BREAKING NEWS

‘විමල්ගේ සිරගත කරන ලද සිතුවිලි’ ඉරිදා (22) ජනගත වෙයි!

‘විමල්ගේ සිරගත කරන ලද සිතුවිලි’ ඉරිදා (22) ජනගත වෙයි!

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා පිටකෝට්ටේ පිහිටි පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේදී රැස් වූයේ නායක විමල් වීරවංශ සහ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී මහවැසි මැද්දේ පැවැත් වූ පක්‍ෂයේ ජාතික සමුළුවේ සාර්ථකත්වය පිළිබඳවත් සති අන්තයේදී පැවැත්වීමට නියමිත විමල් වීරවංශ මහතා සිරගතව ලියූ දෙවන කෘතිය ‘යදමින් බැඳි අක්‍ෂර : විමල් වීරවංශ සිරගත කරන ලද සිතුවිලි’ කෘතිය ජනගත කිරීමේ උත්සවය පිළිබඳවත් සාකච්ඡාවට බඳුන් විය.

“මහවැසි මැද ‘රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්ථා පැකේජය පරදවමු!’ යන තේමාව යටතේ පැවැති අපේ ජාතික සමුළුව සාර්ථක කර ගැනීමට දායක වූ පක්‍ෂයේ දිස්ත්‍රික් නායකයන්ට, දිසා කමිටු සාමාජිකයන්ට හා පක්‍ෂ ක්‍රියාකාරීන්ට අපේ කෘතවේදීත්වය පළ කළ යුතුයි. කවර දුෂ්කරතා වුව මැඩගෙන මේ සමුළුව පැවැත්විය යුතුව තිබුණා. ‘ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත’ නමින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බෙදුම්වාදී ජාතිවාදී බලවේගවල, බටහිර බලවතුන්ගේ උවමනාවට ගෙන ආ රනිල් වික්‍රමසිංහගේ ව්‍යවස්ථා පැකේජය ගැන රට තුළ, මාධ්‍ය තුළ බලවත් සංවාදයක් හදන්න අපේ ජාතික සමුළුවට හැකි වූ බව බොහෝ පිරිස් පැවසුවා. සමුළුවෙන් දින 04කට පසු සියම් නිකායේ මල්වතු-අස්ගිරි උභය විහාරවල කාරක සංඝ සභාවන්හි නායක ස්වාමීන්වහන්සේලා තමන්ගේ උජුපටිපන්න ගුණය පෙන්වමින්, මේ බෙදුම්වාදී ව්‍යවස්ථා ක්‍රියාදාමය නතර කළ යුතු බවට සිදු කළ ප්‍රකාශය ද මේ අවස්ථාවේ රටට ආදරය කරන සියලු කොටස් ලද ජයග්‍රහණයක්.” විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

“මල්වතු – අස්ගිරි මහනාහිමිවරු ඇතුළු කාරක සංඝ සභාවල නායක හිමිවරු නොයෙකුත් ආකාරයෙන් දිනා ගැනීමට මේ බෙදුම්වාදී ව්‍යවස්ථා අපරාධයේ නිර්මාතෘවරු මල්වතු – අස්ගිරි මහා විහාරන්ට පසුගිය දිනවල වැල නොකැඩී ආවා. අගමැතිවරයා, ලක්‍ෂ්මන් කිරිඇල්ල සභානායකවරයා පමණක් නොවෙයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අපරාධ දෙකකට මුල් වූ ජයම්පති වික්‍රමරත්න නීතිඥවරයා, ගාමිණී වියන්ගොඩ වැනි රාජ්‍ය නොවන සංවිධානවල ඩොලර් කාක්කන් මහනාහිමිවරු රවටන්නට පැමිණියා. බොහෝ සුරංගනා කතා කීවා. වරදාන, වරප්‍රසාද, තුටු පඬුරු දෙන්න හැදුවා. ඒත් අපේ මහසඟරුවන ඒවාට කිසිසේත්ම යට නොවුණු බව අද පැහැදිලියි. අපේ දේශයේ මුර දේවතාවන්වහන්සේලාගේ උජුපටිපන්න ගුණයට ජාතියේ නමස්කාරය පුද කළ යුතුව තිබෙනවා.” මල්වතු – අස්ගිරි උභය විහාරවල නායක ස්වාමීන්වහන්සේලා සමග සමීප ඇසුරක් පවත්වන පක්‍ෂයේ මහනුවර දිස්ත්‍රික් නායක, නිමල් ප්‍රේමවංශ මන්ත්‍රීවරයා එසේ පැවසුවේ ඉමහත් ගෞරවයෙනි.

“ජාතික සමුළුව හේතුවෙන් සතියකට කල් දමන ලද විමල් සහෝදරයා සිරගතව ලියන ලද දෙවන කෘතිය ජනගත කිරීමේ කටයුතු ඔක්තෝබර් 22 වැනි ඉරිදා සවස 03:00ට කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සිදු කිරීමට සියල්ල සූදානම්. ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමාගේ දේශනයත් විමල් සහෝදරයාගේ කෘතියේ අන්තර්ගත ගේය පද රචනයක් ඇසුරෙන් නිර්මාණය වන ගීතයත් නිසා කෘතිය ජනගත කිරීමේ උත්සවය වඩාත් වර්ණවත් වේවි.” ප්‍රචාරක ලේකම්, මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා සඳහන් කළේය.

-අ බ ර (අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.