BREAKING NEWS

‘විසිවැනි සංශෝධනය සම්මත වූවාට පසු දුටුගැමුණු මහ රජතුමන් වැනි ශ්‍රේෂ්ඨ නායකයකුට මේ රටේ පාලනය ලැබුණත් ඔහුට කළ හැකි කිසිවක් ඒ වන විට ඉතිරිව පවතින්නේ නැහැ’

‘විසිවැනි සංශෝධනය සම්මත වූවාට පසු දුටුගැමුණු මහ රජතුමන් වැනි ශ්‍රේෂ්ඨ නායකයකුට මේ රටේ පාලනය ලැබුණත් ඔහුට කළ හැකි කිසිවක් ඒ වන විට ඉතිරිව පවතින්නේ නැහැ’

– ජානිපෙ නායක විමල් වීරවංශ

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූවාට පසු ෆෙඩරල් ව්‍යවස්ථාවකින් තොරවම උතුරට ස්වයං පාලනයක් ලැබෙනු ඇති බවත් එවන් තත්ත්වයකදී දුටුගැමුණු මහ රජතුමන් වැනි ශ්‍රේෂ්ඨ නරපතියකුට මේ රටේ පාලන බලය ලැබුණත් ඒ වනවිට ඔහුට කළ හැකි කිසිවක් ඉතිරිව නොපවතිනු ඇති බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

“බෙදුම්වාදී 20 වැනි සංශෝධනය හකුළා ගනුෟ” යන තේමාව යටතේ පසුගියදා නාත්තණ්ඩිය මහවැව මුද්‍රා දේවී ශාලාවේදී පැවැති ජානිපෙ පුත්තලම් දිසා සභාව විසින් සංවිධානය කළ ජනහමුවක් අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“ජාතියකට සිදු විය හැකි ලොකුම විපත තමයි ඒ ජාතිය සතු රාජ්‍යය ඔවුනට අහිමි කිරීම. ලාංකීය ස්වදේශික ජනයාට අයිති රාජ්‍යය පැහැර ගැනීම දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්, පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් සිදු කළේ කෙලින් ඇවිල්ලා. නමුත් අද මේ රාජ්‍යයේ උරුමකරුවන් වන ස්වදේශික ජනයාට නොදැනෙන පරිදි එය පැහැර ගැනීමකුයි සිදු වෙමින් ඇත්තේ.

‘පැති තුනකින් සිදු වන මෙහෙයුම’

අද ඒ මෙහෙයුම පැති තුනකින් සිදු වෙමින් පවතිනවා. ඒ සම්පූර්ණ පින්තූරය තේරුම් ගැනීමට නොහැකි වුවහොත් මේ රාජ්‍යයේ උරුමකරුවන් එය තුළම අවතැන්වවූන් බවට පත් වෙනවා. මේ පරගැති හවුල මේ රට ඇදගෙන යන්නේ එතැනට. ආර්ථිකමය පැත්තෙන්, ව්‍යුහාත්මක හෙවත් ව්‍යවස්ථාමය පැත්තෙන් හා ජාතික ආරක්ෂාව පැත්තෙන් තමයි මේ රාජ්‍යය අපිට අහිමි කිරීමේ මෙහෙයුම දියත් වෙමින් තිබෙන්නේ.

‘ආර්ථිකමය පැත්තෙන් සිදු වන මෙහෙයුම’

අද මේ රටේ ආර්ථිකය හතරගාතෙන් ඇදවට්ටලා තිබෙනවා. ස්වදේශික ගොවි ජනතාව, වෙනත් නිෂ්පාදකයන්, ව්‍යාපාරිකයන් අසරණ වෙලා තිබෙනවා. මංගල සමරවීර මුදල් ඇමතිවරයාට අනුව නම් ‘ඩොලරය ශක්තිමත් වීම නිසා රුපියල බාල්දු වී තිබෙනවා.’ නමුත් ඇත්ත ඒක නොවෙයි, සිදුව ඇත්තේ රුපියල ඉතියෝපියාවේ මුදල් ඒකකයට සාපේක්ෂව 9.2%කින්, සිම්බාබ්වේ මුදල් ඒකකයට සාපේක්ෂව 11.1%කින් හා බංග්ලාදේශයේ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 7.5%කින් අවප්‍රමාණය වීමයි. නවතම ලෝක බැංකු වාර්තාවක් පෙන්වා දෙනවා, ‘දකුණු ආසියාවේ දුප්පත්කමින් කරවටක් ගිලී සිටින රටවල් දෙක අතර ශ්‍රී ලංකාව සිටිනවා’ කියලා. ස්වදේශික ජනතාව ආර්ථික දේහයෙන් ඉවතට ඇදලා දාලා මේ පරගැති හවුල නොරටුන්ට ඒ තැන හදලා දෙන්නයි සියලු සැලසුම් හැදුවේ.

