BREAKING NEWS

‘විමල් සිරකර දින 48යි! පොත් දෙකක් ලියා අවසන්. චිත්‍ර ප්‍රදර්ශනයකට චිත්‍ර අඳින්නත් පටන් අරන්…’

‘විමල් සිරකර දින 48යි! පොත් දෙකක් ලියා අවසන්.
චිත්‍ර ප්‍රදර්ශනයකට චිත්‍ර අඳින්නත් පටන් අරන්…’

‘අධිකරණ නියෝගයක් අනුව රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතාගේ මූලික අයිතිවාසිකම් කඩවන ලෙස ඔහු සිර මැදිරිය තුළ රඳවා තබා ඇති බව ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ පවසා සිටියේය. ඒ විමල් වීරවංශ මහතා පසුගිය සඳුදා එම අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

“අඩි 8ඞ4 ප්‍රමාණයේ සිර කුටියක සවස 5:30 සිට පසුදා උදේ 6:00දක්වා පැය 13කට ආසන්න කාලයක් රදවා තැබීම සිදු වෙනවා. ඒ කාලය තුළ හදිසි ශාරීරික අවශ්‍යතාවක් ඇති වුවත් එය ඉටුකර ගැනීමට පසුදා වනතුරු සිටීමට සිදු වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තියා කිසිදු මනුෂ්‍යයකුට මේ ආකාරයට සැලකීමට හොඳ නැහැ. මේක අමු අමුවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ඒ වගේම ඔහු රඳවා සිටින බන්ධනාගාර ශාලාවේ එල්.ටී.ටී.ඊ සැකකරුවන් හා පාතල සාමාජිකයන්ද රඳවා තිබෙනවා. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව හඬ නැගූ ජාතික නායකයකුද මෙවැනි ස්ථානයක අනාරක්‍ෂිතව රඳවා ගැබීම ඔහුගේ ජීවිත ආරක්‍ෂාවට තර්ජනයක්” යනුවෙන් එහිදී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව බන්ධනාගාර ප්‍රධානීන්ට දන්වා යවන බව එම කරුණු දැක්වීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය. කෙසේ වෙතත් ඉන් අනතුරුව මැගසින් බන්ධනාගාරය වෙත පැමිණි බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන් පිරිසක් ආරක්‍ෂාව හා අනෙකුත් අධිකරණයේ සාකච්ඡා වූ කාරණා සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාගෙන් කටඋත්තරයක් ලබාගෙන තිබිණි.

මේ අතර පසුගිය සෙනසුරාදා රාත්‍රී 10:00ට පමණ විමල් වීරවංශ මහතා රඳවා සිටි මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුව වෙත නවක සිරකරුවන් තිදෙනකු රැගෙනවිත් තිබිණි. ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති යුද හමුදා බුද්ධි බලකා මේජර් බුලත්ගමුව මහතා ඇතුළු බුද්ධි බලකා නිලධාරින් පස්දෙනා අතුරින් තිදෙනෙකි.

“සර් අපි ඉන්ටලිජෙන්ස් යුනිට් එකේ අය. හෙට උදේට කතා කරමු” ඒ වන විටත් අගුළු දමා තිබූ සිය සිරකුටියට වී තම සිරගත අත්දැකීම් කෘතියේ තවත් පරිච්ජේදයක් ලියමින් සිටී විමල් වීරවංශ මහතාගේ සිර මැදිරිය වෙත පැමිණි බුද්ධි බලකා මේජර්වරයා පැවසීය.

කෙසේ වෙතත් ශාරීරික අවශ්‍යතාවකට සිර කුටියෙන් පිටතට පැමිණිමට අවශ්‍ය බව බන්ධනාගාර නිලධාරියකුට කියූ විමල් වීරවංශ මහතා පිටතට පැමිණියේය. ඉන් අනතුරුව මේ තිදෙනාගෙන් විමසූ විට දැන ගැනීමට ලැබුණේ ඔවුන්ට රාත්‍රී ආහාරයද ලැබී නොතිබූ බවය. ඒ වන විට තම සිර මැදිරියේ ඉතිරිව තිබූ ආහාර, වෙනත් සිර මැදිරියක සිටි අයකුගෙන් ලබාගත් ආහාර සහ වතුරද ඔවුන්ට ලබාදීමට විමල් වීරවංශ මහතා යුහුසුලු විය.

ඒ පිරිස රාත්‍රී ආහාරය ලබාගෙන අවසන් වන විට විමල් වීරවංශ මහතා යළි සිරකුටිය තුළට දමා අගුලු දමා තිබිණි. ඔවුන් ඒ සිරිමැදිරිය අසලට පැමිණි අවස්ථාවේ විමල් වීරවංශ මහතා විමසා සිටියේ ‘ඇයි මේ සිදුවීමට ඔයාලව සැක කරන්නේ?’ යනුවෙනි.

“ඒ පහරදීම සිදුවූ දිනයේ අපේ ජංගම දුරකථනවලට දෙහිවල කුළුණෙන් සිග්නල් ඇවිත් තිබුණලු. දැන් සී.අයි.ඩී. එකෙන් අපේ ෆොටෝස් අරගෙන තියෙන්නේ. ඒවා කීත් නොයාර් මහත්තයාට යවාවි. ඊට පස්සේ තියෙන හඳුනාගැනීමේ පෙරට්ටුවකදි එයා අපිව හඳුනා ගනිවි. මේවා හරි වැඩද? අපි රට වෙනුවෙන් අවුරුදු 20-30 කැප වුණු අය. රට බේරා ගැනීමේ යුද්ධයට දායක වුණු අය. මේ වගේ බොරු වැරදි පටවලා කරදර කිරීම ගැන කනගාටුයි.” ඒ බුද්ධි අංශ රණවිරුවන් විමල්ට පැවසුවේ එවන් කතාවකි.

