BREAKING NEWS

‘විමල් නුගේගොඩ කතාව පාර්ලිමේන්තුවේදී කරලා’

‘විමල් නුගේගොඩ කතාව පාර්ලිමේන්තුවේදී කරලා’

සිරගතව සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය 24 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. එහිදී ඔහුගේ ඇප අයදුම්පත ප්‍රතික්‍ෂේප කළ මහේස්ත්‍රාත්වරිය පෙබරවාරි 07 වැනිදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. එදින පාර්ලිමේන්තු දිනයක් වූ හෙයින් එම නියෝගය ලැබුණු වහාම වෑන් රථයක නංවා විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීහු සූදානම් වූහ. ඒ මොහොතේ විමල් වීරවංශ මහතාගේ පක්‍ෂ ක්‍රියාකාරින්ගෙන්, හිතවතුන්ගෙන් කොටුව අධිකරණ භූමිය පිරී තිබිණි. වෑන් රථය අධිකරණ ගේට්ටුව පසු කරනවාත් සමග පෙර මඟට ආ විමල් වීරවංශ මහතාගේ දියණිය සිය ආදරණීය පියාණන්ගේ විලංගු ලූ දෑත අල්ලමින් හඬා වැලපුණු ආකාරය දුටු කාගෙත් දෑසට කඳුලක් එක් කළ ආකාරය දැකගත හැකි විය.

‘තාත්තා හිරේ ඉන්නේ මිනිස්සුන්ගේ හිත් හොරකම් කරපු වරදට’

බන්ධනාගාර නිලධාරීන් සමග පාර්ලිමේන්තුවට පැමිණි විමල් වීරවංශ මහතා පසුව පාර්ලිමේන්තුවට පැමිණ සිටි තම බිරිඳ හා දරුවන් සමග දිවා ආහාරය ලබා ගන්නා ආකාරයද දැකගත හැකි විය. තම ආදරණීය පියාණන් සිරගත වූදා පටන් පාසල් නොගිය දියණිය එහිදී ඊළඟ දිනයේ සිට පාසල් යන බවට පොරොන්දු වූයේ දැඩි අදිටනකිනි.

එදින පැවැති මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විවාදයේදී විමල් වීරවංශ මහතා සිය සුපුරුදු වාග් ප්‍රහාරය එල්ල කරමින් විනාඩි 10ක පමණ කතාවක් සිදු කළේය. එදින පාර්ලිමේන්තුවේ කටයුතු නිමා වීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා යළි බන්ධනාගාරය වෙත රැගෙන යාමට පෙර ජානිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා වේගයෙන් වීරවංශ මහතා සිටි ස්ථානයට පැමිණියේය. ඒ වන විට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු වන මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණවීර සහ එජාප මන්ත්‍රීවරු දෙදෙනකු හා මන්ත්‍රීවරියකද විමල් වීරවංශ මහතා සමග කතාබහක නිරතව සිටියහ.

“මේ බලන්න විමාශා දූ මට අපූරු පණිවිඩයක් එවලා තියෙනවා” තම ජංගම දුරකථනයට එවා ඇති එක්තරා කෙටි පණිවිඩයක් උදයශාන්ත ගුණසේකර මහතා කාටත් පෙන්වූයේ ඉතාමත් හැඟීම්බරවය.