‘කළු සල්ලි, සුදු කරන තිප්පොළක්’

පසුගිය අවුරුදු තුනහමාර තුළ ඒ දෙය කරපු හැටි අපි දැන් බලමු. විදේශිකයන්ට මේ රටේ ඉඩම් සින්නක්කරව මිලදී ගැනීමට ඉඩ සලසා දීම, තට්ටු නිවාස සංකීර්ණවල ඒකක මිලදී ගැනීමේ දී පැවැති 100%ක බද්ද ඉවත් කිරීම, මහ බැංකුවේ අධීක්ෂණයෙන් තොරව ඩොලර්, පවුම්, යුවාන්, යෙන් රැගෙන එන්න පුළුවන් විදිහට විදේශ විනිමය පනත සංශෝධනය කිරීම මේ අතර වෙනවා. දැන් මේ විදේශ විනිමය පනත සංශෝධනය කිරීමත් සමගම ශ්‍රී ලංකාව කළු සල්ලි, සුදු කරන තිප්පොළක් බවට පත්ව තිබෙනවා. ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සල්ලි, කොටි ඩයස්පෝරාවේ සල්ලි අද ශ්‍රී ලංකාව තුළට ගලා එනවා.

‘සිංගප්පූරු ගිවිසුම සහ මලික්ගේ පගාව’

වෙනත් රටවල් මෙන් ගම අත ඇරලා නගරයට ඒම අපේ රටේ සිදු වුණේ නැහැ. ඒකට මූලික වුණේ ගමට අවශ්‍ය යටිතල පහසුකම් ටික නිසි ආකාරයට ලබා දීම. හොඳ පාසලක්, හොඳ රෝහලක්, හොඳ පාරවල් ගමටත් තිබුණා. ග්‍රාමීය කෘෂිකර්මාන්තය දියුණු වුණා. අද ගොවිතැන් කටයුතු විනාශ වෙලා. ගොවියා අසරණ කරලා. ග්‍රාමීය ආර්ථිකයත් හතරගාතෙන් ඇදවට්ටලා තිබෙනවා.මෙහෙම කරලා තමයි සහල් ටිකත් සිංගප්පූරුවෙන් ආනයනය කළ හැකි සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ගැහුවේ. සිංගප්පූරුවේ වී වගා නොකළත් තායිලන්තයේ, මියන්මාරයේ වී අස්වනු වැඩි කාලයට ඒවා මිලදී ගෙන සිංගප්පූරු බෑගයක දමා ලංකාවට එවන්න දැන් එයාලාට ඉඩකඩ විවර වී තිබෙනවා.

ලංකාවේ විදුලි දුම්රිය ව්‍යාපෘතියකින් ඇමැති මලික් සමරවික්‍රම හා ඇමැති සුජීව සේනසිංහ පගා ඉල්ලපු බව දැන් අනාවරණය වෙලා තිබෙනවා. විදුලි දුම්රිය ව්‍යාපෘතියක කොන්ත්‍රාත්කරුවකුගෙනුත් පගාව ඉල්ලපු මලික් සමරවික්‍රම ශ්‍රී ලංකාවේ ආර්ථිකය සිංගප්පූරුවට පාවාදෙන ගිවිසුමක් අත්සන් කරලා සිංගප්පූරුවෙන් කොහොම පගාවක් ගන්න ඇති ද? අපට එහෙම හිතන්න සාධාරණ අයිතියක් තිබෙනවා. මේ අනුව සහල් ටිකත් සිංගප්පූරුවෙන් එනකොට මේ රටේ වී ගොවියාට ගොවිතැන අතහැරලා දාන්න වේවි. ඉඩම විකුණලා නගරයට ඇවිත් කුලියට යමක් කරන්න වේවි. ඒ තත්ත්වය හදලා තමයි දැන් බලපත්‍රලාභී ඉඩම් හිමි ග්‍රාමීය ජනතාවට සින්නක්කර ඔප්පු දෙන්නේ. ග්‍රාමීය ගොවි ජනතාව අන්ත අසරණ කරලා ජනාධිපති, අගමැති රට වටේ ගිහින් සින්නක්කර ඔප්පු දුන්නාම මොකද වෙන්නේ ? ඒ ඉඩම් විකුණා දැමීම. ඒවා මිලදී ගන්න අවසානයේ ස්වදේශික ව්‍යාපාරිකයන්වත් එන්නේ නැහැ. දැන් අධික බදු බර නිසා යමක් කමක් තිබෙන ස්වදේශික ව්‍යාපාරිකයන්, නිෂ්පාදකයන් රට අතහැරලා යන තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. 
‘එට්කා දෙසැම්බරයේ’

