BREAKING NEWS

ශ‍්‍රී ලනිපය ජාතික ආණ්ඩුවකට ගැට ගැසුවේ සම්බන්ධන්ට විපක්‍ෂනායක ධුරය ලබා දීමටයි! – ජානිපෙ නායක විමල් වීරවංශ

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක ‘වලිගයක්’ බවට පත් කිරිමෙන්, දෙමළ ජාතික සන්ධානයට විපක්‍ෂ නායක ධුරය ලබාදීමේ සිය අරමුණ රටට සතුරු දෙස්-විදෙස් බලවේග විසින් ඉටුකරගෙන ඇතැයි ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද(21) දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප‍්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්තයා ප‍්‍රධානත්වය දරන වර්තමාන ආණ්ඩුවේ දූෂණ මර්දන කමිටුවේ පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඊයේ මගේ බිරිඳත්, අද මමත් කැඳවා තිබුණා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මගෙන් අසනු ලැබූ ප‍්‍රශ්නම තමා අදත් මා වෙත ඉදිරිපත් කළේ. අපි ඒවාට පිළිතුරු ලබා දුන්නා. ආදායම උපයා ඇති අන්දම පිළිබඳව තමයි ප‍්‍රශ්න ඇහුවේ. විමර්ශනය සාධාරණව සිදු වුණොත් අපට ප‍්‍රශ්නයක් වෙන්නේ නැහැ.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා,

ප‍්‍රශ්නය:- පිහිටුවූ අලූත් ආණ්ඩුව පිළිබඳව ඔබ දරන අදහස කුමක්ද?

පිළිතුර:- අලූතින් පිහිටුවනු ලැබූ ආණ්ඩුව අනුගමනය කරනු ලබන ප‍්‍රතිපත්තිය පිළිබඳව අපට ඉදිරියේදී පැහැදිලිව කියන්න පුළුවන්. ඔවුන් මේ රටේ ජාතික ආරක්‍ෂාව දුර්වල නොකර, බෙදුම්වාදය ශක්තිමත් නොකර, රටේ ජාතික ආර්ථිකය දියකර හරින්නේ නැතිව, රට පාලනය කරනවානම් එහෙම පාලනයක් පිළිබඳව අපේ අපැහැදීමක් නැහැ. ඉහත කියපු වැරදි සිදු වුණොත් තමයි අපට ප‍්‍රශ්නයක් මතු වෙන්නේ.

ප‍්‍රශ්නය:- ජාතික ආණ්ඩුවට එකගද?

පිළිතුර:- ජාතික ආණ්ඩුව කියන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක ‘වලිගය’ බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පත්කරවීමයි. ඒක ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂයේ න්‍යාය පත‍්‍රය අනුව නැටවීමක්, රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ සුළුතර ආණ්ඩුව, බහුතර ආණ්ඩුවක් බවට පරිවර්තනය කර දීමක්. ඒ පාවාදීමට අපි කිසි ලෙසකින් සම්බන්ධ වෙන්නෙත් නැහැ, එකග වෙන්නෙත් නැහැ, අනුමත කරන්නෙත් නැහැ. පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත‍්‍රීධුර 95ක් ලැබුණා. එහෙම ප‍්‍රතිඵලයක් ලැබුණේ එක්සත් ජාතික පක්‍ෂය බලවත් ආකාරයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, දැවැන්ත අවලාද ව්‍යාපාරයක් රැගෙන ගිය වාතාවරණයක් හා ඔවුන් මාධ්‍ය සියල්ලම පාහේ ඒකපාර්ශ්වීය ලෙස පාවිච්චි කරමින් තිබියදීයි. මෑත කාලයේ බිහි වූ බලවත්ම විපක්‍ෂය තමයි මෙවර පාර්ලිමේන්තුවේ තිබෙන්නේ. 95ක ශක්තිමක් විපක්‍ෂයක් හා 113 සම්පූර්ණකර නොගත් ආණ්ඩුවක් තමයි මෙවර මහ මැතිවරණයෙන් බිහි වුණේ. එහෙම වෙලාවක විපක්‍ෂය ගලවාගෙන ගිහිල්ලා සුළුතර ආණ්ඩුවට බහුතර බලය හදලා දෙන්න උනන්දු වෙනවා කියන්නේ ඒක දේශපාලන පාවාදීමක්. ඒක අපට ඡන්දය දුන් ලක්‍ෂ 47කට අධික ජනතාව අමු අමුවේ පාවාදීමක්. ඒ නිසා අපි ඒ පාවාදීමට එකගවන්නේ නැහැ.

ප‍්‍රශ්නය:- විපක්‍ෂ නායක ධුරය හිටපු ජනාධිපතිතුමාට ලැබේවිද?

පිළිතුර:- ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවකට ගැට ගහපුවාම අත්වන ප‍්‍රතිඵලය තමයි ආසන 16ක් හිමි දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් විපක්‍ෂනායකවරයා බවට පත්වීම. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව සැප්තැම්බර් අග නිකුත් වෙනවා. ඒ වාර්තාව ලැබෙන අවස්ථාවේ ආර්. සම්බන්ධන් මහත්තයා විපක්‍ෂ නායක පුටුවේ ඉන්නවා කියන්නේ කුමක්ද? ‘ඒ වාර්තාවේ තිබෙන කරුණු සත්‍යයි’ කියන මතය හැදීමට දෙමළ ජාතික සන්ධානයට ලෝකය වටේ යැමට ‘නිල වාහනයක්’ ලබාදීමක්. ඒ නිසා අපි මේක අනුමත කරන්නේ නැහැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එජාපය සමග ගැට ගැසීමේ එක් අරමුණක් තමයි සම්බන්ධන්ට විපක්‍ෂ නායක ධුරය ලබාදීම. මේක බරපතල පාවාදීමක්. ඒ නිසා අපි කිසිසේත්ම ජාතික ආණ්ඩු සංකල්පයට එකග නැහැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික ආණ්ඩු සංකල්පයට එකග නැති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සමග අපි විපක්‍ෂයේ සැබෑ භූමිකාව ඉටු කරනවා. එයට මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් නායකත්වය ලබා දෙනවා’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-08-21

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*