BREAKING NEWS

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාවේ හංගපු නාම ලේඛනය එළියට දමන ලෙස අමාත්‍ය විමල් වීරවංශ ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව පිටකරන ලෙස නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.

මීට අමතරව අලුත්ගම ධර්ගා නගරයේ සහ මහනුවර තෙල්දෙණිය ප්‍රදේශවල ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභා දෙකක් පත්කරන ලෙසට අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලීමක් කරන ලදි.
අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව ප්‍රකාශ කළේ හෝමාගම ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ඌව වෙල්ලස්සේ දැවැන්ත විමුක්ති සටනක් ආරම්භ කර ඒ සටනට වසර 200 ක් පිරෙන මේ මොහොතේදී 2018 වසරේදී අප ඔබව මුණ ගැසෙනවා. බූටෑව රටේ රාළලා, කොහු කුඹුරේ රටේ රළලා, මී භාරේ රාළලා ආරම්භ කළ 1818 ආරම්භ කළ විමුක්ති සටන ජයග්‍රහණයෙන් කෙළවර කර ගන්නට බැරි වුවද මේ රටේ සටන් ඉතිහාසයේ දැවැන්ත වීරවත් සලකුණක් තබන්නට අපගේ රණකාමී මුතුන් මිත්තන්ට හැකි වුණා. 1815 බ්‍රිතාන්‍යන්ට යටත් වූ රාජ්‍ය ආරක්ෂා කර ගැනීමටත්, රාජ්‍ය මත ඔටුණු පැළදවීමටත් අපගේ මුතුන් මිත්තන් අවුරුදු 200 කට පෙර ඒ මහා සටන දියත් කරනු ලැබුවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් එදා ගම්පාලූ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ඌව වෙල්ලස්සේ සරු සාර කෙත්වතු සියල්ල ගිනි බත් කර හරකා බාන වතු පිටි සියල්ල විනාශ කර දැමුවා. අවුරුදු 12 වැඩි සියලු තරුණ දරුවන්ම මරා දමා ඌව වෙල්ලස්ම ස්වදේශික ජනයාගේ ලේ වලින් පුරවා දැමුවා. ඒ මර්දනයට වසර 200 සපිරෙන මොහොතේදී නැවතත් අධිරාජ්‍යවාදී බලවේග ඇමැරිකානු‍, මහා බ්‍රිතාන්‍ය හා බටහිර යුරෝපා රටවල තානාපතිවරුන්ගේ ගෝලයන් පාර්ලිමේන්තුවේ ගැලරියට පැමිණ මෙරට ඉරණම තීරණය කරමින් සිටින වේලාවකයි අද අප ඔබව හෝමාගම නගරයේදී මුණ ගැසෙන්නේ.