මෙවැනි තත්වයක් තුළ ස්වදේශිකයාගේ ඉඩම් ගන්න එන්නේ කවුද? සින්නක්කරව ඉඩම් මිලදී ගන්න හැකියාව හදලා දුන්නු විදේශිකයන්, විශේෂයෙන් ඉන්දියානුවන්, දෙමළ ඩයස්පෝරාව ඇවිත් ඒවා මිලදී ගනීවි. ඒ අස්සේ මේ රටේ සේවා ආර්ථිකය ඉන්දියාවට විවෘත කරලා දෙන එට්කා ගිවිසුම දෙසැම්බරයේ අත්සන් තැබෙන බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කරලා තිබෙනවා. ස්වදේශිකයා ආර්ථිකයෙන් පිටමං කරලා විදේශිකයාට මේ රටේ ආර්ථිකයේ දොරටු විවෘත කරලා දීමයි අද සිදු වන්නේ. අද වන විට ලංකාවේ ඉහළ පෙලේ ස්වදේශික සමාගම් පාඩු ලබනවා. නැතිනම් ලාභය හොඳටම අඩු වීමේ තත්ත්වයකට ඇදවැටිලා තිබෙනවා. අපි අද උපන් රටේ හිඟා කන්න වෙන ජාතියක් බවට පත් වෙමින් තිබෙනවා. මේ විදියට මේ රටේ සම්පත් හා උරුමයන් යන සියල්ල අපට අහිමි වෙන තත්ත්වයකට අප පත් වෙලා තිබෙනවා. ඩොලරයකට එක රුපියලක් වැඩියෙන් ගෙවන්න වෙන කොට මේ රටේ ණය බර රුපියල් බිලියන 35කින් වැඩි වෙනවා. ඒ විදියට රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක් ගෙවීමට සිදුව ඇති අමතර ණය ප්‍රමාණය රුපියල් බිලියන 697ක්. මේ සියල්ල දෙස බලන විට පැහැදිලිව පෙනෙනවා ස්වදේශික ජනතාවට ආර්ථිකය පැත්තෙන් තමන්ගේ රාජ්‍යය අහිමි වෙන ආකාරය.

‘අනුර දිල්ලි ගියේ ඇයි?’

ඊළඟට අපි බලමු, ව්‍යවස්ථා වෙනසකින් මේ රටේ ස්වදේශිකයාව මේ පරගැති හවුල විසින් අන්දමන්ද කරන අන්දම. පරගැති හවුල බලය ඉල්ලුවේ නව ව්‍යවස්ථාවක් හදන්න. නමුත් එජාපයට ලැබුණේ මන්ත්‍රී ධුර 106යි. 113ක්වත් නැති නිසා මුළු පාර්ලිමේන්තුවම අල්ලාගෙන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්කර ගනිමින් නව ව්‍යවස්ථාවක් හදන්න හැදුවා. නමුත් අරුන්දික මන්ත්‍රීතුමන්ලා ඇතුළු ශ්‍රීලනිප 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය සමග වාඩි වුණාම ආණ්ඩුවට 2/3 අහිමි වීමේ තත්ත්වයක් උදා වී තිබෙනවා. ඒ නිසා දැන් බෙදුම්වාදී නව ව්‍යවස්ථාවකින් කරන්න හදපු වැඬේ වෙන පාරකින් ඇවිත් කරන්න හදනවා.

