BREAKING NEWS

ශ‍්‍රී ලනිපය ඇතුළු එජනිස සියලූ පක්‍ෂ එක කොඩියක් යටට පැමිණිමත් සමඟ එජාපයට නියත පරාජයක් අත්වීම කිසිවකුටත් වළක්වන්නට බැහැ – ජානිපෙ නායක විමල් වීරවංශ

    මෛත‍්‍රී- මහින්ද සුසංයෝගයක් සමගින් ශ‍්‍රී ලනිපය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ සාමාජික පක්‍ෂ එක කොඩියක් යටට පැමිණ ජාතිය හමුවේ පවතින අභියෝගය ජයගැනීමට බලවත්ව නැගී සිටීමත් සමඟ මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයට නියත පරාජයක් අත්වීම දෙස්-විදෙස් කිසිදු බලවේගයකට වැළැක්වීමට නොහැකි යැයි ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී  විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

අද(14) කොළඹ 10, එක්සත් ජනතා නිදහස් සන්ධාන මූලස්ථානයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී  විමල් වීරවංශ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසුවේය.

‘‘එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විජයග‍්‍රහණය ඊයේ බුලත් කොළය ලකුණින් මැතිවරණ කොට්ඨාශ 22ටම නාමයෝජනා ලබාදීමත් සමඟ ඇරඹුුණා. එක්සත් ජාතික පක්‍ෂය තමන්ගේ ජයග‍්‍රහණය පිළිබඳ සිහිනය මැව්වේ, සන්ධානයේ දෙකඩවීමක් සිදු වෙනවාය, කියන මතය හිසෙහි දරාගෙන. ‘විරුද්ධ පක්‍ෂය දෙකඩ බෙදෙනවා, ඊට පස්සේ අපි දිනනවා’ කියන එකයි ඒ අයගේ ප‍්‍රධාන තර්කය වුයේ. ඉහත සිහිනය මවන්න. අද එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසිදු බෙදීමකින් තොරව, තිබුණාටත් වඩා ශක්තිමත්ව නාමයෝජනා භාරදුන්නාට පසුව, එජාපයට දිනන්නට තිබූ ප‍්‍රධානතම සාධකය අහිමි වී තිබෙනවා. දිනන්නට තිබූ ප‍්‍රධානතම සාධකය අහිමි වූවාට පසුව දැන් ඔවුන්ට දැනෙන්නේ පරාජයේ වේදනාව.

එක්සත් ජාතික පක්‍ෂයට ජයග‍්‍රහණයේ සිහිනය තුළ ජීවත් වෙන්න ලැබුණා නම් ඔවුන්ට අර කියපු යහපාලන මූලධර්ම අනුව මැතිවරණයට පිවිසෙන්න තිබුණා. නමුත් ජයග‍්‍රහණයක් ලැබිලා මාස 06ක් යනකොට තමන්ට පරාජයේ වේදනාව දැනෙන්න ගත්තාම අද එක්සත් ජාතික පක්‍ෂයේ අගමැති අපේක්‍ෂක රනිල් වික‍්‍රමසිංහ ඇතුළු කණ්ඩායම අර කියපු යහපාලන බණවල කිසිම ශික්‍ෂා පදයක් නොතකන තත්වයකට ඇද වැටී තිබෙනවා. පසුගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මහත්වරුන් රාජ්‍ය මාධ්‍ය භාවිතය පිළිබඳ දැක්වූ අදහස් ඔබට මතක ඇති. ඒ ශික්‍ෂා පදවලට අද කුමක්ද සිදුව ඇත්තේ? ඒ වගේම එදා එවැනි තත්වයන් පාලනය කරන්න මැතිවරණ කොමසාරිස්වරයා කඩිනම් පියවර ගනු ලැබුවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ විදියටම මේ මහ දවල් එජාප මහත්වරුන් සිදුකරන මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් නතර කරන්න එතුමා මැදිහත් වේවි කියලා.

අද මේ අය තමන්ගේ රැස්වීමක් සජීවීව පැයෙන් පැය විකාශය කරන්න රාජ්‍ය මාධ්‍ය අමු අමුවේ නිරුවත් ලෙස යොදාගනු ලබමින් සිටිනවා. අද නොම්මර තහඩු වෙනස්කර ගෙන විදේශ කටයුතු අමාත්‍යාංශයේ වාහන මාතර දිස්ත‍්‍රික්කයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට යොදාගෙන තිබෙනවා. අද රාජ්‍ය ආයතන බොහෝ ගණනක රාජ්‍ය සම්පත් විශේෂයෙන් වාහන, නොම්මර තහඩු වෙනස්කර මැතිවරණ වැඩවලට යොදවා ගෙන තිබෙනවා. විරුද්ධ පක්‍ෂයේ දේශපාලන කටයුතුවලට බාධා වන ලෙස පොලීසිය ඉතා දරුණු ලෙස යොදවාගෙන තිබෙනවා. ඒ නිසා අපට පෙනෙනවා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය පිළිබඳ ඉතා සුන්දර වචන කැටයම් කරලා ගෙන ආ මේ අය, ගෙවී ගිය දින 180ටත් එහා ගිහිල්ලා අද තමන්ගේ ‘යහපාලනයේ’ හෙළුව පෙන්වමින් ඉන්නවා, කියලා.