එදා ජෝන් ඩොයිලිලා වෙනුවට අද පාර්ලිමේන්තුවට ගැලරියට වෙන ඩොයිලිලා පැමිණ තිබෙනවා. එදා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා, ‍ෙෆඩ්රික් නෝත් වෙනුවට අද පාර්ලිමේන්තුව ගැලරියට පිරිසක් පැමිණ තිබෙනවා. එදා කාලතුවක්කු උණ්ඩයෙන් කළ බල පෙරළිය අද පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි මාරුවෙන් කරන්නට පුළුවන්ද කියා බලනවා. එදා කාලතුවක්කු උණ්ඩයෙන් කළ මර්දනය අද ඊනීයා සම්බාධක පනවා කරන්නට පුළුවන්ද කියා බලනවා. සංචාරක අනතුරු ඇඟවීම්වලින් කරන්නට පුළුවන්ද කියා බලනවා. මෙරට ආර්ථිකය කඩා කප්පල් කර වට්ටා දැමීමට පුළුවන්ද කියා බලනවා. 
ඌව වෙල්ලස්ස සටනට වසර 200 සපිරෙන මොහොතේදී පැරණි අධිරාජ්‍යවාදී කල්ලි මෙරට ඉරණම තීරණය කිරීමට සුදානමින් සිටිනවා. එදා යුද්ධය තිබෙන විටද මෙරට දෙපැත්තකට බෙදුනා. ජාතිකවාදී බලවේග එක කොටසක්ද, විජාතික බටහිර ගැති කූලී බලවේග එක කොටසක් ලෙසට බෙදී ගියා. එදා බටහිර ගැති කූලී බලවේග යුද්ධය ඉදිරියට යෑම වළක්වන්නට උත්සාහ කළා. 
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ණය ලබා දුන්නොත් අපේ ආණ්ඩුවක් පැමිණි පසු එය නොගෙවන බව කිව්වා. යුද්ධය යන වේලාවේ ආර්ථිකය බිද වැටිලා ආරක්ෂක මළ කඳන් තොග පිටින් කොළඹට එනකන් තොප්පිගල කැළයක් කිව්ව දේශපාලනඥයින් බලාගෙන හිටියා. ජනතා විමුක්ති පෙරමුණේ රතු අලි පැටව් එදා යුද්ධය තීරණාත්මකව ඉදිරියට යන විට සමස්ථ මහා වැඩවර්ජන ආරම්භ කළා. එදා වසර 200 කට බූටෑව රටේ රාළලා, කොහු කුඹුරේ රාළලා, වීර මොණරවිල කැප්පැටිපොළ සටන් කළා සේ අදත් නූතන අරගලය දියත් කරන්නට මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් ප්‍රමුඛ මේ දෑ හිතකාමී බලවේග සටනේ අප සිටිනවා. 

ෙෆඩ්රික් නෝත්, ඩොයිලි වෙනුවට වෙන නම්වලින් පිරිස් සිටිනවා. එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයට කත් ඇදපු ස්වදේශකයින් වෙනුවට අද රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, සුමන්තිරන් යන ආදී නම්වලින් හදුන්නවට පුළුවන් අය සිටිනවා. එදා ඌව වෙල්ලස්සේ කදු මුදුනේ දියත් වූ සටන අද පාර්ලිමේන්තුවේ මහ ජනතාව අතර එකවර දියත්වන සටනක් බවට පත්ව තිබෙනවා.

එදා ගම් පාලු ප්‍රතිපත්තිය අද ආර්ථිකය කම්බස් කිරීමේ ප්‍රතිපත්තිය ලෙස හදුන්වා දෙන්නට බලනවා. කොහු කුඹුරේ රාළලා, වීර මොණරවිල කැප්පැටිපොළ දියත් කළ සටන අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් නායකත්වය ලබා දෙන සටන බවට පත්ව තිබෙනවා. වීර මොණවිල කැප්පැටිපොළ මුලින් සුදු අධිරාජ්‍යවාදීන්ගේ පාලනයේ සෙනෙවියෙක් වී සිටියා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ද මුලින් මේ විජාතික ගැති පාලනයේ ජනාධිපති වී සිටියා. වීර මොනරවිල කැප්පැටිපොළ නිලමේතුමන්ට පුළුවන් වුණා අලුපොත යන ගමේදී ඌව වෙල්ලස්ස සටන නායකයින් මුණ ගැසී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට තිබූ පක්ෂපාතීත්වය අතහැර ස්වදේශික ජනයාගේ අභිලාෂය වෙනුවෙන් සටන කරන මාවත තෝරා ගන්නට. ඒ අයුරින්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ද ඒ හා සමානව හැරවුමකට එන්නට හැකිවුණා. කුමන වෙස් පැළද ගත්තද අද මේ රට දෙකට බෙදී අවසානයි. විජාතික පරගැති පැත්ත එක පැත්තක ද, ජාතිකවාදී දෑ හිතකාමී හවුල තව පැත්තක ද සිටිනවා. විජාතික පරගැති පැත්ත පිටුපස නූතන ජෝන් ඩොයිලි, ‍ෙෆඩ්රික් නොත් සිටිනවා. ජාතිකවාදී දෑ හිතකාමී හවුල තව පැත්තක. ඒ පිටුපස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඒ බලවේගයේ සිටිනවා. වසර 200කට පසු නිර්මාණය වී ඇති සටන එකයි.