“එදා චූටි කාලේ අපි දෙන්නා ‘අප්පච්චි කොහොමද’ සින්දුව කියනකොට තාත්තා කියනවා ‘සුළඟක් වී මම එනවා දුර අහසේ ඇවිදින්නට’ කියලා. එදා ඒක මට එක සිංදුවක් විතරයි. ඒත් අද මට තේරෙනවා තාත්තා එදා කිව්වේ මොකද්ද කියලා. තාත්තා හිරගෙදර හිරකරලා තිබ්බත් තාත්තා හොරකම් කරපු මිනිස්සුන්ගේ හිත්, එයාලගේ ආදරය මේ සුළඟේ තියෙනවා. මම ඇස් රතු වෙනකන් අඬනකොට අන්න ඒ සුළඟ මාව සනසනවා. ‘පණ වාගේ මගේ දූ මං රැක ගන්නේ’ කියලා පොරොන්දු දුන්නත් මුල් දවස් ටිකේ මට හිතුනේ ඔයා ඒ පොරොන්දුව කැඩුවා කියලා. ඒත් අද මට තේරෙනවා තාත්තා මිනිස්සුන්ගේ හිත් හොරකම් කරලා මට රැකවරණය දුන්නා කියලා. තාත්තා මේ රටට, දැයට, ජාතියට වරදක් කරලා නෑ. ඒක හින්දා මගේ තාත්තාට දෙවි රැකවරණය තියෙනවා. ඒ රැකවරණය අපිටත් තියෙනවා. යුද්ධෙ කාලේ ඔයා රට වෙනුවෙන් අයියවයි මාවයි වුණත් කැපකරන්න සූදානමින් හිටියේ. චූටි කාලේ ඒක හින්දා මගේ පුංචි හිතේ තාත්තා ගැන පුංචි තරහක් ඇති නොවුණා නෙමෙයි, ඒත් තාත්තේ අද ඒ තරහා මුකුත් මගේ හිතේ නෑ. එහෙම කැපකිරීමක් අනාගතයේදී හෝ කරන්න වුණොත් කරන්න තාත්තේ. ඕනම දේකට ඇප වෙන්න මම සූදානම්. තාත්තා අද හිරේ ඉන්නේ මේ රටට ආදරය කරපු වරදට, මිනිස්සුන්ගේ හිත් හොරකම් කරපු වරදට. තාත්තේ ඒ වරද මුළු ඡීවිතේ පුරාවටම කරන්න. ඒ වරද මාත් කරනවා. කවදාහරි දවසක මගේ ළමයිනුත් කරයි. මම හෙට ඉස්කෝලේ ඇරිලා තාත්තාව බලන්න එන්නම්. හෙට බැරි වුණොත් අනිද්දා. එතකන් පරිස්සමින් ඉන්න. බුදුසරණයි. දෙවි පිහිටයි. – චූටි දුව” යනුවෙන් සඳහන් අනුවේදනීය සටහනක් එහි විය.

“මේක කැත වැඩක්. දරු දුක, පිය සෙනෙහස තේරෙන්නෙ දරුවෙක් ඉන්න මිනිස්සුන්ටනේ.” එය කියවූ මන්ත්‍රීවරිය පැවසුවේ එවන් අදහසකි. මහින්දානන්ද අලුත්ගමගේ සහ ප්‍රසන්න රණවීර වැනි මන්ත්‍රීවරුන්ගේ දෑස් ඒ මොහොතේ තෙත් වි ඇති අන්දමද දැකගත හැකි විය.

‘පාර්ලිමේන්තු ඉතිහාසයේ අලුත් වැඩක්’

පසුගිය 25 වැනිදා මන්ත්‍රී භෝජනාගාරයේදී විමල් වීරවංශ මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසිණි.

“ඉහළ උසාවියෙන් ඔයාට ඇප ගන්න අපි කටයුතු කරනවා” විමල්ගේ කණට කර හිටපු ජනාධිපතිවරයා පැවසීය.

“බොහොම ස්තූතියි” විමල් වීරවංශ මහතා සිනහමුසු මුහුණින් කියා සිටියේය.

ඒ අවස්ථාවේදී මන්ත්‍රී භෝජනාගාරයේ සිටි වාසුදේව නානායක්කාර, මහින්දාන්නද අලුත්ගමගේ, වීරකුමාර දිසානායක යන මහත්වරුද මේ දෙදෙනා කතා කරමින් සිටි දෙසට පැමිණියහ.

නුගේගොඩ රැලියට විමල්ගේ කතාවක් ඕනෙ නේද?” හිටපු ජනාධිපතිතුමන් විමසා සිටියේය.

“පක්‍ෂ සමුළුවට වගේ ප්‍රකාශයක් එවන්නම්” විමල් වීරවංශ මහතා පවසා සිටියේය.

“කතාවක් කළා නම් තමයි හොඳ” කාගෙත් අදහස එය විය.

“හරි මට හොඳ අදහසක් ආවා. විමල් අයියා පාර්ලිමේන්තුවේදී ‘නුගේගොඩ කතාව’ කරන්න. කාටත් නොදැනෙන්න වැඬේ කරමු” මහින්දානන්ද මන්ත්‍රීවරයා පවසා සිටියේය.

