BREAKING NEWS

‘වෙනස මාරයි – රට හමාරයි’

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බ‍්‍රහස්පතින්දා එහි බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී රැස් වූයේ පක්‍ෂ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ සහ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙනි.

එහිදී මූලික වශයෙන් අවධානයට ලක් වූයේ අපේ‍්‍රල් 23 වැනිදාට දින 100 සම්පූර්ණ වූ ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳවය.

‘‘මේ ආණ්ඩුවේ දින 100 අදන් ඉවරයි, මේ දින 100 රටට උරුමකර දී ඇත්තේ කුමක්ද? දින 100 ඇරඹෙන විට මේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් තිබුණා. නමුත් අද දින 100 අවසානයේදී රට තුළ දේශපාලන අස්ථාවරභාවයක් ඇතිවී තිබෙනවා. ඒ වගේම ආර්ථිකය බරපතළ විදියට කඩා වැටිලා සමාජයේ සෑම සියලූ ක්‍ෂේත‍්‍රයන්ටම බරපතළ පීඩනයක් ඇති වී තිබෙනවා. ඒ විතරක් නොවෙයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුළලා දේශපාලන දඩයම අරඹලා තිබෙනවා.

මේ ආණ්ඩුව ජනවාරි 09 වැනිදායින් ඇරඹි ‘දින 100 ව්‍යාපෘතියෙන්’ බලාපොරොත්තු වුණේ පරාජයට පත් වුණු දේශපාලන බලවේගය ‘අප්පච්චි මළෝ’ කියලා සදහටම වල දමන්න. නමුත් මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ඒ දේශපාලන බලවේගයන්ට ඒ දඩයමට එරෙහිව කෙලින් හිටගන්න පුළුවන්කම තිබුණා. ඒ දේශපාලන බලවේගය ‘දින 100 ආණ්ඩුවේ’ මර්දනයට යටත් නොවී ඊට එරෙහිව මුළු රටම අවදි කිරීමට සමත් වුණා. ඒ නිසා මීළග පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉතාමත් තීරණාත්මක ආකාරයට අගමැති අපේක්‍ෂකත්වයට මහින්ද රාජපක්‍ෂ මහතාගේ නම යෝජනා වී තිබෙනවා. අනෙක් පැත්තෙන් රනිල් වික‍්‍රමසිංහ මහතාට තරග වදින්න සිදුව තිබෙනවා. දින 100 ව්‍යාපෘතිය ඇතුළේ තිබුණේ ඊළග පාර්ලිමේන්තු මැතිවරණයේදී සටනකින් තොරව රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති ධුරයට පත් වීමට අවශ්‍ය ඉඩකඩ සලසා ගැනීම. නමුත් දින 100 ගෙවෙන කොට රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ සටනකින් තොරව අගමැති වීමේ සිහිනය බොඳකර හරින්න මේ රටේ දේශපේ‍්‍රමී, ජාතිකවාදී බලවේග සමත්ව තිබෙනවා.’’ විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

‘‘ඒ නිසා දණ්ඩෙන් පහර කෑ නාගයකු සේ කිපී සිටින ‘දින 100 ආණ්ඩුව’ තම දේශපාලන ප‍්‍රතිවාදීන් දඩයම් කිරීම ඉතාමත් සාහසික ලෙස සිදු කිරීමට පටන් ගෙන තිබෙනවා. විපක්‍ෂයේ බහුතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට රැයක් නිදි මරාගෙන උද්ඝෝෂණයක නිරත වීමට සිදු වුණා. එහෙම කරන්න සිදුවුණේ ඇයි? අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද ‘දඩයම් මන්දිරයක්’ බවට පත්කර ගෙන එහි අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට දඩයම් කුමාරියක් පත්කරගෙන තම දේශපාලන ප‍්‍රතිවාදීන් ඉතාමත් නින්දිත ලෙස දඩයම් කළ නිසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිරූපයට හානි කරන්න. අද අල්ලස් ගණයට නොවැටෙන ඉතාමත් සාවද්‍ය චෝදනා එල්ල කිරීමට පවා මේ ආණ්ඩුව කටයුතු කරනවා. ඒ වගේම හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ චරිතය ඝාතනය කරමින් ඔහු දඩයම් කිරීමටත් වර්තමාන ආණ්ඩුව කටයුතු කරනවා. මෙතැන පැහැදිලිවම සිදු වන්නේ දේශපාලන දඩයමක්. එය මේ රටට ආදරය කරන ජනතාව කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.’’ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා එහිදී සඳහන් කළේය.