රනිල් වික්‍රමසිංහ පාලනයක් වසර තුන හමාරක් ගෙන ගියා. දුන්න පොරොන්දු ඔබට ලබා දුන්නාද, එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් අප අසන්නේ එයයි.හම්බන්තොට වරයා, දුන්නා විදේශිකයාට, තව සිටියා නම් මත්තල ගුවන්තොටුපල, කන්කසන්තුර වරාය, පලාලි ගුවන්තොටුපල, ත්‍රිකුණාමල වරාය, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, සියලු අධිවේගී මාර්ග, මෙරට ඉඩම් සින්නක්කර ගැනීමේ බලය ලබා දෙන්නේ විදේශිකයාටයි. මෙරට කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයින් වැටෙන විට ඔවුන්ගේ අවස්ථාව අතට ගන්නේ විදේශිකයින්. විදේශ විනිමය පනත වෙනස් කරනු ලැබුවා. විදේශ සල්ලි මහ බැංකුවේ අධික්ෂණයෙන් තොරව ලංකාවට ගෙන ඒමට අවස්ථාව උදා කර දුන්නා. කලු සල්ලිකාරයන් මෙරටට එන්නට පටන් ගත්තා.

මෙරට මාධ්‍ය ආයතන ඇතුළු මෙරට ස්වදේශික ව්‍යාපාර වැටෙන විට ගත්තේ ලයිකා මොබයිල් කියන කොටි සල්ලි වලින් ගත්ත ආයතනයයි. එවිට කොටි කලු සල්ලි වලට එන්නට පාර කැපුවා. ආපේ ආණ්ඩුව කාලයේ විදේශිකයකු මහල් නිවාසයකින් නිවසක් මිලදී ගන්නවා නම් සියයට සියයක් බද්දක් පැනවූවා. ඔවුන් ඒ බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලැබුවා. විදේශිකයාට බදු සහනද ස්වදේශිකයාට බදු බරද පටවනවා. කෘෂි කාර්මික නිෂ්පාදන මත සියයට 14 ක බද්දක් ලාබය මත පැනවුවා. ලාබය නැතත් පිරිවැය තුළ සියයට 5 ක බද්දක් පැනවුවා. කෘෂිකාර්මික ආශ්‍රිත නිෂ්පාදකයෝ ඒ හරහා කඩාගෙන වැටුණා.

යුද්ධය කරන විටද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සියයට 6.5 ට වැඩි වේගයකින් පවත්වාගෙන ගිය ආර්ථිකය පසුගිය ආණ්ඩුව කාලෙදි හොම්බෙන් යන්නට පටන් ගත්තා. ණය බර කියාගෙන ආ අයියලා ටික ඩොලර් බිලියන 21 කට වැඩි මුදලක් වසර තුන හමාරක කාලය තුළදී මෙරටට විදේශ ණය ලබා ගත්තා. එතරම් මුදලක් ලබාගෙන කළ දෙයක් නැහැ. දේශිය ණය බර නොවේ විදේශීය ණය බර වැඩි කළා. තව වසර එක හමාරක් ගියා නම් ගෙඩිය පිටින් ගන්න තිබුණා කියනවා. ගොඩිය පිටින් නොව පොත්ත පිටින් විතරක් ගන්නට සිදුවනවා ඒ කාලය වන විට.

ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කළ පසු ගන්න වෙන්නේ පොත්ත පමණයි. ජාතික ආර්ථිකය වනසා දැමූ විට ගන්නට වන්නේ පොත්ත පමණයි. මදය නැති රටක් ගන්නට සිදු වනවා. එබැවින් මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ ආරාධනාව අනුව රට භාර ගත්තා. එය අභියෝගයක් තමයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතා හැමදාමත් භාර ගනු ලැබුවේ අභියෝග පමණයි. රට ඉල්ලන ඕනෑම වෙලාවක කුමන අභියෝගයක් තිබුණද පලා ගිය නායකයකු නොවෙයි. අවධානම ගෙන මේ රට වැටුන වලෙන් ගොඩ ගත් නායකයෙක්.

වෙනසක් අවශ්‍යයි කියා 2015 දී ජනවාරී 08 වැනිදා ලක්ෂ 62 කගේ අනුභාවයෙන් ගෙන ආ බඩ්ඩ කෙසේද? ටයි එකයි කෝට් එකයි දමාගෙන පාර්ලිමේන්තුවේ බඩ ගෙඩිය ඉස්සරහට දමාගෙන අංශක 180 වට ඔරලෝසු කටුව මෙන් එහෙට මෙහෙට කැරෙකෙමින් සාක්කුවට අත දා ගමින් පොකට් බිලියඩ් ගසනවාද කියා මන් දන්නේ නැහැ.

මෙරට රාජ්‍ය සේවය කඩා ගෙන වැටුණා, රාජ්‍ය නිලධාරින් වැඩ නොකර අතහැර දමා සිටියා, උතුර ආරාජික වන්නට පටන් ගත්තා, නොතිබූ ආවා කල්ලි හිස ඔසවන්නට කටයුතු කළා. උතුරේ නීතිය ක්‍රියාත්මක නොවන වතාවරණය ඇති කළා. උතුර ඇතුළු නැගෙනහිර පුරාවස්තු විනාශ වන්නට පටන් ගත්තා. 
අප කියා සිටියේ මෙය භාරකාර ආණ්ඩුවක් කියායි. අප මහජන පරමාධිපත්‍ය බලයට යමු යැයි පැවසුවා. මෛත්‍රීපාල සිරිසේන මහතා ගැසට්ටුව ගැසු පසු රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අනුර, සුමන්තිරන්ගේ බලකායේ බඩ බුරුල් වන්නට පටන් ගත්තා. 
රනිල් වෙනුවෙන් යූ එන් පී එකේ සජිත්වත් වෙන කිසිවකුත් කට අරින්නේ නැහැ. රනිල් වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු කරන්නේ සුමන්තිරන් සහ අනුර කුමාරයි. අනුර කුමාරයටන්ට ඒ වෙනුවෙන් තිබෙන ගාය රනිල්ටවත්, සාගලටවත්, අකිලටවත් නැහැ. 
රතු පාට වෙස් පැලදගෙන සිටියාට ඇයි සුමන්තිරන්ට රනිල් මෙතරම් නැතුව බැරි. ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒමට රනිල් නොමැතිව බැරි නිසයි. බෙදුම්වාදී ව්‍යවස්ථාව ගෙන ඒමට රනිල් නොමැතිව බැරි නිසයි. උතුරේ නීතිය අරාජික කර දෙමළ ජාතික සංවිධානයට අවශ්‍ය පරිදි උතුර නටවන්නට රනිල් නොමැතිව බැරි නිසයි. අනුර කුමාරට විපක්ෂයේ සංවිධායක වී නියෝජ්‍ය අමාත්‍ය තනතුර සමාන වරප්‍රසාද භුක්ති විදින්නට රනිල් අගමැති නොවී බැරි නිසයි. රනිල් පැමිණි පසු ඔහු විපක්ෂ නායක වෙයි. විපක්ෂ නායක සම්පන්දන්ගේ තනතුර රනිල් ආරක්ෂා කරයි. විපක්ෂ නායක සම්පන්දන් දුන්න අනුරගේ විපක්ෂ සංවිධායක තනතුර රනිල් වෙන කාට හරි දෙයි. රනිල් අකෘතඥ වේ යැයි මා සිතන්නේ නැහැ.