ඒ අනුව, පසුගිය 25 වැනිදා සවස විනාඩි 20ක කතාවක් සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවසර ඉල්ලා තිබිණි. ඩග්ලස් දේවානන්ද මහතාගේ කතාවෙන් පසුව අජිත් මාන්නප්පෙරුම මහතාට කතා කිරීමේ අවස්ථාව ලැබී තිබිණි. නමුත් ඒ අවස්ථාව මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉල්ලා ගත්තේ තමන්ට කලින් යාමට තිබෙන බව හස්ත මුද්‍රාවෙන් අජිත් මාන්නප්පෙරුම මහතාට දන්වමිනි.

ඉන්පසුව ලැබුණු අවස්ථාව යොදාගනිමින් විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ කතාවක් සිදු කළේය.

‘ගරු කථානායකතුමනි, ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි’ ආදී වශයෙන් මුලසුන ඉලක්ක කරගනිමින් කෙරෙන සාම්ප්‍රදායික පාර්ලිමේන්තු කතාවකින් බැහැරව විමල් වීරවංශ මහතා තම කතාව පටන් ගත්තේ ‘ගෞරවනීය සංඝරත්නයෙන් අවසරයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමනි, ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකවරුනි. . .’ ආදී වශයෙනි.

මෙම ඉතිහාසගත කතාව සැලසුම්සහගතව සිදු කළ නිසා වෙනදා විමල් වීරවංශ මන්ත්‍රීවරයා කතා කරන විට අනේකවිධ බාධා සිදු කරන එජාප මන්ත්‍රීවරුන් පිරිස සභා ගර්භයේ සිටියේ නැත. කෙසේ නමුත් විනාඩි 10කට පමණ පසු ඒ පිරිස පැමිණි අතර රීති ප්‍රශ්න නඟමින් බාධා කරන්න වූහ. රීති ප්‍රශ්න නඟද්දී ඒවාට පිළිතුරු නොදී විමල් වීරවංශ මහතා දිගටම සිය නුගේගොඩ රැලියේ කතාව සිදුකර ගෙන ගියේය.

“මාතෘභූමියට ජයවේවා! ඒකාබද්ධ විපක්‍ෂයට ජයවේවා! නුගේගොඩ මේ මහා ජන රැලියට සහභාගී වූ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවට ජයවේවා!” යනුවෙන් සිය විනාඩි 20ක කතාව අවසන් කළේය.

“විමල් මෙච්චර වෙලා කළේ නුගේගොඩ රැලියේ කතාව නේද?” ඒ අවස්ථාවේ ගයන්ත කරුණාතිලක ඇමතිවරයා තවත් මන්ත්‍රීවරයකුගෙන් විමසා සිටියේය. එම ඓතිහාසික කතාව පසුගිය සිකුරාදා සවස ‘පෙරළියක ඇරඹුම’ නුගේගොඩ ජන රුලියේදී වීඩියෝ වෝල් යොදා ගනිමින් විකාශනය කරන අයුරු දැකගත හැකි විය.

‘පළමු පොත ලියලා ඉවරයි’

පසුගිය ජනවාරි 10 වැනිදා සිරගත කළ විමල් වීරවංශ මහතා ජනවාරි 21 වැනිදා උදේ වන විට තම සිරගත දිවියේ පළමු පොත ලියා අවසන් කළේය. කවදත් ලේඛනයෙහි රිසි විමල් වීරවංශ මහතාට සිය කාර්යබහුල දේශපාලන දිවිය තුළ මෙතෙක් ලියා පළ කිරීමට හැකිව තිබුණේ පොත් 05ක් වුවත් සිරගත දිවියේ දින 10ක් තුළ පොතක් ලියා අවසන් කිරීමට හැකි විය. එය ‘ජාතිකවාදය’ පිළිබඳ ලියැවුණු පොතකි. කෙසේ නමුත් තමාට 24 වැනිදා ඇප නොලැබුණහොත් යන අදහසේ සිට විමල් වීරවංශ මහතා පසුගිය 23 වැනිදා තම සිරගත දිවියේ දෙවන පොතද ලිවීම ඇරඹුවේය. එය ඔහුගේ සිරගත දිවිය අලලා ලියැවෙන්නක් බව දැන ගැනීමට තිබේ.