අද මහින්ද රාජපක්‍ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා ලැබීම, මෛත‍්‍රී – මහින්ද සුසංයෝගයක් ඇති වන බව පෙනීම, එමගින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ සාමාජික පක්‍ෂ එක කුඩයක් යටට පැමිණ ජාතිය ඉදිරියේ තිබෙන මේ අභියෝගය ජය ගැනීමට බලවත්ව නැගී සිටීම. ඒ ආශ්වාදය තුළින් මේ රටේ ප‍්‍රගතිශීලී බලවේග ඉතාමත් උද්යෝගයෙන් මේ මහා මැතිවරණයට සම්බන්ධවීම යන සියලූ සාධක මත එක්සත් ජාතික පක්‍ෂයේ පරාජය වළක්වන්න බැහැ.

‘කටකතා සහ ෆේස්බුක් රංචු’

අද එක්සත් ජාතික පක්‍ෂ සිරිකොත මූලස්ථානයේ ‘කටකතා රංචුවක්’ පුහුණු කරනවා. එතැන 5,000ක රංචුවක් සිටිනවා. එක් අයෙකුට දවසට රුපියල් 1200-2000ක් අතර කුලියක් ගෙවනවා. හන්දිගානේ ඉඳගෙන, බස්රථවලට නැඟගෙන මහින්දට බනින්න, මෛත‍්‍රීට බනින්න, තවත් එජාපයට අභියෝගයක් වන නායකයන්ට බැන වදින්න, තමයි මේ අයට පවරලා තියෙන්නේ. ඒ වගේම ‘එජාපය දිනනවා’ කියන කෘති‍්‍රම මතය ඇති කිරීමත් ඔවුන්ට පවරලා තියෙනවා. අද අරලියගහ මන්දිරයට අල්ලපු බිල්ඩිමේ එජාපයේ ෆෙස්බුක් රංචුව වැඩ පටන් අරන් තියෙනවා. එතැන කුලී කාරයෝ 400ක් ලැප්ටොප් සමඟ රුපියල් 1200-2000ත් අතර දවස් පඩියට වැඩ කරනවා. ඔයිට හොඳයි ඉදිකිරිම් කටයුතු කරන තැනක සිමෙන්ති අනලා දීලා රුපියල් 2000ක දවස් පඩියක් අරන් පවුලට කන්න දුන්නා නම්. එහෙම කළා නම් බඩට වගේම හිතටත් සහනයක් තියෙනවා. මේ අය සමාජ ජාලා වෙබ් අඩවි තුළට රිංගලා කෘති‍්‍රම මතයක් ඇති කරන්න කටයුතු කරනවා.

එජප මහත්වරු ආයෙත් ‘හොරු – හොරු’ කතාව කියන්න හදනවා. දින 180ක් තිස්සේ ‘හොරු -හොරු’ කියමින් මේ අය හොඳටම ඇදගෙන නෑවා. දැන් ආයෙත් ඒ කතාව කියමින් ජනතාව ගොනාට අන්දන්න හදනවා. මේ රටේ ඉතිහාසය තුළ සිදු වුණු විශාලම ‘මෙගා ඞීල් එක’ මහ බැංකු බැඳුම්කර වංචාව. එදා මෙගා ඞීල් ගැන කථා කරපු, ඒ වගේම මහබැංකු බැඳුම්කර ගනුදෙනුව මෙගා ඞීල් එකක් බව පිළිගත්තු සමහරු අද ‘අලියාගේ වලිගෙ එල්ලිලා ඉන්නවා, දිව්‍ය ලෝකයට’ යන්න. වික‍්‍රමසිංහ මහත්තයාගේ වලිගේ එල්ලිලා කොහොමද දිව්‍ය ලෝකයට යන්නේ? එයා පසුගිය දින 180 තුළ පෙන්වලා නැද්ද, තමන් මොන තරම් වියරු ලෙසින්ද ප‍්‍රතිවාදීන්ගෙන් පළිගන්නේ කියලා. ඒ වගේම වික‍්‍රමසිංහ උතුරේ අනාරක්‍ෂිත වාතාවරණයක් හදන්න බොහෝ වගකීම් විරහිත පියවර ගත් බව දැනිලා නැද්ද? එම පාලනය ගොඩනැගුණු සාමය වැනසෙන ආකාරයට යම් යම් පියවර ගන්නා බව දැනිලා නැද්ද? මේ දින 180 කියන්නේ, 2009 මැයි 18 ඉදලා 2015 ජනවාරි 08 දක්වා මේ රටේ තිබුණු ජාතික සමගිය වනසා දමපු දින 180ක්, සමාජයේ  සුරක්‍ෂිතභාවය පිළිබඳ හැඟීම නැති කළ දින 180ක්.