මහ බැංකුව මහ දවල් සොරා කෑ මහ සොරාව රකින අනුර කුමාරගේ හෙලුව අද හෙළි වී තිබෙනවා. ලංකාවේ ඉතිහාසයේ මහා සොරකමේ මහ මොළකරු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවට වී සැගවී සිටිනවා. ජනාධිපතිතුමනී සිංගප්පුරු රජය සමඟ වහාම සාකච්චා කර මහේන්ද්‍රන්ව කනෙන් අල්ලා මෙරට අධිකරණය හමුවට රැගෙන එන්නට දැන්වත් ක්‍රියාත්මක වන්න කියා අප කියා සිටිනවා.

එළියට නොපැමිණි බැදුම්කර කොමිසමේ කොටස් කිහිපයක් තිබෙනවා. ඇලෝසියස්ගෙන් පගා ගත් නාම ලේඛනය තිබෙනවා. තවත් ඔය ලේඛනය සගවා සිටින්නේ නැතිව දැන්වත් ඔය ලේඛනය එළියට දමන්නැයි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. 
මහින්ද රාජපක්ෂ පාලනය මුස්ලිම් ජනතාව පීඩාවට පත් කළා කියා රවුෆ් හකීම් මහතා කියා සිටිනවා. හකීම් මහතා වසර තුන හමාරක් රනිල් එක්ක ළැඟ ගෙන සිටියාට අලුත්ගම ධර්ගා නගරයේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසන් එකක් දැම්මාද, පූර්ණ බලැති කොමිසමක් දමා කවුරුන්ද ඒ ගැටුම නිර්මාණය කළේ කියා සොයා බැලුවාද? අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන්නට කොන්ද පණ තිබ්බේ නැත්තේ ඇයි? පරික්ෂණයක් කළා නම් එන්නේ රනිල් එක්ක ආණ්ඩුව ඇතුළේ ළැඟසිටි ඈයන්ගේ නම් නිසයි. නව රියන්ගේ නමද, ඔහුගේ පාලනය යටතේ සිටි හිමිනමකගේ නමද, අනික් පැත්තෙන් හකීම්ගේ ගෝලයන්ගේ නම් එළියට එනවා. මේ ගැටුව ඇවිලෙව්වේ ඒ පිරිසයි. මහින්ද රාජපක්ෂ පාලනය අස්ථාවර කරන්නට නම් මුස්ලිම් ඡන්ද පදනම නැති කරන්න ගැටුමක් ඇති කරන්නට ඕනෑ කියා මේ ගැටුම නිර්මාණය කළා.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල පැමිණි පසු අලියාට බඩ ගියා සීනුවට තව මොනාද ගියා. සමාජයේ අවධානය පොහොට්ටුවේ ඡන්ද ප්‍රතිඵලයට අවධානය යොමුව තිබෙනවා. අවධානය වෙනතකට යොමු කරන්නට සිතුවා. ත්‍රස්ථ විමර්ශන කොට්ඨාශයේ ඩී අයි ජී නාලක ද සිල්වා මහතා සමඟ පොලිස් ඔත්තු කාරයන් සිටිනවා. නාමල් කුමාර කියන්නේද පොලිස් ඔත්තුකරුවකි. සිංහල රණකාමීයෝ කියා පසුගිය කාලයේ ‍ෙෆ්ස්බූක්වල හොල්මන් කළා. ඒ සියල්ලත් පොලිස් ඔත්තුකාරයෝයි. මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ සිංහල මුස්ලිම් ගැටුමට අවුලවන්නට ඩී අයි ජී නාලක සිල්වා උපදෙස් ලබා දුන්නා කියා නාමල් කුමාර කියනවා. එපමණක් නොව දෙමළ ඩයස්පෝරාවේ මුදල් තුෂාර කුරේ කියා පුද්ගලයකු හරහා අපට එව්වා කියා ඔහු කියනවා. ඒ මුදලවල වව්චර් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සහ මා ළග තිබෙන බව ඔහු පෙන්වනවා. මේ ගැටුම අවුලවා තිබෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයයි. ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් මෙය අවුලවනවාද පොලිස්පති නොදැන, පොලිස්පති දැනගෙන ඒ වැඩේ කෙරෙන්නට ඉඩ අරිනවාද අගමැති නොදැන. හිටපු අගමැති බාබාද කියා මා අසනවා.

