BREAKING NEWS

ශ‍්‍රී දළදා මාලිගාවට යහපාලන ආණ්ඩුව සිදු කළ හානිය කොටි ත‍්‍රස්තවාදීන් බෝම්බ ගසා කළ හානියට නොදෙවැනි එකක් – ජාතික නිදහස් පෙරමුණ

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ සේ පිළිගැනෙන ශ‍්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකාරත්වය ප‍්‍රසිද්ධියේ පොලිස් අපරාධ කොට්ඨාසයට කැඳවා ප‍්‍රශ්න කරමින් යහපාලන ආණ්ඩුව සිදු කළ හානිය, කොටි ත‍්‍රස්තවාදීන් බෝම්බ ගසා සිදු කළ හානියට නොදෙවැනි එකක් යැයි ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

අද(17) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද පැවසීය.

‘‘මුස්ලිම් ජාතිකයකු වුවත් මම ඉතාමත් ගරු කරන ස්ථානයක් තමයි ශ‍්‍රී දළදා මාලිගාව. එහි ගිහි භාරකරු වූ දියවඩන නිලමේ නිලංග දෑල මැතිතුමන් විශාල ප‍්‍රසිද්ධියක් දෙමින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ප‍්‍රශ්න කරමින් සිදු කළ ක‍්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. කොටි ත‍්‍රස්තවාදීන් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කොට උත්සාහ කළේ දළදා මාලිගාව විනාශ කිරීමටයි. වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාවත් ඊට නොදෙවැනි එකක්.

වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු ‘යහපාලන මහත්වරු’ බලයට ආවේ, ‘ස්වාධීන පොලිසියක්, ස්වාධීන අධිකරණයක් ඇති කරනවා’ කියලයි. ‘අධිකරණය ස්වාධීන කරනවා’ කියලා කියපු අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලබාදුන් තීන්දුව හැල්ලූවට ලක් කරමින් ප‍්‍රකාශ නිකුත් කිරීම දැඩි සේ හෙළා දකිනවා. රනිල් වික‍්‍රමසිංහ මහතා තම ප‍්‍රකාශය ඉතා කල්පනාකාරීවයි සිදු කළේ. මෙම තීන්දුව විනිසුරුවරුන් දෙදෙනකු විසින් ලබාදුන් තීන්දුවක් කියලයි ඔහු පවසා සිටියේ. ඒ වගේ ඔහු මෙතැනදී ඉතාමත් බරපතළ ප‍්‍රකාශයක් ද සිදු කරනු ලැබුවා. ‘පොදු රාජ්‍ය මණ්ඩලීය අධිකරණයට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරනවා’ කියලා කීම තමයි ඒ බරපතළ ප‍්‍රකාශය. කෙසේ නමුත් රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බරපතළ විදිහට හෑල්ලූවට ලක් කරනවා. ඒ විතරක් නොවෙයි, අපේ රටේ දෙවැනි පුරවැසියා, අපේ රටේ ඉහළම අධිකරණයට විරුද්ධව කරුණු කීමට ජාත්‍යන්තරය හමුවට යාම කොරතම් ඛේදනීයද? ‘ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ කීර්තියට පත් කරනවා’ යැයි කියපු රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අද ජාත්‍යන්තරය හමුවේ, අපේ අධිකරණය අපකීර්තියට පත් කිරීමයි සිදු කරන්නේ.

ඒ විතරක් නොවෙයි පොලීසියත් දේශපාලන බලපෑම් ඉවත් කරලා ස්වාධීන කරනවා කියලයි කීවේ. අද මොකද වෙලා තියෙන්නේ? හදපු මූල්‍ය අපරාධ කොට්ඨාසය, අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කැබිනට් අනුකමිටුවක ඍජු නියෝග මත ක‍්‍රියා කරන තත්ත්වයට පත් කරලා තිබෙනවා. අද වන විට  පොලීසියට තිබුණු ස්වාධීනත්වයත් අහිමි කරලා තිබෙනවා.