ඒ වැඬේ දැන් භාර දී තිබෙනවා ජවිපෙ නායක අනුර දිසානායක මැතිතුමන්ට. එතුමන් අද (29) උදේ 8.20ට ඒඅයි 282 ඉන්දීය ගුවන් යානයෙන්, ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් දිල්ලි නුවරට ගියා. ‘එයා දිල්ලි ගියේ ඇයි?’ කියලා මම කියන්නේ නැහැ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ අද වන විට දිල්ලි ආණ්ඩුව විසින් මිල දී ගෙන අවසන්. මත්තල ගුවන්තොටුපළ, පලාලි ගුවන්තොටුපළ, කන්කසන්තුරේ වරාය ඉන්දියාවට දෙන්න යනවා. නමුත් ජවිපෙ ‘මීක්’ කියන්නේ නැහැ. ත්‍රිකුණාමල වරායේ කොටසක තිබෙන තෙල් ටැංකි ටික හා ඉඩම් ඉන්දියාවට දෙන්න කැබිනට් අනුමැතිය ලැබුණා. ඒවා ජවිපෙ දන්නේ නැහැ වගේ ඉන්නවා. ගාලු වරායේ කොටසක් ඉන්දියාවට දුන්නාම, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දෙන්න යනකොට ජවිපෙ සද්ද නැහැ. දැන් එයාලා හොඳ ළමයි. (සභාවේ සිනා)

‘20 හදපු අය’

කොහොමහරි දැන් රට බෙදන්න, අස්ථාවර කරන්න, අපි උපන් රටේ අනාථයන් බවට පත් කරන්න උවමනා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජවිපෙට දුන්නා අරගෙන එන්න. නමුත් මේක හැදුවේ ජවිපෙ නොවෙයි. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන්, රට කෑලි 09කට කඩනකම් නින්ද යන්නේ නැති ජයම්පති වික්‍රමරත්න හා තවත් සුරේෂ් නැමැති එන්ජීඕකාරයෙක් එකතුවෙලයි මේක හැදුවේ.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කරන්න හදන්නේ රටේ ශිෂ්ටත්වය හැදීමලු. දැන් බලන්න ලිබියාවේ ගඩාපි එලවලා දැම්මේ ශිෂ්ටත්වය හදන්න කියලා. නමුත් දැන් ආයෙත් ලිබියාවේ වහල් වෙළඳාමත් පටන් අරන්. ඔන්න ලැබුණු ‘නල්ලමලේ ශිෂ්ටත්වය’. මේ වැඩෙන් අවසානයේ ලංකාවට ලැබෙන්නේ ශිෂ්ටත්වය වෙනුවට අශිෂ්ටත්වය. සමගිය වෙනුවට අසමගිය. 20 වැනි සංශෝධනය සම්මත වුණොත් ජනාධිපතිවරණය අහෝසි වුණාට ජනාධිපතිවරයෙක් ඉන්නවා. එයාගේ බලතල අඩු වෙනවා. එයා විධායක ජනාධිපති නොවුණාට ‘නාමමාත්‍රික ජනාධිපති’ කියලා කොහොවත් සඳහන්ව නැහැ.

‘20න් ස්වයංපාලනය හැදෙන හැටි’

විධායක ජනාධිපතිගේ නියෝජිතයා තමයි පළාත් ආණ්ඩුකාරවරයා. ඔහු අදාළ පළාත තුළ විධායක බලය ක්‍රියාත්මක කළා. රටට හානිකර ප්‍රඥප්තියක් ගෙන ආවොත් එය ඉවත්කර දැමීමට පළාත් ආණ්ඩුකාරවරයාට හැකියාව ලැබුණා. නමුත් දැන් ජනාධිපතිවරයාට විධායක බලය නොමැති නිසා පළාත් ආණ්ඩුකාරවරයාට ද විධායක බලය අහිමි වෙනවා. පළාතේ විධායක බලය මහ ඇමතිවරයා සතු වුණාම ඉබේම පළාත් සභාවට ස්වයංපාලනය ලැබෙනවා. අමුතුවෙන් ෆෙඩරල් දෙන්න ඕනේ නැහැ. ඒ නිසායි සුමන්තිරන් ඇතුළු දෙමළ ජාතික සන්ධානය මේ විසිවැනි සංශෝධනයට කැමති.