අලුත්ගම ධර්ගා නගරය ආශ්‍රීතව ඇතිවූ ගැටුම හා පළාත් පාලන මැතිවරණයෙන් පසු මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ සිංහල මුස්ලිම් ගැටුමේ පිටුපස සිටින්නේ කවුරුන්ද කියා සොයන්නට ජනාධිපති කොමිසම් දෙකක් වහාම පත් කරන්න කියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගෙන් අප ඉල්ලා සිටිනවා. එවිට කාගේ අත්වලද ලේ තියෙන්නේ කියා සොයා ගන්නට හැකියාව ලැබෙයි. මහනුවර සිංහල හා මුස්ලිම් මිනිස්සු මරවා ඒ දේපළ ගිනි බත් කළ ගැටුම නිර්මාණය කළ රනිල් වික්‍රමසිංහව තමයි අද රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්ලා ආරක්ෂා කරනු ලබන්නේ.

අද ව්‍යවස්ථාදායකය කරු ජයසූරිය මහතා කිහිලි කරුවක් බවට පත් කරගෙන තිබෙනවා. ඔහු හස්ති රාජ මදන මෝදකය පානය කරාද දන්නේ නැහැ. බොහෝ සිංහල බෞද්ධ ශික්ෂාකාමී දේශබන්දු කරු ජයසූරිය තෙමේ එක පාරටම සුපර් මෑන් වී ගෙන එනවා. මට නොදුන්නොත් අගමැතිකම කරු ඔබට කියා රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ පසු හස්ති රාජ මදන මෝදකය වැඩ කරන්නට පටන් ගත්තා. අලුතින් ඇදුම් මහන්නට ගත්තා. කරු ජයසූරිය මහතා ව්‍යවස්ථාව පැත්තකට දමා, ස්ථාවර නියෝග යකාට දමමින් පාර්ලිමේන්තු සම්ප්‍රදාය පැත්තකට දමමින් මට අගමැතිකම දෙනවා නම් ස්ථාවර නියෝග, ව්‍යවස්ථාව කන්නද, සම්ප්‍රදාය කන්නද කියා මට ඇති වැඩක් නැහැ කියමින් කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඩෙගා නටන්නට පටන් ගෙන. ඔබ කැමති ඩෙගා නැටිල්ලක් නටන්න ඕවා බලන්නට අප එන්නේ නැහැ කියා අප ඔහුට පැවසුවා.

ශ්‍රේෂ්ඨාධිකරණයත් පාර්ලිමේන්තුව පත් කර ගත් තැනට පත් කර ගන්නට පුළුවන්ද කියා රන්ජන් රාමනායක ගියා. රංජන් රාමනායක මහතාට ඇඟ තිබුණාට මොළේ නැහැ කියා කීප වතාවක් ඔප්පු කර තිබෙනවා. විනිශ්චයකරුවන් 5 දැම්මොත් තුනක් මෙහේ දෙකක් එහේ කියා රන්ජන් රාමනායක මහතා කියනවා. ඊට පසු දින හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උසාවිය වැඩ ගැන කට මත දෙඩවීම වළකිනු කියා පවසනවා. බළලා මළලෙන් එළියට පැමිණියා. රනිල්ට තේරුණා රන්ජන්ගේ කටින් වැඩේ එළියට පැන්නා කියා. ඉක්මනට නිවේදනය කළා කට මත දෙඩවීම වළකිනු කියා. වළකිනු කිව්වට වැඩක් වන්නේ නැහැ හිටපු අගමැතිතුමනි දැන් කට මත දොඩවා අවසානයි. කටෙන් ගිය දෙයක් ආපසු ඇතුළට ගන්නට බැහැ.

