට ගන්නවා. සජින් වාස්ට ඉස්සර චෝදනා කළේ ‘මිහින් එයාර්’ එකෙන් හොරා කෑවා කියලයි. දැන් අත්අඩංගුවට ගන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන පාවිච්චි කළා කියලයි. මේ විදිහට ඕනෙ කෙනෙක් අත්අඩංගුවට ගන්න පුළුවන් රාජ්‍ය ආයතනයක අල්පෙනෙත්තක් හරි අරන් ගියා කියලා. මට විරුද්ධවත් පරීක්‍ෂණ දෙකක් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් සිදු කරනවා. එකක් ඕෂන් වීව් ඩිවලොප්මන්ට් කම්පැණි(ප‍්‍රයිවට්) ලිමිටඞ්හි ගෙවල් විකිණීමේ ක‍්‍රියාවලියක් සම්බන්ධයෙන්. මෙහිදී කටයුතු සිදුව ඇත්තේ ආයතනයේ මූල්‍යමය හා පරිපාලන රෙගුලාසිවලට අදාළවයි. නිවාස ඉල්ලූම් කළ අය අතර ඥාතීන් කිහිපදෙනකු සිටියත් ඔවුන් අදාළ රෙගුලාසි අනුවයි කටයුතු කර ඇත්තේ. අධ්‍යක්‍ෂ මණ්ඩලය පනවා ඇති කොන්දේසි අනුවයි ඔවුන්ද කටයුතු කර ඇත්තේ. මට තේරුම් ගන්න බැහැ මෙතැන තියෙන මූල්‍ය අපරාධය කුමක්ද? කියා. තවත් පරීක්‍ෂණයක් පැවැත්වෙනවා, මගේ බිරිඳට තෑගී ඔප්පුවකින් ලැබුණු ඉඩමක් ඇය තෑගී ඔප්පුවකින් ඇගේ වැඩිමහල් සොහොයුරියට ලබාදීම හා ඇය විසින් ඒ අවට තිබූ ඉඩම් කැබලි දෙකක් මිලදී ගෙන ඒවා පසුව වෙනත් පාර්ශ්වයකට විකිණීම ගැනත් පටලවා ගෙන. මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පවරන්නයි මේ හදන්නේ. කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට බී වාර්තාවකුත් දාලා කියලා ආරංචියි. මෙහෙම කරලා, එවැනි ප‍්‍රවෘත්ති හදලා පැත්තකින් මඬ ව්‍යාපාරය උත්සන්න කරනවා. අනෙක් පැත්තෙන් අහුවෙන මොකකින් හරි අත්අඩංගුවට ගන්න කුරුමානම් අල්ලනවා. මම නම් ලෑස්ති වෙලා ඉන්නේ ඕනෙ දෙයකට මුහුණ දෙන්න. අවසානයේදී විපක්‍ෂයේ සියලූ දෙනා දඩයම් කරලා ඉදිරි මහ මැතිවරණයේදී ‘වන් මෑන් ෂෝ’ එකකටයි මේ අය සූදානම් වෙන්නේ. මේ ක‍්‍රියාවලියට මේ විදිහටම ඉදිරියට යාමට ඉඩ දෙන්න බැහැ. මේ තත්ත්වයට එරෙහිව ප‍්‍රබල මහජන රැල්ලක් හැදිය යුතුයි’’ විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

‘‘ඔව්! ඔව්! අපට තියෙන ශක්තිය ක‍්‍රමානුකූලව අඩු කරන්නයි මේ අය සූදානම් වෙන්නේ’’ උදය ගම්මන්පිල මහතා ද විමල්ගේ අදහස් අනුමත කරමින් එසේ පැවසුවේය.

ඒ අනුව ඉදිරියේදී මේ විපක්‍ෂ දඩයමට එරෙහිව ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් කොළඹට ගෙන්වා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ද ඒකාබද්ධ විපක්‍ෂය තීන්දු කළහ. එම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කිරීම සඳහා සංවිධායක කමිටුවක් නම් කිරීම ද මෙහිදී සිදු විය.

එසේම මෙහිදී වත්මන් ආණ්ඩුව විසින් විජයග‍්‍රහණයේ සැමරුම සිදු නොකිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

‘‘වත්මන් ආණ්ඩුව මෙවර ‘විජයග‍්‍රහණයේ සැමරුම’ නොකළ නිසාත් ඒ වෙනුවට යුද්ධයෙන් මියගිය අය සැමරීම පමණක් කළ නිසාත් ඒ වගේම උතුරේදී මියගිය කොටි ත‍්‍රස්තවාදීන් ප‍්‍රසිද්ධියේ සැමරූ නිසාත් ඉතා පැහැදිලියි රට යන අත ගැන. අපේ රණවිරුවන් ජීවිතය පුදලා ලබා දුන් ජයග‍්‍රහණ අද සමරන්නේ නැහැ. එහෙ මැරුණු අයයි, මෙහෙ මැරුණු අයයි වෙන වෙනම සමරන එකයි කරන්නේ’’ විමල් වීරවංශ මහතා බලවත් කම්පනයෙන් යුතුව සඳහන් කළේය.

මේ තත්ත්වය අනුව පූජ්‍ය පක්‍ෂයේ සහ කලාකරුවන්ගේ ද සහභාගීත්වයෙන් මැයි 18 වැනිදා කොළඹදී විජයග‍්‍රහණයේ සැමරුමක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කළේය.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රබලයන්ගෙන්ද යම් යම් සුබ පැතුම් ලැබෙමින් පවතී. ‘දිනූ දේශය අනතුරේ, මහින්ද සමග නැගිටිමු!’ රැලි මාලාවේ කුරුණෑගල රැලිය අතිසාර්ථක වීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රබලම නායකයකු මහින්ද පාර්ශ්වයේ ශ‍්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට දුරකථනයෙන් සුබ පතා තිබිණි. එසේම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පැවැති සාකච්ඡාවට මෛත‍්‍රී පාර්ශ්වයෙන් රැගෙන ගිය පිරිස හේතුවෙන් ශ‍්‍රී ලනිප ජ්‍යෙෂ්ඨයෝ රැසක් අසතුටට පත්ව සිටි.

මේ සාකච්ඡා මගින් යම් සමගියක් ඇති කළ හැකි යැයි ශ‍්‍රී ලනිප ජ්‍යෙෂ්ඨයෝ විශ්වාස කළ ද මේ සම්බන්ධයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා දක්වන ඍණාත්මක ආකල්පය පිළිබඳව ඔවුහු කලකිරී සිටිති. ඒ අනුව ඉදිරියේදී ශ‍්‍රී ලනිප ජ්‍යෙෂ්ඨයන් රැසක් මහින්ද පාර්ශ්වය සමග එකතු වීමට නියමිතය.

එසේම පාර්ලිමේන්තුව 27 වැනිදා විසුරුවා හැරෙන බවට ද ආරංචි පැතිර යමින් පවතී. ඒ නිසා මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වය කඩිනමින් මහ මැතිවරණයට අවශ්‍ය සූදානම් වීම් සිදු කරමින් සිටිති. නාම යෝජනා ලබා දිය යුත්තේ කාටද? අලූත් කණ්ඩායම් මහින්ද පාර්ශ්වය හා එකතුකර ගැනීම, මහ මැතිවරණයට තරග වදින්නේ කුමන ලකුණින්ද, කුමන පක්‍ෂයෙන්ද?, මැතිවරණ ප‍්‍රකාශය සකස් කිරීම යන කරුණු මේ දිනවල පුළුල් ලෙස සාකච්ඡා වෙමින් පවතී.

2015-05-17 jnp gossip

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*