‘මෛත්‍රීි දිගටම පුටුවේ තබා ගැනීම’

එජාප නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ කණ්ඩායමක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවෙලා තිබෙනවා. ‘20 වැනි සංශෝධනය සම්මත වුණාම ජනාධිපති තෝරන්නේ මේ පාර්ලිමේන්තුවෙන්. එහෙම වුණාම අපි ඊළඟ අවුරුදු හයත් ඔබතුමාම ජනාධිපති විදියට තියාගන්නම්. ඒ නිසා අපිත් එක්ක අවුලක් හදා නොගෙන ඉතිරි තුනත් යමු’ කියලයි ඔවුන් ජනාධිපතිවරයාට පවසා තිබුණේ. දැන් බලන්න, මේ අය 20 පෙන්නලා සිරිසේන ජනාධිපතිවරයාවත් හික්මවා ගන්න හදනවා.

‘විකිණෙන බඩුවලට බලය දීම’

20 වැනි සංශෝධනය සම්මත වුවහොත් ජනාධිපතිවරයා පත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සරල බහුතර ඡන්දයෙන්. ජනාධිපතිවරණය අහෝසි කරලා මේ පත්කරන ජනාධිපතිවරයාට, අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113කගේ ඡන්දය පමණයි. මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනාපු අනුර කුමාර දිසානායක තමයි කීවේ, ‘පාර්ලිමේන්තුවේ ඉන්නේ හොඳට විකිණෙන බඩු ටිකක්’ කියලා. දැන් ඒ ‘විකිණෙන බඩු ටිකට’ ජනාධිපතිවරයකු පත් කිරීමේ බලය ලැබුණොත් මොකද වෙන්නේ ? මන්ත්‍රීවරු 113ක් මිලදීගත හැකි අයකුට මේ රටේ ජනාධිපති විය හැකියි. අපි හිතමු මාකඳුරේ මධූෂ්ට මේ රටේ ජනාධිපති වෙන්න ඕනේ වුණා කියලා. එයාටත් හොඳට සල්ලි තියෙනවානේ. තාත්ත මැරුණු වෙලාවේ එයා තාත්තාගේ දේහයට හෙලිකොප්ටරයකින් මල් වැසි වැස්සුවානේ. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113කගේ ඡන්දයෙන් මාකඳුරේ මධූෂ් මහතාට ද ජනාධිපති ධුරයට පත් වීමේ හැකියාව පවතිනවා.

‘සිරිසේන මහත්තයාට පොඩි කේක් කෑල්ලක්’

මේ 20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරණය අහෝසි කරන්නේ, රනිල් වික්‍රමසිංහට කවදාවත් ජනාධිපතිවරණයකින් ජයගන්න බැරි නිසයි. සිරිසේන මහත්තයාට පොඩි කේක් කෑල්ලක් දෙනවා. ‘ඔයා ඔය පුටුවටම වෙලා පත්තරයක් බලබලා ඉන්න’ කියලා. විධායක බලතලවලින් වැඩි කොටසක් ජනාධිපතිවරණයකින් දිනන්න බැරි රනිල්ට දෙනවා. ‘රනිල්ට බෑ’ කිව්වේ අපි නොවෙයි මංගල සමරවීර. අද රනිල්ට විතරක් නොවෙයි, මංගලට, සාගලට මේ සියලුදෙනාට ‘බෑ’ කියලා ඔප්පු වෙලා ඉවරයි. මේ තමයි ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂයට දෙන උදව්ව. ජනාධිපතිවරණයෙන් එජාප අපේක්ෂකයෙකුට දිනන්න බැරි නිසා 20 වැනි සංශෝධනය ගෙනැවිත් ජනාධිපතිවරණය අහෝසි කරලා දෙනවා. 
‘රට අරාජික වීම’