ගම්පහ දිස්ත‍්‍රික්කයට නාමයෝජනා දිපු ජෝන් අමරතුංග මහත්තයා කියනවා, ‘අපේ ලැයිස්තුවේ හොරු නැහැ’ කියලා. ඒ ලැයිස්තුවේ ඉන්නවා එජාප මීගමුව ආසන සංවිධායක රොයිස් ප‍්‍රනාන්දු. රොයිස් මහත්තයා මිනිමැරුම් නඩු තියෙන කෙනෙක්. ඒ විතරක් නොවෙයි, එයාගේ වාහනේ තිබිලා කුඩු අත්අඩංගුවට ගන්නවා රියදුරු සම`ග. ඒ රොයිස්ටත් නාමයෝජනා දීලා දැන් රටට කියනවා, ‘අපේ නාමයෝජනා ලැයිස්තුවල කුඩුකාරයෝ, එතනෝල්කාරයෝ, නැහැ’ කියලා.

‘එතනලා’ සහ එතනෝල් ආණ්ඩුව

එජාප ලැයිස්තුවල ඉන්න ‘එතනලා’ පසුගිය මැතිවරණවලදී මනාප අරන් උඩට ආවේ කුඩු එතනෝල් ගැන කතා කරලා. දැන් වෙලා තියෙන දේ ඇහුවොත් එයාලට එජාප ලැයිස්තුවල ඉන්න හිතෙන එකක් නැහැ. 2014 වර්ෂය තුළ මේ රටට ගෙනාපු එතනෝල් ප‍්‍රමාණයට වඩා වැඩි එතනෝල් ප‍්‍රමාණයක් වික‍්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ දින 180ට ගෙන්වලා තියෙනවා. එහෙම බලපුවාම මේක එතනෝල් ආණ්ඩුවක්. ඒ වගේම රට පැනලා හිටපු පතාල කල්ලි මේ අය මැතිවරණය සඳහා ගෙන්වා ගෙන තියෙනවා.

අපි එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට එක කාරණයක් අවධාරණය කරනවා. ඔබ අලියාට කතිරය ගහලා පුරුදු කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් වික‍්‍රමසිංහ මහත්තයාව අගමැති පුටුවේ වාඩි කළ හැම අවස්ථාවකම ඔබට පසුතැවිලි වෙන්න සිදු වුණා. එදා 2002දී රනිල් වික‍්‍රමසිංහ මහත්තයා විධායක බලතල තිබුණු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට නොකියා සටන් විරාම ගිවිසුමක් අත්සන් තැබුවා. දැන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ යම් විධායක බලතල ප‍්‍රමාණයක් ලැබී තිබෙන විට අගමැති ධුරය ලැබුණොත් ඔහු කෙසේ කටයුතු කරාවිද? රටත් ජාතියක් අවදානමේ හෙළන මොන තරම් තීන්දු ඔහු ගත්තාද, කියා සිතා බලන්න. 1980 අධ්‍යාපන ධවල පත‍්‍රකාව, 1989 බටලන්ද වධකාගාරය ගැන සිහිපත් කරන්න. අපි එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂිකයන්ට, මේ රටේ තරුණ පරම්පරාවට ඉතාමත් ආදරයෙන් කියනවා, ‘යූ.එන්.පී. ආණ්ඩුවක් හදන්න  ඕනේ නම් වෙන කවුරු හරි මුදුනේ තියාගෙන හදන්න. වික‍්‍රමසිංහ මහත්තයා අගමැති වන ආණ්ඩුවක් හැදුවොත් මේ රට බටහිර කොලනියක් වෙනවා. මේ රටේ නිදන්ගතව තිබෙන ස්වාභාවික ගෑස්, ඉන්ධන කොල්ලකෑමේ දඩබිමක් බවට පත් වෙනවා’ කියලා.

මේ මහ මැතිවරණය තමයි ඒ අවදානමෙන් මිදීමට මේ රටේ ජනතාවට ලැබෙන එකම සහ අවසන් අවස්ථාව. අගෝස්තු 17 වැනිදා ඒ අභියෝගය ජයගන්නා දිනය බවට පෙරළා ගනිමු.’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-07-142

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Anuruddha Lakmal Reply

    Dear Sir,

    Good Day for you…

    i m Anuruddha Lakmal from Meegoda.we support to you all way.

    Thanks and best regarding,

    Anuruddha Lakmal
    Mob 0773727555

Leave a Reply

*