BREAKING NEWS

ශ‍්‍රී ලනිප මන්ත‍්‍රීවරුන් ජාතික ආණ්ඩුවකට එක්වීමෙන් සිදු කරන්නේ තමන්ට ඡන්දය ලබාදුන් ජන බලවේගයන් ඉතාමත් දරුණු ලෙස පාවාදීමයි – ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ

10915073_433819520112928_7161621082067231057_oශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කැබිනට් අමාත්‍ය ධුර ඇතුළු වෙනත් අමාත්‍ය ධුර ලබාගනිමින් ජාතික ආණ්ඩුවකට එක් වීමෙන් සිදු කරනු ලබන්නේ තමන්ට ඡන්දය ලබාදුන් ජන බලවේගයන් ඉතාමත් දරුණු ලෙස පාවාදීමක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(22) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

‘‘ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා හෙට දවසේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 15 දෙනකු කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව මාධ්‍ය මගින් අනාවරණය කොට තිබෙනවා. ඒ සමගම තවත් ශ‍්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් රාජ්‍ය අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දෙන බව ද වාර්තා වෙනවා.

මෙසේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අමාත්‍ය ධුර පිරිනමමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සිදු කරන්නේ කුමක්ද? වෙන කිසිවක් නොවෙයි, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, පවතින එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ ‘වලිගය’ බවට පත් කිරීමයි.

මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත් වුණේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ හෝ අනෙකුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද දුන් අයගේ ඡන්දයෙන් නොවෙයි. එතුමා බලයට පත් කළේ රනිල් වික‍්‍රමසිංහ, ආර්. සම්බන්ධන්, රාවුෆ් හකීම්, අනුර දිසානායක, චම්පික රණවක වැනි අයයි. ඒ නිසා අද මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට අවශ්‍යයි, තමන් බලයට පත් කළ ඉහත කී අයට, විශේෂයෙන් රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට ස්ථාවර ආණ්ඩුවක්, විශ්වාසභංගවලින් වට්ටන්න බැරි ආණ්ඩුවක් හදලා දෙන්න. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අගමැති වුණේ බහුතර කැමැත්තෙන් නොවෙයි. ශ‍්‍රී ලනිප මන්ත‍්‍රීවරු පිරිසක් කැබිනට් මණ්ඩලයට දාලා, තවත් පිරිසකට රාජ්‍ය අමාත්‍ය ධුර හා නියෝජ්‍ය අමාත්‍ය ධුර පිරිනමලා මේ සිදු කරන්නේ ජනාධිපතිවරණයට පෙර සිටම මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා එකග වී සිටි න්‍යාය පත‍්‍රය ඉදිරියට ගෙන යාම. ඒක තමයි මෙහි එකම පරමාර්ථය.

‘මේක හරි පුදුම වැඩක්’

මේක හරි පුදුම වැඩක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, හරියට ගණන කීරමට නොහැකි වුවත් 25ත් – 40ත් අතර ප‍්‍රමාණයක් අමාත්‍ය ධුර ලබා ගන්නවා. ඒ අතරේ විපක්‍ෂ නායකකමත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් තබා ගෙන ඉන්නවා. අමාත්‍ය ධුර බර ගණනක් අරගෙන, විපක්‍ෂ නායක කමත් තමන් ළග තබාගෙන ආණ්ඩුවත් තමන්ගේ, විපක්‍ෂයත් තමන්ගේ කියන තත්ත්වයක් හදා ගන්නවා. මේ තත්ත්වය තුළ විපක්‍ෂ නායකවරයා ආණ්ඩුව විවේචනය කරන්නේ කොහොමද? ඒක කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් තමන්ට බනිනවා වගේ වැඩක්. මේ ආණ්ඩුවේ ජනාධිපති තමන්ගේ, අමාත්‍යවරු 20-40 අතර ප‍්‍රමාණයක් තමන්ගේ, එතකොට කොහොමද මේ ආණ්ඩුවට විවේචන එල්ල කරන්නේ.

මේක තමයි කරනවා කියපු වෙනස. මේක විතරයි අද දේශපාලන කරළියේ මේ අය කරපු එකම වෙනස. මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා බලයට ගෙන ඒමට කටයුතු කළ හවුලට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජන බලවේගයන් බලහත්කාරයෙන් ගැට ගසා දීමයි මෙතැන සිදු වන්නේ. ‘ඔයගොල්ලෝ මේ ඇමති කටු ටික සූප්පු කරමින් ඉන්න. එතකොට අපට පුළුවන් පාක්‍ෂිකයා ගැට ගහලා තියා ගන්න’ කියන අර්ථයෙන් තමයි මේ කටයුත්ත සිදු වන්නේ. අපි විශ්වාස කරනවා මේක දේශපාලන වශයෙන් ඉතාමත් දරුණු පාවාදීමක් කියලා.

මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සැබෑ ලෙසම රටට, ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයාට, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලවේගයන්ට ආදරේ නම් කළ යුතුව තිබුණේ සුළුතරයේ අගමැතිව එලවලා දමලා, පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන පිරිසෙන් ආණ්ඩුව පිහිටුවලා ඒ ආණ්ඩුවේ බලය තියාගෙන ඊළග මහ මැතිවරණයට සුදුසු අවස්ථාවේදී යන එක. නමුත් අද ඒක කරනවා වෙනුවට කරන්නේ රනිල් වික‍්‍රමසිංහට උවමනා දේ.

‘පුදන කොටම කාපි යකා’

දැන් මේ තියෙන තත්ත්වය අනුව පෙනෙනවා රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට මේ ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න අමාරුයි කියලා.‘පුදන කොටම කාපි යකා’ කිව්වා වගේ මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසියෙන් මේ ආණ්ඩුවේ ‘යහපාලන වස්ත‍්‍ර’ ඔක්කොම ගැලවිලා ගියා. මේ ගනුදෙනුවෙන් පමණක් ඊයේ වන විට සිදුව ඇති පාඩුව, ඒ කියන්නේ පොලී අනුපාතික කෘත‍්‍රීමව දෙකයි දශම ගණනකින් ඉහළ දැමීමෙන් ඊයේ වන විට පැවති බැඳුම්කර ගනුදෙනුවලින් බිලියන 30කට වැඩි පාඩුවක් සිදුව තිබෙනනවා. මේ පාඩුව දිනෙන් දින වැඩි වෙනවා. අලූතෙන් බැඳුම්කර ගනුදෙනු සිදු වන්නේ ඉහත පොලී අනුපාතිකයට වඩා ඉහළ අගයකට. ඒ නිසයි මේ ගනුදෙනුව හේතුවෙන් සිදු වන පාඩුව දිනෙන් දින වැඩි වෙන්නේ. මේ ගනුදෙනුවෙන් ඊයේ වන විට සිදුව ඇති පාඩුව බිලියන 30යි. ගාල්ල සිට මාතර දක්වා අධිවේගී මාර්ගය හදන්න ගියේ බිලියන 25යි.

දැන් ‘යහපාලන වස්ත‍්‍ර’ ගැලවිලා ඉවරයි. ආර්ථික පොරොන්දු සම්පූර්ණයෙන් මිත්‍යාවක් කියලා රටට දැනිලා ඉවරයි. ඒවා ගැන හීන මවන්න බැහැ. තව මවන්න අලූත් හීනත් නැහැ. ඒ නිසා කළ යුත්තේ එක දෙයයි. ඒක තමයි තමන්ට විරුද්ධව බලවේගයක් ගොඩනැග‍ෙන එක වැළැක්වීම. ඒක තමයි මේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසකට ‘ඇමති කටු ටිකක් සූප්පු කරන්න’ දීලා කරන්න යන්නේ.

ඒ සමග පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට හෝ ඒවා විශේෂ කොමසාරිස්වරුන්ගේ පාලනයක් යටතට පත් කිරීමට හෝ සූදානම් බව පෙනෙනවා. මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්‍ෂක ධුරයට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පත් කිරීමට බල කෙරෙන සටනේ ඉදිරියෙන්ම ඉන්නේ ශ‍්‍රී ලනිප නගරාධිපතිවරුන් ඇතුළු පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් ටික. ‘යන යකා කොරහත් බිඳ ගෙන ගියාවේ’ කියලා ඒ අය සතු දේශපාලන බලය උදුරා ගෙන පළාත් පාලන ආයතනවල බලයත් එජාපයට ලබා දීමට සැලසුම් සකස් වෙමින් තිබෙනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ටත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෙනුවෙන් කැප වූ ලක්‍ෂ 58ක ජන බලවේගයටත් පූර්ණ හතුරු න්‍යාය පත‍්‍රයක අද මේ රට රැගෙන යමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ තත්ත්වයට විරුද්ධව පොදු ජනතාව, ප‍්‍රගතිශීලී ජනතාව බලවත්ව නැගී සිටිය යුතුයි කියලා.

මේ අය බලයට ආවේ ‘රටකට ඕනෙ අපමණ අගයක්’ කියන ගීතය ගායනය කරමිනුයි. අපි අහනවා, ‘දැන් මහත්වරුනි දින 70කට ආසන්න කාලයක් ගියානේ. මේ වන කොට රටේ අපමණ අගය වැඩි වෙලාද?’ කියලා. මේ රටේ මිනිස්සුන්ගේ අපේක්‍ෂාවන් ඉහළ ගිහිල්ලාද? පහළ ගිහිල්ලාද? ආර්ථිකයේ වැඩිවීමක් වෙලාද? බැස්මක් වෙලාද? කොටස් වෙළඳපොළ නැ`ගලාද? බැහැලාද? රුපියල ශක්තිමත් වෙලාද? අවප‍්‍රමාණය වෙලාද? තේවලට, රබර්වලට ලැබෙන මිල ඉහළ ගිහිල්ලාද? පහළ ගිහිල්ලාද? හාල් මිල ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පහළ ගිහිල්ලාද? ඉහළ ගිහිල්ලාද? ඒ අනුව මේ අටේ අපමණ අගය වැඩිවෙලා කියලා පෙනෙන්නේ නැහැ.