‘‘පසුගිය අගහරැවාදා (22) රාත‍්‍රියේ මම දෙරණ නාලිකාවේ වාදපිටිය දේශපාලන සංවාදයට සහභාගී වුණා. ඒ වැඩසටහන අවසන් වෙලා ආයතනයෙන් එළියට එනකොට පොලිස් නිලධාරීන් රැඳී සිටිනවා. ඔවුන් පැවසුවේ කුමක් හෝ නියෝගයක් රැගෙන ආ බවයි. නමුත් නියෝගයක් රැගෙන ආවා නම් පැමිණිය යුත්තේ අපේ නිවෙස්වලට, කාර්යාලවලට. දේශපාලන වැඩසටහනකට ගිහිල්ලා තමන් විවේචනය කළාම එතැනට පොලිසිය එවන්න තරම් මේ ආණ්ඩුව බංකොලොත් වෙලා තියෙනවා. මේ දඩයමින් අපිව ආපස්සට හරවන්න බැහැ කියන එක ඔවුන් මතක තබා ගත යුතුයි.’’ ප‍්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා තමාට අත් විඳින්නට වූ කටුක අත්දැකීමක් ද ගෙනහැර පාමින් එසේ පැවසීය.

‘‘දින 100න් ඇතැම් ජනතාව පැතූ වෙනසක් තිබෙනවා. වෙනසක් කරන්නයි මේ අය ආවේ. හැබැයි අද අපට ඉතා පැහැදිලියි ‘වෙනස මාරයි-රට හමාරයි’ කියලා. මොකක්ද මේ අය කරපු මාර වෙනස? මේ වෙනස ඇතුළේ මේ අය ‘කියලා කරපු දේවල්’ වගේම ‘නොකියා කරපු දේවල්’ තිබෙනවා. ඒ වගේම මේ දින 100 තුළ මේ අය ‘බොරු අතුරින් හොඳම බොරු’ ටිකකුත් කියලා තිබෙනවා.’’ විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

‘‘මේ ආණ්ඩුව තමන්ගේ වැඩපිළිවෙළේ කොතැනකවත් කීවේ නැහැ, ‘ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළනවා’ කියලා. නමුත් අද ඒ දෙය ඉතාමත් පැහැදිලිව සිදු වෙමින් තිබෙනවා. හමුදා බුද්ධි අංශ ප‍්‍රධානී කපිල හෙන්දාවිතාරණ මහතා ඉවත් කිරීම, උතුරේ ආණ්ඩුකාරවරයා දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම මත ධුරයෙන් ඉවත් කිරීම,  ඕමන්තේ මුරපොළෙන් සිදුකළ පරීක්‍ෂාවන් නතර කිරීම, පලාලි අධිආරක්‍ෂිත කලාපයට අයත් අක්කර 7152න් අක්කර 1000ක් නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය ලබාගැනීම යන ඒවා ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළමින් ‘නොකියාම’ කරපු දේවල්.

ඒ වගේම යහපාලනය උදාකරනවා කියමින් නොකියාම කරපු ‘යමපාලන වැඩ’ ටිකකුත් තියෙනවා. පී. හැරිසන් අමාත්‍යවරයාගේ ආධාරකරුවන් තලාව පොලීසියේ නිලධාරීන් දෙදෙනකුට රෝහල්ගත වන සේ පහරදීම, නීතිය හා සාමය භාර ජෝන් අමරතුංග ඇමතිවරයාගේ ආධාරකරුවන් වත්තල ප‍්‍රාදේශීය සභා රැස්වීමකට කඩා වැදී එහි සභාපතිවරයාට සහ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට පහරදීම, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන් කොළඹ නව රුසියානු තානාපති කාර්යාල සංකීර්ණයට බලහත්කාරයෙන් දොරවල් කඩාගෙන ඇතුළුවීම ඒවා අතර තිබෙනවා.’’ නියෝජ්‍ය සභාපති, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක මහතා පෙන්වා දුන්නේය.