මාධ්‍ය නිදහස සුරකනිවා කියලයි ‘යහපාලනය’ පටන් ගත්තේ. නමුත් සති දෙකක් යන විට තමන්ට අවනත නැති, තම මතවාදයට යටත් නොවන මාධ්‍ය ප‍්‍රධානීන්ට රනිල් වික‍්‍රමසිංහ මහත්තයා තර්ජනය කළේ ‘තමුසේ, අයිසෙ’ කියලයි.

අද වන විට අධිකරණය ස්වාධීන කිරීම කෙසේ වෙතත් එය හෑල්ලූවට ලක් කොට තිබෙනවා. මාධ්‍ය මර්දනයක් කි‍්‍රයාත්මක වෙනවා. ඒ වගේම පොලිසියට තිබුණු ස්වාධීනත්වයත් අහිමි කොට තිබෙනවා. ඔන්න දින 100 උරුම කරපු දේ. ඉදිරි මහ මැතිවරණයේදී තමන්ට අභියෝගයක් වන බව පෙනෙන සියලූ දෙනා සිරගත කිරීමේ සූදානමකින් තමයි මේ දඩයම ක‍්‍රියාත්මක වන්නේ. මේ දඩයම ඉතාමත් සූක්‍ෂ්ම විදිහටයි දියත් වන්නේ. ‘බී වාර්තා’ මගින් මේ ‘දඩයම් ඒකකය’ පෙන්වන්න හදනවා, අධිකරණ ක‍්‍රියාවලියක් ද මේ තුළ තිබෙනවා කියලා. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන්ට විරුද්ධව නිර්නාමික ලිපියක් ලැබී තිබෙනවා. එය උපයෝගීකර ගෙන අධිකරණයට‘බී වාර්තාවක්’ ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. තමන්ගේ දඩයම සාධාරණයි කියලා පෙන්වන්න, ඒකට අධිකරණ කි‍්‍රයාවලියකුත් ගාවා ගන්නයි මේ යහපාලකයන් හදන්නේ.

තමන්ට විශාල අභියෝගයක් වන මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන්ව, විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත‍්‍රීතුමන්ව කූඩු කරන්න මේ යහපාලන නඩය සැලසුම් සහගතව තටයුතු කරමින් සිටිනවා. නමුත් මේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ස්වාධීනව ක‍්‍රියාත්මක වෙනවා නම් අත්අඩංගුවට ගත යුතු ගොඩක් අය ඉන්නවා. කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව මූල්‍ය අපරාධ පැමිණිලි ගණනාවක්ම ඉදිරිපත්ව තිබෙනවා. නැව් පිළිබඳ, ජැකට් පිළිබඳ පැමිණිලි අල්ලස් කොමිසමට ලැබී තිබෙනවා. ඇයි මේවා පිළිබඳ පරීක්‍ෂණ කරන්න බැරි? ඒ වගේම තඹ කන්ටේනර් මුදා ගන්න රේගුවට අයථා බලපෑම් කළ ‘තඹයෝ’ ගැන පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තා කළා. ඒ ‘තඹයෝ’ ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසය නිහ`ඩ ඇයි? ශ‍්‍රී ලංකාවට ගෙන ඒම පසුගිය ආණ්ඩුවෙන් තහනම් කළ වකුගඩු රෝගයට ඍජුව බලපාන ‘ග්ලයිෆොසේට් නැමති කෘෂි රසායනිකය’ අඩංගු කන්ටේනර් 20ක් දේශපාලන බලපෑම් මත මුදාහැර ඇති බව මාධ්‍ය මගින් වාර්තා කළා. ‘මෙසේ බලපෑම් කළේ කුමන සන්තෝසමක් අරගෙනද?’ කියලා මූල්‍ය අපරාධ කොට්ඨාසය සොයන්න බැරිද?