අපට නම් පෙනෙන්නේ මේ අය රටේ අපමණ අගය වැඩි කරන්න හදන්නේ, උතුරේ අධි ආරක්‍ෂිත කලාප ගලවලා කියලයි. පැය 48ක් ඇතුළත අක්කර තුන්සිය ගණනක අධි ආරක්‍ෂිත කලාප ඉවත් කරන්න කියලා නියෝග ලබාදී තිබුණා. දැන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඒ ඉඩම් බෙදා හැරීමේ උත්සවයක් සංවිධානය කෙරෙන බව වාර්තා වෙනවා. අපේ ආරක්‍ෂක හමුදා අධි ආරක්‍ෂිත කලාප හඳුනාගෙන ඒවා වෙන් කළේ එජනිසට, එජාපයට හෝ ජවිපෙට අවශ්‍ය පරිදි නොවෙයි. ඒවා රටේ ආරක්‍ෂාව ගැන හිතා ගත් තීන්දු. පැය 48න් ඒවා ඉවත් කිරීමේ තීන්දු ජාතික අරක්‍ෂාව පිළිබඳව නොසලකා ගත් තීන්දු ලෙසයි පෙනෙන්නේ. අධි ආරක්‍ෂිත කලාප මේ විදිහට ඉවත් කරන මේ අයට තව මොනවාද කරන්න බැරි?.

මේ මාත්‍යභූමිය මුදා ගත්තේ එවකට සේනාධිනායකවරයා, ආරක්‍ෂක ලේකම්වරයා, ති‍්‍රවිධ හමුදාපතිවරු ඇතුළු රණවිරුවන් අනන්ත අප‍්‍රමාණ කැප කිරීම් කරලයි. එවැනි කැප කිරීම් පිළිබඳව කිසිදු හැගීමක් නොමැතිවයි අද ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට දුන් පොරොන්දු අනුව යමින් අධි ආරක්‍ෂිත කලාප ඉවත් කරන්නේ. ජාතික ආරක්‍ෂාව ගැන කිසිදු තැකීමක් නොමැතිවයි මේ පොරොන්දු ඉටු කරමින් සිටින්නේ. ගිවිසුම් නැහැ කීවා. ‘තිස්ස අත්තනායක අතේ තිබුණු කොළය බොරුවක්’ බව කීවා. අපි අහනවා, ‘යහපාලන මහත්වරුනි, ඒ ගිවිසුම අනුව නොවෙයිද හමුදා කඳවුරු වටේට තිබෙන අධි ආරක්‍ෂිත කලාප අද එකින්එක ගලවා ඉවත් කරන්නේ?’ කියලා. අද උතුරේ යුද හමුදා කඳවුරු ඉදිරිපිට උද්ඝෝෂණ නිර්මාණය වන්නේ ස්වාභාවිකවද? අද ජාතික ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම බිල්ලට දීලා තියෙන්නේ.

‘19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය’

මේ ඔක්කොම කුණු වහගන්න අද අපි ඉස්සරහට ගෙනවිත් ‘19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ තොරොම්බල් කරනවා. ජනාධිපතිවණයේදී එක පිරිසක් කීවා, ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි’ කියලා. තවත් පිරිසක් ‘විධායක ජනාධිපති ධුරයේ හානිකර බලතල සංශෝධනය කළ යුතුයි’ කීවා. මේ දෙපිරිසටම එකග විය හැකි අන්දමට ‘පොදු අපේක්‍ෂක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය’ හැදුවා.

දැන් මොකද වෙලා තියෙන්නේ? ඊනියා යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන පිරිස්ම දැන් මේ ‘19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට’ මරා ගන්නවා. කට්ටියක් කියනවා, ‘මේක පැය 24න් ගෙනෙන්න ගියා. අපි නැවැත්තුවා. මේකෙන් කෙරෙන්නේ ජනාධිපතිවරයා සතු බලතල සම්පූර්ණයෙන් ඉවත් කරන එක’ කියලා. මේ පිළිබඳව අඩුම තරමින් ඊනියා යහපාලන ආණ්ඩුව ඇතුළේවත් එකගතාවක් නැහැනේ. ඒක තමයි අපි කිව්වේ මේක අවුල් හවුලක් කියලා. මේක රටේ කුමක් හෝ අවුලක් තියෙනවා නම් ඒක ලිහන හවුලක් නොවෙයි, ඒක තවදුරටත් වැඩි කරන හවුලක් කියලා අපි ඡන්දෙට කලින් පෙන්වා දුන්නා. අද ඒක ඔප්පු වෙලා තියෙනවා. අඩුම තරමින් මේ අවුල් හවුලට තමන් ගෙනෙනවා කියපු ‘ව්‍යවස්ථා සංශෝධනය’ පිළිබඳවවත් ඒකමතිකභාවයක් නැහැ.

ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපතිවරයකු පත් වෙනවා නම්, ඒ ජනාධිපතිවරයාට ජනතාව ඡන්දය දෙන්නේ කුමන බලයක් නියෝජනය කිරීමටද? ජනතාව සතු විධායක බලය නියෝජනය කිරීමටයි. ජනතාව ඡන්දයෙන් පාර්ලිමේන්තුව පත් කරලා 225කට තමන් සතු නීති සෑදීමේ බලය හෙවත් ව්‍යවස්ථාදායක බලය ලබා දෙනවා. ජනාධිපතිවරයා ඡන්දයෙන් එන්නේ නැතිව, ඉන්දියාවේ වගේ නම් කරන කෙනෙක් නම් ප‍්‍රශ්නයක් නැහැ. 1972 ව්‍යවස්ථාවේ වගේ නාමමාත‍්‍රික ජනාධිපති ධුරයක් නම් ප‍්‍රශ්නයක් නැහැ. 1978 ව්‍යවස්ථාව අනුව ඡන්දයෙන් ජනාධිපතිවරයකු පත් කරන්නේ ජනතාව සතු පරමාධිපත්‍ය බලයේ එක් සංරචකයක් වන ‘විධායක බලය’ ඔහුට ලබා දීමටයි. මේ ව්‍යවස්ථා සංශෝධනයේදී වෙන්නේ එක් ඡන්දයකින් විධායක බලය පවරපු ජනාධිපතිවරයා, වෙනත් ඡන්දයකින් ව්‍යවස්ථාදායක බලය පවරපු 225 දෙනාගේ බහුතර කැමැත්තෙන් තෙරී පත් වන අගමැතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කරන තත්ත්වයට පත් කිරීම. ඉතිං මේක විකාරයක් නොවෙයිද? ජනාධිපතිවරයාගේ බලය කප්පාදු කරන්න හෝ අහෝසි කරන්න නම් ඔහු ඡන්දයෙන් තෝරා පත් කර ගන්න ඕනෙද?

මේ ‘19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ’ එක තැනක තිබෙනවා, ‘ජනාධිපතිවරයා රජයේ ප‍්‍රධානියා වන්නේය. සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයා වන්නේය’ කියලා. තවත් තැනක තියෙනවා, ‘ආණ්ඩුවේ ප‍්‍රධානියා වන්නේ අගමැතිවරයාය’ කියලා. එතකොට ඇමති මණ්ඩලයේ ප‍්‍රධානියා වන්නේ ආණ්ඩුවේ ප‍්‍රධානියා. ඒ අනුව ජනාධිපතිවරයා ඇමති මණ්ඩලයේ නැහැ. අපට තිබෙන ප‍්‍රශ්නය ‘තවදුරටත් ජනාධිපතිවරයා ඡන්දයෙන් පත් කරනවා නම් මෙහෙම දෙයක් සිදු කළ හැකිද? යන්නයි. එතකොට විධායක බලය කොතැනකද තියෙන්නේ? කියන ප‍්‍රශ්නය එනවා. එයාටත් කොටසයි, මෙයාටත් කොටසයි කියමින් ගියොත් සිදු වන්නේ ‘පවතින අවුල යාවත්කාලීන කිරීමයි.’ රටකට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ අවශ්‍යයි. නමුත් ඒවා රට තිබෙන තත්ත්වයටත් වඩා අවුලකට ඇද දමන ඒවා නොවිය යුතුයි. මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයකු පත් කළ විට, වෙනත් ඡන්දයකින් තේරී පත් වන පාර්ලිමේන්තුවෙන් ඔහුගේ අතපය බඳිනවා නම්, ඇයි අපි මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයකු පත්කර ගන්නේ? අපට ඇති ප‍්‍රශ්නය එයයි. ‘19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්’ ජනතා පරමාධිපත්‍ය බලය දුර්වල කිරීමක් සිදු වෙනවා. ඒ නිසා මේ කරුණු අනුවත් ඉදිරියේදී සිදු කරන සංශෝධනත් පිළිබඳව සලකා බලා තමයි අපි ‘19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ පිළිබඳව අවසාන තීන්දුවක් ගන්නේ.’’

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා ද එක්ව සිටියේය.

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2015-03-22

 

11080482_433819466779600_2601455978537145464_o

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*