BREAKING NEWS

සන්ධාන නායකයෝ මහින්ද හමුවෙති

සන්ධාන නායකයෝ මෛත‍්‍රී හමුවෙති!

එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්‍ෂ 18 හි නායකයෝ පසුගිය සතියේදී පුළුල් එකගතාවකට පැමිණියහ. ‘සන්ධානයේ ඉදිරි ගමන පිළිබඳව වත්මන් එක්සත් ජනතා නිදහස් සන්ධාන නායක, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග වෙන වෙනම පුළුල්ව සාකච්ඡා කළ යුතුය’ යන්න එම එකගතාව විය.

ඒ අනුව පසුගිය බදාදා රාත‍්‍රියේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී එජනිස නායකයෝ එක් සාකච්ඡාවක් පැවැත්වූහ.

මෙම සාකච්ඡාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය සභාපතිවරුන් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, මහජන එක්සත් පෙරමුණ, ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂය, දේශවිමුක්ති ජනතා පක්‍ෂය, ලංකා කම්කරු කොන්ග‍්‍රසය, ඊපීඩිපි ඇතුළු පක්‍ෂවල නියෝජිතයෝද එක්ව සිටියහ.

‘‘අපි ආවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරි ගමන පිළිබඳව පුළුල්ව ඔබතුමන් සමග සාකච්ඡා කිරීමටයි’’

සාකච්ඡාවට ඉඩ සලසා ගනිමින් මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා එසේ පැවසීය.

‘‘පාර්ලිමේන්තුවේ බලය එජාපයෙන් ලබාගෙන යළි සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන්නේ කොහොමද? සන්ධානයේ සියලූ පක්‍ෂ එකට තරග වැදී මහ මැතිවරණයෙන් ජයගෙන ශක්තිමත් ආණ්ඩුවක් හැදීම හා  සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කිරීම යන කරුණු තුනට ඔබතුමාගේ එකගතාව ලබාගැනීමටයි අපට අවශ්‍ය. අප මේ වන විට මේ කරුණු තුන පිළිබඳව එකගතාවක ඉන්නවා’’ මෙහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටියේය.

‘‘අපත් ඉහත කරුණු හා එකග වෙනවා. මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති හැටියටත් ඔබතුමන් ජනාධිපතිවරයා හැටියටත් කටයුතු කළොත් මේ විනාශකාරී ගමන නවත්තලා රට තුළ විශාල පෙරළියක් ඇති කළ හැකියි’’ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය සභාපති හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක මහතා අවධාරණය කර සිටියේය.

මෙම සියලූ කරුණු දැක්වීම්වලට සවන්දුන් ජනාධිපතිතුමන් පැවසුවේ ඉහත කරුණු ගැඹුරෙන් සලකා බලා පිළිතුරක් ලබාදෙන බවය.

‘‘අපි මෙවැනිම සාකච්ඡාවක් හෙට උදේ හිටපු ජනාධිපතිතුමන් සමග පවත්වනවා. එහිදී එළෙඔන එකගතාවන්ද සමග අපි යළි ඔබතුමා හමුවෙන්නම්’’ සාකච්ඡාව අවසන් කරමින් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවසීය.

සන්ධාන නායකයෝ මහින්ද හමුවෙති

පසුගිය බ‍්‍රහස්පතින්දා උදේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙසෙන නුගේගොඩ ඇඹුල්දෙනියේ පිහිටි නිවසේදී එජනිස නායකයන් සමග එම සාකච්ඡාව ඇරඹිණි.

ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් කුමාර වෙල්ගම, ගාමිණි ලොකුගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි නියෝජ්‍ය සභාපතිවරුන් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, ඊ.පී.ඞී.පියේ නායක ඩග්ලස් දේවානන්ද, ඒ.එල්.එම්. අතවුල්ලා, ප‍්‍රභා ගනේෂ්න් ඇතුළු පක්‍ෂ නායකයෝ රැසක් එක්ව සිටියහ.

එහිදී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා, මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවේදී ලත් ප‍්‍රතිඵල පිළිබඳවද මෙම සාකච්ඡාවේ මූලික අරමුණු පිළිබඳවද දිර්ඝ පැහැදිළි කිරීමක් සිදු කළේය.

‘‘කවර තත්වයක් යටතේ වුවද අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස මහ මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දිය යුතුයි’’ යන ප‍්‍රතිඥාවක්ද මෙහිදී සන්ධාන නායකයෝ ලබා දුන්හ.

රට වනසන අවුල් හවුල ගෙදර යවන්න දැවැන්ත පාගමනක්

ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයෝ රැසක් පසුගිය බදාදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.
එහිදී ඒකාබද්ධ විපක්‍ෂ නායකයෝ හිටපු ජනාධිපතිවරයා සමග වත්මන් ආණ්ඩුවේ රටට හානිකර ක‍්‍රියාකලාපය පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරුකර ගත්හ.

‘‘අපි දඩයම් කිරිමෙන් පමණක් ඒ අය නිහඩව ඉන්නේ නැති බවයි පෙනෙන්නේ. දැන් අපේ පවුල්වලටත් ඉතා දරුණු මර්දනයන් ඇති කරලා තියෙනවා. ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය සහ ශෂී වීරවංශ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවීම ඊට හොඳ නිදසුනක්’’ පක්‍ෂ නායකයෝ රැසක් දැඩිව ප‍්‍රකාශකර සිටියේය.

‘‘මේ ආණ්ඩුව ගෙන යන රටට එරෙහි ක‍්‍රියාදාමයන් ජනතාවට පුළුල්ව එත්තු ගන්වන විරෝධතා ව්‍යාපාරයකට අප යා යුතුයි. මම හිතන්නේ අපි විරෝධතා පාගමනක් සංවිධානය කළොත් අපේ අරමුණ සාර්ථක වෙනවා’’ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා එහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව ජුනි මස 07 සහ 08 දෙදින තුළ දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කළ යුතු බවටද පක්‍ෂ නායකයෝ තීන්දු කළහ.   මෙම පාගමන ජුනි 07 වැනිදා උදේ 9.00ට කළුතර බෝධිය අසලින් ඇරඹිමට නියමිතය. පළමු දිනය අවසානයේ මොරටුව නගරයට පැමිණෙන පාගමන දෙවන දිනයේදී මොරටුවේ සිට කොළඹ පැමිණෙයි.

මෙම දැවැන්ත විරෝධතා පාගමනේ සංවිධාන කටයුතු සිදු කිරීම සඳහා බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කුමාර වෙල්ගම, මහින්දානන්ද අලූත්ගමගේ, බන්දුල ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත්කිරීමද මෙහිදී සිදුවිය.

මේ අතර පසුගිය බ‍්‍රහස්පතින්දා උදේ රෝහිත අබේගුණවර්ධන මහතාගේ නිවසේදී මෙම පාගමනට අදාළ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*