ශ්‍රේෂ්ඨාධිකරණ ගෞරවනීය විනිශ්චකාරතුමනී ලැබෙන තීන්දුවක් ගැන කොහොමද රන්ජන් මෙය කියන්නේ. කරුමෙටවත් රන්ජන් කියන තීන්දුව නම් ලැබෙනුයේ මේ රටේ ස්වාධීන අධිකරණ පද්ධතියට, ශ්‍රේෂ්ඨාධිකරණයට දෙයියන්ගේම පිහිටයි කියා තමයි කියන්නට වන්නේ. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය තුනම උපදින්නේ මහජනයාගේ පරමාධිපත්‍ය බලය තුළිනුයි. මහජනයාගේ පරමාධිපත්‍ය බලය තමයි උසාවියට හිමි වන්නේ. මහජනයාගේ පරමාධිපත්‍ය බලය ව්‍යවස්ථාදායක බලය තමයි පාර්ලිමේන්තුවේ 225 දෙනාට හිමි වන්නේ. මහජනයාගේ පරමාධිපත්‍ය බලයේ විධායක බලය තමයි ඡන්දයෙන් තෝරා පත් කර ගන්නට ජනාධිපතිතුමන්ට ලැබෙන්නේ. මේ බල ආයතන මහජන මතය නොසලකා හැර, ඔලුව උදුම්මගෙන මහජන අභිලාෂයන්ට පයින් ගසා ජනතාවට කොකා පෙන්වන්නට ආවොත් ජනතා පරාමාධිපත්‍ය බලය තුළින් උපත ලැබූ එම බල ආයතන ගැන තීරණය කරන්නට ඔබට අයිතිය තිබෙනවා.

අගමැති නීති විරෝධි නම් කැබිනට්ටුව නීති විරෝධි නම් පොහොර සහනාධාරය දුන්න රුපියල් 500 පොහොර මිටිය අනුර කුමරුනේ ඔබගේ ගොවි සංවිධානයේ සාමාජිකයන්ට කියනු මැනවි රුපියල් 500 ට නීති විරෝධියි එය නොගනු මැනවි කියා. මහින්ද මහතා අගමැති වීමෙන් පසුව දෙවරක් තෙල් මිල අඩු කළා. අනුර කුමරුගේ වාහනයට අඩු කළ නීතිවිරෝධි තෙල් මිලෙට නොගහා නිත්‍යානූකූල රනිල්ගේ තෙල් මිලට තෙල් ගහ ගනු මැනවි කියා මා කියනවා. සහන ලැබෙන විට නිත්‍යානූකූලයි. රනිල්ට පට්ටම නැති වූ පසු අප නීති විරෝධි වන්නේ.

මේ ආරම්භ කර ඇති දෑ හිතකාමී ගමන සවිමත් කරමු. රනිල් අනුර සුමන්තිරන් පරගැති හවුලට එරෙහි සටන, ජාතිය නැවත නිදහස් කරනු ලබන සටන, ආර්ථිකය ස්වාධීන කරන සටන‍, ඒකීයභාවයට පණ පොවන සටන, නීතිගරුක රටක් හදන සටන නායකත්වය ලබා දිය හැක්කේ මෛත්‍රීපාල සිරිසේන මහතා හා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන මේ ජාතික වාදී කඳවුරට පමණයි” යනුවෙන්ද පැවසිය.

මාධ්‍ය ඒකකය,
නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශය

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.