රාජ්‍යය සම්බන්ධයෙන් තීරණ ගන්නා තැන් දෙකතුනක් තිබෙන්න විදියක් නැහැ. අගමැති ළඟ බලය වැඩියෙන් තිබෙනවා. ජනාධිපති ළඟ තව ටිකක් තිබෙනවා. පළාත් සභාවලටත් යම් බලයක් ලැබෙනවා. මෙහෙම වුණාම රට අස්ථාවර වෙනවා. පළාත් සභාවක් ‘වෙන් වී යා යුතුයි’ කියා තීන්දු කළොත් එහි බලය පවරා ගන්න ජනාධිපතිට බැහැ. ‘එහෙම වුණොත් මොකද කරන්නේ ?’ කියා 20 වැනි සංශෝධනයේ කොතැනකවත් නැහැ. මෙතැන දී වෙන්නේ මුදුන හෙවත් මධ්‍යම ආණ්ඩුව සතු බලතල කප්පාදු කරලා පරිධිය හෙවත් පළාත් ආණ්ඩුවලට වැඩි බලයක් ලබා දීම. එහෙම තත්ත්වයක දී උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් බිහි වීමේ හැකියාව වර්ධනය වෙනවා. මේ තමයි ව්‍යුහාත්මක වශයෙන් හෙවත් ව්‍යවස්ථානුකූලව මේ රාජ්‍යය අපට අහිමි කරමින් තිබෙන ආකාරය. මේ 20 වැනි සංශෝධනය සම්මත වුවහොත් ඉන්පසු දුටුගැමුණු මහ රජතුමන් වැනි මහා වීරයකු මේ රටේ පාලන බලය අතට ගත්තත් කිරීමට කිසිවක් ඉතිරි වන්නේ නැහැ.

‘ජාතික ආරක්ෂාව බිඳවැට්ටවීම’

ඔබේ රාජ්‍යය ඔබට අහිමි කරවන තෙවැනි ආකාරය තමයි ජාතික ආරක්ෂාව බිඳවැට්ටවීම. දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට මේ ආණ්ඩුව කටයුතු කරනවා. එවිට එම පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින පිරිස්, සිර දඬුවම් ලබන පිරිස් නිදහස් වෙනවා. මේ යටතේ දළදා මාලිගාවට බෝම්බ ඇටවූ, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස ලේ විලක් ඇති කළ, කැබිතිගොල්ලෑවේ සමූහ ඝාතනය සිදු කළ, මහ බැංකුව පුපුරා හැරි කොටි ත්‍රස්තවාදීන්ට නිදහස ලැබෙනවා. කොටි ත්‍රස්තවාදීන්ට එසේ නිදහස ලබා දෙන මේ ආණ්ඩුව බුද්ධි අංශ රණවිරුවන් හා භික්ෂූන්වහන්සේලා සිරගත කරමින් සිටිනවා. ඒක තමයි ලැබුණු වෙනස. දැන් බලන්න, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරලා ගෙන්න හදන නව නීතිය දිහා. එය ත්‍රස්තවාදීන් ආරක්ෂා කොට, රැකබලා ගැනීමේ පනතක් බවයි පෙනෙන්නේ. මේකෙන් සිදු වෙන්නේ රටේ ජාතික ආරක්ෂාව බිඳවැට්ටවීම නොවෙයි ද?

‘පොලිස් ඔත්තුකරුවෝ’

දැන් බලන්න, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කටයුතුකර ඇති ආකාරය. එමගින් ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශනයට අදාළ කිසිවක් සිදු වෙන්නේ නැහැ. නාමල් කුමාර කියන පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ බුද්ධි අංශයට සම්බන්ධව සිටි ඔත්තුකරුවා දැන් හඬපට සමග තමන් කළ සියල්ල වමාරමින් සිටිනවා. ඔහු කියනවා, ‘මහනුවර සිංහල – මුස්ලිම් ගැටුම හදන්න මට ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා උපදෙස් දුන්නා’ කියා. එතැන දී ‘ඩෑන් ප්‍රියසාද්’ කියන නමත් කියැවෙනවා. බලාගෙන ගියාම සිංහලයන් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වන, ‘සටන්කාමී බඩු ටික’ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ බුද්ධි අංශ වැටුප් ලේඛනයේ සිටින බව පෙනී යනවා.

‘ගෝඨාභය මැරුවාම වාසිය කාට ද?’

