BREAKING NEWS

විමල්ට එකම දිනයේ ඇරයුම් දෙකක්!

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ ජංගම දුරකථනයට අරලියගහ මන්දිරයෙන් ඇමතුමක් ලැබී තිබිණි.

‘‘හෙට රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා අගමැති ලෙස දිවුරුම් දෙන අවස්ථාවට සහභාගී වන ලෙස ඇරයුම් කරන්නැයි අපි ඔබතුමාට කතා කළේ’’ එම ඇමතුමෙන් එසේ කියවිණි.

‘‘හෙට මට ඒ අවස්ථාවට සහභාගී වෙන්න අපහසුයි. මට හෙට දිනයේ ඒ වෙලාවටම වෙනත් ඇරයුමක් ලැබී තිබෙනවානේ. ඒ ඇරයුමට නොගිහින් බැහැනේ.ඇරයුම ලැබිලා තියෙන්නේ FCID එකෙන්නේ.’’ විමල් වීරවංශ මහතා අරලියගහ මන්දිරයෙන් ලැබුණු දුරකථන ඇමතුමට ලබා දුන්නේ එවැනි පිළිතුරකි.

මේ අතර පසුගිය බ‍්‍රහස්පතින්දා(20) විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය FCIDයට කැඳවා තිබුණි. ඒ අනුව ශෂී වීරවංශ මහත්මිය එදින FCIDයට පැමිණ ප‍්‍රකාශයක් ලබාදුන්නාය. එසේම විමල් වීරවංශ මහතා සිකුරාදා(21) FCIDයට කැඳවා තිබිණි. ඒ අනුව විමල් වීරවංශ මහතා ද FCIDයට පැමිණ ප‍්‍රකාශයක් ලබාදී තිබුණි. එම අවස්ථාවට ජානිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම ද පැමිණ සිටියහ.

විමල් ඇතුළු ජානිපෙ 05ක් මැති සබයට!

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදුණු ජාතික නිදහස් පෙරමුණේ අපේක්‍ෂකයන් 05 දෙනකු පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත.

කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග වැදුණු ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා එජනිස මනාප ලැයිස්තුවේ පළමුවැනියා ලෙස මනාප 313,801ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් තරග වැදුණු ජානිපෙ නියෝජ්‍ය සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ මනාප 69,489ක් ලබා ගනිමින් මනාප ලැයිස්තුවෙහි දෙවැන්නා ලෙසය.

ජානිපෙ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා කළුතර දිස්ත‍්‍රික්කයෙන් තරග වැද මනාප 101,039ක් ලබා ගනිමින් එම මනාප ලැයිස්තුවේ තෙවැන්නා වෙමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.

ජානිපෙ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, මොනරාගල දිස්ත‍්‍රික් නායක පද්ම උදයශාන්ත ගුණසේකර මහතා මොනරාගල දිස්ත‍්‍රික්කයෙන් තරග වැද මනාප ලැයිස්තුවේ තෙවැන්නා වෙමින් මනාප 57,356ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.

ජානිපෙ මාතර දිස්ත‍්‍රික් නායක, ප‍්‍රවීණ මාධ්‍යවේදී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා මනාප 99,762ක් ලබා ගනිමින් එම මනාප ලැයිස්තුවේ දෙවැනියා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.

2015-08-23 jnp gossip

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*