“හැමදාම සවස 05:30 සිට පසුදා උදේ 06:00 වනතෙක් කාලය සිර මැදිරිය තුළ අනිවාර්යයෙන්ම රැඳී ඉන්නවානේ. ඒ කාලය යොදා ගෙන තමයි පොත් ලියන්නේ. මට හිතෙන්නේ පොත් දෙකක් නොවෙයි තුනක්වත් ලියන්නයි” තමන්ගේ සුවදුක් විමසීමට පැමිණි සහෘදයකුට විමල් වීරවංශ මහතා පවසා තිබිණි.

‘විමල් කියූ අනුරගේ අසනීපය’

ජවිපෙ නායකයා පසුගියදා සම්මන්ත්‍රණයක් අමතමින් කියා සිටියේ අධික රුධිර පීඩනය සෑදී විමල් වීරවංශ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවය. මේ පිළිබඳව විමල් වීරවංශ මහතාගෙන් මන්ත්‍රීවරු කිහිප දෙනකුට විමසා සිටියහ.

“අනුර රිමාන්ඞ් කළා නම් පළමු දවසේ ඉඳලාම එයා ඉන්නේ රෝහලේ තමයි. එයාට ඒ දවස්වල ඉඳලම පොඩි අසනීපයක් තිබුණානේ.” විමල් වීරවංශ මහතා කාගෙත් කුතුහලය වඩවමින් කිව්වේය.

“මොකක්ද ඒ අසනීපෙ” කාටත් ගැටළුවකි.

“එයාට එදා ඉඳලම මදුරු දැලක් නැතිව නින්ද යන්නේ නැහැ. එහෙම අසනීප අපට නැහැ” විමල් පැවසුවේ කවුරුත් සිනහ ගන්වමිනි.

‘විමල්ගේ වරප්‍රසාද කඩලා’

රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නියමිත වේලාවට සභා ගර්භයට රැගෙන යාම බන්ධනාගාර බලධාරීන්ගේ රාජකාරියයි. එසේ නොවුණහොත් අදාළ මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද කඩවීමක් සිදුවේ. සිරගතව සිටින විමල් වීරවංශ මහතා මේ කනගාටුදායක තත්ත්වයට පසුගිය පාර්ලිමේන්තු සතියේදී මුහුණු දුන්නේය. පසුගිය 26 වැනිදා වැලිකඩ හා මැගසින් බන්ධනාගාරයේ සිට විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට රැගෙන යා යුතුව තිබුණේ. උදේ 09:00ටය. එහෙත් 09:18 වන විටද විමල් වීරවංශ මහතා සිටියේ සිර මැදිරියේය. ඒ පිළිබව විමල් වීරවංශ මහතා බන්ධනාගාරයේ කනිෂ්ඨ නිලධාරියකුගෙන් විමසූ විට ඔහු විසින් මන්ත්‍රීවරයා බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් වෙත ගෙන ගියේය.

“බන්ධනාගාර නිලධාරීන් සූදානමින් සිටින්නේ. ආරක්‍ෂාවට අවශ්‍ය පොලිස් නිලධාරීන් දෙදෙනා බම්බලපිටිය පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයෙන් එවා නැහැ. ඒකයි මෙවැනි ප්‍රමාදයක් සිදු වන්නේ” බන්ධනාගාර අධිකාරිවරයා පැවසුවේය. පසුව බන්ධනාගාරයේ ආරක්‍ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් දෙදෙනකු යොදවා විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට එවීමට බන්ධනාගාර බලධාරීන් කටයුතුකර තිබුණි.

මේ පිළිබඳව පසුගිය 26 වැනිදා විමල් වීරවංශ මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකර තිබුණේය. ඒ පිළිබඳව වහාම සොයා බැලූ කථානායකවරයා මෙවැන්නක් ඉදිරියේදී සිදු නොවීමට කටයුතු කරන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය. පසුව කථානායකවරයාට මේ සිදුවීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කිරීමටද බන්ධනාගාර කොමසාරිස්වරයා කටයුතුකර තිබිණි.

-අබර-

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*