“කනගාටු වෙන්න එපාෟ අපි අපේ රට වෙනුවෙන් කළ යුතු යුතුකම නිසි පරිදි ඉටු කළ අයනේ” විමල් වීරවංශ මහතා ඔවුන් අස්වසමින් පැවසුවේය.

ඉරිදා දිනයේදී ද මෙම කරුණ පාදකකර ගනිමින් අත්අඩංගුවට ගත් බුද්ධි බලකා නිලධාරීන් 02කු විමල් වීරවංශ මහතා සිටි මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුව වෙත එවා තිබිණි.

“මෛත්‍රීගේ සන්ධානය සමඟ විමල් සියලු බැඳීම් අතහැර දමයි!”

මෙවර පාර්ලිමේන්තු සතිය උණුසුම් කළ එක් කරුණක් වූයේ, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තම පක්‍ෂයට විපක්‍ෂයේ ස්වාධීන දේශපාලන පක්‍ෂයක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට පසුගිය බදදා යළි කථානායකවරයාගෙන් ඉල්ලා සිටීමයි. කථානායක කරූ ජයසූරිය මහතා එහිදී පවසා සිටියේ මේ පිළිබඳව ලිඛිතව කරුණු දැක්වීමක් මීට පෙර විමල් වීරවංශ මහතා සිදුකර ඇතත් පාර්ලිමේන්තුවේ වාචිකව මේ පිළිබඳව කරුණු දක්වා නොමැති බවයි.

කෙසේ වෙතත් ඊට පසුදින එනම් බ්‍රහස්පතින්දා තමන් මේ පිළිබඳව වාචිකව පාර්ලිමේන්තුවේ දැක්වූ අදහස් සහිත හැන්සාර්ඞ් වාර්තාවද සභාගත කරමින් කථානායකවරයා සහ සභානායකවරයා පෙර දින දැක්වූ අදහස් නිවැරදි නොවන බව විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය. මේ ඉල්ලීම මුල්වරට වාචිකව ඉදිරිපත් කර තිබුණේ 2016 අප්‍රේල් 05 වැනිදාය.

මේ කතාබස්වලින් අනතුරුව කථානායකවරයා පැවසුවේ මේ ඉල්ලීම පිළිබඳව එදින පැවැත්වෙන පක්‍ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරන බවය.

එකී පක්‍ෂ නායක රැස්වීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතාට කථානායකවරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

“අද පැවැත්වුණු පක්‍ෂ නායක රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අය පැමිණියේ නැහැ. ඒ නිසා අද ස්වාධීනවීම ගැන කතා කළේ නැහැ.

නමුත් සිරගෙදර සිට පාර්ලිමේන්තුවේ ප්‍රධාන රැස්වීම්වලට වගේම ආංශික කාරක සභාවලටත් පැමිණීමට ඉඩකඩ ලබාදෙන ලෙස ඔබතුමා කළ ඉල්ලීම අපි සාකච්ඡා කළා. ඒ අනුව ඔබතුමා සාමාජිකත්වය දරන ආංශික කාරක සභා රැස්වීම්වලට සහභාගීවීමට ඉඩකඩ සලසා දිය යුතුයි, කියන තීන්දුව පක්‍ෂ නායකයන් ගත්තා. ඒ බව අදාළ දිනවලදි බන්ධනාගාර බලධාරීන්ට දැනුම් දීමට කටයුතු යොදනවා” කථානායකවරයා පැවසීය.
“ඒ වගේම අපේ පක්‍ෂය ස්වාධීන වීමට කළ ඉල්ලීමත් ඔබතුමා ඉටුකර දේවි කියා හිතනවා” විමල් වීරවංශ මහතා පැවසීය. ඒ පිළිබඳව මම කටයුතු කරනවා. මම දන්නවා ඔබතුමලා මුහුණ පා ඇති තත්වයන් ගැන. මොකද මමත් විපක්‍ෂයේ හිටපු කෙනෙක්නේ” යනුවෙන් ඊට පිළිතුරු වශයෙන් කථානායකවරයා පවසා සිටියේය.

පුරා දින 48ක් තිස්සේ බන්ධනාගාරගතව සිටින විමල් වීරවංශ මහතා මේ වනවිට තම සිරගත දිවියේ පළමු ග්‍රන්ථය ලියා අවසන්කර තිබේ. එය මුද්‍රණ කටයුතු සඳහා පිටතට යැවීමට බන්ධනාගාර බලධාරීන්ගේ අනුමැතියට මේ වන විට ඉදිරිපත්කර තිබේ. එම කෘතිය නම්කර ඇත්තේ “රටට ඕනෙ වම” යනුවෙනි. එසේම තම සිරගත දිවියේ අත්දැකීම් ඇසුරෙන් ලියැවෙන ග්‍රන්ථයේද මේ වන විට පිටු 200කට ආසන්න ප්‍රමාණයක් ලියා අවසන් කිරීමට විමල් වීරවංශ මහතා කටයුතු කර ඇත.

පොත් ලිවීමෙන් නොනැවතී තවත් නිර්මාණ කටයුත්තකටද විමල් වීරවංශ මහතාදැන් අතගසා තිබේ. ඒ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමේ අරමුණින් චිත්‍ර ඇදීමය. අදිනු ලබන මේ චිත්‍ර සඳහා අවශ්‍ය දිය සායම්, කැන්වස් ආදී මෙවලම් සිරගෙදර වෙත ගෙන්වා ගැනීමට බන්ධනාගාර බලධාරීන්ගෙන් අනුමැතිය ලබා ගැනීමටද විමල් මහතා පසුගිය සතියේ කටයුතු කළේය.

JNP GOSSIP by ABARA

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*