‘සජිත්ගේ බොළඳ උත්සාහය’

අපි පසුගිය දිනවල දැක්කා, සජිත් පේ‍්‍රමදාස ඇමතිවරයා විමල් වීරවංශ හිටපු ඇමතිවරයාව දඩයම් කරන්න උවමනා කරන අන්දමේ මඩ අවලාද රාශියක් ඉදිරිපත් කරනවා. මත්තේගොඩ සහ කහතුඩුවේ නිවාස ව්‍යාපෘති දෙකක් පිළිබඳව ප‍්‍රකාශ කර තිබුණා. ඉතා පැහැදිලිව කියන්න  ඕනෙ, සජිත් පේ‍්‍රමදාස මහත්තයාගේ හෙන්චයියෝ කීප දෙනෙක් දාගෙන මේ කළේ අසත්‍ය, පදනම් විරහිත චෝදනා රාශියක් ඉදිරිපත් කිරීම. දින 100න් ගෙවල් 50,000ක් හදනවා කියා තවම එක ගෙයක් විවෘත කර ගන්න බැරිව එතුමා සිටිනවා. රටේ ජනතාව වෙනුවෙන් ගෙවල් හදපු පියකුගේ පුතෙක් විදිහට අපි සජිත් පේ‍්‍රමදාස මහත්තයට කියනවා, ‘පුළුවන් නම් හදපු ගෙවල් ටික විවෘත කරලා පෙන්වන්න’ කියලා.

වීරවංශ මහතාට ඉදිරිපත් කළ මේ සියලූ චෝදනා තමන්ගේ බැරිකම වහගන්න ඉදිරිපත් කරපු චෝදනා. ඔහුව දඩයම් කිරීමේ උවමනාව ඉෂ්ටකර ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරපු චෝදනා. ‘ජනසෙවණ කැපකරු නිවාස වැඩසටහන’ යටතේ 2011දී මෙම කහතුඩුව හා මත්තේගොඩ නිවාස ව්‍යාපෘතිවල වැඩ ඇරඹුණා.  ඕෂන්වීව් ඩිවලොප්මන්ට් සමාගමේ කළමනාකාරීත්වය හා අධ්‍යක්‍ෂක මණ්ඩලය පසුව තීන්දු කළා ඒවා වාණිජ නිවාස ව්‍යාපෘති ලෙස ඉදිකරන්න. නිසි ක‍්‍රමවේදයන් අනුව යමින් තමයි මෙම නිවාස ව්‍යාපෘති, වාණිජ නිවාස ව්‍යාපෘති බවට පත් කළේ. බොහෝම විවෘත පුවත්පත් දැන්වීම්, අන්තර්ජාලය ඔස්සේ මෙම නිවාස ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ජනතාවට ලබා දුන්නා. මෙම නිවාස ප‍්‍රසිද්ධියේ මිලදී ගැනීමේ අවස්ථාව ජනතාවට සලසා දීලා තමයි කටයුතුකර ඇත්තේ. නිවාස 38කින් 11ක් අලෙවි වී තිබුණා. වාණිජ ගනුදෙනුවලදී කලින් ඉල්ලූම් කරන පිරිසට ප‍්‍රමුඛතාව ලැබෙනවා. ඒ අනුවයි මෙහිදීද කටයුතු කර ඇත්තේ. මෙහිදී කිසිඳු ආකාරයක මිල අඩු කිරීමක්, වට්ටම් ලබා දීමක් සිදුව නැහැ. ඉතාමත් සාධාරණවයි සියලූ කටයුතු සිදුව ඇත්තේ. නමුත් ඉදි කළ නිවාස ව්‍යාපෘති සාධාරණ ආකාරයෙන් විකිණීම පවා අද තම දේශපාලන ප‍්‍රතිවාදීන් දඩයමට අවශ්‍ය ආකාරයට විකෘති කරන තත්ත්වයට, මේ ආණ්ඩුව බංකොලොත් වී තිබෙනවා. සජිත් පේ‍්‍රමදාස මහතාගේ අසත්‍ය කරුණුවලට ලබාදුන් ඉඩකඩම මේ සත්‍ය කරුණුවලට ද ලබාදීමට ‘යහපාලන රාජ්‍ය මාධ්‍ය’ කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-05-17

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*