මේ නාමල් කුමාර හඬපට සහිතව අනාවරණය කළ බරපතලම කරුණ වූයේ ‘ජනාධිපති – හිටපු ආරක්ෂක ලේකම් ඝාතන තැත’ පිළිබඳ කරුණයි. ජනාධිපති මරා දැමුවොත් වැඩ බලන ජනාධිපති වෙන්නේ කවුද? රනිල් (සභාවෙන් පිළිතුරු) ඒ වගේම ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් අගමැති රනිල් වික්‍රමසිංහගේ භයානකම ප්‍රතිවාදියා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. එහෙනම් ගෝඨාභය රාජපක්ෂ මහතා මරා දැමුවොත් එහි වාසිය කාට ද? රනිල්ට (සභාවෙන් පිළිතුරු) පසුගියදා පාර්ලිමේන්තුවේ දී මේ ඝාතන තැත පිළිබඳව අප ප්‍රශ්න කරන විට, වෙනදා ‘ඇදගෙන නාන’ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, පොලීසිය භාර ඇමතිට ‘නාන්න දීලා’ පූස් පැටියෙක් වගේ හැංගිලා හිටියා. ඒ මේ වැඩෙන් වාසිය ලැබෙන්නේ එයාට නිසයි. කෙසේ වෙතත් මෙහිදී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට හෝ පොලිස්පතිවරයාට එල්ල වන චෝදනාවලට සාධාරණ පරීක්ෂණයක් පැවැත්වෙන බව පෙනෙන්නේ නැහැ. මෙපමණ බරපතළ චෝදනාවක් එල්ල වී තිබෙන නාලක ද සිල්වා නැමැති චූදිතයා, පොලිස් අපරාධ විමර්ශන අංශයට කළු අව් කණ්ණාඩි කුට්ටමකුත් දාගෙන ඇවිත් කට උත්තර දීලා ‘සැන්ඩෝ’ වගේ යනවා.

‘තුෂාර පීරිස් – දෙමළ ඩයස්පෝරාව’

නාමල් කුමාර නමැති පොලිස් ඔත්තුකරුවා හෙළිදරව් කළ තව වැදගත් කරුණක් තමයි, ප්‍රංශයේ සිටින තුෂාර පීරිස් නැමැති පුද්ගලයා තමන්ට මුදල් එවා සිංහල – මුස්ලිම් ගැටුමක් අවුලුවන්න කීවා, කියන එක. මේ පුද්ගලයාට ඒ සඳහා මුදල් ලැබෙන්නේ දෙමළ ඩයස්පෝරාවෙන් බව ද නාමල් කුමාර අනාවරණයකර තිබුණා. කොහොම නමුත් සිංහල – මුස්ලිම් ගැටුමක වාසිය යන්නේ දෙමළ බෙදුම්වාදීන්ට. නැගෙනහිර මුස්ලිම් ජනතාවට ‘සිංහල – මුස්ලිම් ගැටුම්’ පෙන්නලා තමන්ට නම්මාගෙන උතුරු – නැගෙනහිර පළාත් ඒකාබද්ධකර ගෙන ඊළම නිර්මාණයකර ගැනීමේ මාර්ග සිතියමට මේ සිංහල – මුස්ලිම් ගැටුම් ඕනේ. දැන් සියල්ල පැහැදිලියි. මේ සියලු විනාශයන් සිදු වන්නේ මේ පරගැති ආණ්ඩුවේ, දෙමළ ඩයස්පෝරාවේ සහ බටහිර බලවතුන්ගේ වුවමනාවන්ට අනුවයි. මේ සියල්ලෙන් පෙනී යන්නේ ජාතික ආරක්ෂාව අතින් අපි රටක් ලෙස බරපතළ අනතුරුදායක තත්ත්වයක සිටින බව නොවේ ද ?

‘ස්ත්‍රී දූෂකයාට දුව බලා ගන්න දීලා”

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළාම කොටි එළියට එනවා. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ජාතිවාදී ගැටුම් අවුලුවනවා. ඒකට දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලැබෙනවා. මේක හරියට ‘ස්ත්‍රී දූෂකයකුට දුව බලාගන්න දුන්නා වගේ’ වැඩක් නෙවෙයි ද? සාලාව අවි ගබඩාව පිපිරුණා. කෝ අදටත් වාර්තාවක් ලැබී තිබෙනවා ද? එකෙන් ආරක්ෂක හමුදාවල අවි බලය අඩු වුණා. බර අවි උණ්ඩ මුහුදෙ ගිල්ලුවා. දැන් හමුදාවේ පිරිස් බලය 25%කින් කප්පාදු කරනවා. මේවා අපි විතරක් නොවෙයි ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්තයාත් පෙන්වා දෙනවා. දැන් ටික කාලයක ඉඳලා එයාගේ ඔළුව හොඳ අතට හැරෙන බව පෙනෙනවා.