‘‘ඊළගට පවුල් පාලනය ඉවත් කරනවා කිව්වා. නමුත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු කුමාරසිංහ සිරිසේන ටොලිකොම් සභාපති ධුරයට පත් කළා. ඔහුගේ මාසික වැටුප තුන් ගුණයකින් වැඩිකරලා. ඔහු ටෙලිකොම් සමාගමින් පමණක් රුපියල් ලක්‍ෂ 30ක දීමනාවක් ලබනවා. ඊට අනුබද්ධ ආයතනවලින් ලැබෙන දීමනා හා වරප‍්‍රසාද සමග සලකා බැලූ විට ඔහු රුපියල් කෝටියක පමණ දීමනාවක් ලබනවා. රවී කරුණානායකගේ සමීපතම ඥාතියකු රක්‍ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ ධුරයට පත් කරලා තිබෙනවා. ඔහුගේ මාසික වැටුප රුපියල් ලක්‍ෂ 06ක් බව මාධ්‍ය මගින් වාර්තාකර තිබුණා. ඒ වගේම අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතාගේ පුතා ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ලෙස පත් කොට තිබෙනවා. ජනාධිපතිවරයාගේ ‘ලොකු බෑණාට’ ආරක්‍ෂක අමාත්‍යාංශයේ මහජන සම්බන්ධිකරණ නිලධාරී තනතුර ලබාදී තිබෙනවා. ඔන්න ‘යහපාලන පවුල් ගහ’ දළුලන ආකාරය. මේවා ‘නොකියාම කරපු’ දේවල්.’’ නියෝජ්‍ය ලේකම්, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා යහපාලන පවුල් ගස දළුලන ආකාරය පෙන්වා දුන්නේය.

‘‘අධිකරණ කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරීම, මහජන නියෝජිතයන්ට චර්යාධර්ම සංග‍්‍රහයක් නීතිගත කිරීම ආදිය ‘කියලා නොකරපු දේවල්’ අතර වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ජාතික විධායක සභාවට ගිහිල්ලා ආණ්ඩුවත් සමග ‘අනියම් සම්බන්ධයක්’ පවත්වන අතරතුරේ තමයි කීවේ, ‘අපි මන්ත‍්‍රීවරුන්ට චර්යාධර්ම උගන්වලයි පස්ස බලන්නේ’ කියලා. ‘දඩයම් කුමාරලා’ ආණ්ඩුවත් එක්ක ‘තහනම් ගහේ ගෙඩි කෑවට’ ගෙනාපු ‘චර්යා ධර්ම සංග‍්‍රහයක්’ නම් නැහැ.’’ නියෝජ්‍ය ලේකම් නිමල් පේ‍්‍රමවංශ මහතා ද සංවාදයට එක් වෙමින් පවසා සිටියේය.

‘‘මේ දින 100 ආණ්ඩුව ‘බොරු අතුරින් හොඳම බොරු’ ටිකකුත් නිර්මාණය කර තිබෙනවා. ඒවා පිළිබඳවත් නොකියාම බැහැ. රජයේ සේවකයාට රුපියල් 10,000ක මූලික වැටුප් වැඩිවීමක් දෙනවා කීවා. නමුත් වැඩිපුර රුපියල් 5000ක දීමනාවක් එල්ලපු එක විතරයි මේ අය කෙළේ. වී කිලෝවක් රුපියල් 50ට ගන්නවා කීවා. ලංකාවේ කොතැනකද රුපියල් 50ට වී මිලදී ගන්නේ?. රබර්වලට රුපියල් 350ක සහතික මිලක් දෙනවා කීවා. ඒක දින 100දී කෙරුණාද? තේ දළුවලට රුපියල් 80-90ක සහතික මිල ලැබුණේ නැහැ. ගොවි ණය කැපුවේ නැහැ. උගස් කළ රන් භාණ්ඩවල පොලිය අයින් කළේ නැහැ. ඒ නිසා ඒ සියල්ල මේ රටේ ‘බොරු අතුරින් හොඳම බොරු’  බවට පත්වී තිබෙනවා. ‘වෙනස මාරයි – රට හමාරයි’ කියා ඉතා පැහැදිලියි.

මේ දින 100 ව්‍යාපෘතිය මගින් මේ රට අස්ථාවර වී තිබෙනවා. පනතක් සම්මත කර ගන්න බැරි දේශපාලන අස්ථාවරත්වයක් රට තුළ මතුව තිබෙනවා. ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළා තිබෙනවා. ආර්ථිකය පත්ලටම කඩා වැටී තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව ‘මාර වෙනසකින් ’ ‘රට හමාරකර’ තිබෙනවා. මේ ආණ්ඩුව ඉදිරියට ගියොත් අද මහින්ද රාජපක්‍ෂ – ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන්ට එල්ල වී ඇති මර්දනයේ හස්තය මේ රටේ සුවහසක් ජනතාවට නුදුරේදීම එල්ල වේවි. ඒක නිසා ඊළග මැතිවරණයෙන් ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනගන්න රටේ සියලූ ප‍්‍රගතිශීලී ජනකොටස් ඒකාරාශී කළ යුතුයි’’ විමල් වීරවංශ මහතා   රැස්වීම අවසන් කරමින් අවධාරණය කළේය.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*