‘මෛත්‍රීපාල සිරිසේන වීරයා’

අනේ අම්මපා මෙහෙමත් ජනාධිපති කෙනෙක්. ‘මට කිසිම දෙයක් කරන්න දුන්නේ නැහැ’ කියමින් මහින්ද රාජපක්ෂ මහත්තයාට දොස් කියපු මෙයා දැන් කියනවා, ‘මට අවසාන සති දෙකේ යුද්ධය කරන්න ආරක්ෂක ඇමතිකම දීලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රට ගියා. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා හා හමුදාපති සරත් ෆොන්සේකා යන දෙන්නාත් රටේ හිටියේ නැහැ’ කියලා. කමක් නැහැ, අපි ඔයා යුද්දේ කළා කියලා පිළිගන්නම් කෝ. ඔය සති දෙකේ තමයි යුද අපරාධ සිදු කළා කියලා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය චෝදනා එල්ල කළේ. ඉතින් ඔයා ඒ චෝදනාවත් භාර ගන්න. ඒ අනුව බැලුවාම ජිනීවා යෝජනාවෙන් එල්ල කළ යුද අපරාධ චෝදනාවලට වගකිව යුත්තේ අවසන් සති දෙකේ යුද්ධයට අණ දුන් ශ්‍රී ලංකාවේ හිටපු වැඩ බලන ආරක්ෂක ඇමැති මෛත්‍රීපාල සිරිසේන වීරයා. (සභාවේ මහ සිනා)

‘ගෝඨාභය විසිහතර පැයම නිදිවරාගෙනයි හිටියේ’

අන්තිම සති දෙකේ හිටපු ආරක්ෂක ලේකම් පැය 24ම ඇස් ඇරගෙන හිටියේ. ඔහු කිසිම රටකට ගියේ නැහැ. කොටියාට ඒ දවස්වල උඩින් ඇවිත් ගහන්න නොවෙයි, බිම දිගේ බඩගාගෙන යන්නවත් පණ තිබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ දිනවල රට ගියේ එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් ලංකාවට ඇවිත් වන්නියට ගිහිල්ලා යුද්ධය නතර කිරීමේ උත්සාහයක් ගත් නිසයි. රාජ්‍යය නායකයා රටේ නොමැති තත්වයක් යටතේ ඔහුට යම් රටකට එන්න බැහැ. ඒක සම්ප්‍රදායක්. ඒ සම්ප්‍රදාය, උපායශීලීව රට බේරා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂයන් යොදා ගත්තා. ජෝර්දානයේ පැවති ආර්ථික සමුළුවකට මුදල් අමාත්‍යවරයා ලෙස තමන්ට ලැබී තිබූ ආරාධනාව, උපායශීලීව භාවිතා කරමින් තමයි එදා එතුමන් බැන් කි මූන්ව මගහැරියේ. ඒක මේ රට වෙනුවෙන් ගත්තු තීරණයක්. එහෙම නැතුව මහින්ද රාජපක්ෂයන් යුද්ධය අවසන් දිනවල ‘ආතල්’ ගන්න රට ගියේ නැහැ. ‘මට මේ වැඬේ වැඩි දවසක් අල්ලාගෙන ඉන්න බැහැ. ඉක්මනින් යුද්ධය අවසන් කරන්න’ කියා තමන්ගේ සහෝදරයා වූ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට උපදෙස් දීලයි එතුමා රට ගියේ.

‘පාර්ලිමේන්තුව තුළ බල පෙරළියක්’

අපේ රාජ්‍යය අපට අහිමි කරන මේ පාපතර ගමනට ඉඩ දී නිහඩව සිටීමට අපි කාටත් බැහැ. ජනාධිපතිවරණයක් එනතෙක් නිහඬව බලා සිටියොත් අපට ගොඩනැගීමට රටක් ඉතිරි වෙන එකක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව තුළ බල පෙරළියක් කළ යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ සිටින ඔබගේ නියෝජිතයන්ට බල කරන්න. මේ පාපතර ගමනින් රට ගලවා ගැනීමට පෙරට එන්න.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018.10.01

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.